Main iMage: unframed photogrphy Exhibition/ VIKALPA

නූතන වහල්භාවයට විවිධ ආකාරයේ වාර්ගික මානයන් පවතී. වසර 200කට පෙර ශ්‍රී ලංකාවේ වතුකරයේ සේවය කිරීමට ගෙන ආ කඳුකර දෙමළ කම්කරුවන් වර්තමානයේ නාමික පුරවැසියන් වුව ද ශ්‍රී ලංකාව තුළ නූතන වහල්භාවයේ සලකුණකි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ නිර්මාණය කළ විශාලතම සුබසාධන රාජ්‍යය වූ ශ්‍රී ලංකාව ගොඩනැඟු‍වේ මෙම කඳුකර දෙමළ ප්‍රජාව විසින් නිෂ්පාදනය කළ ආදායමෙනි. එහෙත් ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයන් විසින් නිදහස ප්‍රදානය කිරීමත් සමඟ දේශීය නායකයන් විසින් කඳුකර දෙමළ ප්‍රජාවගේ පුරවැසිභාවය අහෝසි කරන ලදි. එම ජනයාට පුරවැසිභාවය ලබාදීමට යැයි දක්වමින් 1964 දී අත්සන් කරන ලද සිරිමා – ශාස්ත්‍රී ගිවිසුම හරහා කඳුකර දෙමළ වැසියන්ගෙන් කොටසක් ශ්‍රී ලංකාවෙන් පිටමං කිරීමට තීරණය විය. මෙම ලිපිය තුළ අවධාරණය කරනු ලබන්නේ එලෙස ශ්‍රී ලංකාවෙන් පිටමං කිරීමට ලක් වූ සහ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලද කඳුකර දෙමළ වැසියන්ගේ ඥාති සබඳතා බිඳ වැටීම පිළිබඳවයි.

කඳුකර දෙමළ ප්‍රජාවගේ ඉතිහාසය

දකුණු ඉන්දියාවේ සිට දෙමළ කම්කරුවන් රැගෙන එම ආරම්භ වූයේ 1820-1880 අතර වූ ‘කෝපි යුගය’ තුළ වැවිලිකරුවන්ගේ අවශ්‍යතාවය මතය. 1880 දී දිලීර රෝගයක් හේතුවෙන් කෝපි වගාව විනාශයට පත්වීමත් සමඟ වැවිලිකරුවෝ තේ වගාව වෙත යොමු වූහ. තේ වගාව සඳහා සාත්තු කිරීමට ස්ථීර ශ්‍රම බලකායක් අවශ්‍ය වූ අතර එම අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට ලාභදායී ශ්‍රම ආනයනයක් වූ ඉන්දියානු දෙමළ කම්කරුවන් යොදා ගැනීමට බ්‍රිතාන්‍ය කටයුතු කළේය. තේ වගාව සඳහා පවුල් ශ්‍රමය ද අවශෝෂණය කර ගත හැකි වීම නිසා ඉන්දියානු දෙමළ කම්කරුවෝ සිය පවුල් සමඟ ශ්‍රී ලංකාව වෙත සංක්‍රමණය වූහ. ඒ අනුව 1827 වන විට 10,000ක් වූ එම පිරිස, 1921 වන විට 603,000ක් දක්වාද 1949දී 757,264 දක්වාද වර්ධනය වූ අතර එය මුළු ජනගහනයෙන් 12%ක් පමණ විය.

1931 සහ 1936 මැතිවරණවල දී ඡන්දදායකයන්ගෙන් 6%ක් ඉන්දියානු දෙමළ වූහ. ඒ අතරින් දෙදෙනෙක් තේරී පත් වූ අතර ඉන් එක් අයෙකු රාජ්‍ය මන්ත්‍රණ සභාවට ද නම් කරන ලදි. 1947 මැතිවරණයේදී ඉන්දියානු දෙමළ ජනතාව නියෝජනය කළ අපේක්ෂකයෝ ආසන 7ක් දිනා ගත්හ. 1948 සහ 1949දී සම්මත කරන ලද පුරවැසි පනත් හරහා පුරවැසිභාවය සඳහා ඇතැම් නිර්ණායක සම්පූර්ණ කළ හැකි අය පමණක් පුරවැසියන් ලෙස පිළිගැනීමට එකඟ වන බව ශ්‍රී ලංකාව රජය පැවසීය. එසේම, මෙම පුරවැසි පනත හරහා සියලු‍ම ඉන්දියානු දෙමළ ජනතාවගේ නම් ඡන්ද නාම ලේඛනවලින් ඉවත් කරන ලදි. ඒ නිසා ඔවුන්ට ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස අලු‍තින් අයදුම් කිරීමට සිදු වූ අතර ඒ සඳහා විශේෂ සුදුසුකම් අවශ්‍ය විය.

