Image: csiaplk
අලි-මිනිස් ගැටුම දැනට මෙරට පවතින පුළුල්තම පැතිරීමක් සහිත සංකීර්ණතම සමාජාර්ථික, පාරිසරික හා දේශපාලනික ගැටළුවක් බව සැබෑය. ඊට පිළියම් සෙවීම සඳහා බව පවසමින් පසුගිය සඳුදා(20) දින ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවක් පිළිබඳව මධ්‍ය වාර්තා පලවිය. නමුත් එකී සාකච්ඡාව සැබෑ ලෙසම ගැටුමට පිළියම් සෙවීම සඳහා පවත්වන ලද්දක් ද නොඑසේ නම් පීඩාවට පත්ව ඇති අලි-මිනිස් ජීවිත දඩමීමා කරගෙන අලි හොරුන් පිනවීමට සලසුම්කල උප්පරවැට්ටියක්ද යන ගැටළුව අප හමුවේ පැනනැගී තිබේ.
වන අලින්ගෙන් ගම් සහ ගොවිබිම් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ප්‍රජාමූල කාලීන කුඹුරු විදුලි වැට සහ ප්‍රජාමූල ග්‍රාමීය විදුලි වැට ලෙස නියමු ව්‍යාපෘති දෙකක් දියත් කිරීමට රජය සූදානම් වන බව එහිදී ප්‍රකාශ විය. දැනට පවතින විදුලි වැටවල්වලට අමතරව ගැටුම් බහුල දිස්ත්‍රික්ක කිහිපයක අස්වනු නෙළන කාලය තුළ ගොවිබිම් වටා තාවකාලික කෘෂිකාර්මික විදුලි වැටවල් ඉදිකිරීම මගින් එම භූමි ආරක්ෂා කිරීම සඳහා එක් නියමු ව්‍යාපෘයක් යෝජනා කර ඇත. එසේම මෙම ප්‍රජාවන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් නිතර වන අලි – මිනිස් ගැටුම් ඇති වන ගම්මාන වටා විදුලි වැට ඉදිකිරීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ යෝජනාව ද මෙම රැස්වීමේදී සාකච්ඡාවට බඳුන්වී ඇති බව දැනගන්නට ලැබේ.
නමුත් මෙරට අලි-මිනිස් ගැටුම් අවමකිරීම පිළිබඳව උනන්දුවන කිසිවෙකුට මෙම ප්‍රජාමූල ග්‍රාමීය විදුලි වැට සහ ප්‍රජාමූල කාලීන කුඹුරු විදුලි වැට අලුත් දෙයක් නොවේ. එසේම නියමු ව්‍යාපෘති මගින් තවදුරටත් අත්හදාබැලීම් සිදුකිරීමටද දෙයක් එහි නොවේ. 2020 ජූලි 22 දින පත්කෙරුණු ජනාධිපති කමිටුවක් මගින් සකස් කෙරුණු ‘ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම’ මගින්ද මෙකී විදුලි වැට පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර තිබේ. “දැනට ග්‍රාමීය විදුලි වැට 50ක් පමණ සහ කුඹුරු විදුලි වැට 25ක් පමණ කුරුණෑගල, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වල සාර්ථකව ක්‍රියාත්මක වන අතර ඉන් සමහරක ක්‍රියාකාරීත්වය වසර 12ක පමණ අතීතයට දිව යයි.” යනුවෙන් එම සැලැස්මේ සඳහන් වේ. එමෙන්ම ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා විසින් 2022. 07. 22 දාතමින් නිකුත් කෙරුණු චක්‍රලේඛ අංක 07/2022 දරන ‘කුඹුරු ඉඩම්වල වගා කරන වී සහ කෙටිකාලීන බෝග ආරක්ෂා කිරීම සඳහා සෘතුමය වගා ආරක්ෂක වැට ඉදිකිරීම (Seasonal Crop Protection Fence)’ හිසැති චක්‍රලේඛය මගින් එම දෙපාර්තමේන්තුව හරහා ඉහතකී ප්‍රජාමූල කාලීන කුඹුරු විදුලි වැට ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සවිස්තර උපදෙස්ද ලබාදී ඇත.
