එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි (ICRC) සාමාජික රටක් වශයෙන් ළමුන්ගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරිමට ශ්‍රී ලංකාව ද බැදී සිටී. ඒ අනුව අප රටේ සෑම දරුවෙකුටම ජීවත්වීමට, පැවැත්ම සහ සංවර්ධනය සඳහා අයිතිවාසිකමක් ඇත. තවද, මෙම අයිතිවාසිකම් යටතේ දරුවන්ගේ ආහාර සුරක්‍ෂිතතාවය, සෞඛ්‍ය සහ අධ්‍යාපන අයිතීන් තහවුරු කිරීම ද රජයේ වගකීමකි. මෙහිදී විශේෂ අවධානයක් යොමු කළ යුතු කරුණක් වනුයේ කිසිදු හේතුවක් යටතේ ඔවුන්ගේ මෙම අයිතිවාසිකම් කප්පාදු කළ නොහැකි බවයි.

ගුණාත්මක බවින් යුතු ළමාවිය පුද්ගලයෙකුගේ වර්ධනයට ඉමහත් බලපෑමක් ඇති කරන බව පැහැදිලි කරුණකි. දරුවන්ගේ මුලික අවශ්‍යතා වන ආහාර, අධ්‍යාපනය සහ සෞඛ්‍ය පහසුකම් මේ සදහා සෘජු දායකත්වයක් ලබාදේ. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ වත්මන් ආරථික හා දේශපාලන අර්බුධය හේතුවෙන් දරුවන්ගේ මෙම මුලික අවශ්‍යතා සපුරා දීම විශාල අභියෝගයක් බවට පත්ව ඇත. මෙම වත්මන් අර්බුධකාරී තත්ත්වයෙන් දරුවන්ට ඇති වන බලපෑම තවමත් නිශ්චිතව තහවුරු වී නැතත්, ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට අද වන විටත් ප්‍රමාණවත් ආහාර, අධ්‍යපනය සහ සෞඛ්‍ය සඳහා ප්‍රවේශය නොමැත.

ආර්ථික විශේෂඥයන්ට අනුව ශ්‍රී ලංකාව තුළ පවතින මෙම තත්වය තවදුරටත් අයහපත් අතට හැරීමට බොහෝ ඉඩකඩ ඇත. මෙහිදී වඩාත් අවදානමට ලක්විය හැකි කණ්ඩායම වන්නේ අපගේ දරුවන්ය. මෙය ඉතාමත් කණගාටුදායක තත්වයකි. එබැවින්, ශ්‍රී ලංකාවේ පවතින අර්බුදය විසඳීමට උත්සාහ කිරීමේ දී දරුවන්ගේ ආහාර සුරක්‍ෂිතතාවයට, සෞඛ්‍ය සහ අධ්‍යාපනයට ඇති අයිතිය තහවුරු කිරීම සඳහා රජය ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව අවධාරණය කළ යුතුය.

අතීතයේ දී ශ්‍රී ලංකාව දරුවන්ගේ පෝෂණ තත්ත්වය යහපත් අයුරින් පවත්වාගෙන යාම ඇතුළු ධණාත්මක මානව සංවර්ධන දර්ශක සඳහා ප්‍රසිද්ධියට පත් විය. නමුත් අද වන විට එකී යහපත් මානව දර්ශකයන් එම අයුරින්ම පාලනය කිරීම අපහසු වී ඇත. රට තුළ උද්ධමනය 95% කට ආසන්න වූ විට ශ්‍රී ලංකාවේ ආහාර මිල වාර්තාගත මට්ටමක් කරා ළඟා විය. එහි ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාවේ ළමුන්ගෙන් අඩකට වැඩි පිරිසකට තමන් කැමති ආහාර නොගෙන සිටීමට හෝ අඩු කිරීමට, ආහාර ගන්නා ප්‍රමාණය සහ ආහාර ගන්නා වාර ගණන අඩු කිරීමට සිදු වී ඇත. එපමණක් නොව බොහෝ දරුවන්ට තමන්ගේ මීලග අහාර වේල ලබාගැනීම පිළිබදව නිශ්චිතතාවයක් නොමැත. UNICEF සංවිධානය ඇස්තමේන්තු කර ඇති පරිදි මිලියන 2.3 කට ආසන්න ළමුන්ට ඔවුන්ගේ ආහාර අවශ්‍යතා සපුරාලීමට සහය අවශ්‍ය වන අතර අද වන විට ශ්‍රී ලංකාව මන්දපෝෂණයෙන් පෙළෙන වැඩිම දරුවන් සංඛ්‍යාවක් සිටින රටවල් අතරට පැමිණ ඇත. මෙම අනුපාතය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සියලූ‍දෙනාම දන්නා පරිදි ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉහළම සාක්‍ෂරතාවයක් පෙන්නුම් කරන රටවල් අතර සිටි නමුත් වර්තමානය වන විට අධ්‍යාපනය යනු ආර්ථික අර්බුධයේ දැඩි බලපෑමට ලක්ව ඇති තවත් අංශයකි. පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ආහාර, ප්‍රවාහන පහසුකම්, පාසල් ලිපි ද්‍රව්‍ය ඇතුළු අනෙකත් අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව බොහෝ දරුවන් පාසල් හැර යාම ඉහත කී කරුණ තව දුරටත් සනාථ කරනු ලබයි. මෑතකදී BBC පලකළ වාර්තාවකට අනුව ශ්‍රී ලාංකික දෙමාපියන්ට පාසල් යැවිය යුත්තේ කුමන දරුවා ද යන්න තීරණය කිරීමට සිදුව ඇත. මෙසේ සිදුව ඇත්තේ දරුවන් කිහිපදෙනෙක් සිටින පවුල් වලට තම දරුවන්ගේ අධ්‍යාපනික වියදම් දරාගත නොහැකි වීමය. එපමණක් නොව, ආරථික අර්බුදය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය කෙරෙහි ද අයහපත් බලපෑමක් ඇති කරන අතර, එහි බලපෑම් දිගු කාලීන වේ.

