iMage: AJ
ශ්‍රී ලංකාවට දරුණු අන්දමින් බලපෑ සුලි කුණාටු තත්ත්වය පිළිබද විශේෂයෙන් රාජ්‍ය ආයතන බොහොමයක් (ආපදා කළමණාකරන මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය ආදී) සිය නිළ තොරතුරු සිංහල භාෂාවෙන් – ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කළ නමුත් දෙමළ භාෂාවෙන් නිකුත් කළ තොරතුරු නැත – හෝ ඉතාමත් අඩු මටිටමක පැවතිණි. ඒ පිළිබද සියලු දත්ත සහ තොරතුරු සමග ආචාර්ය සංජන හත්තොටුව විසින් ඉදිරිපත්කරන ලද පර්යේෂනාත්මක ලිපියක ඒ පිළිබද ඉතාමත් විදිමත් ආකාරයට දක්වා තිබිණි. තවත් වැදගත් උදාහරණයක් දක්වමි. ජාතික ගමනා ගමන කොමිසම යනු මහජනයාට ඉතාමත් සමීපතම ආයතනයකි. ඔවුන් ලබා දෙන තොරතුරු සියලු ජනයාට අතිශයින් වැදගත්ය. නමුත් පසුගිය දින 3හී එම කොමිසමේ නිළ ෆේස්බුක් පිටුව පරීක්ෂා කිරීමේදී ප්‍රසිද්ධකර ඇති සියලුම පෝස්ට් සිංහලෙන් පමණි. දෙමළ භාෂාව නැත. https://www.facebook.com/ntc.gov.
ඒ පිළිබදව සහ මා විසින් සමාජ මාධ්‍ය තුළ මතු කිරීමේදී මගේ බුද්ධිමත් මිතුරන් පවා පැවසූවේ, ‘යකෝ, ඉස්සෙල්ලා ජීවිත බේර ගමු ‘දෙමළ'(භාෂාව) ගැන පස්සේ බලපං’ යන්නයි.
එය කෙසේ වෙතත් ඉතාමත් බරපතල ආපදාවක් හෙවත් ජීවිතයත් – මරණයත් අතර තත්ත්වයකදී තමන්ට තේරෙන, තමන් කතා කරන, තමන්ගේ භාෂාවෙන් අදාළ නිළ නිවේදන නොලැබීම, විශේෂයෙන් දෙමළ භාෂාව කතා කරන ජනයා පොදු කතිකාවෙන් පිටමං කිරීමක් හෙවත් දීර්ඝ කාලයක් ලංකාවේ රාජ්‍ය ආයතන තුළ කිදා බැස ඇති ‘වෙනස්කොට සැලකීමේ’ තත්ත්වයක් බව, යුද්ධයෙන් වසර 16කට පසුත් තවමත් අවබෝධ කරගෙන නැති සේයකි.
විශේෂයෙන් නූතන ලෝකය තුළ රාජ්‍ය ආයතනයක් විසින් නිකුත් කරන සිය නිළ තොරතුරු සිංහල භාෂාවට සමානවම දෙමළ භාෂාවෙන් ද නිකුත් කිරීමට විශාල මහන්සියක්, විශාල මුදලක් හෝ විශාල තාක්ෂණයක් අවශ්‍ය වන්නේ නැත. අවශ්‍ය කරන්නේ ඒ සදහා ඇති අවශ්‍යතාවය පමණි. ආණ්ඩුවට ඒ සදහා ඇති දේශපාලන උනන්දුවත් මෙහිදී බැහැර කළ නොහැකිය.
දරුණු ආපදා තත්ත්වයකදී – සුලි කුණාටු, ගංවතුර, සුනාමිය, වසංගතය හෝ යුද්ධයකදී – පළමුවැනි ප්‍රමුඛතාව මිනිස් ජීවිතය බේරාගැනීම බව කිසිදු දාර්ශනිකයෙකුටත්, දේශපාලනඥයෙකුටත් විවාද කළ නොහැකි සත්‍යයකි. නමුත් එම ජීවිත බේරාගැනීමේ ක්‍රියාවලිය තුළදී මිනිස් වර්ගයාගේ ගෞරවය, පෞද්ගලිකත්වය, භාෂා අයිතිය වැනි මූලික මිනිස් අයිතිවාසිකම් අමතක කිරීම යනු බේරාගත් ජීවිතයටම කරන ලොකුම අගෞරවයකි. එය ජීවිතය බේරාගැනීමට වඩා, ජීවත්වීමේ අයිතිය කප්පාදු කිරීමකි.
විශේෂයෙන් ආපදා අවස්ථාවකදී තමන්ට තේරෙන, තමන් භාවිතා කරන, තමන්ගේ භාෂාවෙන් දත්ත සහ තොරතුරු මිනිසුන්ට සංන්නිවේදනය කිරීමට අසමත් වීම රාජ්‍ය මට්ටමින් සිදුකරණ ව්‍යුහාත්මක අසාධාරණත්වයක් වන අතර, ජීවිත බේරා ගත හැකි තීරණාත්මක මොහොතේදී භාෂා සුළුතරයන් අසාධ්‍ය තත්ත්වයට පත් කරයි.
හැනා ආරෙන්ට් “මිනිස් තත්ත්වය” (The Human Condition) තුළ කියන්නේ මිනිස් ජීවිතයේ උසස්ම කොටස වන්නේ “ක්‍රියාකිරීමේ” හැකියාව බවයි. ක්‍රියාකිරීම යනු අන්‍යයන් සමඟ භාෂාව හරහා සම්බන්ධ වීමයි. ආපදාවකදී කෙනෙකුට තමන්ගේ භාෂාවෙන් තොරතුරු නොලැබෙන්නේ නැති විට ඔහුගේ “ක්‍රියාකිරීමේ” හැකියාවත් අහිමි වෙයි. එනම් මිනිසෙකු බේරාගත්තත් “මිනිස්භාවය” ඔහුගෙන් උදුරාගත් තැනකට පත්වෙයි.
