පළමු කොටස සදහා පිවිසෙන්න

දණ්ඩමුක්තිය සහ එහි භාවිතාව

ඊශ්‍රායල ආරක්ෂක හමුදාවල සොල්දාදුවන් භුක්ති විඳිනවා වැනි දණ්ඩ මුක්තිය යන්නෙන් අදහස් කරන්නේ බොහෝ විට නීතිමය යාන්ත්‍රණ හෝ දේශපාලන අධිෂ්ඨානය නොමැතිකම හේතුවෙන්, ඔවුන් සිදු කරන ලද අපරාධ පිළිබඳව වගවීමෙන් සහ ඒවාට දඬුවම් කරනු ලැබීමෙන් බැහැර කර තැබීම යි. මෙය ක්ෂමා නීති, ස්වෛරී මුක්තිය හෝ අපරාධ විමර්ශනය කර නඩු පැවරීමට දේශීය නීති පද්ධති අසමත් වීම වැනි ස්වරූපයන් ගත හැකිය. මානව හිමිකම් හෝ ජාත්‍යන්තර නීති උල්ලංඝනය කල අයට එරෙහිව චෝදනා නොකරන්නට ක්ෂමා නීති පොරොන්දු වෙන අතර එයින් වගවීම වළකා ප්‍රචණ්ඩත්ව චක්‍රය චිරස්ථායී කළ හැකිය.

රාජ්‍ය ස්වෛරීභාවය එක් එක් සොල්දාදුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමෙන් ඔවුන්ව ආරක්ෂා කරලන අතර දුබල හෝ නොපවතින අධිකරණ පද්ධති විසින් දණඩමුක්තියේ හිඩැස් ඇති කරනු ලැබිය හැකිය. දණ්ඩමුක්තිය ආමන්ත්‍රණය කිරීම සඳහා ජාතික නීති පද්ධති ශක්තිමත් කිරීම, ජාත්‍යන්තර සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සහ වගවීම සහතික කිරීම අවශ්‍ය වේ. දණ්ඩමුක්තියට ජාත්‍යන්තර නීතිය තුල සංකීර්ණ ඉතිහාසයක් ඇත. බොහෝවිට එය පාලන තන්ත්‍ර, ගැටුම් සහ මානව හිම්කම් ව්‍යාපාර සමග සම්බන්ධය. දේශීය යාන්ත්‍රණ ශක්තිමත් කිරීම, ජාත්‍යන්තර සහයෝගිතාව සහ වින්දිතයන්ගේ අයිතිවාසිකම් සහතික කිරීම, වගවීම සඳහා තීරණාත්මක වන්නේය.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වෙනුවෙන් ලබා දෙන දණ්ඩමුක්තිය යළි යළිත් ඉස් මතු වන ගැට‍ළුවකි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ අධිකරණමය නොවන ක්‍රම යටතේ සිවිල් යුද්ධ සමයේ දී රජයේ හමුදා විසින් සිදු කරන ලද අපරාධ, ස්වාධීන පරීක්ෂණ නොපැවැත්වීම සහ නීතියේ දුබල ආධිපත්‍යය ද දණ්ඩමුක්තිය අවුළුවා ලූ හේතු සාධක අතරට ඇතුළත් වේ. දණ්ඩමුක්තිය පිළිබඳ උදාහරණ අතරට බලය යොදා කල අතුරුදන් කිරීම්, අධිකරණයට පරිබාහිර ලෙස කරන ලද ඝාතන, වධහිංසා පැමිණවීම් සහ රැඳවියන්ට පීඩා පැමිණවීම් ද ඇතුළත් වේ. ජාත්‍යන්තර පීඩනය, සංක්‍රාන්ති යුක්ති යාන්ත්‍රණ සහ දේශීය මුල් පිරීම් විසින් දණ්ඩමුක්තිය ආමන්ත්‍රණය කරන්නට ගන්නා උත්සාහයන් වෙත බලපෑම් එල්ලකර තිබේ. සැබෑ සංහිඳියාව සඳහා තිබෙන දැඩි දේශපාලන අධිෂ්ඨානය, ආයතනික ප්‍රතිසංස්කරණ සහ වින්දිතයින්ගේ අයිතිවාසිකම්වලට ප්‍රමුඛත්වය දීම ද අභියෝග අතරට ඇතුළත් වේ.

