iMage: Vikalpa

මිග් යානා ගණු දෙණුවේ අක්‍රමිකතා හෙළිකළ සන්ඩේ ලීඩර් පුවත්පතේ කතුවරයා වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය වූයේ මෙරට මාධ්‍ය නිදහසට මරු පහරක් එල්ල කරමිනි. එම ඝාතනයේ චෝදනාව එල්ල වූයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ දෙසටය. එහෙත්, එම ඝාතනයට අදාලව යුක්තිය ඉටු නොකිරීම නිසා නෙදර්ලන්තයේ හේග් නුවර පැවැති මහජන විනිශ්චය සභාව වෙත එම නඩුව ඉදිරිපත් වී තිබුණි. වසරකට ආසන්න කාලයක් මාධ්‍යවේදීන්, ඥාතීන් සහ විද්වතුන් ඇතුළු පනස් දෙනෙකුගෙන් පමණ සාක්ෂි විමසමින්, ''ශ්‍රී ලංකාව සාපරාධි වරදක් කර ඇතැයි පවසමින් හේග් මහජන විනිශ්චය සභාව 2022 සැප්තැම්බර් 19 දා දුන් තීන්දුව ශ්‍රී ලංකාවට පහසුවෙන් බැහැර කළ නොහැකි එකකි. එය සැලකිල්ලට ගතහොත්, ඝාතනයට සෘජුව හා වක්‍රව සම්බන්ධ වුවන්ට අහිතකර බලපෑම් බොහෝමයකට මුහුණ පෑමට සිදුවනු ඇත. මාධ්‍යවේදින්ගේ ප්‍රකාශණයේ නිදහස හා ජීවත්වීමේ අයිතිය අහිමි කිරීමත්, ඔවුන්ට යුක්තිය ඉටු නොකිරීමත් හේතුවෙන් රටක් ලෙස ශ්‍රී ලංකාවට අහිතකර බලපෑම්වලට ඉදිරියේ දී මුහුණ පෑමට සිදුවනු ඇත.

සිය පියාගේ ඝාතනය සම්බන්ධව හේග් විනිශ්චය සභාව ලබාදුන් තීන්දුව තමාට නව ජවයක් හා බලාපොරොත්තුවක් ලබා දුන්නේ යැයි ලසන්තගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග පැවැසුවාය. මෙරට මාධ්‍යවේදීන්ට සිදුකළ අපරාධවලට වගකිව යුතු අයට එරෙහිව තමන් දිගටම පෙනී සිටින බවත් සිය පියාගේ ඝාතනයට අදාලව ලැබී ඇති දුරකතන සංඥා තොරතුරු විශ්ලේෂණය කළ විශේෂඥ වාර්තාවක් හා මහජන විනිශ්චය සභාව සඳහා රැස් කළ සාක්ෂි එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යොමු කරන බව ඇය තවදුරටත් කියා සිටියාය.

ශ්‍රී ලංකාව වරදකරු කළ හේග් විනිශ්චය

හේග් විනිශ්චය සභාව සිය තීන්දුවෙන් අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකා රජය ලසන්ත වික්‍රමතුංගගේ මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝණය කර ඇති බවය. ජීවත්වීමේ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, දේශපාලන මතය මත පදනම්ව වෙනස් කොට සැලකීමෙන් නිදහස් වීමට ඇති අයිතිය රජය විසින් උල්ලංඝනය කර ඇතැයි විනිසුරු එඩුවාඩෝ බර්ටෝනි ප්‍රකාශ කර තිබුණි. එම නඩුව සම්බන්ධව විනිසුරු මාර්ටිනා ෆෝටි අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රකට මාධ්‍යවේදියෙකුට එල්ල වු නින්දිත ප්‍රහාරය පෙන්නුම් කරනුයේ ශ්‍රී ලංකාවේ ස්වාධීන අදහස් ඇති මාධ්‍යවේදීන් එදා මෙන්ම අදත් අදහස් ප්‍රකාශ කිරීමේ දී විශාල ගැටලුවලට මුහුණ දෙමින් සිටින බවය.

