‘ඔන්ලයින් ආරක්ෂණ පනතෙහි'(OSA) විධිවිධාන භාවිතා කරන පළමු නඩුව පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාව, කාන්තාවන් සහ ළමයින් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස රජය ඉදිරිපත් කළ කාරුණික ආකාරයට වඩා භාවිතයේදී පනත බොහෝ වෙනස් වන බවට අනතුරු ඇඟවීම් සිදු කරන අතර, එය කනස්සලු සහගතය.

අදාළ ලිපියේ සඳහන් වන්නේ,

2024 අංක 09 දරණ ඔන්ලයින් ආරක්ෂණ පනතේ 24 (1) සහ 24 (2) වගන්ති ප්‍රකාරව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පෙත්සම්කාර ජනක රත්නායක මහතාට පක්ෂව කොන්දේසි සහිත නියෝගයක් නිකුත් කළ අතර පනතේ 24 (4) වගන්තියේ දක්වා ඇති පරිදි එම නියෝගය විද්‍යුත් ක්‍රම මගින් වගඋත්තරකරුවන් වන ගයත්‍රි බිම්බා, ජනක රාජපක්ෂ, ඕෂල හේරත් සහ තවත් කිහිප දෙනෙක් වෙත දැනුම් දෙන ලෙස නියෝග කළේය. පෙත්සම්කාර ජනක රත්නායක මහතා විසින් සිය පෙත්සමේ සඳහන් කරන ලද්දේ වගඋත්තරකරුවන් පුද්ගලික තොරතුරු සංසරණය කර ඇති බවට හෝ බෙදා හැරීමට උත්සාහ කරන බවටයි. ඒ අනුව ඔහු, තමා “ඉලක්කගත පුද්ගලයකු” බවත්, පෙත්සමේ නම් කර ඇති වගඋත්තරකරුවන් කිහිප දෙනකුගෙන් එක් අයකු හෝ කිහිප දෙනකු ව්‍යාජ ප්‍රකාශ සන්නිවේදනය කරමින් තමාට හිතාමතාම හිරිහැර කරන බවටත් පෙත්සම්කරු වැඩිදුරටත් චෝදනා කළේය.

කාන්තාවක් හෝ දරුවෙක් පිළිබඳ සඳහනක් පෙනෙන්නට නැත!

ඒ වෙනුවට, අපි දකින්නේ මූලික වශයෙන් අපට අවශ්‍ය මිනුම් දඬු , විමර්ශන රාමු සහ නොදන්නා හෝ හෙළිදරව් නොකළ අධිකරණ ක්‍රියාවලීන් මත පදනම්ව ගත් සත්‍යතාව පිළිබඳ අධිකරණ තීරණයකි. වෙනත් වචනවලින් කිවහොත්, එය සත්‍යය/අසත්‍යය පිළිබඳ ආත්මීය, විනිවිද නොපෙනෙන අර්ථකථනයක් වන අතර, එය ශක්තිමත්, අපක්ෂපාතී, තාක්ෂණික සහ සාක්ෂි පදනම් වූ සමාලෝචනයකින් තීරණය කරන ලද එකක් හෝ, ප්‍රසිද්ධියට පත් කරන ලද ඕනෑම ආකාරයක තර්කයක් හෝ සලකා බැලීමක් හරහා පැහැදිලි කළ එකක් නොවන බවට ද විද්‍යමාන වේ.

ඔන්ලයින් ආරක්ෂණ පනත (OSA) හි 24(1) වගන්තිය මගින් “තහනම් ප්‍රකාශයක්” මගින් පීඩාවට පත් වූ පුද්ගලයන්ට එම ප්‍රකාශය සංසරණය වීම නැවැත්වීමේ වාරණ නියෝගයක් සඳහා සෘජුවම මහේස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමේ අයිතිය ලබා දේ. මෙම විධිවිධාන මාර්ගගත ආරක්ෂණ කොමිසමේ අධිකාරියෙන් සහ ක්‍රියා පටිපාටිවලින් ස්වාධීනව ක්‍රියාත්මක වේ. 24 (2) වගන්තියට අනුව, එවැනි පෙත්සමක් ලැබීමෙන් පසු, මහේස්ත්‍රාත්වරයාට තහනම් ප්‍රකාශය සංසරණය කරන පුද්ගලයාට එරෙහිව කොන්දේසි සහිත නියෝගයක් නිකුත් කළ හැකි අතර, වහාම ක්‍රියාත්මක වන පරිදි සන්නිවේදනය නතර කිරීමට නියෝග කළ යුතුය. සැළකිය යුතු ලෙස, 24 වගන්තිය ඔන්ලයින් ආරක්ෂණ කොමිෂන් සභාව පිහිටුවීම සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් හෝ පූර්වාවශ්‍යතාවක් නියම කර නැත. එමඟින්, පීඩාවට පත්/ අගතියට පත් පාර්ශ්වයන්ට සෘජුවම මහේස්ත්‍රාත් අධිකරණය හරහා සහනයක් ලබා ගත හැකි පැහැදිලි සහ ගැටලුකාරී නෛතික මාර්ගයක් ස්ථාපිත කරයි.

