සිංහල, Colombo, Corruption, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Media, Peace and reconciliation

අවාසනාවට ඇත්ත කථාවක්

අවාසනාවට ඇත්ත කථාවක් එක්තරා එෆ්එම් චැනලයක විකාශණය වන බොහෝ ජනප්‍රිය එහෙත් අසා සිටින්නට අප්‍රිය ගුවන් විදුලි වැඩසටහනක්. ලංකාවේ හතර දිග්භාගයේ කොහේ හෝ සිදුවන බොහොම අප්‍රසන්න සිදුවීමක් ඉතාම නාට්‍යානුසාරයෙන් ඒ මඟින් ඉදිරිපත් කරනවා. අපිත් කථාකරන්නට යන්නේ අන්න එවැනි වු අප්‍රසන්න, නමුත් අවාසනාවටම ඇත්ත කථාවක්.

මේක සිද්ධවෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නම් වූ ඉන්දියන් සාගරයේ ඉන්දියාවට දකුණින් පිහිටා ඇති දූපතකය. මේකෙ මිනිස්සු හිතාගෙන් ඉන්නවා මෙය අති රම්‍ය දිවයිනක් කියලා. නමුත් ඔවුන්ගේ නිද්‍රාව නිසාම එම දිවයින දිනෙන් දින අරාජිකවන, දිනෙන් දින මිනිස් වාසයට නුසුදුසු තැනක් බවට පත් වෙමින් යනවා. සමහර විට ඔබට මෙය කියවීමෙන් පස්සෙ ඔක්කාරයට එන්නටත් පුළුවන්. නමුත් මේ දිවයිනේ විශේෂම ලක්‍ෂණය තමයි නැවත නැවත වමනය කරමින් එම මතම ජීවත්වන්නට සිදුව තිබීමයි.

මේ වෙද්දි ලංකාවේ පළාත් පාලන ආයතන මැතිවරණය රජය විසින් ප්‍රකාශයට පත්කරලා තියෙනවා. ගමට වැඩක් කරන්න දඟලන මේ යුද්දේ නිසා දැන් මුළු ගම කුකුල් පොර පිටියක් වෙලා. තාප්ප පුරාම දත් විරිත්තා සිනාසෙන මූණු. ඇඟ කළිපොළා යන ප්‍රචාරක වදන් තාප්ප විතරක් නොවෙයි තාරපාර මැද්දෙත් ඇඳලා. දන්සැල් වගේ හැම තැනම කන්න දෙන්න පොර කනවා. නිදහසේ හුළං පොඳක් එන්න බැරිවෙන තරමට කටවුට් වලින් මුළු ගමම පුරෝලා. යකඩ කටවල් බැඳගත්ත වෑන් කැබ් රථ ගම පුරාම සැරිසරනවා. ගමේ කඩපිල් ගානේ රස්සාවක් නැතිව එහෙට මෙහෙට කැරකි කැරකි හිටපු අයියලා ඔක්කොම රැයක් දවාලක් නැතිව වැඩ. රෑ එළිවෙනකන් පොස්ටර් ගහන්න, කටවුට් ගහන්න, බැනර් අදින්න වෙහෙසෙනවා. සමහරු සංගීත සංදර්ශණ තියෙන කොට තවත් සමහරු වාග් සංදර්ශණ පවත්වනවා. එක්කෙනෙක් එක්කෙනෙක් දෙවැනි නොවෙන්න ගජ රාමෙට වැඩ. අලි, සීනු, බුලත් කොළ පාර පුරාම. මේ කාවෙනුවෙන්ද වෙහෙසෙන්නේ,

ඒ අස්සේ ඔය ආචාරී මර්වින් සිල්වාට ලියා ඇති කාලපයක් තියෙන්නේ කැළණිය කියලා, අන්න එහේ හසිත මඩවල කියලා එක අයියා කෙනෙක් දැන්ම ස්තූති පොස්ටරයකුත් අලවලා. 22,000 ක වැඩිම ඡන්දයෙන් සභාපතිකමට පත්කෙරුවට ස්තූතියි කියලා. බලන්න තියෙන කෙලෙහි ගුණය. අපි ජන්දය දෙන්නත් ඉස්සෙල්ලා අපිට ස්තූතිත් කරලා ඉවරයි.

