iMage: Ishara S. Kodikara/AFP/onmanorama.com

ජීවිතයේ සැදෑ සමයට ලංවී සිටින වැඩිහිටියන් බොහෝවිට මරණාසන්න අබාධයන්ට ගොදුරුවී රෝහල්ගතව සිය අවසාන භාගය ගතකරන අවදිවලදී වෛද්‍ය කාර්ය මණ්ඩලය සේලයින් මාත්‍රාවක් ලෙඩාට ලබාදී තව දින කිහිපයක් හෝ ජීවත්කරවීමට උත්සහ කිරීම අප දැක ඇත්තෙමු. එසේම එම ක්‍රියාව උසස් මානව ගුණධර්මයක් සේද අගය කරමු. සමහර රෝගීන් සේලයින් මාත්‍රාවෙන් තාවකාලිකව නව ජවයක් ලැබුවද, බටය ගලවා දැමූවිට තමුන්ට සිදුවිය හැකි අන්තරාය පිලිබදව හරි වැටහීමක් ඇතිකරගැනීමට අපොහොසත්ය.

ලෙඩ ගොඩක හිරවුණු ණය කන්ද

මෙම සංසිද්ධියෙන් ලිපිය ආරම්භ කිරීමට අදහස් කලේ ලෙඩ ගොඩකට සිරවුණු ආර්ථිකයන් තිරිහන් කිරීමට පාලකයින් රෝගීන්ට ලබාදෙන සේලයින් මාත්‍රාව හා සමාන ණය කන්දරාවක ආර්ථික ක්‍රියාවලිය පණ ගැන්වීමට යොදාගැනීමේ ආදීනව සම්බන්ධයෙන් සාකච්ඡාවක් මතු කරවීමටය. වර්තමානයේ බොහෝ ආර්ථිකයන් සක්‍රියව පවතින්නේ ණය නම් වූ සේලයින් ප්‍රතිකාරය මගින්ය. නමුත් එම මාත්‍රාව මත සම්පූර්ණ ආර්ථික ජීවන චක්‍රය පවත්වාගෙන යාමට හුරු පුරුදු වීමේ ආදීනව දැන් සියළු ශ්‍රී ලාංකිකයින්ට අත්විදීමට සිදුව ඇත.

2007 ඇමෙරිකාවේ සහ යුරෝපයේ ඇතිවුනු මූල්‍ය ක්ෂේත්‍රයේ කඩා වැටීම පාලනය කරගැනීමට පොලී අනුපාතයන් ශුණ්‍ය හෝ සෘණ අගයන් දක්වා අඩුකරවීමේ ප්‍රතිවිපාක දැන් බටහිර රටවල් වල උද්ධමනකාරී ආර්ථික අවපාතයන් රැසකට ගොදුරු කර ඇත. එබැවින් ණය මත දුවවන ආර්ථික වර්ධනය, සේලයින් මාත්‍රාවට පමණක් සීමා නොවී තහනම් උත්තේජක ලබා ක්‍රිඩා තරඟ වලින් ජයගැනීමක් ලෙසටද සමානකල හැක.

මෙම සංධර්භය තුළ ශ්‍රී ලංකාවට අත් වූ ඉරණම හොදින්ම පැහැදිලි කරවීමට යොදාගතහැකි ප්‍රතිසමතාවය වන්නේ, රටේ ව්‍යාධීන් සුව කිරීමට ඉදිරිපත්වන වෙදාම ලෙඩේ වීමය. වැරදි වෙදකම තෝරාගෙන ප්‍රතිකාර කිරීමට යාමෙන් සිදුව ඇත්තේ, ලෙඩා සහ ලෙඩේ ඉතිරිකර වෙදා මියයාමය.