ඒ වන විට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය සඳහා 825,000ක් අයදුම් කර තිබුණ ද 1948 පුරවැසි පනත හේතුවෙන් 1965 වන විට පුරවැසියන් වීම සඳහා සුදුසුකම් ලබා තිබුණේ 134,000ක් පමණි. ඒ හරහා ශ්‍රී ලංකා රජය විසින් ‘රාජ්‍යක් රහිත‍’ ඉන්දියානු දෙමළ ප්‍රජාවක් නිර්මාණය කරන ලදි. 1964 වන විට ශ්‍රී ලංකාවේ ඉන්දියානු දෙමළ ප්‍රජාව සංඛ්‍යාත්මකව මිලියනය දක්වා වර්ධනය විය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව කඳුකර දෙමළ ප්‍රජාවගේ පුරවැසියභාවය පිළිබඳ ප්‍රශ්නය තුළ දී ක්‍රියාත්මක වූයේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති සහ ඔවුනොවුන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ය. කඳුකර දෙමළ ප්‍රජාවට තම ජීවිත පිළිබඳව තීරණ ගැනීම සඳහා ඉඩ හිමි නොවූ අතර, ඔවුන්ගේ ඉරණම හුදු රාජ්‍යාන්ත්‍රික තීරණ ක්‍රියාදාමයකට ලඝු විය. රාජ්‍යය විසින් තමන් උපන් බිම සහ ආදරණීයයන් හැර යාමට කඳුකර දෙමළ ප්‍රජාවට බල කරන ලදි.

1964 දී සිරිමාවෝ – ශාස්ත්‍රී ගිවිසුම මඟින් කඳුකර දෙමළ ප්‍රජාවගේ ජීවිත පිළිබඳ ඉරණම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් තීන්දු කරන ලදි. 1967 අංක 14 දරන ඉන්දු ලංකා ගිවිසුම (සිරිමා ශාස්ත්‍රී ගිවිසුම) මඟින් ඉන්දියානුවන් 600,000ක් නැවත ඉන්දියාවට යැවීමට තීරණය කළේය. එයින් 94,000ක් ඉන්දියාවට යෑම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඉතිරි 506,000ක් පුද්ගලයින් අතරින් 342,000ක පමණ පිරිසක් 1983 දක්වා කාලය තුළ ආපසු ඉන්දියාවට පිටත් කරන ලදි.

විකල්පයක් නැතියෙන් පිටමං වීම

ඉන්දියාවට නැවත යාමට කැමති වූ පිරිස සහ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා ගැනීමට කැමැත්ත දැක්වූ පිරිස සම්බන්ධයෙන් පුරවැසිභාවය ලබා ගැනීමට ඉල්ලු‍ම් කළ සංඛ්‍යා දත්ත මත අවබෝධ කරගත හැක. මේ අතර මෙම ප්‍රජාවේ ඇතැම් පිරිසකට සිය කැමැත්තකින් තොරවම ඉන්දිය පුරවැසිභාවය ලබා ගැනීමට සිදු විය.

උදාහරණයක් වශයෙන් Vallai Kanapathipillai විසින් රචිත Citizenship and Statelessness In Sri Lanka : The Case Of the Tamil Estate worker (2009) කෘතියෙහි, ඔහු පෙරුම්මාල් නමැති පුද්ගලයකු සමග කළ සම්මුඛ සාකච්ඡාවක උපුටනයන් ඇතුළත් වෙයි.

පෙරුමාල් ජීවත් වූයේ හැටන්වල දිගන වත්තේය. ඔහුගේ පියා ශ්‍රී ලංකාව උපන් අයෙකි. 1964 සිරිමා – ශාස්ත්‍රී ගිවිසුම අනුව ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා ගැනීමට ඔහු අයදුම් කළද වරින් වර ඉන්දියාව වෙත ගිය අයෙකු නිසාත්, ශ්‍රී ලංකාවේ ස්ථීර පදිංචිය සනාථ කිරීමට නොහැකි වූ නිසාත් ඔහුව සංක්‍රමණික සේවකයකු ලෙස හඳුනා ගැනීම නිසා, ඔහු විසින් අයදුම් කළ ශ්‍රී ලංකා පුරවැසිභාවය ප්‍රතික්ෂේප විය. වෙනත් කිසිදු විකල්පයක් නොමැති නිසා පසුව ඔවුහු ඉන්දියාවේ පුරවැසිභාවය ලබා ගැනීමට අයදුම් කළහ. ඒ අනුව 1974 දී සිය පවුල සමඟ ඔහු ඉන්දියාවට වෙත පිටත් වීය.

“හැටන්වලින් අපි පිටත්වෙන්න කලින් මගේ දූලා තුන් දෙනෙක් උණ හැදිලා ගොඩක් අසනීප වෙලා හිටියේ. නමුත් අපේ වීසා බලපත්‍රය කල් ඉකුත්වෙලා නිසා අපට ඉන්දියාවට යන්න සිද්ධ වුණා. මම වීසා දිගුවක් ඉල්ලු‍වත් එකත් ප්‍රතික්ෂේප වුණා. වතු පාලනාධිකාරිය මේ ප්‍රශ්න ගැන තැකීමක් කළේ නෑ. වීසා කාලය අවසන් වුණාට පස්සෙ වතු පාලනාධිකාරිය මටයි මගේ බිරිඳටයි වැඩ කරන්න දීමත් ප්‍රතික්ෂේප කළා. ඉතින් මම කියලා මොනවා කරන්නද? වෘත්තීය සමිතිවලින් පවා කිසිම උදව්වක් ලැබුණේ නෑ.”‍