මෙම මහජන විනිශ්චය සභාව හරහා කිසිවකු වරදකරුවකු කිරීමට නීතිමය බලයක් නොමැති වුව ද අධිකරණය දැනුම්වත් කිරීම, රජයන්ට බලපෑම් කිරීම හා සාක්ෂි රැස් කිරීම සිදුකරමින් වඩාත් ආන්දෝලනාත්මක සිදුවීම් සම්බන්ධයෙන් මැදිහත්වීම් සිදුකළ හැකිය. 2009 වසරේ ජනවාරි 08 වැනිදා අත්තිඩිය මලගල කනිෂ්ඨ විදුහල අසලදී ‘ගව ඝාතක අවි’ යොදා ගනිමින් ඝාතනය කළා යැයි පැවසෙන ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය පිළිබඳ නඩුව 2021 නොවැම්බර් 02 වනදා හේග්හි මාධ්‍යවේදී ඝාතනයන් පිළිබඳ නිත්‍ය මහජන අධිකරණය විසින් විභාගයට ගනු ලැබීම ඒ අනුව ඉතා වැදගත් පියවරකි.

ඝාතකයන් පැමිණියේ ට්‍රිපොලි කඳවුරෙන්ද?

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරය හෙබ වූ ගෝඨාභයට, මහින්ද රාජපක්ෂ පාලනය තුළ විශාල බලයක් හිමිව තිබූ බව නොරහසකි. එම වකවානුවේ දී සිදු වූ මෙම ඝාතනය පිළිබඳව විමර්ශන කටයුතු නොමග යැවීමට අවස්ථා කිහිපයකදී ම අදිසි හස්තයක් කටයුතු කළ බව පෙනී ගිය කරුණකි. එහෙත් විමර්ශන කටයුතු විවිධ බාධා මැද සිදුවෙමින් පැවැතිණි. අනාවරණය කරගත් තොරතුරු අනුව ට්‍රිපොලි කඳවුරේ බුද්ධි නිලධාරින් කණ්ඩායමක් හා ඝාතනය අතර පැහැදිලි සබඳකම් හෙළිවුණි.

ඝාතකයන් ලෙස චුදිතයන් නම් කිරීමක් සිදු නොවුණ ද ඝාතනයට අදාලව බී 92/9 යටතේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ නඩුවක් ගොණු කෙරිණි. මෙසේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවැති ලසන්ත ඝාතනයේ විමර්ශන කටයුතු 2010 වසරේ දී ත්‍රස්ත විමර්ශන අංශයට පැවරිණි. ලසන්තගේ ඝාතනය ‘කොටින්’ කළ එකක් බව හැඟවීමට ඝාතකයෝ උත්සාහයන් රැසක් දරා තිබුණි. ඒ උත්සාහයන් තුළ ‘අහිංසකයන්’ කිහිප දෙනෙක් ම අකාලයේ මිය ගියෝය. කෙසේ වෙතත් මේ කිසිවකින් සත්‍ය යටපත් කළ නොහැකි වුයේ ත්‍රස්ත විමර්ශන අංශය ලසන්ත ඝාතනයට අදාලව ඒ අවට භාවිත වූ දුරකතන අංක කිහිපයක් පිළිබඳ විමර්ශන සිදුකර එම අංකවල හිමිකරු අත්අඩංගුවට ගැනීම හේතුවෙනි. ගරාජයක සේවය කළ, නුවරඑළියේ පදිංචිකරුවෙකු වු සැකකරු ලබාදුන් ප්‍රකාශ අනුව සිදුකළ විමර්ශනවලදී ට්‍රිපොලි කඳවුරට අනුයුක්තව සිටි හමුදා බුද්ධි නිලධාරියකු අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත විමර්ශන ඒකකය කටයුතු කළ ද පසුව ඔහු ද නීතිපති උපදෙස් මත මුදාහැරිණි.

