සිරෛයිල් ඉරුන්දු සිංගල සහෝදරනක්කු, දෙමළ බසින් පළවී ඇති කවි පොතේ සිංහල තේරුම කියන්න ට ඇය උත්සහ ගත්තාය. ‘හිරගෙයි සිට සිංහල සහෝදරයන්ට’. ‘මේක ලිව්වේ මගේ පුතා හිරගෙදර ඉන්නකොට, 2017 දී…’ මෙසේ කියන්නේ කිලිනොච්චියේ පදිංචි සෙල්ලයියා පවලවල්ලි අම්මා, අගේ පුතා 2017 හිරගෙදර සිට රචනා කළ කවි පොත ද අතැතිවය.

අගේ පුතා වන සදීෂ් කුමාර් වසර 15කට ආසන්න කාලයක් කොළඹ, මැගසින් බන්ධනාගාරයේ සිරගත කර සිටියි.

“මගේ පුතා අත්අඩංගුවට ගත්තේ 2008 ජනවාරි 08 වෙනිදා. පුතා අත්අඩංගුවට ගත්තේ ත්‍රස්තවාදී පනතින්(ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත). දැන් අවුරුදු 15ක් වෙනවා. තාමත් අපිට සාධාරණයක් ඉෂ්ට උනේ නෑ. වව්නියාව අධිකරණයෙන් පුතා, වරදකරු කරලා ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලැබුණා. ඊට පස්සේ අපි ඇපිල් කරා. ඒ අධිකරණයෙනුත් ඒ තීන්දුවම දුන්නා. දැන් අපි ඒක ඇපිල් කරලා තියනවා, කොළඹ සුප්‍රිම් කෝට් එකේ.”

පවලවල්ලි අම්මා පවසයි.

“මම ඉල්ලන්නේ එක දෙයයි, දැන් අවුරුදු 16කට කිට්ටු වෙන්න එනවා. මගේ පුතා නිදහස් කරලා දෙන්න”

දේශපාලන සිරකරුවෙක් වන සදීෂ් මේ වන විට හිරගෙදර සිටම කවි සහ කෙටිකතා පොත් 4ක් රචනා කර පළ කර ඇත.

* ඉරුම්බුක් කදවුක්කුල්ලිරුන්දු (යකඩ දොරක් තුළ හිඳ) (කවි-2012)
* විඩියලෛ තේඩුම් ඉරවුහල් (අලුයම සොයන රාත්‍රීන්) – කවි 2016
* සිරෛයිල් ඉරුන්දු සිංගල සහෝදරනක්කු ( සිරගෙයි සිට සිංහල සහෝදරත්වයට) – කවි- 2017
* වේප්ප මරමුම් පවලම් ආච්චියුම් -(කොහොඹ ගහ සහ පවලම් ආච්චි ) කෙටිකතා යනු ඒ කෘති හතරයි.

ඇගේ පුතා වන සදීෂ් අත්අඩංගුවට ගනු ලැබූවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින්ය. එසේම වසර ගණනාවක් මේ මර්දන පනත යොදා ගනිමින් දෙමළ ජනයා විශාල වශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන බව රහසක් නොවේ. එසේ අත්අඩංගුවට ගන්නා ලද පිරිස තවමත් හිරගෙවල්වල දුක්විදිති. යුද්ධය අවසන්ව වසර 13ක් ගෙවී යන වර්තමානයේ ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් මිනිසුන් අත්අඩංගුවට ගනිමින් තිබේ. සදීෂ්ගේ අම්මා, පවලවල්ලි අම්මා ඒ ගැන සියුම් අදහසක් පවසන්නේ මෙළෙසිනි.

“මේ ත්‍රස්තවාදී පනතින් අත්අඩංගුවට ගන්න එක කොච්චර සාධාරණද කියලා අපි දන්නේ නෑ. පොඩි වැරැද්දකට උනත් දැන් ත්‍රස්තවාදී පනතින් අල්ලලා හිරේ දානවා. ඒවා අසාධාරණයි කියලා මට හිතෙනවා.”

මම ඉල්ලන්නේ එක දෙයයි. ජනාධිපතිතුමන්ගෙන්, උසාවියෙන් අපි ඉල්ලන්නේ ඒ අවසාන කාලයටවත් තමන්ගේ දරුවන් එක්ක ජීවත් වෙන්න, මගේ පුතාව නිදහස් කරලා දෙන්න කියලා

සෙල්ලයියා පවලවල්ලි අම්මා ජීවත් උනේ කුරුණෑගල ප්‍රදේශයේ. 1983 කළු ජූලියෙන් පසුව ඇය සිය දරුවන් ඇතුල සිය පවුල සමග කිළිනොච්චියේ පදිංචියට එනවා. “කුරුණෑගල අපේ ගමේ තිබුණේ, දෙමළ ගෙවල් එකයි. ඒ කළබල කාලේ අපේ ගෙදර දෙපාරක්ම පිච්චුවා. ඊට පස්සේ තමයි අපි කිළිනොච්චියට ආවේ.” “ඒ දවස්වල අපි කිළිනොච්චියේ සංතෝසෙන් ජීවත් උනා” වසර ගණනාවක අතීත මතකය ඇය මතක් කරනුයේ සංතෝෂයෙන් වුවත්, අද ඈ දිවි ගෙවන්නේ වසර 15ක් සිර බත් කන සිය පුතු නිදහස් කර ගැනීමේ ගැඹුරු බලාපොරොත්තුවකින් යුතුවය.

“පුතාගේ අවසාන කාලේවත් එයාගේ දරුවන් එක්ක ජීවත් වෙන්න , පුතාව නිදහස් කරලා දෙන්න” ඇය ඉල්ලා සිටියා ය.

(පහත පළවන්නේ වසර 15ක් සිරගත කර සිටින සදීෂ් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටින සෙල්ලයියා පවල්වල්ලී අම්මා වුවත්, මෙය පශ්චාත් යුද ශ්‍රී ලංකාව තුළ වසර ගණනාවක් පුරා දෙමළ ජනයා මුහුණ දෙමින් ඇති කටුක යතාර්තය යි.)