ඇත්තටම මේ දහදිය හෙලන්නේ කා වෙනුවෙන්ද කියලා දැනගත්තාම අපිටත් දහඩිය දමාවි. රුපියල් පන්දහසක් වගේ අද දවස වෙද්දි තනි කොළේකට අපි වෙනුවෙන් වැඩකරන්න තමයි මේ අයියලා අක්කලා ඔක්කොම මේ මහන්සි වෙන්නේ.

ඇත්තටම කවුද මේ අපි???

ඔබද මමද නැතිනම් වෙනකවුරු හරිද?? ඔබ සහ මම වෙන්නනම් බෑ. මොකද හොඳට සිහිනුවණින් කල්පනා කරලා බලන්න, අපිට නම් ඔය අයියලා අක්කලා මුකුත් කරලා නෑ. එතකොට කාටද මේ අය කරලා තියෙන්නේ. එයාලා අපි කියලා අදහස් කරගෙන තියෙන්නේ ඔබවත් මමවත් නොවෙයි, ඔවුන්වමයි. ඔන්න දැන් මේ ටිකක් කල්පනා කලාම ඔලුව රිදෙන ප්‍රශ්ණයක් එනවා. සමහරු තද නින්දක ඉන්න නිසා එවැනි ඔලුව රිදීම් වගේ අතුරු ආබාධ ඇතිවෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ අවදියෙන් ඉන්න මිනිස්සුන්ට එහෙම වෙන්න පුළුවන්.

ලංකාවේ පළාත් පාළන ආයතන වර්ග තුනක් යටතේ ආයතන 330 ක් තියෙනවා. මෙම පළාත් පාලන ආයතනයක මූලික වගකීම ව්‍යවස්ථාව මඟින්ම දක්වලා තියෙන්නේ මෙන්න මෙහෙම. මහජන සෞඛ්‍ය, මහජන උපයෝගී සේවා, පොදු මාර්ග, සහ පොදුවේ ජනතාවගේ ආරක්‍ෂාව සම්බන්ධ සුබ විහරණය, සුබ සාධනය ආදී ජනතාවගේ සියලු පහසුකම් සපයාදීම, පාලනය කිරීම, පිරිපාලනය කිරීම සම්බන්ධ වගකීම, සහ බලය පළාත් පාලන ආයතන වෙත පවරලා තියෙනවා. ලංකාවේ සෑම දෙයක්ම වගේ ලියවිල්ලේ එහෙම තිබුණට ගමට ඔය කියන එකක්වත් දැනිලා තියෙනවද? ලෝකයම වෙනම ගමනක් යද්දි අපි තවමත් සැලසුම් හදනවා. ගමේ දේශපාලකයාගේ සිට රටේ ප්‍රධාන පුරවැසිය දක්වා ප්‍රචාරණ කටවුට් සහ දැන්වීම මඟින් සංවර්ධන මවද්දි මේ රට උන්නු අඩියෙනුත් පහළට වැටිටෙනවා මිසක් වෙන දෙයක් නෑ. ඒ වගේම ලංකාවේ දැන් සංවර්ධන මනින මිම්ම පාරවල් තැනීම. මිනිස්සු හිටියත් නැතත් පාරවල් සංවර්ධනය වෙනවා. ඇත්තටම කිව්වොත් ඒක හොඳ ව්‍යාපාරයක්.

ගමට වැඩක් කරන්න අපේ පස්සේ එන තාප්ප පුරා හිනාවෙන ගමේ අයියලා ගමේ පාලනය වෙනුවෙන් අයෙත් යවන්න මොනවද ඔවුන් කරලා තියෙන්නේ. ඔවුන් එසේ නැවත පත්කර යුතුද? එසේ පාළාත් පාලන ආයතන තුළට යන්න ඔවුන් සුදුසුද?

