iMage: DailyMirror
මා අයත් වන්නේ ලංකාවේ මුල්ම වරට “ත්රස්තවාදීන්” යන වචනයෙන් හැඳින්වූ කණ්ඩායමටයි. අපි දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන අවදියේ, ලංකාවේ ප්‍රථම වරට දේශපාලන කණ්ඩායමක් වූ අපව හැඳින්වීමට රජය යොදාගත් යෙදුම එයයි. ඒ වනතුරු ලංකා දේශපාලන වචන අතර “ත්රස්තවාදීන්” ලෙස ඇමතුමක් නොතිබිණි.
එදා මේ “ත්රස්තවාදීන්” ගැන පොලිසියේ මහත්වරුන්ට නිවැරදි හැඳින්වීමක් තිබුණේ නැත. ඒ අවදියේ කොණ්ඩය ටිකක් දිගට සහ විශේෂයෙන්ම “සයිඩ්බන්ස්” (Sideburns) නමින් හැඳින්වූ කොණ්ඩ මෝස්තරය දැරූ තරුණයන් පොලිසිය විසින් “ත්රස්තවාදීන්” ලෙස සැකකර අත්අඩංගුවට ගනු ලැබීය. බොහෝ විට මේ කොණ්ඩ මෝස්තර දැරූ තරුණයන්ට අපේ දේශපාලන ව්‍යාපාරය සමඟ කිසිදු සම්බන්ධයක් නොතිබිණි. එහෙත්, පොලිසියේ මහත්වරුන්ට මේ අලුතින් හඳුන්වා දුන් “ත්‍රස්තවාදියාගේ” ඔළුව ඇතුළේ මතයක් දැරීම නිසා රජය එසේ හැඳින්වූ බවට මෙලෝ අදහසක් නොතිබිණි. එම නිසා බාහිර පෙනුමින් එවැනි කොණ්ඩ මෝස්තරයක් ඇත්තන් සැකපිට අත්අඩංගුවට ගැනීම සිදුවිය. ඔවුන්ගේ සයිඩ්බන්ස් සමඟ රැවුල් ගලවමින් ඔවුහු පහර දුන්හ.
අපි ඒ අවදියේ පැහැදිලිවම මෙම ත්‍රස්තවාදී නමින් හැඳින්වීමට ලක්වීමෙන් සමාජය තුළ මෙන්ම පවුල තුළත් මහත් අපහසුතාවලට මුහුණ දුන්නෙමු. ත්රස්තවාදීන් ලෙස හැඳින්වූ තරුණ තරුණියන් දහස් ගණනක් ඉන්පසු අවදියේ සැකය මත මරා දමනු ලැබීය. කතරගම ප්‍රේමවතී මනම්පේරි යනු එක් උදාහරණයකි. මේ මරා දැමීමට ලක් වූ තරුණ තරුණියන්ගෙන් වැඩිදෙනෙකුට අපේ දේශපාලන සංවිධානය සමඟ කිසිදු සම්බන්ධයක් පවා නොවීය.
ඒ අවදියේ, එනම් 70 ගණන්වල, සැකකරුවන් ලෙස රහස් පොලිස් අත්අඩංගුවේ අපව රඳවාගෙන සිටි අතර, අපි අත්අඩංගුවේ සිටින බව අපේ පවුල්වලට දැනගැනීමට ඉඩක් නොවීය. රහස් පොලිසියේ 4 වන තට්ටුවේ නැතහොත් ලොන්ඩප්ලේස් හි කාර්යාලයේ වදයට සහ ප්‍රශ්න කිරීම්වලට ලක් වන අපව, රාත්‍රියට පොලිස් කූඩුවකට දමනු ලබයි. සති දෙකකට වතාවක් අලුත්කඩේ උසාවිය ඉදිරියට රහස් පොලිස් ජීප් රියකින් ගෙන යන අතර, නිලධාරියෙකු උසාවිය තුළට අප පිළිබඳ ලිපිගොනු රැගෙන ගොස් නඩුකාරයාට ඒවා පෙන්වා හිරකරු හොඳින් සිටින බව තහවුරු කරයි. (ඒ අවදියේ අපි මේ නඩුකාරයින්ව හැඳින්වූයේ “අංජනම් දේවතාවුන්” ලෙසිනි. ඒ, ඔවුන් අප නොදැක අප හොඳින් සිටින බව සහතික කළ හෙයිනි.) ඉන්පසුව අපව රැගත් ජීප් රිය මැගසින් බන්ධනාගාරය ඉදිරියට ගෙන ගොස් එහි ඇතුළත් කළ බවටත්, නැවත පිටතට රැගෙන ගිය බවටත් වාර්තාගත කරයි.
