iMage:AP

ආපදා කළමනාකරණය යනු ස්වභාවික හෝ මිනිස් නිර්මිත ව්‍යසනවලින් ජීවිත, දේපළ සහ පරිසරය ආරක්ෂා කිරීමේ සංකීර්ණ ක්‍රියාවලියකි. නමුත් මෙම ක්‍රියාවලිය සරල තාක්ෂණික හෝ පරිපාලනමය කටයුත්තක් පමණක් නොවේ; එය මූලික වශයෙන් මානව හිමිකම් පදනම් කරගත් විවෘත-විනිවිදභාවයකින් යුතු ප්‍රවේශයක් විය යුතුය.

මානව හිමිකම් පදනම් කරගත් ආපදා කළමනාකරණය

මානව හිමිකම් පදනම් කරගත් ආපදා කළමනාකරණය යනු, ආපදාවලදී/ව්‍යසනවලදී සෑම පුද්ගලයකුගේම ජීවිතයට ඇති අයිතිය, සෞඛ්‍යය, නිවාස, ආහාර සහ තොරතුරු අයිතිය ඇතුලු තත්ත්වයන් ආරක්ෂා කිරීමයි. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් ප්‍රකාශනය සහ Sendai Framework වැනි ජාත්‍යන්තර ගිවිසුම්වලින් තහවුරු වෙයි. නමුත් දේශපාලන දෘෂ්ටියෙන් බලන විට, මෙම ප්‍රවේශය රාජ්‍යයන්ගේ බලයේ සීමාවන් සහ වගකීම් ප්‍රශ්න කරයි. ආපදාවකදී රජයන්ගේ ප්‍රතිචාරයන් ඇතැම් විට දේශපාලනික අරමුණුවලට යටත් වේ: උදාහරණයක් ලෙස, 2023 පෙබරවාරි මාසයේ තුර්කියේ සහ සිරියාවේ භූමිකම්පාවලදී, තුර්කි රජය සිරියානු සරණාගතයින් ජීවත් වන ප්‍රදේශවලට සහන ලබා දීම මන්දගාමී කළ බවට ජාත්‍යන්තරයේ චෝදනා එල්ල විය. දේශපාලන විරුද්ධවාදීන් මෙය ජාතිවාදී මනෝභාවයක් සහ සරණාගත විරෝධී මනෝභාවයන් උත්තේජනය කිරීමේ උත්සාහයක් ලෙස විවේචනය කළහ. සමහර ප්‍රදේශවල සහන ලබා දීම මන්දගාමී වීම සහ තොරතුරු පාලනය දේශපාලන වුවමනාවන් ඉෂ්ටකර ගැනීම සඳහා ආපදා ප්‍රතිචාරය යොදාගත් බව චෝදනා එල්ල විය.

දේශපාලන තලයේදී, ආපදා කළමනාකරණය සමාජයේ ඇති අසමානතාවල දර්පණයක් බවට පත්වේ. දරිද්‍රතාවය, ජාතිකත්වය, පුද්ගලභාවය සහ විශේෂ අවශ්‍යතා තත්ත්වයන් නිසා බලපෑමට ලක්වන කණ්ඩායම් ආපදාවලදී වඩාත් අවදානමට ලක් වේ. එසේම විශේෂ ලැදියාවන් ඇති ප්‍රදේශවලට ඉක්මන් සහන ලැබෙන අතර, දරිද්‍ර ප්‍රජාවන් සහ සුවිශේෂී කණ්ඩායම්වලට ප්‍රමාද වෙයි හෝ නොසලකා හැරෙයි. උදාහරණයක් ලෙස, 2010 හයිටි භූමිකම්පාවේදී ජාත්‍යන්තර සහනයන් බොහෝ විට බලවත් රටවල දේශපාලනික අරමුණුවලට යටත් වූයේය, මෙය නව යටත්විජිතවාදයේ ආකෘතියක් ලෙස ඇතැම් විචාරකයින්ගේ අදහසයි. මෙවැනි අසමානතාවන්ට එරෙහිව, මානව හිමිකම් පදනම් ප්‍රවේශයක් තුළ බලය අභියෝගයට ලක් කරමින් සාධාරණත්වය සහ යුක්තිය ප්‍රවර්ධනය කළ යුතුය.

එහිදී අවධාරණය කළ යුතු වන්නේ රාජ්‍යයේ මූලික යුතුකම වන්නේ තම පුරවැසියාගේ යහ-පැවැත්ම හා ගෞරවය සුරැකීම බවයි.

මිනිස් ගෞරවය

ඕනෑම පුද්ගලයෙකුගේ ජීවත්වීමේ අයිතිය සහ ආරක්ෂාවට ඇති අයිතිය යනු හදිසි අවස්ථාවකදී තාවකාලිකව අත්හිටුවිය හැකි වරප්‍රසාදයක් නොවේ. ඒවා උපතින් ලැබූ ගෞරවයේ කොටස් ය. ආපදා කළමනාකරණය යනු ජීවිත බේරාගැනීම පමණක් නොව, එම බේරාගැනීමේ ක්‍රියාවලියේදී පවා පුද්ගලයාගේ ගෞරවය සුරැකෙන අන්දමින් සිදුකිරීමයි. එසේම මානව හිමිකම් පදනම් වූ ප්‍රවේශයකින් යුතුව සපයන සහන, දයාව මත පදනම් වූ සහනයක්/ දීමනාවක් වෙනුවට, පුරවැසි අයිතිය තහවුරු කිරීමක් බවට පත් විය යුතුය.

යුක්තියේ විචල්‍යතාව

ආපදාවකින් වැඩිම බලපෑම එල්ල වන්නේ බොහෝ විට සමාජයේ වඩාත් අවදානමට ලක් වූ සහ ආන්තික වූ ජන කණ්ඩායම් වෙතට බව අප සාකච්ඡා කළෙමු. එමනිසා, මානව හිමිකම් ප්‍රවේශයන් ඉල්ලා සිටින්නේ, නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය යුක්ති සහගතව සිදුවිය යුතු බවයි. එනම්, සහන බෙදා හැරීම, ප්‍රතිසංස්කරණ කටයුතු සහ අවදානම් අවම කිරීමේ වැඩසටහන් සිදුවිය යුත්තේ, බලය සහ ධනය වැනි තත්ත්වයන් මත නොව, අවශ්‍යතාවය සහ අසමානතාවය මත පදනම්වය. මෙහිදී, කිසිවෙකුත් ප්‍රතිලාභවලින් බැහැර නොවන බවට වගබලා ගැනීම රාජ්‍යයේ වගතකීම වන අතර එය අත්‍යවශ්‍ය සාධකයකි.

සක්‍රීය සහභාගීත්වය

අනෙක් අතට ආපදා කළමනාකරණය යනු රාජ්‍යයේ ඒකපාර්ශ්වික ක්‍රියාවලියක් නොවිය යුතුය. මානව හිමිකම් පදනම් මූලධර්මය ඉල්ලා සිටින්නේ, විපතට පත් වූවන් හුදෙක් ආධාර ලබන්නන් ලෙස නොසැලකිය යුතු බවයි. ඔවුන්ගේ ජීවිතවලට සෘජුවම බලපාන තීරණ ගැනීමේ ක්‍රියාවලියට අර්ථවත් ලෙස සහභාගී වීමට ඇති අයිතිය තිබිය යුතුය. තමන්ගේ නිවස, ජීවනෝපාය සහ ප්‍රජාව නැවත ගොඩනැගීමේදී ඔවුන්ට හඬක් තිබීමත්, එම හඩට වලංගුතාවයක් සහ පිළිගැනීමක් තීබිමත් අතිශය වැදගත්ය.

එම නිසා ම, ආපදා කළමනාකරණයට මානව හිමිකම් පදනම් කරගත් ප්‍රවේශයක් යනු, ආපදා අවස්ථාවේදී පවා රාජ්‍යය සහ පුරවැසියා අතර ඇති සමාජ කොන්ත්‍රාත්තුව යළි තහවුරු කිරීමකි. එය, ආපදාවෙන් ගැලවී ජීවත් වන මිනිසා, ආර්ථිකමය ඒකකයක් ලෙස පමණක් නොව ගෞරවයෙන් යුත් පුරවැසියකේ ලෙස පිළිගැනීමයි.

රාජ්‍ය බලය සහ ජාත්‍යන්තර දේශපාලනය

ආපදා කළමනාකරණයේ මානව හිමිකම් පදනම රාජ්‍ය බලයේ ස්වභාවය ප්‍රශ්න කරයි. ආපදාවකදී රජයන්ට තොරතුරු බෙදාහැරීම, සම්පත් බෙදීම සහ ජනතාවගේ ආරක්ෂාව සඳහා වගකීම් පැවරෙයි. නමුත් බොහෝ විට, රජයන් මෙම අවස්ථාවන් භාවිතා කරමින් විරුද්ධවාදීන් මර්දනය කිරීමට හෝ දේශපාලන බලය තහවුරු කිරීමට උත්සාහ කරයි. උදාහරණයක් ලෙස, කොවිඩ්-19 වසංගතයේදී චීනය සහ රුසියාව වැනි රටවල් තොරතුරු සඟවා තබමින් මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල විය. මෙය දේශපාලනික බලයේ ආධිපත්‍යය පෙන්වන සාධකයකි. මෙම ප්‍රවේශයන්ට එරෙහිව, ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටියෙන් බලන විට, ආපදා කළමනාකරණය ජනතාවගේ සහභාගීත්වය සහ විනිවිදභාවය මත පදනම් විය යුතුය. එය රාජ්‍යයන්ගේ “සමාජ ගිවිසුම” (social contract) නැවත සකස් කිරීමක් වන්නේ ඒ නිසාය.

ජාත්‍යන්තර මට්ටමින්, මෙම අදහස භූ-දේශපාලනික බල තුලනයන් සමඟ සම්බන්ධ වේ. ආපදා සහනයන් බොහෝ විට ජාත්‍යන්තර සංවිධාන/ රටවල් වලින් ලැබෙන අතර, ඒවා බලවත් රටවල දේශපාලනික බලපෑම්වලට ඇතැම් විට යටත් විය හැකිය. උදාහරණයක් ලෙස, යුක්‍රේන යුද්ධයේදී ආපදා සහනයන් බටහිර රටවල දේශපාලනික සම්බන්ධතාවලට යටත් වූයේය. මෙය මානව හිමිකම් පදනම් ප්‍රවේශයක් නොවේ. එබැවින්, ජාත්‍යන්තර දේශපාලනයේදී මෙම ප්‍රවේශය බලවත් රටවල ආධිපත්‍යය අභියෝගයට ලක් කරමින්, බලපෑමට ලක් වූ රටවල හිමිකම් ආරක්ෂා කළ යුතුය. එය ‘ගෝලීය සාධාරණත්වයේ’ සංකල්පයක් ලෙස දැකිය හැකි අතර එහිදී ආපදා කළමනාකරණය ජාත්‍යන්තර සබඳතාත් නැවත සකස් කිරීමක් ලෙස හැඩගැස්විය හැකිය.

අනාගතය සඳහා යෝජනා සහ අභියෝග

මානව හිමිකම් පදනම් ආපදා කළමනාකරණයක් ක්‍රියාත්මක කිරීම සඳහා, දේශපාලනික ප්‍රතිසංස්කරණ අවශ්‍යය. පළමුව, රජයන්ට ජනතාවගේ සහභාගීත්වය සහිත ප්‍රතිපත්ති සකස් කිරීමට අවශ්‍යය. දෙවනුව, මානව හිමිකම් උල්ලංඝනයන් සිදුවීම නිරීක්ෂණය කිරීමට ජාත්‍යන්තර සංවිධානවලට බලය ලැබිය යුතුය. නමුත් අභියෝගද ඇත. දේශපාලන බෙදීම්, සම්පත් හිඟකම සහ දේශගුණ විපර්යාසයන් මෙම ප්‍රවේශය බාධා කරයි. එබැවින්, මෙය දේශපාලනික චලනයක් ලෙස දැකීම වැදගත්ය. එය සමාජයේ බලය බෙදීම් නැවත සකස් කිරීමට උනන්දු කරවයි. එබැවින් ආපදා කළමනාකරණය මානව හිමිකම් පදනම් කරගත් ප්‍රවේශයක් විය යුතුය යන අදහස දේශපාලනික වශයෙන් ගැඹුරුය. එය රාජ්‍යයන්ගේ වගකීම්, සමාජ අසමානතා සහ ජාත්‍යන්තර බල තුලනයන් ප්‍රශ්න කරමින්, වඩා සාධාරණ සමාජයක් ගොඩනැගීමට ආරාධනා කරයි. මෙම ප්‍රවේශය ක්‍රියාත්මක නොවුණහොත්, ඇති වුනු ආපදාවන් නිසා සමාජයේ බෙදීම් තවදුරටත් වැඩි කරමින්, දේශපාලනික අස්ථාවරත්වයන් ඇති කරනු ඇත. එබැවින්, මෙය සරළ කළමනාකරණයක් නොව, දේශපාලනික පරිවර්තනයකි.