Image:wsws [AP Photo/Eranga Jayawardena]

ගිය වර මේ කොලමේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් ගැන සාකච්ඡා කෙරුණි. ඒ යෝජනාව පසුපස, එළැඹෙන ජනාධිපතිවරණය දවසකින්වත් කල් දමා ගැනීමේ උවමනාවක් නොතිබුණු බව, ඒ ලිපියේ දක්වා ඇති සෑම කාරණයකින්ම අවධාරණය කෙරුණි. එසේ තිබියදී පවා, ජනාධිපතිවරණය කල්දමාගැනීමේ උත්සාහයකට ඈතින් හෝ තල්ලූවක් එයින් සැපයෙතියි ඉඟි කිරීමට ඇතැම් මිතුරෝ උත්සාහ කළහ. ඒ නිසා, අවසානාත්මක වශයෙන් නැවතත් මෙසේ ලියනු කැමැත්තෙමි.

ඉදිරි ජනාධිපතිවරණය නොපැවැත්විය යුත්තේ, ජනාධිපති ක්‍රමය ලබන සැප්තැම්බර් මාසයට පෙර අහෝසි කරන්නේ නම් පමණි. අහෝසි කිරීම, ප්‍රායෝගිකව කළ හැකි දෙයකට වඩා නොකෙරෙන දෙයක් වීමට සෑම ඉඩකඩක්ම ඇති බව ඇත්ත. ඒ විෂය සම්බන්ධයෙන් අපේ නායක නායිකාවන්ගේ අතීත චර්යාවන් දෙස බලන විට, අහෝසියක් වීමට වඩා නොවීමට ඇති ඉඩකඩ වැඩියි. එහෙත්, දුරස්ථ වශයෙන් හෝ විය-හැකියාවක් පිළිබඳ සංවාදයක් පවත්වාගෙන යාම, අලූතෙන් ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් වන කාලයක කාලය කාදැමීමක් නම් නොවනු ඇත.

එබැවින් මේ විධායක ජනාධිපති ක්‍රමය නැති කෙරෙන දවස දක්වාම, ඒ සංවාදය ගෙන යා යුතුව තිබේ. ඉදිරියේදී බලයට පත්වෙන ජනාධිපතිවරුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා, එක් නිශ්චිත මොහොතකදී, මේ ක්‍රමය තවත් නම් ඕනෑ නැතැයි මුළු රටටම ඒත්තු යාමේ අවස්ථාවක්, අහම්බෙන් හෝ උදා වීමට බැරිකමක් නැත.

කරුණු එසේ වෙතත්, විධායකය අහෝසි කිරීමේ සටන්පාඨයම, ව්‍යාජ සහ කූට අර්ථයකින් ගත් විට, යම් නායකයෙකුගේ පටු අභිලාෂයන් මුදුන්පත් කරගැනීමටත් ඉවහල් විය හැකිය. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් රට පුරා මතුවන්නේ ඒ ප්‍රශ්නයයි. ඊට හේතුව, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ව්‍යාපාරයක නායකත්වයට ඔහු සතුව ඇති සුදුසුකම්වලට වඩා නුසුදුසුකම් වැඩි වීම ය. තමා කෙරෙහි රටවැසියා තුළ ඇති විශ්වසනීයත්වය අඩුම දේශපාලනඥයා ඔහු වීම ඊට එක් හේතුවකි. බලය සම්බන්ධ කාරණයේදී ඔහු වනාහී ‘විශ්වාසය තැබිය නොහැකි’ කෙනෙකු බව, දේශපාලනය ගැන යම් උනන්දුවක් දක්වන බහුතරයකගේ මතයයි.

ඉතා මෑත අතීතය පමණක් සලකා බැලූවත්, පසුගිය පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම ගැන පිළිගත හැකි උත්තරයක් දීමට අද වන තෙක් ඔහු අසමත්ව සිටී. ඒ සඳහා වන මූල්‍ය ප්‍රතිපාදන අදාළ අයවැයෙන් පවා වෙන් කර තිබියදීත්, එම මැතිවරණය නොපැවැත්වීමට ඔහු කටයුතු කළ ආකාරය අති කුප්‍රකටයි. නායකයෙකු වශයෙන් ඔහු කෙරෙහි යම් හෝ විශ්වාසයක් ජනතාව අතරේ එතෙක් තිබිණි නම් ඒ ක්‍රියාව මගින් එයද අහෝසි කෙරුණි.

