මඳ විදුලියෙන්, හිස් වේදිකා ව ම පෙනේ. කොණ්ඩය බැඳී තරුණයෙක් මාලකය බැස කඩිමුඩියෙන් පැමිණේ. ඔහු හඬ නගා කතා කරයි. අප සියලු දෙනා ඔහු වෙත දෑස් දල්වා සිටි. හිස් වේදිකාව ක්‍රමික ව පිරේ. එහි හුරුබුහුටි තරුණියකි. ඇය වේදිකාවේ ප්‍රදර්ශනය වන විශාල ධවල රාක්ක පෙට්ටිය විවර කරයි. එයින් රතු රෙදි කඩක් ඇද ගනී. එය වේදිකාවේ සිටින තරුණයා වෙත ගෙන ඒ තරුණයා, රතු අසුන් මත සිටින අපෙන්, කෙසේදැයි අසයි. ඉන් පසු , විවිධ තරුණ-තරුණියන් ගෙන් වේදිකාව පිරි ඉතිරේ. එය Derry හි පිහිටි “the Playhouse” රඟහලේ දිගහැරී Ephemeral Ensemble හි Rewind වේදිකා කතාවේ ඇරඹුමය. එම රචනාව කේන්ද්‍රගත වුයේ, 2020 නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් වූ ආර්ජන්ටියානු වෝහාරික මානවවිද්‍යා කාණ්ඩය වෙත ගෞරවය පුද කොට අගය කිරීමය. රචනාව තුළ, අප සියලු දෙනා භුක්ති විදින අයිතිවාසිකම් වෙනුවෙන්, නැගී සිටි ප්‍රජාව සහ ඔවුන් ව කෘර ලෙස අතුරුදහන් කිරීම සහ එම අතුරුදහන් කිරීම යනු ඉතිහාසය-වර්තමානය සහ අනාගතය එකට බැදෙන අරගලයක් බවට පත් වන බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලැබුවන් ගේ ආදරණියයන් මුණ ගැසේ.
අත්ලට දියවී ගිය පින්තුරයක් අතැතිව-බරැති බලාපොරොතුවක් සමඟ පොරබඳිමින්, රචනා ව තුළ වූ, ස්ත්‍රිය මට මතක් කරේ, සන්ධ්‍යා එක්නැළිගොඩය. එම රචනාව තුල හමුවන මිනිස් ඇටකටු, ගවේෂණය කරන අවස්ථාව මට මතක් කරේ, 1988- 89 දී සූරියකන්දේ දී අතුරුදහන් කළ තම දරුවා ගේ අස්ථියක් ගෙන වැළපුන, සුදු කමිසයක් ඇඳ සිටි නමක් නොමැතිව ලංකාදීපයේ වාර්තා වූ පියාය. එහි වූ තරුණයාගේ ඡායාරුප මට මතක් කලේ, මුලතිව් මුර පොලේදී තම මවගෙන් වෙන් වූ පසු අදවන තුරුත් අතුරුදහන් ව සිටින සන්ඝපුල්ලේ රදන් ය. රදන් අතුරුදහන් වන විට වයස අවුරුදු 17කි.
රචනා ව තුළ මට මුණ ගැසුණු තවත් මුහුණක් මතක් විය. ඒ කයිට්ස් සිට, යාපනය වෙත පැමිණි අවුරුදු 60ක් ඉක්ම වූ ස්ත්‍රියයි. ඇය මා හමුවීමට, 2015 දී පැමිණියේ, පොලිතින් උරයක බහාලු ලිපියක් ද සමඟය. එම ලිපිය සිංහල භාෂාවෙන් ලියා තිබු අතර එහි වුයේ, ඇයගේ පුතා, අත්අඩංගුවට ගෙන කළුතර බන්ධනාගාරයේ රඳවා ගෙන සිටින බවය. නමුත් මෙම අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු අතුරුදහන් වී තිබේ. එම ස්ත්‍රිය දම් පැහැති පොලියස්ටර් සාරියක් ඇඳසිටි අතර, එදා එම හමුවට පැමිණ තිබුණේ, තල්කොළ වියා විකුණා ඒ මුදලින් බස් ටිකට්ටුවක් මිලදී ගැනීමෙනි. කිලිනොච්චියේ දී මට හමුවූ එක පියෙක්, කුඹුරේ වැඩ කරමින් සිට, පැමිණි අතර, ඔහුගේ පැලී ගිය යටිපතුල් අතර රැඳී මඩ සහිත දෙපා මට මේ රචනාව හරහා නැවත මතක් විය.