එබැවින් සාගල රත්නායක රත්නායකට මෙරට අලි මිනිස් ගැටුම අවම කිරීමට සැබෑ අවශ්‍යතාවක් ඇත්නම් ඔහු කළ යුතුව තිබුණේ ජනාධිපතිවරයාට උපදේශ ලබාදී උක්ත ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නැංවීම සඳහා එම සැලැස්ම මගින්ම යෝජනා කර ඇති ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවීමය.
අලි ඇතුන් පිළිබඳ ප්‍රකට විද්වතුන්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සහ පරිපාලන නිලධාරීන් රැසකගෙන් සමන්විත ජනාධිපති කමිටුවක් මගින් සකස්කළ එම සැලැස්ම ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම අවම කරගැනීම සඳහා වන තුන්කල් දක්නා, සාධණීය, ප්‍රායෝගික, යථාර්තවාදී සහ සමෝධානිත වැඩපිළිවෙලක් බව මේ පිළිබඳව උනන්දුවක් දක්වන බහුතරයකගේ මතයයි. එය රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) මගින්ද අනුමත කර තිබේ. නමුත් ඉතා සුළු දෑ සඳහා පවා ජනාධිපති කාර්යසාධක බලකා පිහිටුවන රටේ, දිවයිනේ පළාත් අටකට අයත් දිස්ත්‍රික්ක දහ නමයක පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 131ක පමණ ව්‍යාප්තවී ඇති මෙම සංකීර්ණ සමාජාර්ථික, පාරිසරික හා දේශපාලන ගැටළුව කලමනාකරණය සඳහා එවැන්නක් තවමත් පත් නොකිරීම විමතිය දනවන කරුණකි.
ඒ වෙනුවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් 2022 වසරේදී ආචාර්ය සුමිත් පිළපිටිය මහතාගේ සභාපතීත්වයෙන් ‘අලි-මිනිස් ගැටුම අවම කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැපයීම හා අධීක්ෂණය කිරීම සඳහා වන ජනාධිපති කමිටුව’ පත්කරනු ලැබීය. එම කමිටුව හරහා කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වල ජාතික ක්‍රියාකාරී සැලැස්ම නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන බව එහිදී සඳහන් විය. නමුත් දැනට එම කමිටුවද සුදු අලියෙකු බවට පත්ව ඇත්තේ අපේක්ෂිත බලතල සහ අරමුදල් ලබා නොදීම හේතුවෙනි. සාගල රත්නායකට අකාලයේ රටට අහිමිවන මෙරට අලි මිනිස් ජීවිත පිළිබඳව සැබෑ කැක්කුමක් ඇත්නම් ඔහු කළයුතුව තිබුණේ තවත් ඊනියා ‘නියමු ව්‍යාපෘතියක්’ පිළිබඳව වටමේස සාකච්ඡා පැවැත්වීම නොව ඉහතකී නියමු ව්‍යාපෘතියට සැබෑ ලෙසම කුමක් සිදුවිණි දැයි සොයා බැලීමය.
ඒ කිසිවක් නොකර මෙතෙක් කල් සාර්ථක ප්‍රතිපල පෙන්වා ඇති විදුලි වැට ක්‍රම දෙකක් යළි නියමු ව්‍යාපෘති ලෙස අත්හදාබැලීමට ඔහු සූදානම් වන්නේ කුමන හේතුවක් නිසාද යන්න උභතෝකෝටිකයකි. නමුත් එදින න්‍යාය පත්‍රයේ අන්තර්ගතව තිබූ අනෙක් කරුණ කෙරෙහි අවධානය යොමු කිරීමෙන් එම ගැටලුවට පිළිතුරු ලැබෙන බව ලියුම්කරුගේ අදහසයි. එනම් සංස්කෘතික උත්සව සහ පෙරහැර සඳහා පුහුණු අලි ඇතුන් පිරිසක් සංරක්ෂණය කිරීම හා පුද්ගලික අලි හිමිකාරිත්වය පිළිබඳව සාකච්ඡාවයි.