රටේ අවාසනාවකට වෙදා මිය ගියද ලෙඩෙන් සහ ලෙඩාගෙන් වරප්‍රසාද භුක්ති විදීමට ඉඩ ප්‍රස්තා මෙම පවතින ක්‍රමවේදය නොමදව සපයා දෙනු ලබන්නේය. මේවන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන රාජපක්ෂ සන්නාමය රහිත (විජයදාස රාජපක්ෂ ඇමතිතුමා හැර) මන්ත්‍රීවරුන් රැසකට ඇමති සහ රාජ්‍ය ඇමති තනතුරු ප්‍රදානය කර හමාරය. කඳට දරාගත නොහැකි ඔළුවක් දැන් පූට්ටු කර ඇත. විධායක ජනාධිපතිවරයකු, අගමැතිවරයකු, කැබිනට් මණ්ඩලයක්, පාර්ලිමේන්තුවක් තිබුන ද දැනට ක්‍රියාසම්පන්න රජයක් -මොලයක් එක්ක ඔළුවක්-ශ්‍රී ලංකාවේ නොමැති බව සෙසු ලෝකයාම දැනසිටියද, එය නොදන්නේ අවස්ථාවාදී දේශපාලකයින් කිහිපදෙනෙකු පමණි.

රජයක් හා මොළයක් නැති වීම

එබැවින් අනාගත පරම්පරාව වෙනුවෙන් මෙම ප්‍රෝඩාකාරී පද්ධතියම වෙනස් කරවීමට දේශ හිතෛෂී සියළු දෙනා එකමුතු විය යුතුය.

දුප්පත්කම පිටුදැකීමට සහ දියුණුවෙමින් පවතින (දියණුවක් නොලබන) රටවල සංවර්ධන ක්‍රියාවලිය ජාත්‍යන්තර වෙළදාම හරහා වේගවත් කිරීම සහ ගෙවුම් ශේෂ අර්බුදවලින් මුදවාගැනීම සිය ඒකායන අරමුණ කර ගනිමින් පුරා අඩසියවසක කාලසීමාවක් තුළදී මුල්‍ය අරමුදල විසින් අනුගමනය කරන ලද ක්‍රියාපිළිවෙත ගැන යම් අදහසක් මුලිකවම ලබා ගැනීම ප්‍රශ්නයට ප්‍රවිෂ්ඨ වීම සදහා වැදගත් වනු ඇත.

දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු බ්රෙටන්වුඩ් නගරයේදී උපත ලද මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමාරම්භක අරමුණුවලින් බැහැරව බටහිර රටවල බහුජාතික සමාගම්වලට රිසි ලෙස වෙළදපල ආක්‍රමණය පහසු කරවන නව ලෝක රටාවක් නිර්මාණය කිරීමේ කාර්ය භාරයට වර්තමානයේ අතගසා ඇත. පසුගිය දශක කිහිපය තුළදීම අරමුදලේ කටයුතු යම් ඇගයීමකට ලක් නොකොට මේ පිළිබදව නිසි වැටහීමක් ලබාගත නොහැක. පහත සදහන් ප්‍රකාශිත අරමුණු ඉලක්ක කර ගනිමින් අරමුදල විසින් දියුණු වෙමින් පවතින රටවලට පසුගිය අඩසියවසක කාලසීමාවක් තුළදී ව්‍යුහාත්මක ගැලපුම් වැඩසටහන් යටතේ ආධාර සපයන වැඩපිළිවෙළක් (Structural Adjustment Programmes) ක්‍රියාත්මක කෙරිණි.

· ආධාර ලබන රටවල ආර්ථික කටයුතු සියලුම පාලන තන්ත්‍රයන්ගෙන් මුදාලීම.

· නිදහස් වෙළදාම සහ ආයෝජනවලට ඉඩකඩ ලබා ගැනීම.

· රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීම.

· කෙටිකාලීනව රජයේ වියදම් කපාහැරීමට බලකරමින් අයවැය හිගය අඩුකිරීම.

· අධික පොලී අනුපාත පවත්වාගෙන යෑමට උපදෙස් දීම.

· දේශීය මුදලේ අගය අවප්‍රමාණය කිරීම.

වර්තමාන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට ආධාර අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලංකාව ඒ සදහා පැවැත් වූ මාණ්ඩලික මට්ටමේ සාකාච්ඡා වලින් පසු නිකුත් කරන ලද මාධ්‍ය ප්‍රකාශයට අනුව ඇ. ඩො. බිලියන 2.9 ණය මුදල මුදාහැරීමට පණවා ඇති කොන්දේසි අතර ඉහත සදහන් අරමුනු සියල්ලම අඩංගුව ඇත.

