කළු ජූලිය නම් වූ ප්‍රචණ්ඩත්වය, බොහෝ විට සාකච්ඡාවට බඳුන් නොකළ සහ ශ්‍රී ලාංකීය ඉතිහාසයෙන් බැහැරව, දශක ගණනාවක් අන්තර් වාර්ගික ප්‍රචණ්ඩත්වයට සහ ලේ වැගිරීමට තුඩු දුන් තවත් එක් තීරණාත්මක මොහොතක් ලෙස මෙරට ඉතිහාසයෙහි සටහන්ව පවතී. සිවිල් සමාජ ක්‍රියාකාරිනියක සහ එක්සත් ජාතීන්ගේ හිටපු නියෝජ්‍ය මහලේකම් ආචාර්ය රාධිකා කුමාරස්වාමි මහත්මිය විසින් 1983 වර්ෂයේ ජූලි මස තම අත්දැකීම් සහ එය සිය වෘත්තීය ජීවිතයට කළ බලපෑම පිළිබඳ සිය මතකය යළි අවධි කරයි. වසර ගණනාවකට පෙරාතුව සත්‍ය වශයෙන්ම සිදුවූයේ කුමක් ද යන්න වත්මන් මිනිසුන්ට, විශේෂයෙන් තරුණ තරුණියන්යට දැන ගැනීම සදහා ‘කළු ජූලිය’ මතකය අනුස්මරණ කිරීමේ අවශ්‍යතාවය ඇය තව දුරටත් සිය ප්‍රකාශයන් තුලින් ඉස්මතුකර සිටින්නී ය. (groundviews.org)

“ප්‍රචණ්ඩත්වය ආරම්භ වූ විගස සියල්ල වෙනස් විය.”

“ශ්‍රී ලංකාවේ අය සමඟ, විශේෂයෙන්ම සිංහල සමාජයේ අයවලුන් සමඟ කතා කරන විට, මේ සම්බන්ධයෙන් නිසි දැනුමක් හෝ අවබෝධයක් ඔවුන් සතුව නැහැ. සිදු වූ දේ ගැන සංවාදයක් නැත්නම් අපි කොහොමද සංහිඳියාව ඇති කරන්නේ?”

කළු ජූලිය නම් වූ මෙම අන්තර් වාර්ගික කැරැල්ල නිසැකවම බොහෝ පිරිසකට බලපෑම් සහගත තත්ත්වයක් නිර්මාණය කල අඳුරු මතකයක්. ඒ පිළිබඳ මතකය අවධි කරන විට එය ඔබේ ජීවිතයට සහ උද්දේශණයට බලපා ඇත්තේ කෙසේද යන්න පිළිබදව යම් අදහසක් ඔබට ප්‍රකාශ කල හැකි ද?

ඔව්.“අපි එවකට සිටි ශක්තිමත්ම දෙමළ හින්දු පවුල්වලින් එකක්. 1970 දශකයේ මගේ සහෝදරයාගේ විවාහ මංගල්‍ය උත්සවය සඳහා අමුත්තන් 1000 ක පමණ පිරිසක් සහභාගී වුණා. මෙම සහභාගී වූ 1000 ක පිරිස අතරින් 700 ක් ම මගේ පවුලේ ඥාතීන්. කණගාටුවට කරුණ නම් ප්‍රචණ්ඩත්වය ආරම්භ වුණාත් සමඟ මේ සියල්ලෝම රට හැර ගියා. ඉතින් අපි කොච්චර අවාසනාවන්ත ද කියනවනම් දැන් අවමඟුලක දී මිනී පෙට්ටිය උස්සගෙන යන්න තරම්වත් පවුලේ සාමාජිකයන් නැහැ.කොහොම නමුත් දැන් මගේ පවුලේ අය ලෝකෙ බොහෝ රටවල් වලට ගිහින් මේ මුළු ලෝකෙම ඉන්නවා.”

“තවත් එක් ආකාරයකින්, 1983 වසරේ දී මම මගේ වෘත්තීය ජීවිතයේ ඉතිරි කාලය ගෙවීම උදෙසා මෙම සමය තුල අවධානය යොමු කල යුතුව පැවති ගැටළු කෙරෙහි විමසා බැලීම තෝරා ගත්තා. ඒ වගේම 1983 වර්ෂයෙන් පසු මම, මෙම වර්ගවාදී අරගල නැවත ඇති නොවීමට කටයුතු කළ ක්‍රියාකාරීන් සමඟ ඒ වෙනුවෙන් කටයුතු කළා.”

ඔබට කළු ජූලිය සම්බන්ධව අපිත් සමඟ බෙදා ගත හැකි තවත් මතකයන් තිබේද?