අසනීප දරුවන් සහ වයෝවෘද්ධ දෙමාපියන් සමඟ පෙරුමාල් හැටන් සිට තලෙයිමන්නාරමට වෙත දුම්රියයෙන් පැමිණ, එතැන් සිට රාමේෂ්වරම් වෙතින් ඉන්දියාව බලා නැව්ගත වීය. රාමේෂ්වරම්හිදී සිය ගමන් මලු‍ නිදහස් කර ගැනීමට රේගු නිලධාරීන් සහ පෝටර්වරුන්ගේ තර්ජනවල යටත් වී මුදල් ගෙවීමට පවා සිදු වූ අතර මෙම ගමන අතරතුර කිසිදු වෛද්‍ය පහසුකමක් නොලැබීම හේතුවෙන් පෙරුමාල්ගේ දරුවන්ගේ අසනීප තත්ත්වය ඒ වන විට ඉතා උග්‍ර තත්ත්වයට පත් වී තිබුණි. දින දෙකක් පුරා රාමේෂ්වරම් සිට නැවත ඔවුන්ගේ පරම්පාරික ගම් වූ තීරුචියට ගිය පෙරුමාල්, එහිදී සිය දරුවන් රෝහල් ගත කර ඇත.

“අපේ වැඩිමහල් දුව සෙල්වරාණි (අවුරුදු 17) මානසිකව ආබාධයට ලක් වුණා. මාස හයක් එයා අපෙන් ඈත්වෙලා තනියම එයාටම කතා කරන්න ගත්තා. වාසනාවකට එයා නම් ටිකෙන් ටික හොඳ වුණා. අනිත් ළමයින් දෙන්නා දුර්වල වුණා. මාස හයකට පස්සෙ එයාලා ආයේත් අතීසාරය නිසා අසනීප වුණා. ඊට මාසයකට පස්සෙ එයාලාගේ කකුල්වල තුවාල ඇති වුණා. පස්සේ එයාලා මිය ගියා. නැතිවෙනකොට රාජපුබාදීට වසය 10යි. යොගේශ්වරීට වයස 8යි.”

වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා නිසා පිටමං වීම

1970 දශකයේ ශ්‍රී ලංකාවේ දුර්වල ආර්ථික වර්ධනය සහ විරැකියාවට විසඳුමක් ලෙස රජය ඉඩම් බෙදා හැරීමට සහ වතු ජනසතු කිරීම සඳහා යොමු විය. 1972 සහ 1975 ඉඩම් ප්‍රතිසංස්කරණවල මූලික අරමුණ එය වුව ද ඒ හරහා අවසානයේදී දේශපාලන අනුග්‍රහය සහ වර්ගවාදී අවශ්‍යතා මත ඉඩම් බෙදා හැරීම සහ වතු ජනසතු කිරීම සිදු විය. 1977 මුල් භාගයේ වතු ජනසතු කිරීමෙන් පසු විශේෂයෙන් ගම්පොල, පුස්සැල්ලාව සහ කොත්මලේ දිස්ත්‍රික්කවල ඇතැම් තේ වතු ආශ්‍රිත ප්‍රදේශවල මැර කණ්ඩායම් මැදිහත්ව කඳුකර දෙමළ ජනතාවට පහර දුන්හ. ඩෙවෝන් වතුයායේ කම්කරුවන්ට වෙඩි තැබීම, සංකුහාර් සහ ඩෙල්ටා වතුවල කොල්ලකෑම්, ගිනි තැබීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු විය. පූඬළුඔය, චෝයිසි සහ බලපොකුණ වතුවලින් වතු කම්කරුවන්ව මහජන කමිටුවක් යැයි කියාගත් කල්ලියක් විසින් එළවා දමන ලදි. ගම්පොල ඩාට්රි, මුල්ගම සහ ඔරියන් වතු වල ද එම නීති විරෝධී ක්‍රියාදාම සිදු විය. 1977, 1981, 1983 වර්ෂවලදී සිදු වූ මෙම වාර්ගික ප්‍රහාර කඳුකර දෙමළ ප්‍රජාවට ප්‍රජාවක් ලෙස තමන් අනාරක්ෂිත බව පිළිබඳ හැඟීමක් ඇති කිරීමට හේතු විය. මේ නිසාම ඇතැම් කඳුකර දෙමළ ජනයා ස්වේච්ඡාවෙන්ම ඉන්දියාව වෙත යාමට තීරණය කළහ.

දේවරාජා උපත ලබා ඇත්තේ පුස්සැල්ලාවේය. දේවරාජාගේ පවුල ද වතු ජනසතුකරණය කිරීමත් සමඟ වතු අයිති කර ගැනීම සඳහා සිංහල මැර කණ්ඩායම් විසින් කඳුකර දෙමළ ජනතාවට කළ පහරදීම්වලට ගොදුරු විය.

“මැතිනිගේ රජය, වතු මිනිස්සු අතර බෙදලා දෙන්න තීරණය කරනකොට මට වයස අවුරුදු 15ක් විතර ඇති. අපි මුලින් හිතුවේ මැතිනි වතු බෙදන්න හදනකොට අපි ජීවත් වුණ වතු ටික අපිට දෙයි කියලා. ඒත් අපි හිටපු වතු දුන්නේ සිංහල අයට. ඒ කාලේ සමහර සිංහල අය ඇවිත් අපිට අපේ වතුවලින් යන්න කියලා හිරිහැර කරන්න ගත්තා. 1980 වෙනකොට මගේ ලොකු අයියා ඉන්දියාවට යන්න තීරණය කළා”‍