මේ අන්දමින් මාව රහස් පොලිස් භාරයේ දින 360 ක් රඳවාගෙන සිටි අතර, විවිධ වදදීම්වලට සහ පහරකෑම්වලට මුහුණ දීමට සිදු විය. මේ අවදියේ මට මගේ පවුලේ කිසිවකු දැකීමට හෝ නීති උපදෙස් ලබා ගැනීමට ඉඩක් නොදෙන ලදී. ලංකාවේ සාමාන්‍ය නීතිය මත අපව රඳවාගෙන සිටි ආකාරය එයයි. නමුත් එම සාමාන්‍ය නීති යටතේ අපට, එනම් 1971 අප්‍රේල් කැරලිකරුවන්ට, දඬුවම් කිරීමට තිබූ බාධාවන් නිසා එදා ඔවුන් “අපරාධ යුක්තිය විනිශ්චය කිරීමේ කොමිසම් පනත” සම්මත කළහ. අද රජයේ සිටින, එදා ඒ දඬුවම් ආදියෙන් බැට කෑ පක්ෂයක පසුකාලීන සාමාජිකයන් එය නොදැනීම හෝ නොසැලකීම විගඩමක්ද නැතහොත් ඛේදවාචකයක්ද?
1979 දී උතුරු ලංකාවේ තරුණ නැගිටීම් හේතු කොටගෙන “ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විදිවිධාන පනත” සම්මත කරගනිමින්, ඊට ප්‍රථම පොලිසිය සහ නීති ආයතන නීති විරෝධීව කළ ක්‍රියාවන් නීතිමය රාමුවක් මත සිදු කිරීමට අවසර ලබා දෙන ලදී. ඒ අවදියේ සිවිල් සමාජ කණ්ඩායම් එම පනතට එරෙහිව පාරට බැස්සහ. (එහෙත්) මැර බලය යොදා එදා ජයවර්ධන රජය ඒවා මැඩපැවැත්වීය. මෙම පනතින් වදයට ලක් වූ, ඒ වද වේදනාවන් මැද මිය ඇදුණු තරුණ ජීවිත උතුරේත් දකුණේත් දස දහස් ගණන්ය.
අද බලයට පත්ව සිටින ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ජ.වි.පෙ. පැවතෙන්නේ එදා මෙම පනත යටතේ ත්රස්තවාදීන් ලෙස වධබන්ධනයට ලක් වූ දසදහස් ගණන් ජීවිතවලින් වන්දි ගෙවූ පෙරගමන්කරුවන්ගේ ලේ ගංගාව මතිනි. ඔවුනට තම පෙරගමන්කරුවන් ගැන මතකයක් තිබේ නම්, ලංකාවේ ජීවත් වන අන් කිසිවකුට වඩා “ත්‍රස්තවාදය” යන ලේබලය මත මරා දැමූ සහ වධබන්ධනයට ලක් වූයේ තමන්ගේම කොටස් බවත්, මෙම “ත්‍රස්තවාදය” යන හැඳින්වීමම ඛේදවාචකයක් බවත් වැටහිය යුතුය.
දැන් මේ ආණ්ඩුව සම්මත කර ගැනීමට උත්සාහ කරන “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත” වෙනුවට ඔවුන් පළමුවෙන් කළ යුතුව ඇත්තේ ලංකාවේ පොලිසිය ක්‍රමවත් ආකාරයකට ප්‍රතිසංවිධානය කිරීමයි. පවතින පොලිසිය කිසිදු හේතුවක් නැතිව විනෝදයටත් සැකකරුවන්ට පහර දෙන, සමහර විට මියයන තෙක් වධයට ලක් කරන බව ප්‍රසිද්ධ කාරණයකි. මේ ආණ්ඩුවේ මහත්වරුන්ට හා නෝනලාට තමන්ගේ පෙරගමන්කරුවන්ට සිදු වූ දේ පිළිබඳව නැවත කියවා, රටේ රාජ්‍යය සහ එහි පොලිසි සහ හමුදාවන්හි ස්වභාවය නැතහොත් ගුණාත්මක බව වටහා ගන්නා ලෙස මතක් කරමි.
මේ ආණ්ඩුව බලයට පැමිණියායින් පසුත් පොලිස් අත්අඩංගුවේ මියගිය සැකකරුවන් කීදෙනෙක්ද? ඒ පිළිබඳව බලයට ආ ඔබගේ දෑස් අන්ධ වී ඇත්ද? පොලිසිය අසරණයන්ට එරෙහිව දැඩි හස්තය ඔසවන අතරම බලවතුන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට දක්වන මැලිබව ලංකා පොලිසියේ සැබෑ ස්වභාවය පැහැදිලි කරයි. පසුගිය දිනක හෝමාගම තරුණයාගේ සහ කඩවත ළමයාගේ සිදුවීම පොලිස් ක්රියාදාමයන්හි අත්තනෝමතික බව මනාව පැහැදිලි කරයි.