“ඔව්, ඒ වකවානුව තුල අපි ජීවත් වුණේ කේම්බ්‍රිජ් පෙදෙසේ, සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මෙම කේම්බ්‍රිජ් පෙදෙසේ ජීවත් වුණා. ඉතින් ඒ නිසා අපිත් වාසනාවන්ත සහ ආරක්ෂිත වුණා මේ ප්‍රචන්ඩකාරි සිදුවීම්වලින් බේරිලා ඉන්න. කොළඹ නගරයේ සෑම ප්‍රදේශයකින්ම පාහේ පැමිණි මගේ පවුලේ බොහෝ දෙනෙක්, සාමාන්‍යයෙන් 40කට 50කට ආසන්න පිරිසක් අප සමඟ නැවතී සිටියේ අපේ මහල් නිවාසයේ. මොකද අපේ නිවස රැඳී සිටීමට තිබූ එකම ආරක්‍ෂිත ස්ථානය වූ නිසා.”

“දවසක් මගේ ඥාති සහෝදරයෙක් බස් රථයක ගමන් කරමින් සිටියා. ඔහු එසේ ගමන් කරන අතරවාරයේ දී ඔහුව ගිනි තබා ඝාතනය කර ඇති බවට අපට දුරකථන ඇමතුමක් මාර්ගයෙන් දැනගන්න ලැබුණා . ඒ වගේම මෙම වකවානුවේ දී වැල්ලවත්ත සහ අනෙකුත් ප්‍රදේශවල ජීවත් වුණ මගේ ඥාතීන් බොහෝ දෙනෙක්ගේ ම නිවාස සියල්ලම එම ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන් ගිනි තබා විනාශ කළා.

“ඉතින් මේ අවස්ථාව ශ්‍රී ලංකාවේ පදිංචිව සිටි බොහොමයක් දෙමළ ජනයාට තීරණාත්මක අවස්ථාවක් වුණා.”


කළු ජූලිය වාර්ගික සහජීවනය සහ අන්තර් වාර්ගික සබඳතා පිළිබඳ ඔබේ අදහස හැඩගස්වා ඇත්තේ කෙසේද?

“ඇත්තටම කියනවනම්, මෙය අපේ සමාජයේ පවතින ඉතා ගැඹුරු පලුද්දක්. අපි එය සමඟ කටයුතු කළ යුතුයි. අපි ඒ ගැන කතා කර පොදු විසඳුම් සෙවිය යුතුයි. එය අප අවධානය යොමු කළ යුතු ඉතා වැදගත් දෝෂ රේඛාවක් වන අතර ම එසේ අපේ අවධානය ඒ කෙරෙහි යොමු නොවුවහොත් එය නැවත නැවතත් සිදු වීමට ඉඩ සැලසෙන්න පුළුවන් සහ කාරණය ද එයයි. ඉතින් ඔබ එය සමඟ ගණුදෙණු කර මතකයන් සජීවීව තබා නොගන්නේ නම්, එය නැවත ඇතිවීම සිදුවන්න පුළුවන්. ඒ නිසා කළු ජූලිය පිළිබඳ ඇති ඉතිහාසය සමඟ ගණුදෙණු නොකිරීම සහ එය අමතක කිරීම නවත්තන්න ඕන.”

“මෙම අමිහිරි මතක වගේම හොඳ මතකයන් ද මේ කාලය තුල තිබුණා. මගේ අම්මා සෑම සතියකම කොල්ලුපිටිය පොළට යනවා. ඉතින් ඒ ගියාම ඇය එලවළු, මාළු මිල දී ගන්න වෙනම ම වෙළෙන්දන් පිරිසක් සිටියා. ඇය වසර 25 කට වැඩි කාලයක් තිස්සේ පටන් ඇගේ මෙම ප්‍රියතම වෙළෙන්දන්ගෙන් අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්න පුරුදුව සිටියා. ඉතින් මෙම කළු ජූලිය සිදු වූ කාලය තුල අපි හොඳින් ඉන්නවා ද යන්න සහතික කර ගැනීම සඳහා ඔවුන් නොමිලේ එළවළු, මාළු සහ ආහාර සමඟ අපගේ නිවසෙහි දොරකඩ පෙනී සිටියා. ඒ විදිහට ඔවුන් පැමිණියේ අපි හොඳින් සිටිනවාද නැද්ද යන්න සහතික කර ගැනීමට. ඒ ආකාරයට බොහෝ සිංහල මිනිස්සු දෙමළ ජනයාව මෙම වකවානුව තුල දී ආරක්ෂා කලා. ඉතින් වාර්ගික සහජීවනය තහවුරු වන වගේම වාර්ගික සහජීවනය පිළිබඳ උපයෝගී කර ගත හැකි එවැනි සංසිද්ධීන් ද මෙම කාලය තුල තිබුණා.

“ ඒ වගේම සියලුම ජන සමූහයන්ට අයත් පුද්ගලයන් එක්වී අසල්වැසියන් නිරීක්ෂණය සිදු කිරීමට කටයුතු කළා. අපි හැමෝම ප්‍රජා සේවයට සම්බන්ධ වුණා. ඉතින් මෙය සිවිල් සමාජවල උපත සඳහා ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් වූ බව සඳහන් කරන්න පුළුවන්.

මෙවැනි වර්ගවාදී අරගල නැවත සිදු නොවීමට ගත හැකි පියවර ලෙස ඔබට දක්වන්න පුළුවන් මොනවාද?

