iMage: VIKALPA.ORG

අද, නොවැම්බර් 08. මට මගේ තාත්තා අහිමි කළ දවස.

1988 නොවැම්බර් 08 මගේ තාත්තා ජනතා විමුක්ති පෙරමුණ විසින් මරා දමනවා.

මම තාත්තා නැතිවෙච්ච එක ගැන, තාත්තාව මරා දැමූ විදිය ගැන මට පුළුවන් විදිහට ලිවීම මම හැම අවුරුද්දකම කරනවා. ඒ මරා දැමුවන් ගැන වගකීම ගන්න කියලා මට හැකි විදියට මම හැමදාම ජනතා විමුක්ති පෙරමුණට අභියෝග කරමින් තමයි ලිව්වේ. මම හැඟීම්බරව ප්‍රතිචාර දක්වනවා යැයි මගේ යාලුවන් කියද්දිත් මම ඒ කතාව හැමදාම කිව්වා; ලිව්වා.

තාත්තෙක් ගැන දරුවෙක් හැඟීම්බර වීම දේශපාලනික වරදක්ද?

මම ඒක කළේ ඇයි කියලා මම දන්නවා. යුක්තිය ඉල්ලලා සටන් කළ බව කියන අයටවත් යුක්තිය ගැන හැඟීමක් නැහැ කියන එකයි මම හැමදාම තාත්තා ගැන ලියපු කතාවලින් මතක් කළේ. ඒත් අපට ලංකා සමාජය තුළින් යුක්තිය කියලා කියන්න හැකි කිසිම දෙයක් පෙරළා ලැබිලා නැහැ. ඒක ලැබෙයි කියලා මට කිසිම බලාපොරොත්තුවකුත් නැහැ.

අද ජනතා විමුක්ති පෙරමුණ, දේශපාලන වේදිකා මත ‘ජීවත්වීමේ අයිතිය’ ගැන කතා කරනවා. වෙනස් ලංකාවක් හදන්නෙ කොහොමද කියලා කතා කරනවා. ජවිපේ විතරක් නෙවෙයි, ජීවත්වීමේ අයිතිය පැහැරගත් හැම පක්ෂයක්ම වේදිකාවල ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කිරීමේ වැදගත්කම ගැන කතා කරනවා.

නමුත්, ඒ අයිතිය මගේ තාත්තාට නොලැබුණ අයිතියක්. අපිට ළමාවිය අහිමි වුණෙත් ඒ නිසායි. ඉතාම යෞවන වයසේදිම වාමාංශික දේශපාලනය තෝරාගත් මගේ තාත්තා මරා දමමින්, අපේ ළමා කාලය මටත් – අක්කාටත් අහිමි කළේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය විසිනුයි. ලංකාව භාරගන්න අපි ලෑස්තියි කියලා ජවිපෙ නායකයෝ කියනකොට මට මතක්වෙන්නෙ ඒ ළමා විය.

‘අතීතය ගැන නෙවෙයි, වර්තමාන භාවිතාවයි වැදගත්’ කියලා ජවිපෙට හිතවත් අය කියනකොට මම විරුද්ධ වෙන්නෙ අතීතය නොවැදගත් සමාජයක වර්තමානය කියන්නෙ භයානක හීනයක් නිසායි.

ජවිපෙ විතරක් නෙවෙයි, ජයවර්ධනගෙත්, ප්‍රේමදාසගෙත් ආණ්ඩුවල මුල් පෙළේ වගකීම් දරපු රනිල් වික්‍රමසිංහ ‘අතීතය වැඩක් නැහැ, අනාගතය ගැන කතා කරමු’ කියලා කියනකොට පෙන්නුම් කරන්නෙ දකුණෙත් – උතුරෙත් මරා දැමුණු පරම්පරාවන් කසළ ගොඩවල් වගේ මතකයෙන් අතුගාලා දාන්න තියෙන උවමනාවයි. මම වගේ අයට නම් අතීතය කියන්නේ අපිට අහිමි කළ සම්පූර්ණ අනාගතයයි.