ඝාතනයේ චෝදනාව හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට ද එල්ල වු නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළේ ගෝඨාභය මෙහෙය වූ ඝාතක කල්ලි පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දුන් බව පවසමිනි.

ලසන්ත ඝාතනයේ විමර්ශන විවිධ දිසාවන්ට දෝලනය වෙමින් තිබියදී මහින්දගේ ආණ්ඩුව පෙරලී මෛත්‍රී-රනිල් ආණ්ඩුව බලයට පැමිණියේය. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරමින් යුක්තිය ඉටු කරන ‘යහපාලනයක්’ ඇති කරන බවට පොරොන්දු දෙමින් බලයට පැමිණි මෛත්‍රී-රනිල් ආණ්ඩුව ලසන්ත‍ගේ ඝාතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යළි පවරනු ලැබීය. ඒ අනුව විමර්ශන ඇරඹූ රහස් පොලිසිය අධිකරණ නියෝගයක් ගෙන 2016 වසරේ දී ලසන්තගේ දේහය යළි ගොඩ ගනු ලැබීය. ඒ මරණ පරීක්ෂණ වාර්තාව තුළ වෙඩි වැදීමකින් මියගිය බව සටහන්ව තිබීමත් ලසන්තගේ ශල්‍ය කර්මය සිදුකළ වෛද්‍යවරයාගේ හා රස පරීක්ෂක වාර්තාවෙහි වෙඩි වැදීමක සළකුණු නොතිබිණැයි සඳහන් වීමත් හේතුවෙනි.

දේහය ගොඩගැනීමෙන් පසු සිදුකළ දෙවැනි පශ්චාත් මරණ පරික්ෂණයේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට විමර්ශන නිලධාරින් කටයුතු කර තිබුණි. හිසට සිදුකළ ඇනීමකින් මරණය සිදුව ඇති බවත්, එය වෙඩි තැබීමකින් සිදුවූවක් නොවන බවත් නිගමනය වී තිබුණි. මේ තත්ත්වය තුළ ලසන්තට යුක්තිය ඉටු කිරීමේ
වුවමනාවක් දේශපාලන අධිෂ්ඨානයක් ඇති බව පෙන් වූ යහපාලන ආණ්ඩුවේ ප්‍රධානියා ද පසුව එයින් දුරස්ථ ප්‍රතිපත්තියකට යෑම නිසා යුක්තිය කරා යන ගමන අතර මග නතර විය.

සාක්ෂි වසන් කිරීමට බලපෑම් කලේ ගෝඨා ද?

විමර්ශන නිලධාරින් විසින් ගල්කිස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති සුගතපාල පළමුව අත්අඩංගුවට ගත්තේය. නඩු භාණ්ඩයක් ලෙස පී.ආර් 154/09 යටතේ ඇතුලත් කල වඩා වැදගත්ම සාක්ෂිය වූ ලසන්තගේ ක්ෂේත්‍ර සටහන් පොත අස්ථානගත කිරීමත් ඝාතනයෙන් පසු ගල්කිස්ස පොලිසියේ බල අපරාධ තොරතුරු සටහන් පොතෙහි ඒ සම්බන්ධව යෙදු සටහන් සහිත පිටු දෙකක් ඉරා දමා අලුතින් සටහන් යොදා සාක්ෂි වසන් කිරීමට කටයුතු කිරීමත් හේතුවෙනි. නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාරගේ උපදෙස් මත බල අපරාධ පොතෙහි පිටු ඉරා දැමීම හා ලසන්තගේ ක්ෂේත්‍ර සටහන් පොත අස්ථානගත කිරීම පිළිබඳව තොරතුරු හෙළිවීමත් එකී ලේඛණවල ඡායා පිටපත් සුගතපාලගේ නිවසේ තිබි සොයා ගැනීමත් නිසා ප්‍රසන්න නානායක්කාර ද පසුව අත් අඩංගුවට ගැණුනි.