ඒ අනුව 24 වැනි වගන්තිය ප්‍රකාරව ආවරණය වන තහනම් ප්‍රකාශ තුළට 52 වැනි වගන්තිය ඔස්සේ අර්ථ දක්වා ඇති ඕනෑම “අසත්‍ය ප්‍රකාශයක්” ඇතුළත් වේ. මෙය “එහි නිර්මාතෘ විසින් වැරදි හෝ අසත්‍ය යැයි දන්නා හෝ විශ්වාස කරන” සහ “විශේෂයෙන් රැවටීමට හෝ නොමඟ යැවීමේ චේතනාවෙන්” සිදු කරන ලද ප්‍රකාශ ආවරණය කරයි. සරලව කිවහොත් මෙම 24 වන වගන්තිය චේතනාන්විතව අසත්‍ය සහ අන් අය නොමඟ යැවීමට අදහස් කරන ප්‍රකාශ බෙදා හැරීම තහනම් කරනු ලබයි.

24 වැනි වගන්තිය ප්‍රකාරව පවතින ප්‍රධාන ගැටලුවලින් (වෙනත් බොහෝ දේ අතර!) එකක් වන්නේ ප්‍රකාශවල සත්‍යතාව තක්සේරු කිරීම හෝ ආරක්‍ෂාව සළකා බැලීම සඳහා එහි කිසිදු මග පෙන්වීමක් නොමැතිකමයි. කෙනෙකුගේ අභිප්‍රාය තීරණය කරන්නේ කෙසේද? ප්‍රකාශනය කරන අවස්ථාවේදී, විවරණ/අන්තර්ගතය වැරදි හෝ අසත්‍ය බව නිෂ්පාදකයා/සකසන්නා විශ්වාස කළ බව විනිශ්චය කරන්නේ කෙසේද? සත්‍ය යනු කුමක්ද, අසත්‍ය යනු කුමක්ද? එපමණක් නොව, අන්තර්ගත නිර්මාපකයාගේ අභිප්‍රාය එම අන්තර්ගතය සමඟ නියැලෙන, ඒ පිළිබඳව අදහස් දක්වන හෝ තමන්ගේම අදහස් සමඟ එය බෙදා ගන්නා පුද්ගලයන්ගේ අභිප්‍රායන්ට සමානද? මෙවන් ගැටළු රැසකි.

ඔන්ලයින් ආරක්ෂණ පනත (OSA) හි හරය හෝ අරමුණ මෙම සංකීර්ණතා කිසිවක් ආමන්ත්‍රණය කිරීමට අපොහොසත් වන අතර, එය එහි සැබෑ අභිප්‍රාය වන සන්නද්ධ කරන ලද අධිකරණයක්(weaponised judiciary) හරහා විවේචකයන් සහ විරුද්ධවාදීන් නිහඬ කිරීම වෙනුවෙන් සේවය කරන බැව් පසක් කරවයි.

මෙම තත්වය, ඔන්ලයින් කථනයෙහි නීත්‍යානුකූලභාවය තක්සේරු කිරීමට තනි තනි මහේස්ත්‍රාත්වරුන්ට සැළකිය යුතු අභිමතයක් ද ලබා දෙයි. එය සරල දෙයක් නොවන අතර වේගයෙන් වඩාත් සංකීර්ණ වෙමින් පවතී. දශක දෙකකට ආසන්න කාලයක් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (ICCPR) උපායශීලීව භාවිතා කිරීම පෙන්නුම් කරන පරිදි, ඔන්ලයින් හානි සහ කථනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ප්‍රගතිශීලී නීති ව්‍යවහාරයක් නොමැත. මෙම විෂය පථය සම්බන්ධයෙන් කලාපීය, රටට ආවේණික, ජාත්‍යන්තර, වාණිජ සහ ඒ ඒ ඔන්ලයින් වේදිකාවට අනන්‍ය වර්ධනයන් පිළිබඳව රටේ අධිකරණයට පවතින දැනුවත්භාවයෙහි මට්ටම කෙතරම් දුරට පවතින්නේ ද යන්න ද අපැහැදිලිය. සරලව ප්‍රකාශ කළහොත් , සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (ICCPR) අනිසි ලෙස භාවිතා කර ඇති ආකාරය හා සසඳන විට, වාරණය සඳහා හිතාමතාම නිර්මාණය කර ඇති ඔන්ලයින් ආරක්ෂණ පනත, එහි කුරිරු සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය, වෙනස් ලෙස (වර්තමාන බලධාරීන් විසින් සහ අනාගත බලධාරීන් විසින්) භාවිතා කරනු ඇතැයි අපේක්ෂා කිරීමට කිසිදු පදනමක් නොමැත.