තාත්තා ගැන මගේ කතාව පෞද්ගලික වේදනාවකින් හැම අවුරුද්දකම ලියැවෙන හැඟීම්බර හෑල්ලක් නෙවෙයි. ඒක ලංකාවේ ඉතිහාසයේ කුඩා පංගුවක්. ඒ කාලේ ගම්වලින් – නගරවලින් පැහැරගෙන ගිහින් පාරවල් අයිනේ පුලුස්සලා මරා දැමුණු හැම තරුණ ජීවිතයකම කතාව පුද්ගලික ඛේදවාචක නෙවෙයි. ලංකාවේ ඉතිහාසය ගැන දැන් ඉන්න පරම්පරාවලට ඉගෙන ගන්න තියෙන ඉතිහාස පාඩම්. මගේ තාත්තාගේ ජීවිතය සහ මරණය අයිති වෙන්නෙත් ඒ අඳුරු ඉතිහාසයට.

රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර, ගෝඨාභය හෝ සජිත් කියන්නේ අපිට අනාගතය වෙනුවෙන් තෝරාගන්න තියෙන විකල්ප හතර කියන්නෙම අපේ ඇත්ත අසරණභාවය ගැන සාක්ෂියක් කියලා මම හිතන්නෙ ඒ නිසායි. ඊට වඩා යමක් මම ලියන්නේ නැහැ.

තාත්තා ගැන හැමදාම මම ලියපු නිසා, වසන්ත දිසානායකයන් මගේ තාත්තා ගැන ලියපු සටහනක් මේ සමග පළ කරනවා.

මම නන්දෙගෙ දුව
රුවන්දි සිල්වා

——————————————————————————————————————–

අපගේ සදාදරණීය සගයෙකු වූ නන්දසේන සිල්වා සොයුරා අප සැමගෙන් කුරිරු ලෙස වියෝ කරනු ලැබ 2022 නොවැම්බර් 8 දිනට වසර 34 ක් සපිරේ.

සටන්කාමී වාම දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ ඔහුට නිශ්චිත දේශපාලන පක්ෂයක් නොවීය. අසාධාරණය කොතැන ද, තැන නොතැන නොබලා ඊට එරෙහිව මැදිහත් වීම ඔහුගේ නෛසර්ගික ගුණයක් විය. ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිරීමට ඔහු මොහොතක් හෝ ප්‍රමාද නොවී ය. මෙහිදී එක් සිද්ධියක් සිහිපත් කිරීමට මම කැමැත්තෙමි. ඒ ලෝකය හමුවේ සිංහල ජනතාවගේ ප්‍රතිරූපය හා ගරුත්වය මුළුමනින්ම කෙලෙසා දමමින් එවක යූඇන්පී ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය හා ආශීර්වාදය ඇතිව සිංහල වර්ගවාදීන් දමිළ ජනයාට එරෙහිව මුදා හල කුප්‍රකට ජූලි ක්‍රියාන්විතයේ දී වින්දිතයින් වෙනුවෙන් නන්දේ කළ මැදිහත් වීම යි. ඔහු එහිදී දරුණු විපතකට අභිමුඛව බියෙන් ඇලලී සිටි දමිළ වැසියන් සැලකිය යුතු පිරිසකට සිය නිවහනෙහි රැකවරණය ලබා දුන්නේ සිය ජීවිතයම පරදුවට තබමිනි.