දෙවැනුව, ඔහුගේ නායකත්වය යටතේ දැන් සම්මත කරගෙන ඇති ‘මාර්ගස්ථ ආරක්ෂණ පනත’ මේ රටේ ජනතාවගේ ප්‍රකාශනයේ නිදහස සහමුලින්ම මර්දනය කෙරෙන්නක් බව නොරහසකි. ශ්‍රේෂ්ඨාධිකරණය පවා ඒ නිගමනයට පැමිණ ඇත. ඒ පනතේ අඩංගු කාරණා ගණනාවක්ම සංශෝධනය කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය කියා ඇත්තේ එබැවිනි. කෙසේ වෙතත්, මහජන මතය මැඩලීම සඳහා පළාත් පාලන මැතිවරණය නොපවත්වා සිටීමට අමතරව, මෙවැනි පනතකුත් ඒ අස්සේ කඩිමුඩියේ සම්මත කරගැනීම, ඔහු පිළිබඳව ජනතාව තුළ ඇති අවිශ්වාසය තවත් තීව්‍ර කර තිබේ. එක පැත්තකින් ඔහු, මහජන ඡන්දයකින් තේරී පත් නොවුණු ජනාධිපතිවරයෙකි. ඒ මදිවාට, මහජනතාවගේ කට වැසීම සඳහා මෙවැනි පනතක් සම්මත කරගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කිරීම පිළිබඳ කාරණයේදී, ඔහු පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටීමට තවදුරටත් හේතුකාරක වී තිබේ. මේ නිසාම, ඉදිරි ජනාධිපතිවරණය, ව්‍යවස්ථාවේ සඳහන් පරිදි නියමිත කාලයේදී පැවැත්වෙන බවට ඔහුගේ කාර්යාලයෙන් දැන් නිකුත් කෙරෙන නිවේදන බරසාරව භාර නොගන්නා ස්වභාවයක් සමාජයේ දක්නට ලැබේ.

ජනාධිපතිවරණය යනු, පළාත් සභා හෝ පළාත් පාලන ඡන්දය වැනි අවස්ථාවක් නොවේ. එම පළාත් සභා සහ පළාත් පාලන ඡන්ද දිවයින පුරා පැවැත්වුණද, කේන්ද්‍රීය දේශපාලනය ඒවා තුළින් විදාරණය වන්නේ ප්‍රාදේශීය වශයෙනි. එහෙත්, ජනාධිපතිවරණය යනු මුළු රටේම ජනතාවගේ මහජන ස්වෛරීත්වය තනි ඉලක්කයක් වෙත කේන්ද්‍රගත කෙරෙන අවස්ථාවකි. ඒ අනුව ගත් විට, පාර්ලිමේන්තු මැතිවරණයකටත් වඩා ජනාධිපතිවරණයක්, දැනට පවතින බල ව්‍යුහයේ ස්වභාවය අනුව ගත් විට, වැදගත්කමින් ඉහළ අගයක් ගනී. ඒ නිසා ඒ සමග සෙල්ලම් කිරීම, පළාත් පාලන මැතිවරණය සමග සෙල්ලම් කළ ආකාරයෙන් කළ නොහැකි වනු ඇත. එසේ කළොත් ඇති විය හැකි හානිදායී ප්‍රතිවිපාක, වැදගත්කමින් අඩු වෙනු ඇත්තේ, හමුදා කුමන්ත්‍රණයකින් රාජ්‍ය බලය ඩැහැගැනීමකට පමණි.

ඊළඟට, දැන් ලංකාවේ සිටින්නේ, මැතිවරණ ගණනාවකින්ම එක පිට එක අස්වාමී කරනු ලැබ සිටින ජනතාවකි. ගෝඨාභය රාජපක්ෂගේ අමන කල්ක්‍රියාව හරහා ඉතිහාසයේ නොවූ විරූ අගාධයකට ඇදවැටීමෙන් පසු, විය යුතු පරිද්දෙන්ම, මැතිවරණ පිපාසයකට මේ ජනතාව ගොදුරු වූහ. පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහා ඡන්ද නොපැවැත්වීම හරහා දීර්ඝ ‘හේමන්ත නිද්‍රාවකට’ බලහත්කාරයෙන් එම ජනතාව තල්ලූ කරනු ලැබුවේ එවැනි තත්වයකදී ය. ඒ නිසාම, නියමිත දිනයට එක දිනයක්වත් කල් නොයවා ජනාධිපතිවරණය පැවැත්වෙන බවට වගබලා ගැනීමේ විශේෂ අයිතියක් සහ වගකීමක් සමස්ත විපක්ෂයටම මෙහිදී පැවරෙයි.