ඊශ්‍රායලය

2005 දී, සිවිල් වැසියෙකුට “හිතාමතා කරන ලද බරපතළ හානියක්” ගැන සොල්දාදුවෙකු වරදකරු බවට පත්කල ඊශ්‍රායල හමුදා අධිකරණයක් ඔහුට මාස විස්සක සිර දඬුවමක් නියම කළේය. ඒ මාසයේ ම, ගාසා තීරයේ බෙයිට් ලහියා හි පලස්තීන ගැටවරයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් IDF හමුදා පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කළේය. මෑත මාස කිහිපයේ දී, කරන ලද ඉහළ පෙළේ ඝාතන කිහිපයක් විසින් සිවිල් වැසියන්ට එරෙහිව නීති විරෝධී ලෙස බලය යෙදවීම පිළිබඳ විශ්වාසදායක සහ ඇතැම් විට අවිවාදිත සාක්ෂි පවතින තන්හි දී ඊශ්‍රායල හමුදාව සම්පූර්ණ හා අපක්ෂපාතී පරීක්ෂණ පවත්වන්නට අපොහොසත් වීම ගැන ජාත්‍යන්තර අවධානය යොමු වී තිබේ. 2004 මැයි 10 වන දා වන විට, සාපරාධී ලෙස මාරාන්තික බලය යෙදවීම පිළිබඳ චෝදනා හැත්තෑ හතරක් පමණක් තමන් විමර්ශනය කර ඇති බවත්, එය අල්-අක්සා ඉන්ටිෆාඩා නැගිටීමෙන් වසර හතරකට ආසන්න කාලයක් තුළ සිදු වුන සිවිල් මරණවලින් 5% කටත් වඩා අඩු බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) මානව හිමිකම් නිරීක්ෂණ සංවිධානය (Human Rights Watch) වෙත දැනුම් දුන්නේය.

සටන් කරුවන් හා සටන් කරුවන් නොවන අය වෙන්කර හඳුනා ගැනීමට ජාත්‍යන්තර මානවවාදී නීතිය විසින් සන්නද්ධ හමුදාවන්ට නියමකර ඇති අතර සිවිල් වැසියන් හිතාමතා ඝාතනය කිරීම තහනම් කරයි. ඊශ්‍රායල හමුදා විමර්ශණ භාවිතය සහ පටිපාටි අපක්ෂපාතී, පරිපූර්ණ හෝ කාලීන නොවන අතර සොල්දාදුවන්ගේ නිර්දෝශී ඉල්ලීම් සළකාබැලන්නේ මතුපිට වටිනාකම් අනුවය. මෙහෙයුම් පරීක්ෂණ ප්‍රයෝජනවත් යුද අරමුණක් වෙනුවෙන් සේවය කළ හැකි නමුත්, මානව හිමිකම් හෝ මානවවාදී නීතිය උල්ලංඝනය කිරීමක් පිළිබඳව සාක්ෂි ඇත් දැයි නිශ්චය කිරීමට ඒවා සම්පූර්ණයෙන් ප්‍රමාණවත් නොවේ. 2017 දී, ‘හමුදා බලකොටු රාජ්‍ය තාන්ත්‍රික භාවය’ උපුටා දක්වන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ආසියාව සමඟ පවත්වන සම්බන්ධතා පුළුල් කිරීමේ සැලසුම් ප්‍රකාශයට පත් කළේය.