පෙරහර ඇතුළු සංස්කෘතික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ගේ හිඟයක් පවතින්නේ නම් ඒ සඳහා ඉතා හොඳ පිළියමක් බ්‍රිගේඩියර් එච්. ඒ. එන්. ටී. පෙරේරා මහතා සත්ත්වෝද්‍යාන අධ්‍යක්ෂවරයා ව සිටි අවධියේ දී ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගත්තේය. එනම් පින්නවල, අලි අනාථාගාරයේ සිටින අලි ඇතුන් අතුරෙන් තෝරාගත් කණ්ඩායමක් පෙරහර ඇතුළුව සංස්කෘතික කටයුතු සඳහා යොදා ගැනීමට පුරුදු පුහුණු කර ඒ සඳහා ලබාදීමය. නමුත් හීලෑ අලි ඇත් හිමිකරුවන් ගේ දැඩි බලපෑම් නිසා විෂයභාර අමාත්‍යවරයා විසින් මෙම ක්‍රියාවලිය පුහුණුවීම් සිදුවෙමින් පැවති අතර තුරම වහාම නතර කර දමන ලදී. ඊට හේතු වූයේ හීලෑ අලි ඇත් හිමිකරුවන්ට පෙරහර සඳහා අලි ඇතුන් ලබා දීමෙන් ලැබෙන ආදායම අහිමිවේය යන සැකය විය යුතුය. සාගල රත්නායක මේ සූදානම් වන්නේ එම පිළියම නැවත කරළියට ගෙන ඒමට නම් සංරක්ෂණවේදීන්ගෙන් ඊට විරෝධයක් එල්ල නොවනු ඇත.
නමුත් ඒ වෙනුවට මෙම වෑයම සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ සිටින අලි ඇතුන් පුද්ගලික පාර්ශව වලට සහ විහාරස්තානවලට ලබාදීමට නොවේද? උඩවලව ඇත් අතුරු සෙවණේ රඳවා සිටින, මෙරට වනාන්තර වලින් නීතී විරෝධී ලෙස අල්ලාගෙන විත් ජාවාරම් කරන ලද බවට සැක කෙරෙන අලින් සම්බන්ධයෙන් මෙහිදී ගනු ලබන තීරණය කුමක්ද? මේ මොහොතේ ලියුම්කරුගේ මනසේ ඇතිවන ගැටළු ඒවාය.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් ඇත්ගොව්වන් පුහුණු කිරීමේ පාඨමාලාවක් ආරම්භකර NVQ 4 මට්ටමේ සහතිකයක් ලබාදීම සඳහා ඉකුත් වසරේ අගෝස්තු මස අයදුම්පත් කැඳවූ ආකාරය මෙහිදී සිහියට නැගේ. අලි ඇතුන් රැකබලා ගැනීම, ඔවුන්ගේ යහපැවැත්ම සහතික කිරීම සහ අලියාගේ හා අලියා හසුරුවන්නාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙවැනි පුහුණු වැඩසටහන් ආරම්භ කිරීම කාලෝචිතය. මීට කලකට පෙර මුතුරාජා (සක් සූරීන්) සම්බන්ධයෙන් ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය වැනි කරුණු ඊට ඉතා සාධාරණ හේතු ලෙස දැක්වීමටද හැකිය. නමුත් මෙසේ පුහුණුව ලැබූ ඇත්ගොව්වන් හෙට දිනයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ඉදිරියේ තමන්ට රැකියාව කිරීම සඳහා අලින් නොමැති බව පවසමින් උද්ගෝෂණය කළහොත් ඒ පිළිබඳව විමතියට පත්වියයුතු නැත. ඒ හීලෑ අලි ව්‍යාපාරයේ සැඟවුණු න්‍යායපත්‍ර එතරම්ම සංකීර්ණ වීමට ඇති ඉඩ බොහෝ වැඩි බැවිණි.
