ත්‍රිකුණාමලයේදී සිසුන් 5 දෙනෙකු ඝාතනය කර අදට(02) වසර 20ක් ගතවේ (2006 ජනවාරි 02-2026 ජනවාරි 02). මෙම සිසුන් ඝාතනය කරනු ලැබූවේ ආරක්ෂක අංශ විසින් බව තමාට පැහැදිලි බව, ඝාතනයට ලක් වූ මනෝහරන් රාගිහර්ගේ පියා වන ​වෛද්‍ය මනෝහරන් පවසා සිටියත්, ඒ පිළිබදව සාධනීය පරීක්ෂනයක් පවත්වා ඝාතකයින් නීතිය හමුවට පැමිණවීමට තවමත් ලංකාවේ කිසිදු බලධාරියෙක් සමත්ව නැත.

මෙසේ ඝාතනයට ලක් වූයේ මනෝහරන් රාගිහර්(1985/09/22,) යෝගරාජ් හේමචන්ද්‍ර (1985/03/04) ලෝගිදරාජ් රොහාන් (1985/04/07)දන්ගතු​​රෛයි සිවනාන්ද 1085/ 04/06 ), ශන්මුගරාජ් ගජේන්ද්‍රන් (1985 09/16 ) යන සිසුන් 5 දෙනා ය. ඒ 2006 වර්ෂයේ ජනවාරි 2 වැනිදා ය. ත්‍රිකුණාමලය ගාන්ධි ප්‍රතිමාව අසලදී ඔවුන් ඝාතනය කරනු ලැබීය.

ඇම්නෙස්ට් ජාත්‍යන්තර සංවිධානය, සමඟ 2012 අගෝස්තුවේ දී, අදහස් දක්වා සිටි ඝාතනයට ලක්වූ මනෝහරන් රාගිහර්ගේ පියා වන ​වෛද්‍ය මනෝහරන් පවසා ඇත්තේ සිය පුත්‍රයා ඝාතනය කිරීමෙන් පසු පැමිණෙන නත්තල සහ අලුත් අවුරුදු උත්සව සමයන් තමන්ට සහ පවුලේ සැමට ඉතා දුෂ්කර කාල සීමාවන් බවයි. “මගේ පුත්‍රයා ඝාතනය කළ ඝාතකයන්, තවමත් ශ්‍රී ලංකාවට වී ඉතාම නිදහසේ සිටිනවා. මම, මගේ පවුලේ සාමාජිකයන් සහ තවත් සංවිධාන සමග එකතුව උත්සාහ දරන්නේ මෙම ඝාතනයට එරෙහිව යුක්තිය ඉටුකරවා ගැනීමට. එය පමණයි එකම සැනසීම මට තිබෙන”

“ඔවුන් මගේ ප්‍රත්‍රයා ඝාතනය කරනු ලැබුවා. එය ඉතා පැහැදිළි ලෙස කළින් සැලසුම් කළ ඝාතනයක්. මම මෝචරියට ගිය අවස්ථාවේ පළමුවෙන්ම දුටුවේ මගේ පුතාගේ මළ සිරුර. එම දර්ශණය මාව දැඩි කම්පනයට පත් කලා. ඔහුට වෙඩි උණ්ඩ 5 ක් එල්ලකර තිබුණා. එය ​වෛද්‍ය වාර්තාවේ පවා ඒ බව ඉතා පැහැදිළිව සඳහන් වෙනවා. මෙම ඝාතනයේ පළමු සාක්ෂිය මම. එය සිදුකරන ලැබු​වේ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් බව ඉතා පැහැදිලියි”

“මෙම ඝාතනයෙන් පස්සේ මට සහ මගේ අනෙක් දරුවන්ට දිගින් දිගටම ජීවිත තර්ජන පැමිණියා. මට තවදුරටත් ලංකාව තුළ ජීවත්වීමේ හැකියාවක් නෑ. මට මගේ පුත්‍රයා ඝාතනය කිරීම සම්බන්ධව කටයුතු කරන්න උවමනායි. එය මට ඇති අයිතියක්. නමුත් මට ලංකාව තුළ සිට එම අයිතිය වෙනුවෙන් කටයුතු කළ නොහැකියි. ලංකාව තුළ කිසිදු මානව හිමිකමක් සුරක්ෂිත නෑ. එම නිසයි මම සහ මගේ පවුල ලංකාවෙන් පිටවුනේ.”