1977 මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය, කඳුකර දෙමළ ජනතාව ඉලක්ක කරගෙන ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයින් 131 දෙනක් ඝාතනය වූහ. 1977 ජුලි 15 වැනිදා සිට සැප්තැම්බර් 13 වැනිදා දක්වා කාල සීමාව තුළ පොලිසියට ලැබී තිබුණු මුළු පැමිණිලි සංඛ්‍යාව 3,327කි. ඉන් 1,209ක් කොල්ලකෑම්ය. 1,141ක් නිවාස හා දේපළ ගිනි තැබීම්ය. ස්ත්‍රී ලිංගික අතවරයට ලක් කිරීමේ සිද්ධි 74ක් විය. දේවරාජා ඇතුළු ඔහුගේ පවුල ද මෙකී 1977 දියත් වූ ප්‍රචණ්ඩත්වයේ වින්දිතයන් වූ අතර පසුව ඔවුහු සිය ජීවත බේරා ගැනීම සඳහා සිය උපන්ගම වූ පුස්සැල්ලාව අතහැර අම්පාරේ චෙන්ගලාඩි හි පදිංචි වූහ.

වතු ජනසතුකරණය නිසා පිටමං වීම

මුත්තම්මාගේ මව වන අලගම්මා
පෙරුමාල් පලනියන්ඩි සහ අලගම්මාට දාව 1958 නුවර දෙල්තොට දී මුත්තම්මා උපත ලැබීය. ඇයට මරදුදායි, පාප්පාත්ති, සිවපාක්කියම් ලෙස සහෝදරියන් තිදෙනෙකුද සහෝදරයන් තිදෙනෙකුද සිටියි. පෙරුමාල් පලනියන්ඩි ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඉන්දියාවේ තමන් සතු අක්කර තුනක් ඉඩම් සිය ඥාතීන් වෙත උගස් කර ලබා ගත් මුදලිනි.

“තාත්තා ලංකාවට ආවේ අපි කවුරුත් ඉපදෙන්න කලින්. අවුරුද්ද මම හරියට දන්නේ නැහැ. එයාගේ ඉඩම් අක්කර තුනක් උකස් කරලා, ලංකාවට ඇවිල්ල හම්බකරලා ආයේ ඉන්දියාවට යන්න තමයි තාත්තා හිතාගෙන හිටියේ. ඒ කාලේ දැන් කොළඹ යනවා වගේ ඉන්දියාවට යන්න පුළුවන්කම තිබුණා. කොහොම හරි නැවත ඉන්දියාවට අපිව එක්කරගෙන යන්න කලින් තාත්තා නැති වුණා. ඊට පස්සේ අපි ලංකාවේ නතර වෙන්න තීරණය කළා.”‍

ඉන්පසුව මුත්තම්මා සහ ඇයගේ පවුලේ සාමාජිකයන් ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය සඳහා අයදුම් කරමින් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට තීරණය කර ඇත. ඇයගේ පවුලේ සාමාජිකයෝද 1972 සිරිමාවෝ බණ්ඩාරනායක රජය වතු ජනසතුකරණය කිරීමෙන් පසු දියත් කළ ප්‍රචණ්ඩත්වයේ වින්දිතයෝ බවට පත් වූහ. එසේ වතු ජනසතුකරණය තුළින් කඳුකර දෙමළ ජනයාට හිමි වූයේ ජලය නොමැති මඩ වගුරු සහිත ඉඩම්ය. මුත්තම්මාගේ අක්කා මරුදායි ඉන්දියාවට යාමට තීරණය කරන ලද්දේ මෙම කාල සීමාවේදීය. නමුත් ඇයගේ පවුලේ සෙසු සාමාජිකයෝ ලංකාවේ තවදුරටත් රැඳී සිටීමට තීරණය කළ අතර ඔවුන්ට වරින් වර සිංහල මැර කණ්ඩායම්වල හිරිහැරවලට ලක් වීමට සිදු විය.

“නිතරම අපිට සිංහල අයගේ කරදරවලට මුහුණ දෙන්න සිද්ධවුණා. අපේ ගෙවල් ගිනි තියලා, බඩු හොරකම් කරලා, හරක් පට්ටි පවා ගිනි තියලා අපිට ගොඩක් හිරිහැර වුණා. අපේ ගෙවල්වලට ආපු, අපේ ගෙවල්වලින් කාපු අපි දන්නම මිනිස්සු පවා අපේ ගෙවල් ගිනි තියලා අපේ බඩුමුට්ටු කොල්ල කන්න ආවා. ඊට පස්සෙ අපේ අනිත් අක්කලා දෙන්නා, පාප්පාත්ති සහ සිවපාක්කියම් තීරණය කළා ඉන්දියාවට යන්න. අපි ගුටි කෑවට අපේ ළමයි ගුටි කන්න ඕනි නෑනේ කියලා හිතලා එයාලා ඉන්දියාවට යන්න තීරණය කළා. ඒ වෙනකොට කඳුකර දෙමළ මිනිස්සුන්ට ඉන්දියාවට යන්න කියලා නීති පාවා දාලා තිබුණා.”‍