ණය පියවීමේ ක්‍රමය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ රජයට පැවැරී ඇති අභියෝගාත්මක පූර්ව කොන්දේසිය වන්නේ ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමඟ සාකච්ඡා කර ගෙවීම් ක්‍රමවේදයන් ප්‍රතිව්‍යුහගත කරගැනීමය. ඉන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මට්ටමේ කේවල් කිරීම් ආරම්භ කෙරෙනු ඇත. රනිල් වික්‍රමසිංහ මහතා ගේ රාජ්‍ය තාන්ත්‍රික පරිණතභාවය විදහා පෑමට කදිම අවස්ථාවක් උදාවී ඇත. ඒසේ නොවුනහොත් කැවුම් ගෙඩිය බෙදාගැනීමට පොරකෑ බළලුන් දෙදෙනාට අත්වුනු ඉරණමම රනිල් වික්‍රමසිංහ මහතා ගේ නාමික රජයට, රාජපක්ෂ රෙජීමයේ නාස්තිකාර ණය ගෙවා දැමී‍මේ ප්‍රමුඛතාවයන් ණය හිමි රාජ්‍යයන්, පෞද්ගලික මූල්‍ය ආයතන සමග කේවල් කිරීමට යාමේදී අත්විදීමට හැක. බොහෝවිට කැවුම් ගෙඩියම ගිලගැනීමේ පොරයක් කරලියට එනු ඇත.

වොෂින්ටනයේ අනුදැනුම නොමැතිව මුල්‍ය අරමුදල තීරණවලට එළබෙන්නේ නැති බව දැන් මුළු ජාත්‍යන්තර ප්‍රජාවම වටහාගෙන ඇත. ලෝක බැංකුව සහ මූල්‍ය අරමුදල යන ආයතන දෙකම යල්පැන ගිය බවට තක්සේරු වී හමාරය. එබැවින් මුල්‍ය අරමුදලේ ඇගයීම පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාව තුළට විදේශ ආයෝජන ගලා එවි යැයි අපේක්ෂා කිරීම මුලාවකි.

ලෝක බැංකුව හා මූල්‍ය අරමුදල යල් පැනලා

එබැවින් ණය මත නොරැදෙන දේශීය සම්පත් සහ ආදායම් ඒක රාශී කර නව සංවර්ධන මාවතකට අප ප්‍රවිෂ්ඨ විය යුතුව ඇත. අපේක්ෂිත පද්ධතිමය වෙනස ඇරඹීමට මූලික පදනම සකස් කරගත යුත්තේ මෙතැනින්ය.

ශ්‍රී ලංකාවේ අනාගත අභිවෘද්ධිය උදෙසා තීරණ ගන්න විද්වතුන් දැනට ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙලවල් පුළුල්ව විශ්ලේෂණය කර සම්මත රාමුවට පරිභාහිර වූ ක්‍රියාවලියක් සඳහා සාකච්ඡා කර එකඟතාව මත නිවැරදි තීරණ ගැනීම වැදගත් වනු ඇත. වර්තමාන ලෝක වෙළද රටාව වෙනස් කිරීමට අපට ශක්තියක් නොමැත. එහෙත් එය ගමන් කරන දිශාව අපට වටහා ගත හැකි වනුයේ නොමිලයේ ලැබෙන අශ්වයා මත එන අසුරුවා නිවැරදිව හඳුනා ගැනීමෙන් අනතුරුවය. මෙම විෂම චක්‍රය තුලම සිරව විදේශ ණය ශ්‍රී ලංකික ප්‍රජාවම මෙහෙය විය හැකි උපකරණයක් බවට පත් කරදීමට පාර කැපූ සියළුම දෙනා මේ සඳහා වගකිය යුතු අතර, මෙම ක්‍රමවේදය බිද දැමීමට හැකි පාලන ක්‍රමයකට ඉඩ කඩ සලසාදීම ඔවුන් ප්‍රමුඛතාවක් කරගෙන ඇත්ද? නොමැත, රාජ්‍ය බලය රැකගැනීම පමණක් ඔවුනට ප්‍රමාණවත්ය. පද්ධතිය ඇදවැටීම පාලනය කරගත හැකි විසඳුම් නොදත් අය අනාගත පරපුර වෙනුවෙන් කල හැකි බුද්ධිමත්ම කටයුත්ත වනුයේ තවදුරටත් එය කඩාබිද නොදැමීමට වගබලා ගැනීමය.