“මට විශ්වාසයක් නෑ, ශ්‍රී ලංකා අධිකරණය පිළිබඳව, නමුත් මම විශ්වාස කරනවා ජාත්‍යන්තර අධිකරණයකදී අනිවාර්යයෙන්ම මගේ පුත්‍රයාට යුක්තිය ඉටුවෙයි කියලා.” යනුවෙන් ඔහු පවසි සිටී.

(උපුටා ගැනීම – Ragihar Manoharan, Sri Lanka – Write for Rights | ඇම්නෙස්ට් ජාත්‍යන්තරය නිෂ්පාදනය කළ විඩියෝවෙන්)

ජීවිත තර්ජන හේතුවෙන් පිටුවහල්ව බ්‍රිතාන්‍යයේ ජීවත් වූ වෛද්‍ය කාසිපිල්ලෙයි මනෝහරන්
යුක්තිය නොළබාම නික්ම ගොස් ඇත.

2006 ජනවාරි දෙවැනිදා ත්‍රීකුණමළයේ, මහත්මා ගාන්ධි පිළිරුව අසල වටරවුමේ දී කෲර ලෙස ඝාතනයට ලක් වූ දෙමළ ශිෂ්‍යයින් පස් දෙනාගෙන් අයෙකු වූ මනෝහරන් රාගිහර්ගේ පියාණන් වන වෛද්‍ය මනෝහරන් යුක්තිය නොළබාම 2025 සැප්තැම්බර් 21 දා ජීවිතයෙන් සමුගත්තේය. අන්ධකාරයේම සඟවා දැමූ ඝාතනවලටත්, අතුරුදන් කරවීම්වලටත් පිළිතුරක් නොලැබී, “යුක්තිය” යන වචනය නිෂ්ඵල(?) වූ මේ භූමියේ ඔහුගේ හදවතත් අවසානයේ නැවති ගියේය. තම සමීපතමයින්ගේ ඝාතනවලට, අතුරුදන් කරවීම්වලට යුක්තිය නොලබා සිය ජීවිතයෙන් සමුගත් සිය ගණනක් දෙමාපියන් අතරට වෛද්‍ය මනෝහරන්ගේ නම ද එක්වනු ඇත.

2012 මාර්තු ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිතයින් මෙම ශිෂ්‍ය ඝාතනය ගැන පරීක්ෂණ නැවත ආරම්භකරන බවට එකළ මාධ්‍ය වාර්තා කර සිටියේ ය.

කෙසේ නමුත්, එවකට ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ විසින් පත් කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමේ අවසන් වාර්තාවේද මෙම සිසු ඝාතනය පිළිබදව සදහන් වුවත් අද දක්වා බලයට පැමිණි කිසිදු ආණ්ඩුවක කිසිවෙකුටවත් මෙම සිසු ඝාතකයින් හදුනාගැනීමටත්, ඔවුන්ව නීතිය ඉදිරියට පැමිණ වීමට හැකියාවක් ලැබී නැත්තේ ඇයි? අධිකරණය ඉදිරියේ ගොනු කර තිබූ නඩු විභාගයේදී චෝදනා ලැබ සිටි ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශව සියලු සාමාජිකයන් “සාක්ෂි නොමැති” බව පවසමින් නිදහස් වූයේ කෙසේද? දැන් ඝාතකයන් කවුද? තවමත් එම ප්‍රශ්නය සමාජය ඉදිරියේ පවතින බව බලධාරීන් සිහිතබා ගත යුතුය.

මේ එම උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමේ අවසන් වාර්තාවේ(LLRC) සදහන් වන සටහනේ සිංහල පරිවර්තනයයි.

අතීත පරීක්ෂණ කොමිසම්වල වාර්තා පිළිබඳ පසු විපරම් ක්‍රියාව

9.120 “2005 අගෝස්තු මාසයේ සිට පැන නගින බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව කෙරෙන චෝදනා පරීක්ෂා කිරීම සඳහා සහ විමර්ශනය කිරීම සඳහා පත් කෙරුණු ජනාධිපති පරීක්ෂණ කොමිසම් වාර්තාවේ, නිර්දේශ, විශේෂයෙන් ම 2006 ජනවාරි මාසයේ දී ත්‍රීකුණාමලයේ දී සිදු වුණු සිසුන් 5 දෙනෙකුගේ සහ මරණය සහ 2006 අගෝස්තු මාසයේ දී ඇක්ෂන් කොන්ත්‍රෙ ලා ෆෙයිම් සංවිධානයේ සේවකයන් 17 දෙනෙකුගේ මරණය පිළිබඳ සිදුවීම්වලට සම්බන්ධ වැරදිකරුවන් පිළිබඳව තවදුර පරීක්ෂණ පැවැත්වීමට සහ ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු යැයි කොමිසම දැඩි ලෙස නිර්දේශ කර සිටී. එවැනි පියවරක් නීතියේ රජැයීමට ගරු කරන බව සහතික කරන බලගතු සංඥාවක් යවනු ඇති අතර, එය සමාදාන ක්‍රියාවලියට දායක වනු ඇත.

සිසු ඝාතනයට වසර 20ක් ගත වුවත්, එම ඝාතනයට වගකිවයුතු කිසිවෙක් තවමත් නීතිය හමුවට පමුණුවා නීතිය ක්‍රියාත්මක කිරීමට ලංකාවේ මෙතෙක් පැවති කිසිදු පාලනයකට නොහැකි විය. සත්‍ය ලෙසම ‘නොහැකි’ වූවා නොව, ඒ සදහා කිසිදු සාධනීය දේශපාලන ලැදියාවක්, උනන්දුවක් කිසිවෙක් මේ දක්වා පෙන්වා නැත. සත්‍ය එයයි.[RP]

නිල ප්‍රකාශය

කෙසේ නමුත් මෙම ඝාතනය සම්බන්ධයෙන්, ත්‍රිකුණාමලය කලාපය බාර ආඥාපති මේජර් ජනරාල් තිස්ස ජයවර්ධන ප්‍රකාශ කර තිබුණේ, ආරක්ෂක මුරපොළකට පහර දීමට සැලසුම් කරමින් සිටි LTTE සාමාජිකයින් පිරිසක් ඔවුන් සතුව තිබූ බෝම්බයක් අත්වැරදීමකින් පුපුරා යාමෙන් මිය ගිය බවයි. මෙම කතාව හමුදා වෙබ් අඩවිවල වැනි මාධ්‍යවල ද ප්‍රචාරය විය.

සාක්ෂි මගින් ප්‍රතික්ෂේප වීම

එවකට ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්ෂණ දූත මණ්ඩලයේ (SLMM) ත්‍රිකුණාමල දිස්ත්‍රික් ප්‍රධානී ආතර් ට්වෙයිටන් මෘත ශරීරාගාරයේදී ප්‍රකාශ කර තිබුණේ, “මෙය ඝාතනයක්, මෙම පිරිමි ළමයින් මියගොස් ඇත්තේ පිපිරීමකින් නොව, වෙඩි වැදීමෙන්” බවයි. මාධ්‍යවේදී සුබ්‍රමනියම් සුගිර්ධරාජන් විසින් ප්‍රකාශයට පත් කරන ලද ඡායාරූප මගින් ද මරණවලට හේතුව වෙඩි තැබීම් බව සනාථ විය. කෙසේ නමුත්, එම ඝාතන පිළිබඳ සත්‍යය හෙළිදරව් කරමින් ඡායාරූප ප්‍රකාශයට පත් කළ මාධ්‍යවේදී සුගීධරාජන් සති කිහිපයකට පසු වෙඩි තබා ඝාතනය කරන ලදී. එපමණක් ද නොවේ. එම ඝාතන හෙළා දුටු සහ සිංහල-දෙමළ සාමය සඳහා ක්‍රියා කළ ප්‍රමුඛ පෙළේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වූ හඳුන්ගමුවේ නන්දරතන හිමි තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කිරීමට තරම් ඝාතකයන් සක්‍රීය වී තිබුණේය.

වින්දිත පවුල්වලට බලපෑම්

සිසුන් ඝාතනය කිරීමෙන් පසු වින්දිත සිසුන්ගේ පවුල්වලට වසර විස්සක් පුරා දැඩි මරණ තර්ජන, හිරිහැර සහ යුක්තිය ඉටු නොවීම නිසා ඇති වූ මානසික පීඩාවන්ට මුහුණ දීමට සිදු විය. මියගිය සිසුන් කොටි හිතවාදීන් ලෙස හංවඩු ගසමින් ආරක්ෂක අංශ විසින් ඔවුන්ගේ පවුල්වලට නිර්නාමික ලිපි හරහා තර්ජනය කළ අතර, යුක්තිය ඉල්ලා සිටි වෛද්‍ය මනෝහරන්ට තම වෘත්තිය අතහැර දරුවන් සමඟ පිටුවහල්ව ජීවත් වීමට සිදු විය.(කිසිදු සත්‍යක්-යුක්තියක් නොළඹාම ඔහුත් පසුගිය වසරේ සැප්තැම්බරයේදී අවසන් හුස්ම හෙළුවේය.) යෝගරාජා මහතාට සිය පුත්‍රයා අහිමි වී මාස කිහිපයකින් තම අනෙක් පුත්‍රයා ද ආරක්ෂක අංශ අතින් අහිමි වූ අතර, මෙම අපරාධයේ සාක්ෂි හෙළි කළ මාධ්‍යවේදීන් සහ මිනීමැරුම හෙළා දුටු භික්ෂූන් වැනි අයට ද ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය.

සැකකරුවන් නිදහස් කිරීම

මෙම ඝාතන සම්බන්ධයෙන් වූ පරීක්ෂණවල තීරණාත්මක පියවරක් වූයේ 2019 ජුනි මාසයේදී සිදු වූ නඩු විභාගයයි. එහිදී මෙම සිසුන් පස්දෙනා ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි විශේෂ කාර්ය බලකායේ (STF) සාමාජිකයන් 13 දෙනාම නිදහස් කරන ලදී. ඔවුන්ට එරෙහිව චෝදනා 15ක් ගොනු කර තිබුණද, ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමින් ඔවුන්ව නිදහස් කිරීමට අධිකරණය පියවර ගත්තේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හරහා ද විවිධ යෝජනා සම්මත වී තිබුණ ද, මෙම ඝාතනයට අදාළ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය දැනට ඇණහිට ඇති අතර, එය මෙරට පවතින දඬුවම් නොලැබීමේ (impunity) සංස්කෘතිය පිළිබඳ පැහැදිලි උදාහරණයක් සපයයි.

මෙම තත්ත්වය, වෙරළක වැලි මත ඇඳි සලකුණක් රළ පහරකින් මැකී යන්නාක් මෙන්, කාලයත් සමඟ යුක්තිය ඉටු කිරීමේ මාවත වැසී යාමක් බඳුය; එහෙත් එම අහිංසක සිසුන්ගේ මතකය වැලලී යාමට ඉඩ නොදිය යුතුමය.

ජාත්‍යන්තර ප්‍රතිචාර සහ නිර්දේශ

2014 දී, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ වාර්තාව මගින් මෙම සිදුවීම ශ්‍රී ලංකා රජයේ වගවීමේ අසමත්කම පිළිබඳව “සංකේතාත්මක නඩු”(Emblematic cases) හතරෙන් එකක් ලෙස ලැයිස්තුගත කරන ලදී. හිටපු මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන්, මෙම නඩුව වැනි රාජ්‍ය ක්‍රියාකාරීන් විසින් සිදු කරන ලද බරපතලම අපරාධ විභාග කිරීම සඳහා “විශේෂඥ කාර්ය මණ්ඩලයකින් සමන්විත සහ ජාත්‍යන්තර වෘත්තිකයන් විසින් සහාය දක්වන ලද විශේෂිත අධිකරණයක්” පිහිටුවීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය. නමුත් ඒ කිසිවක් සිදු වූයේ නැත. සිදු වී ඇත්තේ එම කෲර ඝාතනයන්ට වසර 20ක් ගත වන තෙක් යුක්තිය නොලැබීමයි.

යුක්තියේ පොරොන්දුව සහ බලයේ සිරගෙය: පාලන වෙනසක අභියෝගය

“යුක්තිය” යනු මැතිවරණ වේදිකාවල ලකුණු ලබා ගැනීමට භාවිතා කරන හුදු අලංකාරිකයක් නොවේ. එය දේශපාලන බලය ලබා ගැනීම සඳහා මළ සිරුරු මතින් තනන ලද හිණිමගක් ද නොවිය යුතුය. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත් වූයේ දශක ගණනාවක් පුරා යුක්තිය අහිමි වූ ජනතාවකගේ අවසන් බලාපොරොත්තුව ලෙස රූපාන්තරණය කරමින්ය. නමුත් අද වන විට එම බලාපොරොත්තුව දියවෙමින් පවතී.

කෙසේ වෙතත්, වසරක් ඉක්ම ගිය තැන මතු වන මන්දගාමීත්වය මගින් දේශපාලනිකව වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡාවට බඳුන් කළ හැකිය:

ආයතනික ව්‍යුහය සහ දේශපාලන අභිලාෂය

රාජ්‍ය බලය ලබා ගැනීම යනු යුක්තිය ඉටුකිරීමට ඇති එකම සාධකය නොවේ. බොහෝ විට, පෙර පැවති දූෂිත හෝ මර්දනකාරී පාලනයන් විසින් සකස් කරන ලද රාජ්‍ය යාන්ත්‍රණය (පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව වැනි) වෙනස් කිරීමකින් තොරව යුක්තිය ඉටුකිරීම අසීරුය. නව පාලනය පරණ පද්ධතිය තුළම හිඳිමින් දුවන දුම්රියක සිට තවත් දුම්රියක ගමන් මග වෙනස් කිරීමට තැත් කිරීමක් බඳුය.

‘පැරණි’ සහ ‘නව’ පාලනයන්හි පොදු ලක්ෂණ

පැරණි පාලකයන් අපරාධකරුවන් ආරක්ෂා කළේ තමන්ගේ පැවැත්ම උදෙසා නම්, නව පාලනයක් යටතේද පරීක්ෂණ මන්දගාමී වීම හරහා පෙනී යන්නේ ‘රාජ්‍යයේ අඛණ්ඩතාව’ (Continuity of the State) පිළිබඳ ගැටලුවයි. දේශපාලන නායකත්වයන් වෙනස් වුවද, රාජ්‍යයේ ගැඹුරු ස්ථරයන්හි සිටින ආරක්ෂක සහ නිලධාරී තන්ත්‍රය වෙනස් නොවන තාක් කල්, යුක්තිය යන්න හුදු දේශපාලන සටන් පාඨයක් පමණක් වීමේ දැඩි අවදානමක් මේවන විට පවතී.

විනිවිදභාවය සහ මහජන විශ්වාසය

යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලිය රහසිගතව සිදුකිරීම(එසේ වෙනවාද?) තුළින් මහජන සැකය තීව්‍ර වේ. විධිමත් සහ විනිවිද පෙනෙන ක්‍රියාවලියක් නොමැති වීම යනු හුදෙක් කාර්ය පටිපාටික දෝෂයක් නොව, එය දේශපාලන මගහැරීමකි. පරීක්ෂණ පවතින තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් නොකිරීම හරහා “පැරණි පාලනය සහ නව පාලනය අතර වෙනසක් නැත” යන ජනප්‍රිය මතය සමාජගත වීමට ඉඩකඩ විවර වේ.