පාප්පාත්තිට සහ සිවපාක්කියම්ට ඉන්දීය පුරවැසිභාවය ලබා ගැනීමට ඔවුන් වෙත සිංහල මැර කණ්ඩායම් මඟින් එල්ල වූ හිරිහැර බලපෑවේය. ඔවුහු මන්නාරම වෙත ගොස් එතැනින් ඉන්දියාවේ සරණාගත කඳවුරු වෙතට ගොස් එම කඳවුරුවල අවුරුදු ගණනාවක් කූපන් මඟින් ජීවත් වූ අතර, ඔවුන්ගේ පියා සතු ඉඩම් ලබා ගැනීමට ඔවුන්ගේ ඉන්දියාවේ ජීවත් වූ නෑයන්ට එරෙහිව නීතිමය ක්‍රිමාර්ගවලට අවතීර්ණ වීමටද පාප්පාත්තිට සහ සිවපාක්කියම්ට සිදු වී ඇත. තවමත් එකී ඉඩම් නඩු ඉන්දියාවේ අධිකරණය තුළ විභාග වන අතර වර්තමානයේ ඔවුහු චෙන්නායිවල ජීවත් වෙති. ඉන්දියාවට ගිය සිය සහෝදරියන් පිළිබඳව මතක ආවර්ජනය කරමින් මුත්තම්මා මෙසේ පැවසුවාය.

“අක්කලා ගිහින් අවුරුදු 10-15කට පස්සෙ එයාලා අපේ පරණ ලිපිනයට ලියුමක් එවලා තිබ්බා. පස්සෙ අපිත් එයාලට ලියුම් යවන්න ගත්තා. එතකොට තමයි අපි දැනගත්තේ අපි ලොකු අක්කා, මුලින්ම ඉන්දියාවට ගිය මරුදායි අක්කා ගොඩක් කාලේකට කලින් නැතිවෙලා කියලා. නැතිවුණ අක්කාගේ ළමයි අපිව දන්නෙත් නෑ. ඒ අය දැන් ලොකු ළමයි. නමුත් ඉන්දියාවේ ඉන්න අනිත් අක්කලා එක්ක අපි නිතරම දුරකථනයෙන් කතා කරනවා. නමුත් අපිට එයලාව ඇත්තටම දකින්න ඉඩක් ලැබුණේ නෑ.”‍

බිඳවැටුණ ඥාති සබඳතා

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව, කඳුකර දෙමළ ප්‍රජාවගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය රාජතාන්ත්‍රික මට්ටමින් විසඳීමට උත්සාහ කිරීම තුළින් එකී ප්‍රජාවගේ ඉරණම පිළිබඳව තීරණය කිරීම සඳහා ඇති අයිතිය ඔවුන්ට අහිමි කරන ලදි. සිරිමා – ශාස්ත්‍රී ගිවිසුම මඟින් මෙම ප්‍රජාව හුදු වෙළඳ භාණ්ඩයක් සේ කේවල් කරමින් රාජ්‍යයන් දෙක අතර බෙදා ගැනීමෙන් පසුව ඔවුන් පත් වූ සමාජීය අර්බුදය පිළිබඳව කිසිවෙකුත් උනන්දු වූයේ නැත. බොහෝමයක් පවුල් තුළ සහෝදර සහෝදරියන් රටවල් දෙකක් තුළ වෙන් වී යෑමෙන් එම පවුල් අතර ඥාති සබඳතා බිඳ වැටුණි. ඇතැම් කඳුකර දෙමළ මිනිස්සුන්ට ඥාති සබඳතා සදාකාලිකවම අහිමි විය. එම්. තමිල් රාසිට තම පියාගේ ඥාතීන්ද කුප්පමුත්තු සින්නයියා හට තම සහෝදරියන් ද අහිමි වූයේ රාජ්‍යයන් දෙකක් විසින් එසේ කේවල් කරමින් ගනු ලැබූ තීරණවල ප්‍රතිඵලයක් ලෙසය.

“මගේ නම එස්. තමිල් රාසි. මම 1974 ඉපදුණේ. දැන් මට වයස 49යි. මගේ තාත්තගේ නම කුප්පමුත්තු සින්නයියා. අපේ තාත්තට සහෝදරියෝ දෙන්නෙක් ඉඳලා තියෙනවා. මට අවුරුදු තුනක් වගේ විතර වෙනකොට එයාලා මෙහෙන් නීලගිරියට ගිහින් තියෙන්නේ. සහෝදරියන් නැතුව ගියා කියලා තාත්තා ඒ වේලාවේ ගොඩක් දුක් වුණා. නීලගිරියට ගිය කාලේ අපේ තාත්තා එක්ක ලියුම් සම්බන්ධකම් තිබුණා. ඊටපස්සෙ ඒ සම්බන්ධකම් නැතුව ගියා. එයාලාගේ ලිපිනයට තාත්තා මෙහෙන් යවපු ලියුම නැවත තාත්තාටම ආවා. ඒ සිද්ධිය වුණේ 1980-83 කාලේ කියලා තමයි මට මතක.”‍

කුප්පමුත්තු ඔහුගේ ළමයින් ඉපදීමට පෙර ඉන්දියාවට ගොස් තිබුණ නමුත් පසුව වත්තේ වැඩ නිසා ඔහුට ඔහුගේ සහෝදරියන් ගැන සෙවීම අතපසු වූයේය. සිය සහෝදරියන් කුප්පමුත්තුට ලියුම් එවන සමයේ ඔහු පස්සර – ලු‍ණුගල අතර පිහිටි Hopton වත්තේ ජීවත් වී ඇත.