හිනැති මුව කමල් බලාපොරත්තු සහිත දෑස් සහ පරම ලෙස අනෙකාට ආදරය කිරීම වෙනුවෙන් පෙනී සිටීම මත දේශපාලනික ව සක්‍රිය ජිවිත සේම, එක් ජනවාර්ගික අනන්‍යතාවක් හෝ සන්නිවේදන දුර්වලතා හේතුවෙන් සිදු වූ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් කතිකාව නොසලකා හැරීම, බලහත්කාරයෙන් නවතා දැමීම ට බල කිරීම හෝ මුලිමනින්ම යටපත් කරදැමීම ප්‍රජාතාන්ත්‍රික සමාජයක් වෙත කරන ප්‍රධානම තර්ජනයකි. ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ කතිකාව සහ ඒ වෙනුවෙන් වන ආයතිනික ක්‍රියාවලිය ගොඩ නැගෙන්නේ, ජාතිකවාදය පදනම්වය. දකුණේ සිදුවූ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම පිලිබඳ අරගලය, ප්‍රජතනත්වාදය නැවත නැවත පිහිටුවා පවත්වා ගෙනයාම බලාත්මක කරන උත්ප්‍රේරකයක් ලෙස මම නම් කරමි.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සහ හිටපු ජානාධිපති රණසිංහ ප්‍රේමදාස විධායකයට විරෝධය පළකරමින් බලහතාකාරයෙන් අතුරුදහන් කිරීම් සහිත ප්‍රජාව සහ ඔවුන් ගේ සක්‍රිය දේශපාලනික දායකත්වය සුදු නෙලුම් ව්‍යපාරය හරහා සිදු වූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. 17 වසරක සාපලත් පාලනය අවසන් කිරීම 1994 හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග ගේ මුලිකත්වයෙන් යුතු වූ පොදු ජන එක්සත් පෙරමුණ ජයග්‍රණය සමඟ සිදුවූ බව නිරන්තරයෙන් ම සඳහන් වන දේශපාලනික අවස්ථාවකි. ප්‍රංශ ක්‍රමයේ විධායක බලය සහිත, ස්ත්‍රී-පුරුෂභාවය පමණක් වෙනස් කිරීමට නොහැකි වූ බලය ඇති, 1978 ව්‍යවස්ථාව යටතේ, බලහත්කාරයෙන් බැහැර කිරීම් හෝ පුද්ගලයන් අතුරුදහන් වීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව (1994), බටලන්ද කොමිසම (1995) සහ සමස්ත ලංකා පරීක්ෂණ කොමිෂන් සභාව (1998) පත් කරන ලදී. මෙම කොමිසන් සභාවන්ගේ සාකච්ඡා, පර්යේෂණ විධික්‍රම සහ සොයා ගැනීම්, සාක්ෂි පොදු ජනයා ගේ දැන ගැනීම වෙනුවෙන් පුවත් පත් විසින් වාර්තා කරන ලදී.
ජාත්‍යන්තර ක්ෂමා ආයතන වාර්තාවට අනුව (https://shorturl.at/U95Ht) 1994 දී පිහිටුවන ලද කොමිෂන් සභාවලට, විශේෂයෙන්ම, 1987 මැද භාගයේ සිට 1990 දක්වා දකුණු ප්‍රදේශයේ රජයේ හමුදා සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පැවති සන්නද්ධ ගැටුම්වල සන්දර්භය තුළ සිදු වූ “අතුරුදන් කිරීම්” මෙන්ම, 1990 ජූනි මාසයෙන් පසු රජයේ හමුදා සහ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය අතර පැවති ගැටුම්වල සන්දර්භය තුළ සිදු වූ “අතුරුදන් කිරීම්” පිළිබඳ විමර්ශනය කිරීමේ වගකීම පවරා ඇත. ශ්‍රී ලංකාවේ “අතුරුදන් කිරීම්” සහ අධිකරණ ක්‍රියාවලියකින් තොරව සිදු කරන ඝාතන නැවත කිසිදා සිදු නොවීමට, වළක්වා ගැනීම සඳහා, මෙම කොමිෂන් සභාවල කටයුතු ප්‍රධානතම සාධකයක් විය හැකි බව ජාත්‍යන්තර ක්ෂමා ආයතනය විශ්වාස කරයි.
