ඉතා ප්‍රභල ඓතිහාසික නඩු තීන්දුවක් මගින් ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම (RTI) නව මානයකට ඔසවා තබා ඇති අතර, එහි වඩාත්ම වැදගත් ජයග්‍රහණය වන්නේ තොරතුරු පනත අනෙකුත් සියලු ලිඛිත නීතීන් අභිබවා තහවුරු කිරීමයි. විශේෂයෙන්ම, 1955 අංක 32 දරන රාජ්‍ය රහස් පනත වැනි පැරණි නීතිමය බාධාවන් හමුවේ වුවද, මහජන අභිලාෂය/ මහජන යහපත සහ විනිවිදභාවය වෙනුවෙන් තොරතුරු පනතේ 4 වන වගන්තිය බලාත්මක වන බව අභියාචනාධිකරණය මෙහිදී අවධාරණය කළේය. එපමණක් නොව, අදහස් ප්‍රකාශ කිරීමේ සහ තොරතුරු දැනගැනීමේ අයිතිය සීමා කළ හැක්කේ ‘නීත්‍යානුකූල’ ජාතික ආරක්ෂක හේතුන් මත පමණක් බව කියැවෙන ‘ජොහැන්නස්බර්ග් මූලධර්ම’ (Johannesburg Principles) වැනි ජාත්‍යන්තර ප්‍රමිතීන් මෙරට අධිකරණ තීන්දුවක් තුළට මුල් වරට අනුකලනය කිරීම මගින්, රාජ්‍ය ආයතනවලට තවදුරටත් ‘ජාතික ආරක්ෂාව’ යන ලේබලය යටතේ හුදෙක් මුදල් අවභාවිතය හෝ පරිපාලනමය ක්‍රියාවන් වසන් කිරීමට නොහැකි බවට ප්‍රබල පූර්වාදර්ශයක් සපයන බව අදාළ නඩු තීන්දුව පිළිබද ඉතාමත් විශිෂ්ට විග්‍රහයක් කරන නීතිඥ සුරේන් ඩී. පේරේරා පවසයි.

නීතිඥ සුරේන් ඩී. පෙරේරා විසින් ලියන ලද සම්පූර්ණ සටහන පහතින් දක්වමු.

ශ්‍රී ලංකා නාවික හමුදාව එදිරිව. ඒ. ඒ. එම්. රිෆ්ති අලි (CA/RTI.08/2023)
තීන්දුවේ දිනය: 2026 මාර්තු 19

තොරතුරු නීතිය අනෙකුත් ලිඛිත නීතීන් අභිබවාද, ජාත්‍යන්තර නීති ප්‍රමිතියක් වන ජොහැන්නස්බර්ග් මූලධර්ම සමඟ එක පෙළටද ඇති බව අභියාචනාධිකරණය මුල් වරට තීන්දු කරයි.

ශ්‍රී ලංකාවේ තොරතුරු අයිතිය සම්බන්ධ නීතියේ සුවිශේෂී වර්ධනයක් ඇති කල මෙම නඩුවට පාදක වූ තොරතුරු ඉල්ලීම වන්නේ ගෝටාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා, අරගල සමයේ එනම් 2022 වර්ෂයේ ජූලි මස දී නාවික හමුදාවට අයත් SLNS ගජබාහු නෞකාවේ නැව්ගතවීම සම්බන්ධව පලවූ මාධ්‍ය වාර්තා පදනම් කරගෙන 2022 සැප්තැම්බර් මස දී ශ්‍රී ලංකා නාවික හමුදාවට යොමු වු තොරතුරු ඉල්ලීමකි. නිශ්චිත තොරතුරු 8ක් මත පදනම් වූ මෙම තොරතුරු ඉල්ලීම මඟින් නැව්ගතවීම සහතික කිරීම, නෞකාවේ නම, ගත කල කාලය හා යාත්‍රා කල ස්ථාන, ඔහු සමඟ සිටි අනෙක් පුද්ගලයින්ගේ නම්, නාවික හමුදාවට දැරීමට සිදුවූ මුලු වියදම සහ එම ගෙවීම් සිදුකලේ කවුරුන් විසින්ද? යනාදී තොරතුරු ඉල්ලා සිටින ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම තොරතුරු ඉල්ලීම පනතේ 5(1)(ආ) (i) වගන්තිය මත පදනම්ව එනම් ජාතික ආරක්ෂාවට අගතිදායක විය හැකි තොරතුරක්ය යන පදනම මත සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන ලද අතර ඒ අනුව තොරතුරු ඉල්ලුම්කරු විසින් මෙය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට අභියාචනා කරන ලදී. 2023 දී කොමිසම, අභියාචනා විභාගයේ තීන්දුව ලබා දෙමින් නාවික හමුදාවට දැරීමට සිදුවූ වියදම හා ගෙවීම් සිදුකරන ලද්දේ කවුරුන් විසින්ද යන තොරුතුරු යුගලය ලබා දිය යුතු බවත් අනෙකුත් තොරතුරු සම්බන්ධයෙන් නාවික හමුදාවේ ස්ථාවරය නිවැරදි බවත් තීරණය කරන ලද අතර නාවික හමුදාව මෙම තීරණයට විරුද්ධව අභියාචනාධිකරණයට අභියාචන පෙත්සමක් ඉදිරිපත් කරන ලදී.

අභියාචනාධිකරණයේදී අනෙකුත් නීතිමය තර්ක අතර නාවික හමුදාව විසින් ඉදිරිපත් කරන ලද එක් ප්‍රධාන තර්කයක් වූයේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට අදාළ වන තොරතුරු හෙළි කිරීම අපරාධ වරදක් බවට පත්කර ඇති 1955 අංක 32 දරන රාජ්‍ය රහස් පනතේ ආවරණය තමන්ට ලබා දීමට කොමිසම අසමත් වූ බවයි. කෙසේ වෙතත් අභියාචනාධිකරණය මෙම තර්කය ප්‍රතික්ෂේප කරමින් තොරතුරු පනතේ 4 වන වගන්තිය ජීවමාන කරමින් තම තීන්දුවේ දක්වා ඇත්තේ තොරතුරු පනත අනෙකුත් ලිඛිත නීති අභිබවා බල පැවැත්වෙන බවයි.

එසේම ජාත්‍යන්තර නීති ප්‍රමිතියක් වන ජොහැන්නස්බර්ග් මූලධර්ම (Johannesburg Principles) මුල් වරට ශ්‍රී ලංකාවේ නීතිය තුලට ගෙන ඒමට අභියාචනාධිකරණය මෙම නඩු තීන්දුව තුලින් කටයුතු කර ඇති අතර ජොහැන්නස්බර්ග් මූලධර්ම මඟින් පැහැදිලි කරනුයේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය සහ තොරතුරු වලට ප්‍රවේශ වීමට ඇති අයිතිය සීමා කල හැක්කේ නීත්‍යානුකූල (legitimate) ජාතික ආරක්ෂක හේතුන් සඳහා පමණක්ම බවයි.
සටහන

HUMAN RIGHTS LAW CHAMBERS වෙනුවෙන්,
නීතිඥ සුරේන් ඩී. පෙරේරා

සබැඳි
1) Order of the RTIC – https://www.rticommission.lk/web/images/pdf/Right-2023/17-2023.pdf
2) Johannesburg Principles – https://hrlibrary.umn.edu/instree/johannesburg.html