ආණ්ඩුව මේ අලුත් පනත්වලින් කරන්නේ එවැනි හිතුවක්කාරී, සාපරාධී පොලිසියකට කිසිදු වගවීමකින් තොරව තවත් තවත් කෲර ක්‍රියාවන්ට ඉඩකඩ සපයා දීමයි.
කිසිදු හැදියාවකින් තොර පොලිසියකට තම සාපරාධී ක්‍රියාවන් වසා ගැනීමට නීති සකස් කර දෙනවා යනු ‘පනින රිලවුන්ට ඉනිමං කැපීමක්’ පමණි. නමුත් තම සගයන්ගේ ජීවිත දසදහස් ගණනින් බිලිගත් එවැනි පොලිසියකට ඊටත් වඩා බලය පැවරීමට නීති සකස් කරන මෙම ආණ්ඩුවේ ප්‍රධානීන් ඊටත් වඩා ඛේදවාචකයක් නොවන්නේද?
ඔවුන් ගෙන ඒමට උත්සාහ කරන මෙම නීතිය තුළින් රටේ ජනතාවට ආරක්ෂාවක් ඇති වන්නේ යැයි සිතන්නේ නම්, ඒ තැනැත්තා හෝ තැනැත්තිය එසේ සිතන්නේ අප රටේ මෙතෙක් ඉතිහාසය හරිහැටි කියවා ගැනීමක් හෝ වටහා ගැනීමක් නොමැති කමිනි. ලංකා පොලිසිය මෙවැනි නීති ඇතුව සහ නැතුවත් ක්‍රියාත්මක වී ඇත්තේ ඉතාමත් හිතුවක්කාරී, මනුෂ්‍යත්වයට පවා නිගා දෙන ආකාරයකිනි.
අද පවතින ආණ්ඩුව රටෙහි ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් ස්ථාපිත කරනවා යැයි බලයට පැමිණ, ඒ වෙනුවට ප්රජාතන්ත්ර විරෝධී පනත් වන “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත”, “සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත” වැනි පනත් සම්මත කර ගැනීමට යාම එක අතකින් විගඩමක් වනවා මෙන්ම, අනෙක් අතින් රටෙහි පුරවැසියා සතු ප්රජාතන්ත්රවාදී සහ මිනිස් අයිතීන් වලපල්ලට යැවීමට කරන උත්සාහයකි. මෙම පනත් සම්මත වූවායින් පසු රටෙහි ඉතිරුවන්නේ පොලිස් රාජ්‍යයකට අවශ්‍ය සියලු මාර්ග නීතිමය රාමුවකින් සපයා ඇති රටකි. එවැනි නීති ඇති රටක තවදුරටත් මිනිස් අයිතීන් ගැන කතා කිරීම ජීවිත තර්ජනයක් බවට පත්වීම නොවැලැක්විය හැකිය.
එවැනි නීති නොමැතිවත් රටෙහි ආරක්ෂක ආයතන ක්‍රියාත්මක වූයේ නිර්දය ආකාරයකිනි. ඉතින් එම තත්ත්වය ඇති කිරීමට අරඅඳින මේ පනත් සම්මත කිරීමට එරෙහිව තම විරෝධය ප්‍රකාශ කිරීම සෑම ප්රජාතන්ත්රවාදී පුරවැසියකුගේම යුතුකම සහ වගකීමයි. මේ පනත්වලට එරෙහි වෙමින් එම පනත් හකුලා ගන්නා ලෙස රජයට බල කරමින් පාරට බැසීම සියලුම ප්රජාතන්ත්රවාදී මිනිසුන්ගේ සහ සිවිල් සමාජ සංවිධානවල යුතුකමයි. අද කළ යුතු දේ හෙට කළ නොහැකි වන්නේ, හෙට එම නීතියම එයට එරෙහි වන අපට එරෙහිව පාවිච්චි වන බැවිනි. ඇතිවීමට යන විනාශය අද දකින්නට නොහැකි ඇස්වලට හෙට අඬන්නට සිදුවීම මගහැරිය නොහැක.
මේ මොහොතේ සියලුම සිවිල් සමාජ සංවිධාන සහ ප්රජාතන්ත්රවාදී අයිතීන් අගයන පුරවැසියන් මෙයට එරෙහි වී එම පනත් සම්මත කරගැනීම වළක්වා නොගන්නේ නම්, හෙට ඔවුන්ට අඬන්නට සිදුවීම නොවැලැක්විය හැකිය.
රංජිත් හේනායකආරච්චි | Ranjith Henayaka Arachchi
05.11.2026