ක්ෂමා සංවිධානයේ පමණක් නොව සමස්ථ ශ්‍රී ලාංකියන් ගේ ද නැවත බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සිදු නොවීමේ විශ්වාසය බිඳ දමමින්, පැවති 30 වසරක යුධ කාලය තුළ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සක්‍රිය විය. චෙම්මනි තුලින් එම අතුරුදහන් කිරීමේ එක් බරපතල අවස්ථාවක් අනාවරණය වෙයි. නමුත් මෙම බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වාර්ගිකවාදී කිරීමේ දේශපාලනය ට නතු වීමත්, පශ්චාත් යුධ දේශපාලනය – දේශප්‍රේමී සහ දේශද්‍රෝහී යන දිත්වය යටතේ කේන්ද්‍රණය වීමත්, යුධ ජයග්‍රණයෙන් පසු සංවර්ධන යුද්ධය ආරම්භ වීමත් සහ දේශීය-ජාතිකවාදී-පුරුෂ මුලික දේශපාලනය ප්‍රධාන වීමත් මත මෙම අතුරුදහන් කිරීම් හි චෝහාරික – ක්ෂේත්‍ර ගවේෂණය මත ගොඩ නැගෙන අවබෝධය ඇන හිට ඇත. මේ හේතුවෙන් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සිදු කරන ලද ප්‍රජාවට අවශ්‍ය ම වන යුක්තිය ඉටු වීමට සමාජීය වගවීම මිය ගොස් ඇති ආකාරයක් දැකිය හැකිය.
මෙහි බරපතලම බිඳ වැටීම නම්, බලත්කාරයෙන් අතුරුදහන් කරන ලද තම ආදරණියන් වෙනුවෙන් ලැබිය යුතු යුක්තිය වෙනුවෙන් එම අරගලයේ සිටින ඔවුන් ගේ පවුල් සම්බන්ධයෙන් මානුෂීයත්වය ඉක්මවා යන විශාල මිලක් ගෙවිය. “කොයි වෙලාවේ හරි ගෙදර ඒවි “, නැතිනම්, “කොහේ ඉන්නවාද , දැන් බඩගින්නේ ද ?” මට හීනෙන් කීවා, අම්මේ මම හිර කරලා ඉන්නේ කියලා” ආදී කතා අතර හමුවන්නේ, මෙම පවුල් සම්බන්ධයෙන් එදිනෙදා ගෙවන මිලය; සිදු වූ සහ සිදු විය හැකි හෝ සිදුවනු ඇතැයි සිතන ක්‍රියාවලින් අතර ඔවුන් දෝලනය වීමය. “මම හැමදාම බත් ටිකක් හැලියේ ඉතුරු කරනවා, කොයි වෙලාවේ හරි ගෙදර ආවොත් කන්න දෙන්න” කියා මට පැවසුවේ, ගන්නෝරුවේ පදිංචි ව සිට බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද පුද්ගලයකු ගේ මවකි. ඇය යුක්තිය නොලබා මෑතකදී මිය යන තුරුම, බත් හැලියේ බත් ඉතුරු කරන බව ඇගේ දියණියක් පැවසිය.
Ulster විශ්ව විද්‍යාලයේ පැවති අතුරුදහන්වීම් පිළිබඳ අධ්‍යයන සමුළුව පුරාම අප කතා කරේ වේදනාව හඳුනා ගැනීම, එයට යුක්තිය ඉටුවන යාන්ත්‍රණයක් සහ සමාජයක් ගොඩ නගා ගැනීම, අන්තර්ජාතික සාමූහිකත්වය සහ එම අමානුෂික ක්‍රියාව නැවත නොවීමට වගබලා ගැනීමය.
මෙම ලිවිම මෙසේ අවසන් කරමි; බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද ප්‍රජාව විසින් ගොතන ලද රෙදිපිළි ආශ්‍රිතව ප්‍රදර්ශනය ක් ද එම විශ්ව විද්‍යාලයේ දී පැවතිනි. එහිදී, අවුරුදු 25ක් වයසැති ආර්ජන්ටිනියානු නීතිවේදිනියක අතුරුදහන් කරන අවස්ථාවෙදී ඇඳ සිටින්නට ඇතයි අනුමායෙන් ඇයගේ සොහොයුරිය විසින් ගොතන ලද ටි-ෂර්ටයක් විය. එය මට ආවර්ජනය කරේ මානව සම්බන්දතා හිටි හැටියේ රාජ්‍යහි මැදිහත්වීමෙන් ප්‍රචණ්ඩකාරීව අතුරුදහන් කිරීම ට ලක් කරන විට ඒ තුළම එම ආදරය සහ බලා සිටීම පුද්ගලික හැඟීම් පමණක් නොව, අතුරුදහන් කිරීමේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට එරෙහි දේශපාලන ක්‍රියාවක් බවට පත් වීමය.
අචාර්ය අරුණි සමරකෝන් | Dr. Aruni Samarakoon