වෘත්තීයමය වශයෙන් සිවිල් ඉංජිනේරු වෘත්තිකයකු වූ ඔහු ඔහුගේ වෘත්තියෙන් ද ඔහු විටින්විට ආරම්භ කළ විවිධ ආර්ථික ව්‍යාපාරවලින් ද යමක් ඉපයී ද ඉන් වැඩි පංගුවක් කැප කළේ ඔහුගේ පවුල හා ඥාතීන් වෙනුවෙන් නොව මිතුරන් විශේෂයෙන් ම දේශපාලන මිතුරන් නඩත්තු කිරීම වෙනුවෙනි. පූර්ණ කාලීන දේශපාලන ක්‍රියාකාරිකයෙකු වශයෙන්, මා නඩත්තු කිරීමට ද නන්දේ ජීවිතයේ අවසානය තෙක් ම තවත් සොහොයුරන් සමග සැලකිය යුතු දායකත්වයක් සැපයූ බව සඳහන් කරන්නේ ඔහුට කරන සහෝදරාත්මක ගෞරවය පුද කිරීමක් වශයෙනි.

වැරැද්ද දුටු තැන මොන තරම් සමීපතම වුවත් කිසිවෙකුට ඔහුගේ තියුණු විවේචනයට හසු නොවී සිටිය නොහැකි විය. විශේෂයෙන් දේශපාලනයේදී මෙය ඉතාමත් තියුණු විය. මීට 34 වසරකට පෙර 1988 නොවැම්බර් මස 8 දින ඒ බිහිසුණු රාත්‍රියේ ඔහුට අකාලයේ සිය ජීවිතයට සමු දෙන්නට සිදු වූ එක් හේතුවක් වූයේ ජවිපෙ දේශපාලනයේ ඔහු අවංකවම දුටු වැරදි ප්‍රසිද්ධියේම විවේචනය කිරීම ය. (මෙහිදී මගේ බාල සහෝදරයෙකු වූ මොරටුව විශ්ව විද්‍යාලයේ NDT ශිෂ්‍ය ජයවර්ධන දිසානායක හා තවත් දෙදෙනෙකුට ද නන්දේ සමග කුරිරු මරණයක ගොදුරු බවට පත් වන්නට සිදු විය.) අද මෙන් නොව එදා ජවිපෙ දේශපාලන වැරදි සම්බන්ධයෙන් විවේචනාත්මක වීම ද ජීවිතයෙන් වන්දි ගෙවිය යුතු මරණීය වැරැද්දක් බවට පත්ව තිබුණි. (හෙට කෙසේ වේ දැයි තිර කොට කියන්නට බැරිය ) එදා අපිදු (ජනතා සංගමය ) ජවිපෙ කුප්‍රකට කැන්ගරු උසාවිය මගින් “සමූල ඝාතනීය මරණ දණ්ඩනයට” නියම කරනු ලැබූවන්ව සිටියෙමු. නන්දේ කිසිදාක ජනතා සංගමයේ සාමාජිකයෙකුව සිටියේ නැත. එහෙත් අන් කිසිදු දේශපාලන සංවිධානයකට වඩා ජනතා සංගමයට ආදරය කළේ ය. එක් අතකින් යූඇන්පී ආණ්ඩුව ද අනෙක් අතින් ජවිපෙ ද එකිනෙක පරයන සීඝ්‍රතාවයකින් භීෂණය දියත් කර තිබූ සමයක අපේ සාකච්ඡා පැවති මධ්‍යස්ථානය වූයේ ඇල්ල වැල්ලවාය පාරේ “ගස් මුදුන්” නමින් වූ නන්දේගේ ගොවිපොළ නිවහනයි. ක්‍රියාකාරී මිනිසෙකු (Man of Action) වූ ඔහුගේ ප්‍රධාන වැරැද්ද වූයේ මට අනුව සංවිධානමය වශයෙන් අරාජිකවාදියෙකු වීම යි. එසේ නොවූයේ නම් ඇතැම් විට නන්දේ අද ද අප අතර සිටිමින් ජන අරගලයේ ක්‍රියාකාරී පෙරමුණු සටන්කරුවකු වීමට ඉඩ තිබිණ.

ආදරණීය නන්දේ සොහොයුරාණෙනි, ඔබට මාගේ විප්ලවීය ආචාරය!

වසන්ත දිසානායක