ඊශ්‍රායලය 1992 දී ඉන්දියාව සහ චීනය සමග විධිමත් සබඳතා ආරම්භ කරන අතර එය ආසියානු රටවල් සමග සම්බන්ධතා පැවැත්වීම සෝවියට් සංමයේ බිඳවැටීම දක්වා දිය යයි. පලස්තීනය සම්බන්ධයෙන් ස්ථාවර ආස්ථානයක් පවත්වා ගත් ශ්‍රී ලංකාව ගාසා යුද්ධයේ උච්චතම අවස්ථාවේ පටන්, දහස් ගණන් දෙනා ගොවිපළවල සහ ඉදිකිරීම් අංශයේ රැකියා සඳහා ඊශ්‍රායලයට යවමින් සිටී. 2022 දී ඊශ්‍රායල ජාතිකයන් 9,000 ක් ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණි අතර, පසු වසරේ දී එම ප්‍රමාණය 1,000 කින් වැඩි විය. තක්සේරු කර ඇති අන්දමට 20,000 ක් රටට ඇතුළු වීමත් සමග 2024 දී ශ්‍රී ලංකාවට පැමිණි ඊශ්‍රායල සංචාරකයින් සංඛ්‍යාව දෙගුණ විය. කෙසේ වෙතත්, බොහෝ ඊශ්‍රායල ජාතිකයෝ ඔවුන්ගේ වීසා කාලය ඉක්මවා රැඳී සිටිමින් ව්‍යාපාරවල නිරත වීමත් සමඟින් මෙම වසරේ මුල් මාස හය තුළ දී ශ්‍රී ලංකාව ඊශ්‍රායල සංචාරකයින්ගේ සංඛ්‍යාවේ අඩු වීමක් වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකාවේ තත්ත්වය

ආර්ථික අර්බුදයක් සමග පොර බදිමින් සිටින ශ්‍රී ලංකාවට, සංචාරක ව්‍යාපාරය දියුණු කළ හැකි ආදායම් මාර්ගයක් වේ. කෙසේ වෙතත්, අධි-සංචාරක ව්‍යාපාරය සහ ඊශ්‍රායල ජීවිකා වෘත්තිය රටේ ස්වෛරීභාවයට සහ සංස්කෘතියට සැලකිය යුතු ආකාරයේ තර්ජන එල්ල කරයි. ඊශ්‍රායල සංචාරකයින් නගරය මුළුමණින් පවරා ගනිමින් එය “සියොන්වාදී යටත් විජිතයක්” බවට පරිවර්තනය කරන බවට චෝදනා කරන ආරුගම් බොක්කේ පලස්තීන සහයෝගීතා ව්‍යාපාරය, ඊශ්‍රායල සංචාරකයින්ගේ පැමිණීම සහ හීබෲ පිළිගැනීමේ සලකුණු භාවිතා කිරීම විවේචනයට භාජනය කර ඇත. ඊශ්‍රායල සංචාරකයින් ඉලක්ක කිරීම සහ ඊශ්‍රායලය හා සම්බන්ධ ඕනෑම දෙයක් වර්ජනය කරන ලෙස මහජන මතය කෙරෙහි බලපෑම් කිරීම සඳහා වර්ධනය වන ව්‍යාපාරයක් සහිත මෙම තත්වය, ශ්‍රී ලංකා සමාජයේ කනස්සල්ලට හේතු වන ප්‍රවණතාවක් සනිටුහන් කරයි.

ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ඓතිහාසික ලෙස පලස්තීන අරමුණ කෙරෙහි සහාය පලකර ඇති නමුත් අභ්‍යන්තර ආර්ථික අරගලත්, ජාත්‍යන්තර සබඳතා සහ දේශීය අවශ්‍යතා තුලනය කිරීමේ ක්‍රියාමාර්ගයක අවශ්‍යතාවයත් ඉස්මතු කරමින් ශ්‍රී ලංකාව ඊශ්‍රායලයට සේවකයින් ද යවයි. පලස්තීන අරමුණ කෙරෙහි ඇති කැපවීම ගැන ආචාර ධාර්මික ප්‍රශ්න මතු කරවමින් රටේ දරුණු ආර්ථික අර්බුදය සහ ඉහළ විරැකියා අනුපාතය දහස් ගණනක් ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඊශ්‍රායලයේ ගොවිතැන් සහ ඉදිකිරීම් අංශවල රැකියා සොයා ගැනීමට උත්සාහ කරන්නට සලස්වා තිබේ.

තවද, ශ්‍රී ලංකාවේ වීසා ප්‍රතිපත්තිය ජාතික ආරක්ෂාවට අදාළ කාරණයක් වේ. මෙම වසරේ මුල දී වෙරළබඩ නගරයක් වන ආරුගම් බොක්කෙහි ඊශ්‍රායල සංචාරකයින් විසින් සිදු කරන ලදැයි වාර්තා වී ඇති නීති විරෝධී කටයුතු මර්දනය කිරීමට ආණ්ඩුව පොරොන්දු වීමත් සමග ඊශ්‍රායල සංචාරකයින් පිළිබඳ අවධානය වැඩි වෙමින් තිබේ. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාවල සාමාජිකයින් වීම ත්, අඩු තරමින් එක් ඊශ්‍රායල සංචාරකයෙකු වත් යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ සොල්දාදුවෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුවත්, සිවිල් සමාජ කණ්ඩායම් විරුද්ධත්වය පල කර, ඊශ්‍රායල ජාතිකයින් විශේෂ පරීක්ෂාවට ලක් කරන ලෙස ඉල්ලා පෙත්සම් ඉදිරිපත් කර ඇත.

සංචාරක වීසා යටතේ කටයුතු කරන ඊශ්‍රායල ජාතිකයින්ගේ නීති විරෝධී ක්‍රියාකාරකම් මර්දනය කිරීමට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරිය ප්‍රතිඥා දුන්නේය. නීතියට අනුකූලව කටයුතු කරන සංචාරකයින්ගෙන් කිසිදු තර්ජනයක් නොමැති බව ප්‍රාදේශීය පොලිස් නිලධාරීහු පවසති. පාලනය නොකරන ලද බාහිර බලපෑම් හේතුවෙන් දේශීය ව්‍යවසායකයින් පසෙකට තල්ලු කර දමා, මිල ගණන් ඉහළ නංවා, වෙරළබඩ මධ්‍යස්ථානවල සංස්කෘතික සම්මත සෝදාපාළු කර දැමිය හැකි බවට විචාරකයෝ අනතුරු අඟවති.

2024 ඔක්තෝබර් මාසයේ දී, මැද පෙරදිග අර්බුදය හා සම්බන්ධ, සිදු විය හැකි ත්‍රස්ත ප්‍රහාරයක් නිසාවෙන් ශ්‍රී ලංකාවේ සිටින සිය පුරවැසියන්ට වහාම පිටවී යන ලෙස ඊශ්‍රායලය අවවාද කලේය. ඊශ්‍රායල සංචාරකයින් නිතර ගැවසෙන නැගෙනහිර සහ දකුණු වෙරළ තීරයේ ප්‍රදේශවල ආරක්ෂාව දැඩි කර ඇති බව ශ්‍රී ලංකා පුවත්පත් වාර්තා කළේය. ආරුගම් බොක්ක සම්බන්ධයෙන් ද අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණු එක්සත් ජනපදය, දිවයින කෙරෙහි පනවා තිබුණු සංචාරක උපදේශනය අවලංගු කළේය. අනතුරු ඇඟවීම්වලින් පසු සංචාරකයින් උදෙසා ආරක්ෂාව තර කළ ශ්‍රී ලංකා බලධාරීහු රටේ සංචාරය කරන විට සුපරීක්ෂාකාරී ව සිටින ලෙස සංචාරකයින්ට උපදෙස් දුන්හ.