තමන්ගේ භාෂාවෙන් ආපදා තොරතුරු නොලැබෙන පුද්ගලයන් දේශපාලන ලෝකයෙන් පිටතට තල්ලු වීමක් සිදුවිය හැකියි – එය හුදු ජීවිතය පවත්වා ගැනීමට පමණක් සීමා වෙයි. මන්ද මානව තත්ත්වයේ සාරය වන්නේ පොදුවේ කතා කිරීම, පෙනී සිටීම, ක්‍රියා කිරීමයි.
ශ්‍රී ලංකා අත්දැකීම බලන කල එය තවත් පැහැදිලි වෙයි. ආසන්නම Ditwah සුලි කුණාටුවට පෙරත් ඇදහැලුණු අධික වර්ෂාවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයන් හී දී රජයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් (DMC) නිකුත් වූ බොහෝ නිවේදන සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් පමණි. දෙමළ ජනතාව වැඩිපුර ජීවත් වන ප්‍රදේශවලට (උතුරු-නැගෙණහිර පවා) තමන්ගේ භාෂාවෙන් නිල තොරතුරු ලැබුණේ ඉතාමත් කලාතුරකිනි. මෙය හුදු “පරිපාලන දෝෂයක්” නොවේ. එය රාජ්‍ය යාන්ත්‍රණය තුළ තවමත් පවතින ඒකභාෂාවාදී ආධිපත්‍යයේ ව්‍යුහාත්මක ප්‍රකාශනයකි.
මෙය දේශපාලනිකව තවත් බරපතල ය. සිංහල හා දෙමළ දෙකම රාජ්‍ය භාෂාවන් බවට පත්වී වසර 38 ගතවී ඇතත්, භාෂා සමානාත්මතාවය තවමත් “කඩදාසි අයිතියක්” මිස ජීවමාන යථාර්ථයක් නොවීම යනු රජයේ ආයතනවල සිටින බලවතුන්ගේ දේශපාලන උනන්දුවක ප්‍රතිඵලයකි. “ජීවිත බේරාගැනීමට කලින් භාෂාව ගැන හිතන්න ඕනෙද?” යන ප්‍රශ්නය ඇතැම් විට ඇසෙයි. එහෙත් භාෂාව ජීවිතය බේරාගැනීමේම කොටසකි. ඔබේ මව්බසින් “මේ පාරේ ගඟ ඉවුරු කඩා වැටෙනවා, ඉක්මනින් ඉහළට යන්න” යැයි කියන විට එය ලැබෙන බලපෑමත්, ඒක ඉංග්‍රීසියෙන් හෝ වෙනත් භාෂාවකින් පැමිණිවිට ලැබෙන බලපෑමත්/ ප්‍රතිචාරයත් සමාන නොවේ. කෙනෙක්ට එය “තොරතුරක්” වන අතර අනෙකාට එය “අණදෙන එකක්” විය හැකිය.
අමාර්ත්‍ය සෙන්ගේ “හැකියාවන් පිළිබඳ ප්‍රවේශය” අනුව මිනිසුන්ට ලැබිය යුත්තේ “සම්පත් පමණක් නොව “එම සම්පත් භාවිතා කිරීමේ සැබෑ හැකියාවයි”. ආපදාවකදී ආහාර, බෙහෙත්, නිවාස ලැබුණත් ඒ ගැන තොරතුරු තමන්ගේ භාෂාවෙන් නොලැබුණහොත් එම “හැකියාව” අහිමි වෙයි. එවිට ලැබෙන ආධාර පවා ඔවුන්ට ප්‍රයෝජනවත් වන්නේ අවම ලෙසයි.
එබැවින් ආපදා කළමනාකරණය යනු හුදු “බඩු එකතු කිරීම” හෝ “බඩු ලොරි යැවීම” පමණක් නොවේ. එය රාජ්‍යයේ බහුජාතික, බහුභාෂා, බහුසංස්කෘතික බව ජීවමාන කරන ක්‍රියාවලියකි. එය අසාර්ථක වූ විට බේරාගත් ජීවිත තුළත් වැඩි වේදනාවක්, වෙනස්කම් කිරීමක්, වැඩි වෙන්වීමක් ඇති වෙයි.
ආපදාවක දී මිනිස් ජීවිතය බේරාගැනීමත් සමඟම මිනිස් ගෞරවය, පෞද්ගලිකත්වය වැනි අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අතපසු නොකළ යුතු ය. එකක් නැතිව අනෙක අර්ථවත් නොවේ. ජීවිතය බේරාගත්තත් එහි “මිනිස්භාවය” අමතක වුවහොත් එය ජයග්‍රහණයක් නොව පරාජයකි. එබැවින් “අපි පස්සේ බලමු” යයි කල්දමන ආකල්පයෙන් ඔබ්බට ගොස්, “අදම, මෙතැනම, මේ සියලුම පුරවැසියන්ට ඔවුන්ගේ භාෂාවෙන්, ඔවුන්ගේ ගෞරවය සමඟ තොරතුරු ලබාදීම” රාජ්‍යයේත්, සිවිල් සමාජයේත් පළමු යුතුකම විය යුතුය.
එබැවින් අයිතිවාසිකම් ප්‍රමුඛ විය යුත්තේ රටක සාමාන්‍ය තත්ත්වයකට වඩා අතිශයින් සංකීර්ණ, ආපදා, ව්‍යසනයන් ආදී බරපතල තත්ත්වයන් තුළදීමය.