“තාත්තා හරියට හිතේ අමාරුවෙන් හිටියේ සහෝදරයෝ එක පාරවත් බලාගන්න බැරි වුණා කියලා. අපිටත් තාත්තාගේ සහෝදරයෝ කවුරුත්ම බලාගන්න බැරි වුණා කියල දුකක් තියෙනවා. අපි උත්සහ කරලා බලන්න ගියේ නෑ, මොකද තාත්තා කිව්වා එයාගේ සහෝදරයෝ නීලගිරියෙන් වෙනත් නගරයකට ගිහිල්ලා ඇති කියලා. එයාලා යනකොට ළමයි එක්කම තමා ගියේ. පස්සෙ එයාලා ලොකුවෙලා බැඳලා ද නීලගිරියෙන් ගියාද දන්නේ නෑ කියලාත් තාත්තා හිතුවා. එයාලගෙ නම්වත් මට දැන් මතක නෑ.”‍

එකම දුක යළි යළිත්

වේලු‍සාමි සහ සරෝජනිට දාව රාමචන්ද්‍රන් උපන්නේ තෙල්දෙණියේ රංගලදීය. ඉන්දියාවට ගිය ඥාතීන් පිළිබඳව මතකාවර්ජන කරන ඔහුට තදින්ම දැනුණ දෙයක් ලෙස ඔහු කියා සිටියේ ඔහුගේ සීයා ඉන්දියාවට වෙත යාමට තීරණය කිරීමයි. රාමචන්ද්‍රන් කුඩා කාලයේ කොටගල වාසය කර ඇති අතර කුඩා කාලයේදී ඔහුව හදාවඩා ගෙන ඇත්තේ ඔහුගේ සීයාය. රාමචන්ද්‍රන්ගේ අම්මාගේ ලොකු අයියා සමඟ සීයා ඉන්දියාවට යාමට තීරණය කර ඇත්තේ රාමචන්ද්‍රන් කුඩා කාලයේදීය. ඉන්දියාවට ගොස් ටික කාලයකින් ඔහුගේ සීයා එහිදී මියගොස් ඇත. ඉන් පසුව ඔහුට තදින්ම දැනෙන සිදුවීම වූයේ ඔහුගේ සමකාලීන මිතුරන් සහ ඔහුන්ගේ පවුල් ඉන්දියාව වෙත යාමට තීරණය කිරීමයි.

“මට අවුරුදු 9ක් වෙනකොට මට හොඳ යාළුවෝ දෙන්නෙක් හිටියා, තමනි සහ නන්දකුමාර් කියලා. තව පිරිමි ළමයි දෙන්නෙක් හිටියා යාළුවෝ විදියට. එයාලාගේ නම් මතක නැහැ. ඒ අය හැමෝම ඉන්දියාවට ගියා. ඒ කාලේ මට ඒ සිදුවීම අමතක කරන්න බැරි නිසා ගෙදරින් මාව නුවරඑළියේ අපේ මාමාගේ ගෙදරට යැව්වා. එයාලා ගියා නේද කියන එක මට විටින් විට මතක් වෙනවා. ඊට පස්සෙ අවුරුද්දකින් පස්සෙ මම ආයේ ගමට ආවා. ඒ ගමට එනකොට මගේ යාළුවෝ කවුරුත් නැහැ නේද කියන එක මට ගොඩක් දැනුණා.”

ඉන් පසුව රාමචන්ද්‍රන්ගේ සහෝදරයන් සහ සහෝදරියන් ඇතුළු පවුලේ අය ඉන්දියාවට යාමට තීරණය කර, එහි ගොස් ඇත.

“මට අක්කලා තුන් දෙනෙක් සහ අයියා කෙනෙක් හිටියා. අක්කලා දෙන්නෙක් කසාද බැඳලා ඉන්දියාවේ පදිංචියට ගියා. අනික් අයියයි ලොකු අක්කයි දෙන්නත් කසාද බැඳල පවුලෙන් වෙන් වුණා. එතකොට මම නේ පොඩි කෙනා. මම මෙහෙ පුරවැසිකම අරගෙන නතර වුණා. එතකොට මට අවුරුදු 9 ඉඳන් අවුරුදු 15-16 වෙනකම් කට්ටිය ඉන්දියාවට ගියා. ඒ කාලේ වෙනකොට තාත්තාත් නැති වුණා. මම තනි වුණා. ඉන්දියාවට ගිය අය එක්ක කිසිම සම්බන්ධයක් නැති වුණා. දැන් අවුරුදු 7-8ක ඉඳන් තමයි ආයේ ඒ අය එක්ක සම්බන්ධයක් පවත්වාගෙන යන්න පුළුවන් වුණේ.”

රාමචන්ද්‍රන්ගේ මවගේ වැඩිමල් සොයුරිය සිය සැමියාගේ මරණයෙන් පසුව කඳුකර දෙමළ වැසියන්ට සිදු වන හිරිහැර නිසා සිය දරුවන්ට සුරක්ෂිත අනාගතයක් වෙනුවෙන් ඉන්දියාව වෙත යාමට තීරණය කළාය. ඇය සිය දුව සහ පුතා සමඟ ඉන්දියාව වෙත පිටත් වුවද ශෝචනීය ලෙස එම ගමන අතරතුරදී ඇය මිය ගියාය. ඇයගේ දරුවන්ට ඇයගේ මෘත දේහය මුහුදට අතහැර ඉන්දියාවට යන්නට සිදු විය. එම ශෝචනීය අහිමි වීම ගැන රාමචන්ද්‍රන් මෙසේ මතකාවර්ජනය කළේය.