තවද, 24 වැනි වගන්තිය මගින්, ඔන්ලයින් ආරක්ෂණ කොමිෂන් සභාව සම්බන්ධ කර නොගෙන, අසත්‍ය යැයි සැළකෙන ඔන්ලයින් කථනය සෘජුවම සීමා කිරීමට මහේස්ත්‍රාත්වරුන්ට ඉඩ සළසන සමාන්තර අධිකරණ ක්‍රියාවලියක් නිර්මාණය කරයි. කොමිෂන් සභාව පිහිටුවීම මූලික වශයෙන් දෝෂ සහිතය. කෙසේ වෙතත්, ඔන්ලයින් ආරක්ෂණ පනත (OSA) යටතේ පවරා ඇති පළමු නඩුවෙන් පෙනී යන්නේ පත් කරන ලද කොමසාරිස්වරුන් නොමැතිව වුවද (මා දන්නා පරිදි තවමත් පත් කර නැත), අපේ නීති පද්ධතිය තුළ ඔන්ලයින් ආරක්ෂණ පනත (OSA) පැවතීම, ප්‍රාථමික මූලධර්මවලට පටහැනි වන අතර එය ප්‍රතිගාමී නීති ව්‍යවහාරයක් ස්ථාපිත කිරීමට දායක වන බවයි.

සිවිල් සමාජය, අන්තර්ගත නිශ්පාදකයින්, මාධ්‍යවේදීන් සහ වෘත්තීය සමිති සමඟ සම්බන්ධ වීමෙහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය මාස දෙක තුළ බෙදාගත් LinkedIn පළ කිරීම්, ඔන්ලයින් ආරක්ෂණ පනතහි විධිවිධාන පිළිබඳව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් සම්පූර්ණයෙන්ම නොසළකා හරින හා නොදන්නා ප්‍රමාණය ඉස්මතු කරයි. ඔන්ලයින් ආරක්ෂණ පනත මගින් ඇති කරන අවදානම හුදු න්‍යායාත්මක අවදානමක් නොවන බව මෙම පළ කිරීම් තුළින් අවධාරනය කරයි. එසේම මෙම පනත ක්‍රියාත්මක වන තාක්, එය බලය දරන පුද්ගලයන්ට, ආයතනවලට සහ බලය රඳවගන්නා මුල පිරීම්වලට සහ බලය සඳහා වගවීමක් පැවරී ඇති අයවලුන්ට දැනෙන සහ උග්‍රවන තර්ජනයක් බව ද ඔවුහු තව දුරටත් අවධාරණය කරති.

මාර්ගගත ආරක්ෂණ පනත (OSA) යොදාගත් පළමු අවස්ථාව, මගේ මතය අනුව, ඉදිරියෙහි වඩාත් කරදරකාරී වර්ධනයන් සිදුවන බැව් දක්වන පෙරනිමිත්තකි. ඇතැම් අයවලුන් පෙන්වා දී ඇති පරිදි, ඔන්ලයින් ආරක්ෂණ පනත සමඟ “ජීවත්වීමක්” හෝ ඉන් “ගැළවීමක්” නොමැත. එබැවින් සැබවින්ම එහි කළ යුතු කිසිදු සංශෝධනයක් නොමැති අතර, ඇත්ත වශයෙන්ම, යෝජිත සංශෝධන මඟින් ඇදහිය නොහැකි ලෙස පනත වඩා නරක අතට හරවනු ඇත. පනත මූලික වශයෙන් සහ පිළිසකර කළ නොහැකි ලෙස දෝෂ සහිත ය. එහි හුදු පැවැත්ම ප්‍රජාතන්ත්‍රවාදයට මාරාන්තික තර්ජනයක් වන අතර එය නොසළකා හැරිය නොහැකි අවදානමකට සමාන ය.

ඒ අනුව ඔන්ලයින් ආරක්ෂණ පනත ප්‍රතික්ෂේප කිරීම මෙන්ම අවලංගු කිරීම ද කළ යුතුය.

(ආචාර්ය සංජන හත්තොටුව විසින් The OSA’s first application has red flag නමින් ඉංග්‍රීසි බසින් ලියන ලද ලිපියේ අනුවර්තනයක් වන අතර අනුවර්තනය ‘විකල්ප’ වෙබ් අඩවිය විසිනි)

ආචාර්ය සංජන හත්තොටුව | Dr Sanjana Hattotuwa