“මෙවැනි තත්ත්වයක් නැවත ඇති නොවීමට අපට ධනාත්මක වැඩසටහන් සංවිධානය කරන්න පුළුවන්. ඒ වගේම මිනිසුන් සියලු දෙනාම සමාන බව අපි තේරුම් ගැනීම ද කල යුතුයි. කෙසේ වූවත් මේ වන විට දෙපැත්තේම මතවාද ඒ ඒ ජනවර්ගයන්ට කේන්ද්‍රීයවයි පවතින්නේ .ඉතින් සෑම විටම සියලු මිනිසුන් සමාන බව පෙන්වීමට අප වැඩ කටයුතු සිදු කළ යුතුයි.”

“ඒ වගේම සිංහල සමාජය විශාල ලෙස ඝට්ටනයකට ලක්වෙලා තියෙනවා. 2005 සිට 2015 දක්වා කාලය තුල සුළු ජාතීන්ට සැලකුවේ ඔවුන්ට සුදුසු නැති ආකාරයක ට සහ දෙවන පන්තියේ පුරවැසියන් ලෙසට. ඉතින් ඒ ආකාරයට බලන විට සැබැවින්ම අවශ්‍ය වන්නේ ජනවාර්ගිකත්වයට ඉහළින් යන මතවාදයක් නිර්මාණය කිරීමයි.”

“එසේ ම ඔබට යම් ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක් මේ කෙරෙහි නොමැති නම්, මෙය නැවත සිදු වීමට අවශ්‍ය අවකාශය නිර්මාණය වෙන්න පුලුන් . ඉතින් අපි බොහෝ දෙනෙක් සත්‍යය උදෙසා සහ එය නැවත සිදු නොවීමට යම් ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයක් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි අපේ අතීතයට මුහුණදීම ද සිදු කල යුතු වෙනවා.”

කළු ජූලිය නිසා ඇති වූ කැළැල් නැතිනම් අමිහිරි මතක දෙස බලන විට තිරසාර සාමය සහ සමගිය කරා යන මාවත ලෙස ඔබ දකින්නේ කුමක්ද?

“මෙහි දී මම දකින්නේ, අප විසින් මෙම දුක් වේදනාවන්ට පත් වූ වින්දිතයින් පිරිස එකට එක්කාසු කර ඔවුන්ට උපකාර කිරීමට යම් ආකාරයක ක්‍රියාවලියක් සකස් කිරීම කළ යුතුයි බවයි. එසේම මේ සියලු දෙනා එකට එකතු කර, ඔවුනොවුන්ගේ අත්දැකීම්, ජීවිත කතාවන් බෙදා ගැනීමට සහ අතීතය සමඟ ගනුදෙනු කිරීමට ඔවුන්ට අවකාශය සලසා දීම කල යුතුයි. නිසැකව ම අපට අවශ්‍ය වන්නේ එයයි.”


ඔබතුමියට හැඟෙන ආකාරයට අපි කොහොමද මේ පණිවිඩය තරුණ පරපුරට ගෙනියන්නේ?

“මම හිතන්නේ මෙම කළු ජූලිය පිළිබඳව පෙළපොත්වල අන්තර්ගත වෙලා තිබිය යුතුයි.”

“මෑතකදී මම තරුණයන් පිරිසක් සිටි රැස්වීමක සිටියා. එම ශාලාවේ සිටි ඔවුන් අතර කිසිවකුටවත් 1983 දී සිදු වූ මෙම කළු ජූලිය ගැන කිසිම අදහසක් තිබුණේ නැහැ. ඉතින් මම හිතන්නේ 1983දී සිදු වූ මෙම කළු ජූලිය පිළිබඳ ව ඔබට නොතේරෙන්නේ නම් ඉන් පසුව සිදු වූ දේ පිළිබඳව ද ඔබට තේරුමක් නැහැ. එම නිසා මෙම මතකය මැකී යාමට ඉඩ නොදීම සිදු කල යුත්තක්. ”

කළු ජූලිය ශ්‍රී ලාංකීය සමාජයට සහ වත්මන් අන්තර් ජනවාර්ගික ප්‍රචණ්ඩත්වය කෙරෙහි ප්‍රවේශ වීමට බලපා ඇති බව ඔබට හැඟෙනවා ද ?

“පළමුව සඳහන් කරන්න අවශ්‍යයි දෙමළ ඩයස්පෝරාව නිර්මාණය කිරීම සහ එහි බලපෑම සඳහා මෙම 1983 සිදුවීම් බොහෝ සෙයින් සම්බන්ධ වෙනවා. ඒ වගේම 1983 වර්ෂයෙන් පසු දෙමළ කොටි ව්‍යාපාරය දස ගුණයකින් වර්ධනය වීම ද සිදු වුණා. තව ද කොළඹ ප්‍රදේශ වලින් බොහෝ තරුණයින් පිරිසක් මෙම දෙමළ කොටි සංවිධානය සමඟ සම්බන්ධ වීම ද සිදු වුණා.”

Groundviews වෙබ් අඩවියේ පළවු Dr. Radhika Coomaraswamy on How Black July Impacted her life and Work නම් සම්මූඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය ‘විකල්ප’ විසිනි.