“අපි ඒක දැනගත්තේ එයාලා ඉන්දියාවට ගියපු ගමන් අපිට ලියලා එවපු නිසයි. අපි හොඳටම ඇඬුවා. අපේ තාත්තායි අම්මායි දෙන්නම අසනීප වුණා. තාත්තාට කතා කරගන්න බැරි තත්වයක් තිබ්බා. ලොකු අක්කා එහේ. ලොකු අක්කාගේ මහත්තයාත් නැතිවෙලා. අපි මෙහේ ඒ ගැන හිතලා අසනීප වෙලා. ලොකු අක්කා ඇවිල්ලා එයාලාව එක් කරගෙන ගියා කියලා ලියුමක් එවලා තිබ්බා. ඊට පස්සෙ පස්සෙ තමයි අම්මායි තාත්තායි ටිකක් හොඳවුණේ. එයාලා දුකටම තමයි අසනීප වුණේ.”‍
‍“මට ඉන්දියාවට යන්න බැරි වුණ එක ගැන මම ගොඩක් දුක් වුණේ අම්මා නැති වුණාට පස්සේ. මට හැම වේලාවේම මතක් වෙනවා මගේ අක්කලාව. මොකක් හරි උත්සවයකට යනකොට මට මතක් වෙනවා මම තනියම නේද මට කවුරුත් නැහැ නේද කියලා. ඒක ගොඩක් දැනෙනවා. මට කියලා නැදෑයෝ නැහැ. දැන් ඉන්න අය වෙනයි. මගේම අය වෙනයි නේ. මගෙත් එක්ක ඉපදුණ සහෝදරයෝ කවුරුත් නැහැ. එක ලෙයින් ඉපදුණ සහෝදරයන්ගේ බැඳීම කවදාවත් මිල කරන්න බැරි දෙයක්.”

නැවත මුණ ගැසුණු ඔවුන්

වලපනේ, මහඌව වත්තේ පදිංචි පෙරුමාල් බාස්කර්ට සහෝදරියන් අට දෙනෙක් සහ එක් සහෝදරයෙක් සිටියි. ඔහුගේ වැඩිමහල් සහෝදරියක් වන ජානකී 1984දී ඉන්දියාව වෙත යාමට තීරණය කළේ ඇයගේ සැමියාගේ ඥාතීන්ට ශ්‍රී ලංකාව තුළ පුරවැසිභාවය අහිමි වූ නිසාය. ඔවුන් මන්නාරම වෙත ගොස් එතැනින් රාමේෂ්වරම්හි අනාථ කඳවුරුවලට ගොස් ඇති අතර ඉන් පසුව වෙට්ටලගුන්ඩු හරහා කොඩෙක්කානාල් හි කැලෑබද ප්‍රදේශයක ඉන්දීය රජය විසින් ඔවුන්ව පදිංචි කර ඇත.

“අක්කලා ඉන්දියාවට ගියාට පස්සෙ අපි ලියුම් යැව්වාට අපිට ඒ අයගෙන් කිසිම ලියුමක් ආවේ නෑ. පස්සේ ඉන්දියාවේ ඉඳන් ව්‍යාපාරික වැඩකට ලංකාවට ආව කෙනෙක් හරහා අපි ඉන්දියාවේ ඉන්න අපේ අක්කා ගැන විස්තර හොයලා, 2005 දී වගේ එයාගේ ලිපිනය, දුරකථන අංකය හොයගත්තා. ඊට පස්සේ අපි එයාලා එක්ක කතා කරන්න පටන් ගත්තා.”‍

පෙරුමාල් 2019 දී සිය සහෝදරිය හමුවීමට ඉන්දියාවට ගියේය. එය අතිශය දුෂ්කර ගමනක් වූ අතර කොඩෙක්කානාල් හි පුදුපුන්තුර් කැලෑබද ප්‍රදේශය වූ සිය සහෝදරිය මුණ ගැසීමට ගිය පසුව ලියුම් එවීමට නොහැකි වූ හේතුන් පෙරුමාල්ට තේරුම් ගත හැකි විය.

“‍අක්කාව බලන්න මම ගියාට පස්සෙ අක්කා ගොඩක් දුක් වුණා. අක්කාව ඉන්දියාවේ තනි කළා කියලා අක්කා ගොඩක් දුකින් කතා කළා. අපි දැන් එයලාට කෝල් කරනවා. නමුත් ඒ අය අපෙන් ඈත වෙන රටක නේද ජීවත් වෙන්නෙ කියන එක වචනවලින් කියන්න බැරි තරම් දුකක්. ඒ අයට ලංකාවෙන් යන්න වුණේ නැතිනම් කොච්චර දේවල් වෙනස් වේවිද?”‍

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අහිමිව ඉන්දීය පුරවැසිභාවය හිමි වූ කඳුකර දෙමළ ප්‍රජාවේ සැලකිය යුතු පිරිසක් පුදුපුන්තුර් හි ජීවත්වෙති. තවමත් ඔවුන්ව ඉන්දියාව තුළ ඉන්දීය පුරවැසියන් ලෙස හඳුනා ගන්නේ නැත. ඔවුහු බාහිර සමාජයෙන් හුදකලා වී ඇත.