නිගමනය

ලෝකයේ අනෙක් ප්‍රදේශවල ඒ හා සමාන ස්ථාන වලට වඩා සාපේක්ෂව අඩු වියදමකින් පිරිසිදු වෙරළ තීරු, ලෝක මට්ටමේ රළ පහර සහ නිවර්තන පාරාදීසයක් සොයා යන ජාත්‍යන්තර සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාව ජනප්‍රිය ගමනාන්තයක් වී තිබේ. කෙසේ වෙතත්, වෙරළබඩ සංචාරක ගමනාන්ත කිහිපයක් විසින් ඊශ්‍රායල විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට ඔවුන්ගේ රටවලට ඇතුළුවීම තහනම් කිරීමත්, ඕස්ට්‍රේලියාව විසින් ගාසා තීරයේ සේවය කළ ඊශ්‍රායල සොල්දාදුවන් දෙදෙනෙකුට ඇතුළුවීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ දැන් මෙම ගතිකත්වයේ ඉරි තැලීම් දකින්නට ඇත. ඒ අනුව යමින් දිවයිනේ වෙරළ තීරයේ ඊශ්‍රායල රක්ෂිත භටයින් බහුලව සිටීම හේතුවෙන් සංචාරය කිරීමට පසුබට ව සිටින “වඩා ආචාර ධාර්මික මනසක් සහිත” සංචාරකයින් ගලා එන්නට මඟ පාදනු ඇති බව සමහරු විශ්වාස කරති.

ගාසා යුද අපරාධ චෝදනා සහ ඊශ්‍රායල ජාතිකයින් පවත්වා ගෙන යන නීති විරෝධී ව්‍යාපාර ශ්‍රී ලංකාවේ ප්‍රජාවන් අතර පුළුල් ද්වේශයක් සහ අමනාපයක් ඇති කරවා තිබේ. ශ්‍රී ලංකාවේ සංචාරක වීසා බලපත්‍රයක් දරමින් රැකියාවක නිරත වීම නීති විරෝධී වන නමුත් ඊශ්‍රායල සංචාරක ව්‍යාපාර 50 කට වැඩි ප්‍රමාණයක් සමඟ, බලපත්‍ර නොමැති ඊශ්‍රායල ව්‍යාපාර දිවයින පුරා හතු පිපෙන්නාක් මෙන් වර්ධනය වී තිබේ. ශ්‍රී ලාංකික ක්‍රියාකාරීහු ඊශ්‍රායල-පලස්තීන ගැටුම පිළිබඳව දැනුවත් කිරීමේ සහ ඊශ්‍රායලයට සම්බන්ධ සංස්ථා සහ සංවිධාන ලැයිස්තු බෙදා හරිමින් වර්ජනය, නිරායෝජනය (Divestment) සහ සම්බාධක (BDS) ව්‍යාපාරය ශ්‍රී ලංකාව තුල ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාර සංවිධානය කරති. පසුගිය මාස හය තුළ, ඊශ්‍රායල ජාතිකයන් ශාරීරික ප්‍රචණ්ඩත්වය යොදා ගත්, පොලිසියේ විමර්ශනයට ලක්ව තිබෙන සිදුවීම් තුනක් වත් ප්‍රදේශවාසීන් විසින් වාර්තා කර තිබේ.