ඊට කදිම උදාහරණය ඉකුත් මාර්තු මස මුල හබරණ ප්‍රදේශයේදී ආරම්භ කෙරුණු අලි ඇතුන් අභිජනන මධ්‍යස්ථානය හා හස්ති රෝහලයි. මෙරට අලි ජාවාරම සම්බන්ධයෙන් මුළින්ම නම කියැවෙන පුද්ගලයෙක්, අලි ජාවාරම සුලභව සිදුවූ බව සඳහන් ප්‍රදේශයක මෙවැනි අලි ඇතුන් අභිජනන මධ්‍යස්ථානයක් හා හස්ති රෝහලක් ආරම්භ කිරීම පිළිබඳව වෙනමම සාකච්ඡා කළයුතුය. ඒ සඳහා නිමිත්ත වූයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බව කියමින් ග්‍රාමාරක්ෂකයෙකු විසින් මහියංගනය ප්‍රදේශයේදී වන අලියෙකු යැයි රැවටී හීලෑ අලියෙකුට වෙඩි තැබීම බව කියති. එම සිදුවීම් එකිනෙක අපූරුවට සහසම්බන්දතා සහිතව පෙළගැසෙන අපුරුව දකින විට ලියුම්කරුට ඉහත සිතුවිල්ල පහළවීම විමතියට කරුණක්ද?
තවද මෙම සිදුවීම් පෙළගැසෙන්නේ මෙරට වන අලි ජාවාරම වැළැක්වීම සඳහා සැකකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාවලිය වේගවත්ව ජාවාරම්කරුවන්ට ඔවුන්ගේ සමාජ තත්ත්වය, දේශපාලන සම්බන්ධතා හෝ සමාජ භූමිකාව නොසලකා දැඩි දඬුවම් ලැබෙතැයි සංරක්ෂණවේදීන් දවල් හීන දකින පසුබිමකය. තවද ගෘහාශ්‍රිතකරණය කළ අලිඇතුන් ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර අලුත් කිරීම සඳහා විද්‍යාත්මක හා විනිවිද පෙනෙන ක්‍රියාවලියක් තවමත් මෙරට තුළ යථාර්ථයක් නොවන පසුබිමකය.
මෙකී සියලු තත්ත්වයන් සමීපව නිරීක්ෂණයට භාජනය කිරීමේදී සැක පහළ වන්නේ රාජ්‍ය අනුග්‍රහයද ඇතිව මෙරට වන අලි ජාවාරම දිවයින තුළ තවමත් ඉතා පුළුල් ජාලයක් ලෙස ක්‍රියාත්මක වන බවය. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ඊනියා අලි-මිනිස් ගැටුම් අවම කිරීමේ නියමු ව්‍යාපෘති සාකච්ඡාවේ යටිපෙළ අරුතද මෙම ජාවාරම්කරුවන්ට සහන සැලසීමට මංපෙත් විවර කිරීම වියහැකි බවය. එබැවින් යන යකාට කොරහත් බිඳගෙන යාමට ඉඩ නොදීමට වගබලාගැනීම සංරක්ෂණයට හිතැති සැමගේ යුතුකම සහ වගකීමය.
අලි-මිනිස් ගැටුම හා වන අලි සංරක්ෂණය සම්බන්දයෙන් දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ උනන්දුවන පරිසර සංරක්ෂණවේදියෙකු සහ පර්යේෂකයෙකු වන ලියුම්කරු ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමයේ අලි-මිනිස් සහජීවනය පිළිබඳ උපකමිටුවේ සභාපතිවරයා ද වන නමුත් මෙම ලිපියේ අන්තර්ගතය එම සංගමයේ ස්ථාවරය නොවීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.
සුපුන් ළහිරු ප්‍රකාශ් | Supun Lahiru Prakash