ලසන්ත තමා පසුපස හඹා ආ යතුරු පැදි දෙකක අංක ක්ෂේත්‍ර සටහන් පොතෙහි සටහන් කර තිබු අතර මිග් යානා ගණු දෙණුවට අදාල තොරතුරු රැසක් ද එහි තිබු බව කියැවිණි. එම වැදගත් සාක්ෂිය අස්ථානගත කිරීමට පොලිසියේ උසස් නිලධාරීන්ට බලපෑම් කළ ප්‍රබලයා කවුරුන්ද යන්න තවමත් හෙළි නොවු කරුණකි.

ඉන් පෙනී ගියේ මහින්ද රාජපක්ෂ පාලනය තුළ මෙම ඝාතනයට අදාලව ඝාතකයන් හෙළි කිරීමට හෝ යුක්තිය ඉටු කිරීමට කිසිදු ලැදියාවක් අධිෂ්ඨානයක් නොතිබු බවයි. එසේ තිබුණා නම් ඝාතනයේ විමර්ශන සිදුකළ උප පොලිස් පරීක්ෂක සුගතපාලට ලසන්තගේ ක්ෂේත්‍ර සටහන් පොත හා බල අපරාධ පොතෙහි සටහන් යෙදු පිටු ඉවත් කරන්නැයි කියා නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර බලපෑම් කරන්නට ඉඩ නොතිබිණි. එසේ නම් මෙවන් බලපෑම් සිදු කිරීමට අණ දුන් ඉහළ හස්තය කවුරුන්ද? යන්න ඔවුන්ගෙන් ප්‍රශ්න කර හෙළිදරව් කරගත යුතුව තිබුණි. නමුත් එසේ සිදු නොවීමත් එසේ සිදුකරන ලෙසට උපදෙස් නොදීමත් හේතුවෙන් ද මිග් යානා නඩුවට අදාලව එක් පාර්ශවයක ගෝඨාභය සිටිම නිසාත් ඔහු දෙසට එල්ලවන චෝදනාව කිසිවකුටත් ලෙහෙසියෙන් බැහැර කළ නොහැකිය.

කෙසේ වෙතත් මිග් යානා මිලයට ගැනීමේ දී සිදුවු අක්‍රමිකතාවක් පිළිබඳව කළ හෙළිදරව්වකට අදාලව සිය පියා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම, අනුබල දීම හෝ සහය දීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නියෝග දීමේ වගකීමෙන් බැ‍දෙන බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව ඇමරිකාවේ සිවිල් නඩුවක් පැවරීමට අහිම්සා කටයුතු කළ ද, විදේශීය රාජ්‍ය නිලධාරියකුට හිමි විනිර්මුක්තිය තමන්ට හිමිවිය යුතු යැයි පවසමින් ඉන් ගැලවීමට ගෝඨාභය එදා කටයුතු කළේ ද වක්‍රව ලසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් තමන්ට වගකීමක් ඇති බව පෙන්වමින් බව බොහෝ දෙනාගේ අවධානයට ලක් විය.

ඝාතකයන් නම් නොකළ නඩුවක්

කෙසේ වෙතත් මෙම ඝාතනයට සෘජුව සම්බන්ධ බවට කිසිවකුත් විත්තිකරුන් ලෙස තවම නම් කර නැත. සාක්ෂි වසන් කිරීම හා සාක්ෂිවලට බලපෑම් කිරීම සම්බන්ධයෙන් යුධ හමුදාවේ හා පොලිසියේ තිදෙනෙකු සැකකරුවන් ලෙස නම් කර සිටිති. විමර්ශනවලට අදාලව 950 දෙනෙකු ගෙන් පමණ ප්‍රකාශ සටහන් කර
ගෙන තිබේ. නමුත් ඝාතනයට අදාල වරදකරුවන් අල්ලා ගැනීම අපහසුවී ඇත්තේ බොහෝ සාක්ෂි හිතාමතා විනාශ කර තිබීම හේතුවෙනි.

“මේ ඝාතනය පිටුපස ඉන්නේ කවුරුන්ද කියලා හෙළි කිරීමට කිසිවකුත් කැමති නෑ, ඔවුන්ට යුක්තිය ඉටු කරන්න දේශපාලනමය වශයෙන් කිසිවකුට උවමනාවක් නෑ.. සරත් ෆොන්සේකා මේ ගැන යමක් දන්නවා කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා.” යැයි ලසන්තගේ සොහොයුරු ලාල් වික්‍රමතුංග පවසන්නේ සිය සොයුරාගේ ඝාතනයට අදාලව යුක්තිය ඉටු නොවුණු පසුබිමකය.

ඝාතනය පිළිබඳව විමර්ශන සිදුකළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා හේග් විනිශ්චය සභාවේ සාක්ෂි දෙමින් පවසා සිටියේ ඝාතනය පිටුපස සෘජුවම ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය සිටින බවයි. දූෂිත මිග් යානා ගනු දෙනුව පිළිබඳව හෙළි කිරීම නිසා ආරක්ෂක ලේකම්වරයාට පැහැදිලිවම ලසන්ත ඝාතනය සඳහා උවමනාවක් තිබුණු බව ඉන් කියැවිණි.

“මෙම ඝාතනය මෙහෙය වූ අය හමුදා බුද්ධි අංශ සමග දිගටම සන්නිවේදන කටයුතු කර තිබෙනවා. මහජන විනිශ්චය සභාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුක්තිය සහ වගවීමේ මධ්‍යස්ථානය වැනි සංවිධානවල සහය ඇතිව හැකි සෑම තැනකදිම යුක්තිය ඉටු කර ගැනීමට දිගටම කටයුතු කරනවා. යුක්තිය ඉටු කිරීමට ශ්‍රී ලංකාව ක්‍රියා කිරීමට අසමත් වීමත් සමග මගේ බලාපොරොත්තුව වන්නේ මාධ්‍ය නිදහස වෙනුවෙන් කැපවී සිටින විදේශීය රජයන් වරදකරුවන්ට එරෙහිව නඩු පැවරීමට ඔවුන්ගේ නීති හා උසාවි භාවිතා කරාවි යන්නයි” අහිම්සා වැඩිදුරටත් පැවැසුවාය.

රාජපක්ෂ ආණ්ඩුව මෙම ඝාතනය තඹයකට මායිම් නොකළ අතර, ඒ සඳහා දේශපාලන අධිෂ්ඨානයක් පෙන් වූ යහපාලන ආණ්ඩුව ද එය නොතකා හැරියේය. ඉන් පසුව එවැනි දේශපාලන අධිෂ්ඨානයක් පෙන්වීමක් දක්නට නොවීය. නඩුවට අදාලව චූදිතයන් නම් කර නැති හෙයින් එය තවදුරටත් ඇල්මැරුණු ස්වභාවයක් ගනී. ඉන් පෙනී යන්නේ ඝාතනය සඳහා යුක්තිය ඉටු කිරීමේ කාර්ය නොසලකා හැර ඇති ශ්‍රී ලංකා රජය ඊට අදාලව කටයුතු කිරීම හා වගවීම හිතාමතාම පැහැර හැර තිබෙන බවකි. මෙවන් තත්වයක් තුළ ශ්‍රී ලංකාව මාධ්‍ය නිදහස හා යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් කොතෙක් දුරට වගවී ඇත්ද යන්න පෙනී යන්නේය. හේග් අධිකරණයේ තීන්දුව ගැන යුක්තිගරුක ආණ්ඩුවක් නම් සලකා බැලිය යුතු අතර එහි සෘජු හෝ වක්‍ර හෝ අපරාධකරුවන්ට එරෙහිව කටයුතු කළයුතු නමුත් ලජ්ජා සහගත නොවන ආණ්ඩුකරණයක් තුළ ලසන්තට මෙරට තුළ යුක්තිය ඉටුවේද යන්න ගැන සැක සංකා ඇතිව සිටින්නට අපට සිදු වී තිබේ.

ලක්මාල් කේ.බදුගේ | Lakmal K. Baduge