ඉහත දක්වන ලද මූලාශ්‍රයෙන් ම උපුටා ගත් ලෙනින්ගේ තවත් උධෘතයකින් මෙම ලිපිය අවසන් කිරීමට මට වුවමනා යි: “එහි කටයුතු අමුතු ආකාරයකට සිදු වෙමින් පවතින්නේය යන කාරණය අපට සැලකිල්ලට නොගෙන සිටිය නොහැකි අතර, අපට ‘ජාතීන්ගේ ස්වයං-නිර්ණ අයිතිය භංග වේවා! අපි වැඩ කරන ජනතාවට පමණක් ස්වයං-නිර්ණ අයිතිය ලබා දෙමු’ යැයි පැවසිය නොහැකිය. මෙම ස්වයං-නිර්ණය ඉතා සංකීර්ණ හා දුෂ්කර මාවතක් ඔස්සේ ඉදිරියට ඇදී යයි. රුසියාවේ හැර වෙනත් කිසිදු තැනක එය නොපවතින අතර, අනෙකුත් රටවල සංවර්ධනයේ හැම අදියරක් ම පෙර දකින අතරම, මොස්කව් හි සිට අපි කිසිවක් නියෝග නොකල යුතුය.”

ලෝකය එතැන් පටන් සැලකිය යුතු ලෙස වෙනස් වී ඇති නමුත් සමානාත්මතාවය, සමාජ සාධාරණත්වය සහ නීතියේ ආධිපත්‍යය උදෙසා කරන සටන නොවෙනස්ව පවතී. ලොව පුරා සිටින අනෙක් ජනයා මෙන් ස්වයං-නිර්ණය සඳහා සිය අභිලාෂය පිළිබිඹු කරන පලස්තීන ජනතාවගේ අරගලය ද ලෙනින් සියවසකට පෙර කල නිරීක්ෂණවල අදාළ බව ඉස්මතු කරයි. ආණ්ඩුවේ සංකීර්ණ දේශපාලන උඩ පහත දැමීම තවත් දුෂ්කර බවට පත් කරමින්, පලස්තීන ජනතාවගේ දුක්ඛිත තත්වය සම්බන්ධයෙන් ජාතීන්, ආගම් සහ දේශපාලන ඇදහීම් අබිබවමින් ලොව පුරා මහජන සහයෝගය ඉහළ නැඟීම, ශ්‍රී ලාංකීය ජනතාව සමඟ ප්‍රතිරාවය වෙන්නට නියමිත ව තිබිණි. NPP ආණ්ඩුව ඔවුන්ගේ ප්‍රතිපත්තිමය ප්‍රතිචාර දැක්වීමේ දී, එවැනි ප්‍රතිපත්තියක වාසි ගෙන එන ආර්ථික සම්බන්ධතාවයන්ට මඟ පාදන්නේ ද නැද්ද යන්න ගැන නොසලකා පලස්තීනුවන්ගේ ස්වයං නිර්ණ අයිතිය ඇතුළු නීත්‍යානුකූල ඉල්ලීම් සලකා බැලිය යුතුය.

පලස්තීන ජනතාව පීඩාවට පත් කිරීම නොතකා හෝ නොසලකා හරින කිසිදු ආකාරයේ ස්ථාවරයක් NPP ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය ප්‍රතිචාරයේ කොටසක් විය නොහැකිය. මෙම ගැට‍ළුව හුදෙක් සියොන්වාදී රජයට සහයෝගය දැක්වීම සහ යටත්කර ගෙන සිටින පලස්තීන ජනතාවගේ දුක් වේදනා පිළිබඳව ඇස් පියා ගෙන සිටීම අතර කරන ද්විත්වමය ආකාරයේ තේරීමක් නොවේ. ස්වයං නිර්ණය පිළිබඳ ගැට‍ළුව සම්බන්ධයෙන් ජවිපෙ ගෙන ඇති වංගු හා හැරවීම්, සහ පෙර පැවති පාලන තන්ත්‍රවලින් එය උරුම කර ගෙන තිබෙන වියවුල් සහගත වගකීම් සැලකිල්ලට ගත් විට, නුදුරු අනාගතයේ දී මෙම සාධක දිග හැරෙන්නේ කෙසේ දැයි දැකීම කුතුහලය දනවනවා ඇත.

ලයනල් බෝපගේ | Lionel Bopage