උදාහරණයක් වශයෙන් මෙසේ සලකන්න: ගෝඨාභය රාජපක්ෂට රට හැර පලායන්නට සැලැස්වූ මහජන මතය ඡන්දයක් වශයෙන් ප්‍රකාශයට පත්වීමට එදා ඉඩ හැරියේ නම්, අද නිසැකවම බලයේ සිටිනු ඇත්තේ විපක්ෂයේ යම් පක්ෂයක් මිස රනිල් වික්‍රමසිංහ නම් නොවේ. එසේම, අද පාර්ලිමේන්තුවේ සිටින බහුතරය වන රාජපක්ෂ කඳවුර, 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහට අත් වු ඉරණමට සමාන ඉරණමකට මුහුණදෙනවා සිකුරුයි.

ජනාධිපතිවරයාගේ පැත්තෙන් ඇඳී යන චිත්‍රය එයාකාර නිසා, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වගකීම මතුවට පැවරෙන්නේ විපක්ෂයට බව කිව යුතුය. එබැවින් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙකම, එනම් සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය, රනිල් වික්‍රමසිංහ මේ කාර්යය (අහෝසි කිරීම) නොකරතියි හෝ ඒ සම්බන්ධයෙන් වංගු ගැසීමට සැරසෙතියි චෝදනා කරන විට, එය අහෝසි කිරීමේ උවමනාව සහ හැකියාව තමන්ට ඇති බව රටට ප්‍රකාශ කර සිටීමත් ඔවුන්ගේ යුතුකමකි. එසේ වූ විට, එළැඹෙන ජනාධිපතිවරණය, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ජනමත විචාරණයක් බවටත් (සංකල්පීය තලයකදී) එක විට පත්කරගත හැකි වනු ඇත.

ඇත්ත, දෙන්නම් කාසි ගැන විස්වාසය තැබිය නොහැකි තරමට මේ පොරොන්දුව කුරුවල් වී ඇත. මේ පොරාන්දුව දී බලය ගත් මුත් අවසානයේ ඒ පොරොන්දුව කඩ කළ නායකයන්ගෙන් අපට අඩුවක් නැත. එවැනි පොරොන්දුවක් නොදී බලයට පත් එකම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ පමණි. එහි ඇති ඓතිහාසික සරදම වන්නේ, තමන්ට ලැබුණු ජනාධිපති ධුරය අතරමඟ හැරදමා ගිය එකම පුද්ගලයාද ඔහුම වීමයි. අනිත් සියල්ලෝම, තමන්ගේ ධුර කාලය අවසන් වීමට ළං වෙද්දී බැලූවේම, තවත් ධුර කාලයක් බලයේ සිටීමටයි. එපමණක් නොව, තවත් සමහරු තමන්ගේ දෙවැනි ධුර කාලය අවසන් වන අවස්ථාවේ පවා, (ව්‍යවස්ථා විරෝධීව) තුන්වැනි ධුර කාලයකුත් ඉන්නට කුරුමාණම් ඇල්ලූහ. ඒ තරමට මේ පුටුව ඇලෙනසුළුයි. වරක් වාඩි වුණොත් දෙවරක්ද, දෙවරක් වාඩි වුණොත් තවත් වාරයක්ද වාඩි වීමට හිත යන තරමට ආකර්ශනීයයි.

එසේ වෙතත්, මීට දෙවසරකට ඉහතදී ජනතාවක් වශයෙන් අපි වැඩිවිය පත්ව සිටින බව කෙනෙකු අමතක කළ යුතු නැත. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ පළමු වතාවට, ජනතාව ඡන්දයෙන් පත්කරගත් නායකයෙකු ජනතාව විසින්ම ඡන්දයට පිටස්තරව සහ බලහත්කාරයෙන් ඉවත් කළ ඓතිහාසික මංසන්ධියක් අප දැන් පසු කොට ඇත. ඒ ජනතාව, තමන් විසින් නෙරපා හරින ලද පුද්ගලයා වෙනුවට තමන්ට අවශ්‍ය කුමන පුද්ගලයාද යන්න තීරණය කිරීමේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය තමන්ට දෙන්නැයි මේ මොහොතේ මොරගා ඉල්ලා සිටිති. මොන අවසරයක් යටතේ හෝ ඒ ඉල්ලීමට පිටුපෑම, ඉතිහාසය විසින් කිසි දවසක සමාව නොදෙන සාපරාධී වරදක් වනු ඇත.

ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda