iMage: GenAI
ජාතික ජන බලවේග ආණ්ඩුව (NPP), ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට හා සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට සිය 2024 මැතිවරණ ප්‍රකාශනය (ඉංග්‍රීසි අනුවාදයේ 4.9 වගන්තිය, 129 පිටුව) මගින් පොරොන්දු විය. එම පොරොන්දු දෙක තවමත් ඉටු නොවූ අතරම මැතිවරණයේදී ප්‍රධාන වූ මේ පොරොන්දු ඉටුකිරීමට ඇති වුවමනාවක් හෝ පෙනෙන්නට නැත.
ඒ වෙනුවට NPP ආණ්ඩුව යටතේම බොහෝ පිරිසක් PTA යටතේ අත්අඩංගුවට ගැනීමටත්, පවතින නීතී යටතේ විමර්ශන කිරීමට හෝ නඩු පැවරීමට හැකි වැරදි සඳහාත් ඔවුන් අහෝසි කිරීමට පොරොන්දු වූ නීතියම නිර්ලජ්ජිත ලෙස භාවිත කිරීමට කටයුතු කළ අතර, එම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතටත් වඩා දරුණු විධිවිධාන සහිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSTA) ගෙන ඒමට ඔවුන් කටයුතු කරමින් සිටිති.
කළ දේ හා කිරීමට අසමත් වූ දේ මොනවාද?
ශ්‍රී ලාංකිකයින් බිය ගැන්වීමට සියලු රජයන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කළේය. මා ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගන්නා ලද අතර මගේ ප්‍රකාශනයේ නිදහසට හා ගමන් කිරීමේ නිදහසට අධිකරණ සීමාවන් දැමීමට හා මගේ ඉලෙක්ට්‍රොනික උපකරණ රාජසන්තක කිරීමකටත් ඒ ඔස්සේ මට මුහුණ දීමට සිදුවිය. මගේ නඩුව වසර 5කට ආසන්න කාලයක් ඇදී ගිය අතර මා මුදාහැරීමෙන් පසුව පවා සමාජීය හා දේශපාලනික අපකීර්තියට හා නින්දාවටද ලක්වීමි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අසාධාරණ ලෙස රඳවා තබාගත් අය අතර මා වැනි මානව හිමිකම් ක්‍රියාකාරීන්, ශිෂ්‍ය ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, නීතීඥවරයෙක්, කතෝලික පියතුමෙක් හා විපක්ෂ දේශපාලඥයෝ සිටිති. අප කළ වරද වී තිබුණේ බලයේ සිටින රජයන් විවේචනය කිරීම, අභියෝග කිරීම, ප්‍රශ්න කිරීම හා දිවි ගලවා ගත් හෝ තම අයිතිවාසිකම් කඩ වූ පවුල්වල අයට සහයෝගය දැක්වීමයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් බලපෑමට ලක්වූ සාතිශය බහුතරයක් දෙනා දමිළ හා මුස්ලිම් පුද්ගලයින් වීමෙන් පෙන්නුම් කරනුයේ එම පනත ජනවාර්ගික සුළුතරයන්ට අසමාන ලෙස බලපාන අයුරුය.
රටේ පුරවැසියන් දිගු කලක් රඳවා තැබීමට, වද හිංසා කිරීමට හා ඔවුන්ගේ නිදහස් ප්‍රකාශනය වැළැක්වීම යනාදියට අවසර පතක් බවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පත්ව තිබේ. ඒ යටතේ රඳවා තබාගෙන සිටි වරදකරුවන් ලෙස තහවුරු නොවූ සමහර රැඳවූවන් මුදාහැරීමට වසර 15ක් තරම් දිගු කාලයක් ගතවී තිබේ. සමහරක් මුදාහැර තිබෙන්නේ විධිමත් චෝදනා ගොනු කිරීමකින් තොරවය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඒ පුද්ගලයන්ද ඔවුන්ගේ පවුල් වල අයගේ ජීවිතද කඩා බිඳ දමා තිබේ. නමුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් තම අයිතිවාසිකම් කඩ වී වින්දිත භාවයට පත්වූවන්ට කිසිඳු හානි පූරණයක් සිදුවී නැත. දිගු කලක් රඳවා තබා ගැනීමෙන් සිදුවූ වධහිංසා, අසනීප, කම්පනය, අපකීර්තිය සහ ජීවනෝපායන් අහිමි වීම ඇතුළු හානි සඳහා පිළිගැනීමක්, සමාව අයැදීමක්, මූල්‍ය වන්දි ආදී කිසිවක් මෙම වින්දිතයන්ට නොවීය.
කෙසේ නමුත් පනත ක්‍රියාත්මක වූ මේ කාලය පුරාවටම සිදුවූ ත්‍රස්තවාදී ක්‍රියා වැළැක්වීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අසමත් විය. ඒ වෙනුවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත බලාත්මක කිරීමෙන් පසුව වූ යුද සමයේ හා ඉන් පසුවද මුස්ලිම් ජනයාට එරෙහිව අළුත්ගම හා දිගන වැනි ප්‍රදේශ වලදී සහ පාස්කු ඉරිදා ප්‍රහාරයේදී ද ප්‍රචණ්ඩත්වය දැඩිව උග්‍රවිය.
ත්‍රස්ත නීති අපට අවශ්‍යද?
මහජන ආරක්ෂක ආඥා පනත යටතේ හදීසි නීතිය ප්‍රකාශයට පත්කිරීමට ජනපතිට දැවැන්ත බලතල ඇත. එය අඛණ්ඩව පවත්වා ගැනීමට පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය වීම විධායකයේ බලය තුලනය කිරීමක් ලෙස දැක්විය හැක. මින් පෙර ලිපියකදී ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදය හා සම්බන්ධ නීතිමය ප්‍රතිපාදන ඇතුලත් නීති 15ක් සඳහන් කර තිබේ. එසේ තිබියදීත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ලෙස වෙනම නීති පද්ධතියක් ගොඩනංවා තිබේ. එහි මූලිකම ලක්ෂණය වන්නේ විධායකයට අසාමාන්‍ය අතිවිශාල බලයක් ලබාදීම හා අධිකරණයේ කාර්යභාරය හා රාජ්‍ය මගින් සිදුකරනු ලබන අවභාවිතාවන් පාලනය කිරීමට ඇති හැකියාව දුර්වල කිරීමයි.
මෙතෙක් පැවති ආණ්ඩු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම ප්‍රතික්ෂේප කළේය. ඒ වෙනුවට එය සංශෝධනය කිරීමට හෝ ත්‍රස්ත විරෝධී පනත (ATA) සහ ප්‍රති ත්‍රස්ත පනත (CTA) වැනි පනත් ගෙනෙමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ඒවා ආදේශ කිරීමට උත්සහ ගන්නා ලදී. නමුත් එවැනි නීති වල අවශ්‍යතාව පිළිබඳ තර්කනයක් එම ආණ්ඩු ඉදිරිපත් කළේ නැත.
ත්‍රස්තවාදය වැළැක්වීමට හෝ ඊට ප්‍රතිචාර දැක්වීමට පවතින නීති පද්ධතියේ හිස්තැන් පවතීනම් ඒවා පොදු ජනතාවට පෙන්වා දිය යුතුය. අත්‍යවශ්‍යවම වන්නේ නම් ඒ සඳහා දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කළ හැකිය. කෙසේ නමුත් එය කළ යුත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් පීඩාවට පත්වූවන් හා එම පවුල්වල අය, විපක්ෂයේ කණඩායම්, විද්වතුන්, නීතීඥයින්, මාධ්‍යවේදීන්, මානසික සෞඛ්‍ය විශේෂඥයින්, ක්‍රියාකාරීන් හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සඳහා වූ මහ කොමසාරිස් කාර්යාලයේ සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ ක්‍රියාපටිපාටි වැනි ජාත්‍යන්තර විශේෂඥයින්ගේද අදහස් විමසා බැලීමෙන්ය.
ත්‍රස්ත විරෝධී පනත (ATA), ප්‍රති ත්‍රස්ත පනත (CTA) ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත යනාදිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා හොඳ යැයි සමහරු තර්ක කරති. නමුත් කිසිම නීති කෙටුම්පතක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමග සංසන්දනය කිරීම මූලිකවම අවුල් සහගත ප්‍රවේශයක් වෙයි. කිනම් හෝ සංසන්දනයක් වේවා එය සිදුවිය යුත්තේ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ මානව හිමිකම් ප්‍රමිතීන් හා ක්‍රමවේදයන්ට මිස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි භයානක නීති සහිත පනතක් සමග නොවේ. PTA සමග මෙවැනි සංසන්දන කිරීම මගින් ප්‍රමිතිය හා මිනුම දණ්ඩ දැඩිව පහත හෙලනු ලැබේ. PSTA පනතෙහි සමහර විධිවිධාන PTA පනතට වඩා හොඳ වූවද, PTA පනතට වඩා හානිකර විධිවිධාන රැසක්ද PSTA පනතේ තිබේ. මූලිකවම ජාජබය PTA පනතේ ඇති මර්ධනකාරී මූලිකාංග වචනයෙන් ද, අභිලාශයෙන් ද ඒ ආකාරයටම පවත්වාගෙන තිබේ. PSTA පනත සැලකිලිමත්ව කියවීමේදී එය පුරවැසියන්ද, විශේෂයෙන් විවේචන එල්ලකරන්නන්ද ඉලක්කකර රාජ්‍ය ත්‍රස්තවාදයට අනුබල දෙන පනත් කෙටුම්පතක් බව පෙනී යයි.
තීරණය කරන්නේ කවුරුන්ද?
PSTA පනත හරහා ත්‍රස්තවාදය කුමක්ද, ත්‍රස්තවාදියා කවුද සහ දඬුවම කුමක්ද යන්න තීරණය කරනුයේ විධායකයයි(ජනාධිපති, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, නීතිපති, පොලිසිය, හමුදාව, වෙරළාරක්ෂක භටයින්). අධිකරණය යම් කාලයකින් අනතුරුව එවැනි ක්‍රියාවන් අබිබවමින් තීන්දු තීරණ ලබා දුන්නද, ඉන් බලපෑමට ලක්වන්නන් ඒ වනවිටත් දැඩිව පීඩාවට පත්ව සිටිය හැක. එමගින් සිදුවී ඇති හානිය ආපසු හැරවිය නොහැකි ලෙස බලපෑ තිබිය හැක. PTA හා PSTA පනත් වලින් පීඩාවට පත්වූ පුද්ගලයන්ට වන්දි ලබාගැනීමට හෝ වගකිවයුත්තන් නීත්‍යානුකූලව වගවීමක් නොවීම තත්වය වඩාත් උග්‍රකරයි.
PSTA පනත මගින් විශාල පරාසයක අපරාධ රැසක් චේතනාව හා ප්‍රතිවිපාක පදනම් කරගනිමින් ත්‍රස්තවාදී යැයි හඳුන්වයි. මෙලෙස ක්‍රියාව ත්‍රස්තවාදී නොවූවත් එහි ප්‍රතිවිපාක ත්‍රස්තවාදය යැයි වර්ගකිරීමට විධායකයට හැකියාව තිබේ. මේ බොහෝමයක් අපරාධයන් සාමාන්‍ය අපරාධ නීතිය යටතට ගැනුනත් ඒවා මෙලෙස PSTA පනතට ගෙන ඒමෙන් සාමාන්‍ය අපරාධ ක්‍රියා වෙනුවෙන්ද PSTA පනත යොදාගැනීමට හැකියාව පවතියි. පහතින් දැක්වෙන්නේ PSTA පනත මගින් විධායකයට ලබාදෙන අසීමිත බලතලයි. ප්‍රායෝගිකව ගත්කල මේවා විධායකය විසින් තමා විසින්ම ත්‍රස්තවාදී යැයි නම් කරන ක්‍රියාවකට හා එලෙස නම් කල පුද්ගලයෙකුට ප්‍රායෝගිකව දෙන දඬුවම්ය;
🔴 හමුදා සහ වෙරළාරක්ෂක බලකායට පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ලේඛන ඇතුළු ඕනෑම දෙයක් භාරයට ගත හැකිය (ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙයට ඉඩ නොදේ)
🔴 පොලීසියට හා ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට වසරක කාලයක් දක්වා අධිකරණයක අභිමතයක් හෝ නොමැතිව පුද්ගලයන් රඳවා ගැනීමට හැක. (මහේස්ත්‍රාත්වරයාට මාස දෙකකට පසුව පමණක් රිමාන්ඩ් කිරීමට හෝ ඇප ලබා දිය හැකිය)
🔴 පොලීසිය සහ මහේස්ත්‍රාත්වරයෙකු එක්ව පුද්ගලයෙකු නඩු විභාගයකින් තොරව වසර දෙකක් දක්වා රඳවා තබා ගත හැකි අතර ඉන් පසුව පවා, මහේස්ත්‍රාත්වරයාට ඇප ලබා දිය හැකිමුත් අදාළ පුද්ගලයාව නිදහස් කළ නොහැක.
🔴 ජනාධිපතිවරයාට තම අභිමතය පරිදි, පවතින බන්ධනාගාර පද්ධතියට සමාන්තරව, තාවකාලික රැඳවුම් ස්ථාන සහ කොන්දේසි නිර්මාණය කළ හැකිය.