තවද සෞඛ්‍ය සහ පෝෂණය යන කරුණු දරුවන්ගේ ජීවිතයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. කෙසේ වෙතත් අපගේ සෞඛ්‍ය සේවා පද්ධතිය දැනටමත් බිඳ වැටී ඇති බැවින්, ශ්‍රී ලංකා රජයට තවදුරටත් තම පුරවැසියන්ගේ සෞඛ්‍ය සඳහා ඇති අයිතිය තහවුරු කිරීමට නොහැකි වී තිබේ. අද වන විට ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ හිඟය හේතුවෙන් දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකික දරුවන්ගේ ජීවිත ද අවදානමට ලක්ව ඇත. මෙය අප රටේ දරුවන්ගේ ඉදිරි පැවැත්මට හා සංවර්ධනයට ද සැලකිය යුතු තර්ජනයක් එල්ල කරනු ලබයි. එබැවින්, පවතින සෞඛ්‍ය අර්බුදයට පිළියම් ලබාදීමට අප රජය ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු වේ. එසේම සෞඛ්‍ය සේවා පද්ධතිය කෙටි කාලීන සහ දිගු කාලීන වශයෙන් ශක්තිමත් කිරීමට නව ප්‍රතිපත්ති හඳුන්වාදීම ද රජයේ වගකීමකි.

මීට අමතරව වැඩිවන ආර්ථික පීඩනය හේතුවෙන් ළමයින්ට එරෙහි අපයෝජන, සූරාකෑම් සහ ප්‍රචණ්ඩත්වයේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබේ. වත්මන් ආරථික අර්බුදයේ තවත් අයහපත් බලපෑමක් ලෙස බොහෝ දරුවන් ආක්‍රමණශීලී හැසිරීම්, පාසැලේ කටයුතු පිළිබධව නිසි අවධානයක් යොමු නොකිරීම සහ හැසිරීම් රටාවේ වෙනස්කම් පෙන්වයි. මෙවැනි අහිතකර තත්වයන් දීර්ඝව පැවතියහොත් ශ්‍රී ලංකික දරුවන්ගේ පැවැත්ම සහ සංවර්ධනය අඩාල වීම වැළැක්විය නොහැක.

මෙම සියලු කරුණු තුළින් පැහැදිලි වන්නේ ආර්ථික අර්බුදයේ සැබෑ ගොදුර බවට පත්ව ඇත්තේ අප රටේ අහිංසක දරුවන් බවයි. එය ඔවුන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආහාර සුරක්ෂිතතාව ඇතුළු ප්‍රධාන අයිතිවාසිකම් උදුරාගෙන ඇත. කණගාටුදායක කරුණ වන්නේ තවමත් මෙම තත්ත්වය නිසි අයුරින් කළමනාකරණය කර ගැනීමට රජය අපොහොසත් වීම සහ දරුවන් මුහුණ දී ඇති මෙම ගැටළුකාරී තත්ත්වය පිළිබඳව බලධාරීන්ගේ නිසි අවධානය යොමු නොවීමයි. මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇති බැවින්, විශේෂයෙන්ම එයින් දරුවන්ට ඇති බලපෑම අධීක්ෂණය කිරීමටත්, ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාවයට, සෞඛ්‍යට සහ අධ්‍යාපනට ඇති අයිතීන් තහවුරු කිරීමටත් රජය වහා පියවර ගත යුතුය.

නීතීඥ අමාලී රණසිංහ
පරිසරය සහ සැමතැන වෙසෙන ළමුන් සුරැකීමේ සංවිධානය (PEaCE/ECPAT Sri Lanka)