අලුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේ වෙළදසැල්, දේවස්ථාන, නිවාස ඇතුලු දේපලවලට ජාතිවාදීන් විසින් ගිණි තබා, මිනිසුන් 4දෙනෙක් ඝාතනය කරමින්, 100කට ආසන්න පිරිසකට තුවාල සිදු කරමින්, 10000කට ආසන්න පිරිසක් අවතැන් කරමින් ඇතිකළ ව්‍යසනය ට පසුගිය ජූනි 15 දාට වසර 9ක් ගතවිය.

ඒ සියලු දේ සිදුකලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ආණ්ඩු කළ ‘සුභ අනාගතයක්‘ නම් ෆැසිස්ට් පන්නයේ ආණ්ඩුව තුළය. නමුත් 2015 ජනවාරි 8 වනදා රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වනතෙක් ‘සුභ අනාගතය‘ නම් පාලනයට ඒ අපරාධයට වගකිව යුතු කිසිවෙක් නීතිය හමුවට පැමිණවීමට අපොහොසත් විය. අපොහොසත් වූවා පමණක් නොව ඒ සදහා කිසිදු ක්‍රියාවලියක් ‘සුභ අනාගතය‘ නම් ඊනියා ආණ්ඩුවට කළ නොහැකි වූ හේතුව සැගවීමට නොහැකි වූයේ ඒ අපරාධයට හවුල් වූ අපරාධකරුවන් ඔවුන්ගේ සුරතලුන් වීමය.

නමුත් 2015 ජනවාරි 8න් පසු බලයට පත් වූ රනිල්-මෛත්‍රී නම් ‘යහපාලනය‘ ද අවසන් වන තෙක් ඒ පිළිබද යුක්තිසහගත ප්‍රකාශයක්වත් සිදුකිරීමට නොහැකි විය. නොහැකි වූවා නොව ඒ සම්බන්ධයෙන් වන ‘දේශපාලන වුවමනාවක්’ ඒ කිසිදු පාලකයෙක්ට තිබුණේ නැත. ( මෙතෙක් බලයට පත් වූ කිසිදු පාලකයෙක්ට, දණ්ඩමුක්තිය අවසන් කිරීම සදහා කිසිදු වුවමනාවක් තිබුණේ ද නැත.)

පසුව පැමිණී ගෝඨාබය රාජපක්ෂ පාලනය ද ඊට දෙවැනි වන්නේ නැතිව, අලුත්ගමක් ගැන වගේ වගක් නැතිව සිටි අතර ගෝඨාබයගේ ‘දක්ෂතාවය’ කෙසේ ද යත්, ඉතිහාසයේ පළමු වරට ජනතාවගේ විරෝධතාවය හේතුවෙන් රටින් පලා යාමට ඔහුට සිදුවිය.

කෙසේ නමුත් ඔහුගෙන් හිස් වූ ජනාධිපති පුටුව රනිල් වික්‍රමසිහංට හිමි විය.

දැන්, එදවස අගමැති වික්‍රමසිංහ දැන් ජනාධිපති වික්‍රමසිංහය.

2014 දී අලුත්ගම ගිණි තබා කලු ජූනියක් බවට පත්කර වසර 9කි.

නමුත්, ලංකාවේ සිදු කළ සෑම අපරාධයකට මෙන් අලුත්ගමට ද යුක්තිය ඉටු වූයේ නැත.

එසේ වන්නේ ඇයි?

එදවස රනිල් වික්‍රමසිංහ නම් විපක්ෂනායකවරයා මෙසේ කීවේය. “අලුත්ගම මැරයන් අපි හඳුනනවා” – රනිල් (කියවන්න)/ BBC

තත්ත්වය එසේ තිබිය දී…

මීට වසර කිහිපයකට පෙර ‘විකල්ප’ වෙබ් අඩවිය විසින් සකස් කළ මෙම වීඩියෝ සටහන ‘අලුත්ගමට යුක්තිය’ ඉටුකිරීමට බලකිරීමක් ලෙස සටහන් කරමු.

දැන්

දර්ගා නගරයේ ඇති කළ ව්‍යසනය පිළිබදව එසේ කීව් එවකට විපක්ෂනායකවරයා දැන් ලංකාවේ ජනාධිපතිවරයා ය.

වසර 9ක් ගත වී තිබේ.

එම බිහිසුණු රාත්‍රිය උදාවීමට පෙර බොදුබල සේනාවේ චීවරධාරීන් ඇතුලු නරුමයින් පිරිසක් එම ප්‍රදේශයට ගොස් කළ තර්ජනයන් මුලු ලොවම දුටුවෝය. පසුව ඇදිරි නීතිය දමා තිබිය දී, හමුදාව සහ පොලීසිය ද බලා සිටියදී මුස්ලිම්වරුන්ගේ ගෙවල් දොරවල් ගිණි තබමින්, ඔවුන්ට පහර දෙමින් ජීවිත කිහිපයක් බිලි ගත් හැටිත් දැන් ලෝකයට වසන් කිරීමට නොහැකිය.

එබැවින් එදවස විපක්ෂනායක අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ය, ඔබ ‘හදුනනවා’ කිව් ඒ මැරයන් දැන් වත් නීතිය හමුවට පමුණුවා කතාව, ක්‍රියාවෙන් තහවරු කිරීම ඔබ හමුවේ ඇති වගකීමකි.

දර්ගා ව්‍යසනයෙන් වසර 9ක් ඉක්ම යන මොහොතේ හෝ ඔබට එය කළ නොහැකි වුවහොත් ජාතික සමගිය, ආගමික සහජීවනය වැනි වචන සමග හෙට ඔබ පුරවැසියන් හමුවට ගියහොත් දෙවරක් සිතන්න. මක්නිසාද යත්, අවසානයේ රටේ අනාගතය තීන්දු කරන්නේ සක්‍රීය පුරවැසියන් වීම නිසාය.