🔴 යම් පුද්ගලයෙක්ට වැරදිකරු බව පිළිගැනීමට හා දඬුවම් භාර ගැනීමට බල කිරීමට හැකි අවස්ථාවන් නිර්මාණය කිරීමට නීතිපතිට හැකි වීම.(නඩු විභාගයකින් තොරව වැරදිකරු වීම හා දඬුවම් ලැබීම)
🔴 ජනාධිපතිවරයාට ඕනෑම සංවිධානයක් දින නියමයක් නොමැතිව තහනම් කළ හැකිය.
🔴ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ට ඕනෑම ස්ථානයක් තහනම් ස්ථානයක් ලෙස නම් කළ හැකිය.
🔴 රට තුළ ගමන් සීමා කිරීමටත් විදෙස් ගමන් සීමා කිරීමටත්, නම් කළ පුද්ගලයින් සමග සම්බන්ධ වීම හෝ සන්නිවේදනය සීමා කිරීමටත්, අපරාධයකට පහසුකම් සැලසේ යැයි කිව හැකි ක්‍රියාකාරකමකට සම්බන්ධ වීම යනාදිය සීමා කිරීමටත් පොලීසියට මහේස්ත්‍රාත් වරයාගෙන් අයදුම් කළ හැකිය.
අධිකරණයේදී අභියෝග කිරීම
පවතින නීතියක් අධිකරණයේදී අභියෝග කිරීමට අපගේ ව්‍යවස්ථාව පුරවැසියන්ට අවසර නොදෙයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන් යම් පනතක් වචනයෙන් හා හරයෙන් ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සම්බන්ධ වූ පරිච්ඡේදය හෝ ජාත්‍යන්තර ප්‍රමිතීන්ද උල්ලංඝනය වූවද නීතිය ඉදිරියේ එය අභියෝග කිරීමට පුරවැසියන්ට අවස්ථාවක් නැත. කෙසේ නමුත් පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති නීති කෙටුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක්කළ හැකිය. ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත මේ මොහොත වනවිට පාර්ලිමේන්තුව ඉදිරියේ නැත. එමනිසා එය පාර්ලිමේන්තුවේ සභාගත වන තුරු අධිකරණයේදී අභියෝග කළ නොහැකිය.
මීට පෙර මම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සංශෝධන හා ඊට ගෙන ආ ආදේශකයන්ට මම ඇතුළු වින්දිතයෝ සහ තව කිහිපදෙනෙක් අධිකරණයේදී අභියෝග කළෙමු. මගේ අත්දැකීම නම් අධිකරණයට මෙහිදී කළ හැක්කේ ඉතා අල්පයක් හා මේවාට අභියෝග කිරීම අධිකරණයේදී ඉතා අසීරු බවයි. ඉදිරිපත් කරන ලද නීති කෙටුම්පතින් ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන උල්ලංඝනය වන්නේ දැයි තීරණය කිරීමටත් එය එසේ වන්නේ නම් තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත කිරීමට හා සමහරවිට ජනමත විචාරණයකින් සම්මත කරන ලෙස නියම කිරීමටත් මෙහිදී අධිකරණයේ බලය සීමා වේ. අධිකරණයේ තීරණය මෙහිදී යොමුවන්නේ පාර්ලිමේන්තුවේ කථානායකයටය, අප පෙත්සම්කරුවන්ට නොවේ. මීට වසර කිහිපයකට කලින් මා ද ඇතුළුව තවත් කිහිපදෙනෙකු අධිකරණය හමුවේ පනත් කෙටුම්පතක් අභියෝගයට ලක් කළ විට අධිකරණයේ තීරණය මට දැනගන්න ලැබුනේ ඊට පෙනීසිටි නීතීඥවරියක පළ කල ෆේස්බුක් පෝස්ටුවකිනි. ඇය මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකි.