“එහේ ලංකාවෙන් යන්න වුණ ගොඩක් කඳුකර දෙමළ මිනිස්සු ඉන්නවා. මුල් කාලේ ඒ මිනිස්සු ගොඩක් දුක් විඳලා තියෙනවා. කැලෑ කපලා එළි කරලා කාගේවත් උදව් නැතුව ජීවිතය ගෙනියන්න ඒ මිනිස්සු සෑහෙන්න දුකක් විඳලා තියෙනවා. අදටවත් ඉන්දියාවේ මිනිස්සු, ඒ අයව ඉන්දියාවේ අය හැටියට සලකන්නෙ නෑ. ඒ නිසා ඒ මිනිස්සු පුදුන්තුර්වල හුදකලා වෙලා වගේ ජීවත් වෙන්නේ.”‍

බලධාරීන්ගේ ප්‍රතිචාරය

2017 අබුඩාබි හි පැවති “විදේශ රැකියා ක්ෂේත්‍රය හා සම්බන්ධ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගේ සැසිවාරයේ”‍ ආරම්භක අවස්ථාවේ දී වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ ඉන්දියාවේ සිට පැමිණි සංක්‍රණිකයන් සම්බන්ධ ගැටලුව සාර්ථක ලෙස ලංකාවට විසඳා ගැනීමට හැකි වූ බවය. එසේම ඔවුන්ගෙන් කොටසකට ඉන්දියාවේ ද අනෙක් කොටසට ලංකාවේ ද පුරවැසිභාවය ලබා දී එම ප්‍රශ්නය සාර්ථක ලෙස විසඳූ බවය. එම ප්‍රජාව මෙරට ආර්ථිකයට විශාල මෙහෙවරක් ඉටු කළ බව පැවසූ ඔහු, කඳුකර දෙමළ ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට හා බිම් අඟලක්වත් නොමැතිව සිටි ඔවුන්ට පර්චස් 7ක් විශාල ඉඩම් කොටසක අයිතිය ලබා දීමට රජය කටයුතු කරන බවද පැවසුවේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වර්තමානය වන විට කඳුකර දෙමළ ප්‍රජාවගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය විසඳා ඇති බව සැබෑවකි. නමුත් යටත්වැසියන් වීමට සිදුව ඇති මෙම ප්‍රජාවට තීරණ ගැනීමේ අයිතිය අහිමි කර ඇත. තමන් පුරවැසිභාවය ලබා ගන්නේ කුමන රටෙන් ද යන්න තීරණය කිරීමේ අයිතිය ඔවුන්ගෙන් උදුරාගෙන එය රාජ්‍යයන් දෙකක් විසින් තීරණය කරන ලදි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව මෙහිදී අවධානය යොමු නොකළ කරුණ වනුයේ රාජ්‍යයන් දෙකක් රාජතාන්ත්‍රික ලෙස බලහත්කාරයෙන් ගත් තීරණය නිසා බිඳ වැටුණ ඥාති සබඳතා පිළිබඳවයි. 1964 සිරිමා – ශාස්ත්‍රී ගිවිසුම පිළිබඳව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සාකච්ඡා කරන මොහොතේ හෝ එම ගිවිසුම ක්‍රියාත්මක කිරීමෙන් පසුව හෝ වර්තමානයේ හෝ මෙම ඥාති සබඳතා බිඳ වැටීම යන්න ප්‍රශ්නයක් ලෙස හඳුනාගැනීමට ඉන්දියාව හෝ ශ්‍රී ලංකාව අසමත් වී ඇත.

නිදහස තව දුරද?

කඳුකර දෙමළ ජනතාව පලවා හැරීම සහ පිටුවහල් කිරීම ආකාර දෙකකින් සිදු විය. පළමුවැන්න නිල වශයෙන් රාජ්‍යය මැදිහත්ව ඉන්දියාව වෙත පිටුවහල් කිරීමයි. දෙවැන්න, සිංහල වර්ගවාදී මැර කණ්ඩායම් හරහා වතු බලහත්කාරයෙන් අත්පත් කරගැනීමේදී සහ දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයන් හිදී පහර දෙනු ලැබ පිටමං කිරීමයි. වර්තමානය වන විට කඳුකර දෙමළ ප්‍රජාවගේ පුරවැසිභාවය පිළිගෙන තිබුණ ද තවමත් ඔවුන්ට අනෙක් පුරවැසියන් භුක්ති විඳින අයිතිවාසිකම් සමානව භුක්ති විඳීමට ඉඩක් නැත. පුරවැසිභාවය හිමි වුව ද වර්තමානයේ පවා කඳුකර දෙමළ ප්‍රජාව ආර්ථිකමය සහ සමාජීය වශයෙන් දැඩි ලෙස ආන්තීකරණයට ලක් කරන ලද ජන කොටසකි. නිල සහ නොනිල වශයෙන් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමට ලක් වේ. කඳුකර දෙමළ ප්‍රජාව, ප්‍රජාවක් ලෙස සිය අනන්‍යතාව තහවුරු කරගැනීමටත් ඓතිහාසික නොසලකා හැරීම් අවසන් වීමටත් තව කොතරම් කාලයක් අරගල යුතුද?

රවිදු මධුෂාන් පෙරේරා | Ravidu Madushan Perera(රියෝ) | Rio