පසුගිය වසරේ ශ්‍රී ලංකාව සියදිවි හානිකර ගැනීම් වලින් ලෝකයේ 10 වැනි ස්ථානයට පත්වී තිබෙනවා. ළදරු මරණ අනුපාතයද සීග්‍රයෙන් වැඩි වී තිබෙනවා. ගමේ මිනිහගේ ආදායමේ රුපියලක හරි වෙනසක් වෙලා තියෙනවද පසුගිය අවුරුදු 4 ඇතුළත. පවතින් රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ නිසා ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය අහිමි වෙනවා. ජීඑස්පී සහනය අහිමි වීම ඉහළ තැන්වල සිට කථා කෙරුවට එය කෙළින්ම බලපාන්නේ ගමේ මනුස්සයට. ඒ අහිමි වීම හරහා දැනට 44,000 කට ආසන්න පිරිසකට තම රැකියා අහිමි වෙලා. ඒ වගේම ඒ අහිමිවීම ඔබය මමයි බොන ප්ලේන්ටියටත් පවා බලපානවා. ගමේ තිබුණු කාර්මාන්ත ශාලාවත් වැසුනා මිසක් අලුතින් යමක් විවෘත වෙලා තියෙනවද? මේ වෙද්දි ලංකාව පුරා වැසීගිය කර්මාන්ත ශාලා ගණන 100 කටත් අධිකයි. එහෙත් ඔය තාප්ප පුරා හිනාවෙවි ඉන්න අයියාලා අක්කලානම් ආවට වැඩිය මේ අවුරුදු 4 ඇතුළත ඉතාම දැවැන්ත ලෙස ඉදිරියට ගිහින්. ආර්ථිකයෙන් සමාජයෙන් දේශපානයෙන් මෙකිී නොකී සියලුම අංශවලින් ඔවුන් ඉදිරයට ගිහින්. නමුත් ගම තවම එකතැන. ඒ නිසයි මුලින්ම මම සඳහන් කළේ එයාල අපි කියලා හඳුන්වලා තියෙන්නේ ඔබවත් මමවත් නොවෙයි කියලා.

ගමට නොව ඔවුන් කරගන්න යන මේ යුද්ධය නිසා ගමම දැන් පොර පිටියක්. මේ මොහොත වන විට ඔවුන් කොයිතරම් සක්‍රීයද කියතහොත් මැතිවරණ නීති උල්ලංගණය 63 කිරීම් සමඟ සිදුවී ඇති අනෙකුත් සිද්ධි ගණන 124 ක්. ඉදිරි දින වලදී මෙය තවත් ඉහළ යනු ඇත. ඊට මනා ඉඟියක් පසුගිය දිනකදී ආචාරී මර්වින් සිල්වා කැළණිය ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ප්‍රකාශ කර තිබිණි. ඔහු ප්‍රකාශකර සිටියේ තමන්ගේ ගිනි අවිය භාවිතා කිරීමට තමන් පුලපුලා බලාසිටින බවයි. ඒ තමයි ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයයි.

මෙය සාමකාමී නිදහස් සාධාරණ මැතිවරණයක් නොවන බවට පැහැදිලි සාධක දැන්මම මතුවී ඇත. මැතිවරණ කොමිසම අක්‍රීයව පවතීම සහ රජ්‍ය බලය යොදාගනිමින් කරන්නාවූ බලපෑම නිසාම ශ්‍රී ලංකාවේ මැතිවරණ සාධාරණ වේ යැයි කිසිදු ලෙසකින් සිතන්නට බැරිය. මේ වන විටත් ප්‍රදේශ ගණනාවක මැතිවරණය දින නියමයක් නොමැතිව කල්දමා ඇති අතර මැතිවරණය පැවැත්වෙන මැති ඇමතිවරන්ගේ බලපරාක්‍රමය මැද්දේය.

උතුරේ සම්පූර්ණ පාලනය මිලිටරි අංශ බාරව පවතින නිසා එම පළාතේ ද නිදහස් හා සාධාරණ මැතිවරණයකට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය වී ඇතැයි සිතිය නොහැක. දැනටම දමිළ අපේක්ෂකයින් බිය වැද්දීම් සිද්ධි කීපයක්ම වාර්තා වී ඇත.

මේ ලෙසින් මේ අවාසනාවන්ත කථාව ඉදිරි කාලයේදී දිගුවනු නොඅනුමානය. නමුත් මෙහි ජීවත්වන මිනිසුන්ට මේ අරාජික තත්ත්වයෙන් , අවාසනාවන්ත කථාවෙන් ඉවත් වීමට උවමනාවක් නැත හෝ එසේ ඉවත් වී ඔවුන්ට ජීවත් වන්නට නොහැකි නිසා එහිම ඇලී ගැලී මිරිකී අවසානයේ කුඩු පට්ටම් වී බොහෝ කථා අවසන්වේ.

ක්‍රිශාන් රාජපක්‍ෂ