පාර්ලිමේන්තුවේ පනත් කෙටුම්පතක් සභාගත වී ඇත්නම් ඒ බව අප දැනගත යුතු අතර එලෙස සභාගත කිරීමෙන් සති දෙකක් ඇතුළත එම කෙටුම්පත් අභියෝගයට ලක්කරමින් පෙත්සම් ගොනුකළ යුතුව ඇත. ඒ සඳහා අප පනත් කෙටුම්පතේ පිටපත් ලබාගෙන එහි අන්තර්ගතයන් අධ්‍යනය කර ඊට දක්ෂ නීතීඥයින් සොයාගත යුතුය. මුදල්ද සොයාගත යුතුය. කැපවුණු නීතීඥයින් ලිපි ලේඛන සූදානම් කරගනිමින් නොමිලයේම අධිකරණයේදී පෙනී සිටින විට පවා සිය දහස් ගණනක් පමණ ප්‍රින්ට් අවුට්, ෆොටෝ කොපි සඳහා හා උපදෙස් සපයන නීතිවේදීන්ට මුදල් ගෙවීමට යනාදියට වියදම් සඳහා මුදල් අත්‍යවශ්‍ය වෙයි. පෙත්සම ඇතුළු ඇමුණුම් රැසක් සහිත ලිපි ලේඛන ඉතාමත් නීත්‍යානුකූල හා ඉංග්‍රීසි භාෂාවෙන් වන අතර බොහෝ පුරවැසියන්ට ඒවා හොඳින් තේරුම් ගැනීමට කාලයත්, සහායත් අවශ්‍යය. මීට පෙර අපගේ නීතීඥයින්ට පෙත්සම හා අදාළ ලිපි ලේඛන සූදානම් කර ගැනීමට අවශ්‍ය කාලය හා ශ්‍රමය මා අවතක්සේරු කර තිබුණි. අප පෙත්සම ගොනු කරන අවස්ථාවේදීම එහි පිටපතක් කථානායකවරයාටද භාර දිය යුතුව තිබේ. පනත් කෙටුම්පත් අභියෝග කළ හැක්කේ කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේදී පමණක් වන අතර කොළඹින් දුර බැහැර සිටින පුරවැසියන්ට ඊට සම්බන්ධ වීම එය තවත් අසීරු කරවයි. මේ අයුරින් පනත් කෙටුම්පත් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කිරීමට ඇති ව්‍යවස්ථාමය අයිතිය සාක්ශාත් කර ගැනීම ඉතාම අසීරු කර්තව්‍යයකි. එමෙන්ම එය ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස හැසිරවිය නොහැකි, කොළඹින් දුර බැහැර ජීවත් වන, නීතිමය හා මූල්‍යමය පහසුකම් සුලබව ලබා ගත නොහැකි සාමාන්‍ය පුරවැසියන්ට එය වඩාත් අසීරු වෙයි.
සමාජ දේශපාලනිකව අභියෝග කිරීම
අධිකරණ සමාලෝචනයේ සීමාවන් සහ ප්‍රායෝගික දුෂ්කරතා සැලකිල්ලට ගෙන, PSTA අභියෝගයට ලක් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුත්තේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර, සමාජීය හා දේශපාලනික මුලපිරීම් හරහා ය. මින් පෙර පැවති රජයන් ත්‍රස්ත විරෝධී පනත හා ප්‍රති ත්‍රස්ත පනත වැනි පනත් ගෙනෙන විට ඒවා අස්කර ගැනීමට එම රජයන්ට බල කලේ එවැනි ව්‍යාපාරයන් බව මම විශ්වාස කරමි. වත්මන් අගමැතිනි හරිනි අමරසූරිය හා සභානායක හා අමාත්‍ය බිමල් රත්නායක වැනි ප්‍රමුඛ පෙලේ ජාජබ නායකයින් එවැනි ව්‍යාපාරයන්වල කොටසක්ව සිටියේ ය. කෙසේ වෙතත්, PTA අවලංගු කිරීමට අප අසමත් වූ බැවින්, යෝජිත ආදේශන ඉවත් කිරීම එතරම් තේරුමක් නැති දෙයක් විය. ඉතින් දැන් PTA අහෝසි කිරීමටත්, පීඑස්ටීඒ අස්කර ගැනීමටත් අපි දැඩි අවධානයක් යොමු කළ යුතුය.
ජාජබය සිය මැතිවරණ ප්‍රකාශනයේ පොරොන්දු වූ පරිදි PTA අහෝසි කළ යුතුය. පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් ඒ සඳහා ප්‍රමාණවත් ය. ඒ ආකාරයෙන්ම PSTA පනත(කෙටුම්පත) ඉල්ලා අස්කරගත යුතු අතර PTA පනත සහ තවත් එවැනි භයානක නීති මගින් ප්‍රතිස්ථාපනය කිරීමෙන් වැළකිය යුතුය. ජාජබයට තම ඡන්දය ප්‍රකාශ කළ අය දැන් නැගී සිටිය යුතු අතර ජාජබය දුන් මැතිවරණ පොරොන්දු ඉටු කරන මෙන් ඉල්ලා සිටිය යුතුය.
(2024 ජනවාරි මස 30 දින අනිද්දා පුවත්පතෙ පලවු ලිපියකි)
රුකි ප්‍රනාන්දු | Ruki Fernando