“යුක්තිය ඉටු කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ; එය ඉටු වන බව පැහැදිලිව පෙනෙන්නටද තිබිය යුතුය.”

දේශපාලන සදාචාරය පිළිබඳ අර්බුදය

ඝාතනයට ලක්වූවන්ගේ ලේ මතින් දේශපාලන වේදිකා තැනීම සහ බලයට පත්වූ පසු එම “ලේ” දේශපාලන ගනුදෙනුවලට භාවිතා කිරීම අතිශය බරපතල සදාචාරාත්මක බිඳවැටීමකි. වර්තමාන ආණ්ඩුව හමුවේ ඇති ලොකුම අභියෝගය වන්නේ, තමන් හුදෙක් ‘තවත් එක් ආණ්ඩුවක්’ නොව, සැබෑ ‘ව්‍යුහාත්මක වෙනසක්’ සහිත ආණ්ඩුවක් බව ප්‍රායෝගිකව ඔප්පු කිරීමයි. නමුත් ඔප්පු කිරීම කෙසේ වෙතත්, එය මගහැර සුපුරුදු දේශපාලන මාවත් තුළ ගමන් ගන්නේද දැයි දැඩි සැකයක් මේ වන විට මතු ව තිබේ. එපමණක් ද නොවේ. අද වන විට සිදුවෙමින් පවතින්නේ පැරණි පාලකයන් විසින් පවත්වාගෙන ගිය ‘දණ්ඩමුක්තියේ සංස්කෘතිය’ (Culture of Impunity) නව මුහුණුවරකින් නඩත්තු කිරීමේ දැඩි අවදානමක් ද යන සැකය මතු වෙමින් තිබීමයි.

කෙසේ නමුත් වසරක කාලය යනු සංකීර්ණ අපරාධ විමර්ශනයකට ප්‍රමාණවත් කාලයක් නොවිය හැකි මුත්, එම විමර්ශන නිවැරදි දිශානතියකට ගමන් කරන බවට වන ‘දේශපාලන විශ්වාසය’ ගොඩනැගීමට එය ප්‍රමාණවත් කාලයකි. එම විශ්වාසය බිඳී යාම යනු නව පාලනය කෙරෙහි වූ බලාපොරොත්තු බිඳී යාම පමණක් නොව, ‘නව ක්‍රමය’ කෙරෙහි ඇති මහජන විශ්වාසයම පළුදු වීමකි.

“පද්ධතියේ දෝෂ” හෝ “නීතිමය බාධා” වැනි සුපුරුදු නිදහසට කරුණු තවදුරටත් වලංගු නැත. ජනතාව බහුතර බලයක් ලබා දුන්නේ එම බාධා ඉවත් කර යුක්තිය ඉටු කිරීමටය. ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට නොහැකි නම්, විමර්ශනවලට අදාළ ලිපි ගොනු අස්ථානගත වන්නේ නම් සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන තවමත් පැරණි රිද්මයටම නටන්නේ නම්, මේ ආණ්ඩුවේ “වෙනස” හුදු ලේබලයකට පමණක් සීමා වී ඇතැයි ප්‍රකාශ කරන්නට සිදුවීම ඛේදවාචකයකි.

යුක්තිය පමා කිරීම යනු යුක්තිය ප්‍රතික්ෂේප කිරීමයි. වර්තමාන ආණ්ඩුව තවදුරටත් නිහඬව සිටින්නේ නම් හෝ මන්දගාමී පිළිවෙතක් අනුගමනය කරන්නේ නම්, ඔවුන්ට ද ඉතිහාසය විසින් ලේබල් කරනු ඇත්තේ ‘ඝාතකයන්ගේ ආරක්ෂකයන්’ ලෙස මිස ‘ජනතාවගේ ගැලවුම්කරුවන්’ ලෙස නොවේ. දැන් ඇත්තේ වචනවලින් නොව ක්‍රියාවෙන් යුක්තිය පෙන්විය යුතු මොහොතයි.

සම්පත් සමරකෝන් | Sampath Samarakoon