රටේ අනාගතය

රට ජාතිය වෙනුවෙන් තීරණ ගැනීමට හඬ නගන අරගල කරන නව සහශ්‍රයේ තරුණ කැළ ඉහත සදහන් විෂම චක්‍රයෙන් මිදීම සදහා විකල්ප වැඩ පිළිවෙල සොය ගැනීමට බුද්ධිමය සංවාදයකට මුල පිරීම ප්‍රමුඛතාවක් කරගැනීම, ක්‍රමවේදය වෙනස් කරවීමේ පිඹුරු පත වනු ඇත. ඒ සදහා පහත සදහන් කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වනු ඇතැයි මා විශ්වාස කරමි.

· දේශීයව නිපදවෙන අත්‍යවශ්‍ය පරිභෝගික ද්‍රව්‍ය කාර්යක්ෂමව බෙදාහැරීම තුළින් අතරමැදියන් අවම කර නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා ශක්තිමත් කිරීම ජීවන වියදම පහත හෙලීමට උපකාරයක් කරගත හැක.

· අපනයන වෙළදපළ ඉලක්ක කර ගනිමින් කරන නිෂ්පාදනය සදහා දෙන පහසුකම් දේශීය වෙළදපළ සදහා වන නිෂ්පාදනයන්ට ලබාදීම.

· සංවර්ධන කටයුතුවලට අවශ්‍ය මුල්‍ය සම්පත් දේශීයව එක් රැස් කරනු වස් සියලුම නාස්තිකාර වියහියදම් නැවත්වීම.

· දේශීය වෙළදපොළ කටයුතු වේගවත් කරනු වස් අදායම් සහ ඉඩම් ඇතුළු සම්පත් විෂමතාවලින් තොරව බෙදාහැරීම. බඳු නොගෙවන අයට බඳු සහන දීම නවතා සියළුම පුරවැසියන්ට සිය ආදායමට සරිලන බඳු ගෙවීමට උනන්දු කරවීම.

· උපායික ආර්ථික සැලසුම් සහ තීරණ වෙළදපළ බලවේගවලට සීමානොකොට සමාජීය අවශ්‍යතාවයන්ට සරිලනසේ ප්‍රජාතන්ත්‍රවාදිව ක්‍රියාත්මක කිරීම.

· පුද්ගලික සහ රාජ්‍ය අංශයන් නිරන්තරයෙන්ම සිවිල් සමාජයේ අධීක්ෂණයට ලක්කිරීම පෞද්ගලික සහ රජයේ ව්‍යාපාරවල නාස්තිය දුෂණය අවම කරමින් පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට භාණ්ඩ සහ සේවා සැපයීම. රජයේ ආයතන නිර්දේෂපාලනීයකරණය කර එකී ආයතන කලමාණාකරනය කිරීමට විෂයානු බද්ධ දැනුමක් සහ විෂය ක්ෂේතුයේ අත්දැකීම් ඇති ප්‍රවීණයන්ට පැවරීම.

ඉහත සදහන් වැඩ පිළිවෙල තුලින් සමාජීය අවශ්‍යතාවයන් මෙහෙයවන ශක්තිමත් දේශීය ආර්ථිකයක් බිහි කිරීමට උත්සහ කළ යුතුව ඇත. මෙය බහුජාතික ප්‍රජාවේ මුලිකත්වයෙන් දැනට ක්‍රියාත්මකවන ජනප්‍රිය වෙළද සංස්කෘතිය මත පදනම් වූ විවෘත අර්ථ ක්‍රමයේ අවශ්‍යතාවයන් අනුව මෙහෙයවන සමාජ ක්‍රමයට කදිම විකල්පයක් වනු ඇත.

ජය ශ්‍රී ප්‍රියලාල්