Districts, end of the War, Featured Articles, Features

සම්බුද්ධත්ව ජයන්තියට යුද ජයග්‍රහණයේ දෙවර්ෂපූර්ණය සම්මුඛවීම සහ තවත් කතා

අද්‍යතන ශ්‍රී ලාංකා රාජ්‍යයේ සිංහල බෞද්ධ අධිපතිවාදී මතවාදය තහවුරු කිරීම උදෙසා දැනුවත්ව තක්කඩි තර්ක සම්පාදනය කරන්නකුට හැර, සිහිනුවන ඇති වෙනත් කිසිවකුටත් බෞද්ධාගම හා යුද්ධය යන දෙක අතර සර්ව සම්පූර්ණ ප්‍රතිවිරෝධයක් මිස කිසිදු සමපාතවීමක් දැකගන්නට නොලැබෙනු ඇත. වෛෂයික කරුණු එසේවුව ශ්‍රී ලංකා රාජ්‍යය විසින් ප්‍රකාශයට පත්කොට ඇති 2600 සම්බුද්ධත්ව ජයන්තියත්, ඒ රාජ්‍යය විසින්ම ප්‍රකාශයට පත්කරන ලද ‛යුද්ධ ජයග්‍රහණයේ’ දෙවර්ෂ පූර්ණයත්, දෛවෝපගත සංසිද්ධියක් ලෙස එකම කාල අවකාශයක් තුළ එකිනෙකට සමපාතව යෙදී ඇත.

සම්බුද්ධත්ව ජයන්ති සැමරුම ප්‍රකාශයට පත්කොට, එය අති උත්කර්ෂවත් එකක් බවට නිලමුද්‍රාව තබා ඇත්තේ රාජ්‍යය විසිනි. එසේම ‛යුද්ධ ජයග්‍රහණයේ දෙවර්ෂ පූර්ණය’ අභිමානවත් සැමරුමක් ලෙස සංවිධානය කොට ඇත්තේද ඒ රාජ්‍යයමය. වෛෂයික වශයෙන් එකිනෙකින් මුළුමනින් ප්‍රතිවිරුද්ධ, එහෙත් සිය බල ආධිපත්‍යයේ වුවමනාව මත එකිනෙක සම්පූර්ණයෙන් සමපාත බව තහවුරු කරන්නට උත්සාහ කරන ප්‍රපංචයන් දෙකක්, කාල අනුක්‍රමය මත මෙලෙස සමපාතවීම, විසංවාදය අහිමිකරනු ලැබඇති සිංහල බෞද්ධ අධිපතිවාදයට දොහොත් මුදුන්දෙන බහුතරයටත්, ඒ මතවාදයෙන් පරිපීඩිත කොට තවදුරටත් ආන්තික කැරෙමින් යන හඬක් අහිමි සුළුතරයටත් දැනෙනු ඇත්තේ කෙසේද?

යුද්ධයෙන් දසදහස් ගණනක මිනිසුන්ගේ අමුසොහොන බවට පත් උතුරේ මේ ගෙවෙන්නේ සත්දින වෙසක් කලාප සමයයි. සිංහල භාෂීය ජනමාධ්‍යයන්ට අනුව මෙය ‛කොටි බලකොටු වෙසක් මිහිරෙන් නැහැවෙන’ සමයයි. ‛ප්‍රභාකරන්ගේ බලකොටු වෙසක් සිරියෙන් බබළවන’ සමයයි. වෙසක් සිරියෙන් නැහැවෙන්නටත්, යුදහමුදා දන්සල්වලින් සප්පායම් වීමටත්, දුරකතර ගෙවා එන උතුරු නැගෙනහිර දෙමළ ජනකායගැන විසිතුරු වර්ණනා ඒ මාධ්‍යයන්හිම දෝරෙගලන සමයයි. එහෙත් ඉටිපහන් ගිනිසිලේ රෂ්මිය මුවාකොට එය පරම සුන්දරත්වයට නංවන සව්කරදාසි සැරසිල්ලේ රැවටිල්ල තරමටම, මේ ව්‍යාජය යටඇති අමිහිරි හා භයංකර යථාර්ථය, බහුතර සිංහල සමාජය හඳුනා නොගන්නා සමයද මෙයමය. හමුදා දන්සලෙන් බඩපුරවාගන්නට එන ඒ හමුදා ක්‍රියාන්විතය විසින්ම නටඹුන් කරනලද දෙමළ මිනිසාගේ බඩේ නොව පපුවේ ඇවිලෙන බත් නැලිගණන් තැම්බීමට සමත් ගින්න නොදකින සමයද මෙයමයි.

මේ දෝරෙගලන වෙසක් අසිරිය, එක්සේසත් කළායයි කියන ලාංකේය සමාජයේ භෞතිකව නොපෙනෙන, එහෙත් සාමූහික විඥානය තුළ දිනෙන් දින ගැඹුරට හා පුළුලට සලකුණුවෙමින් යන විභේදනයේ ඒ ගැඹුර හා පුළුල තීරණාත්මක ලෙස වැඩිකරන්නක් වීම වෙසක් අසිරියේ සව්කරදාසිවලින් හා දන්සල්වල තැම්බෙන බත්හට්ටිවලින් වසාතැබූ ඛේදජනක හා භයානක යථාර්ථයයි. එහෙත් සම්බුද්ධත්ව ජයන්තිය නම් ප්‍රබන්ධයේ මිහිරෙන් නැහැවෙන අධිපති මතවාදයේ දාසභාවයට පත් මිනිසුන් මේ මොහොතේ අවබෝධ කරනොගන්නා සත්‍යයද එයමය. මෙවැනි ලියැවිල්ලක් පවා ඒ අනන්ත මිහිර වනසන හෙවත් ‛ආතල් කඩන’ ක්‍රියාවක් ලෙස අර්ථ දැක්වෙන මොහොතද මෙයයි.

මේ අනන්ත සම්බුද්ධත්ව ජයනිති මිහිර හා යුද ජයග්‍රහණයේ පිටාරගලන වින්දනය සිත්සේ විඳින්නන්ට බාධාකරන තවත් කාරණා කිහිපයක් මෙහි සටහන් කිරීමට මේ මොහොත විසින් බලකරනු ලැබ තිබේ.

යුද්ධය අවසන්කළ බව ප්‍රකාශයට පත්කොට දෙවසරක් ගතවෙන තැන, අප හමුදා සන්නද්ධ රථ මතින් උතුරට සම්බුද්ධත්ව ජයන්තිය අපනයනය කරන මේ අවස්ථාවේ, සමාජයක් ලෙස අප මනුෂ්‍ය ජීවිත සම්බන්ධයෙන් දක්වන්නේ කොතරම් භයංකර අනවධානයක්ද යන්න මෙනෙහි කරන එක් උදාහරණයක් පමණක් මෙහි දක්වමි.

මන්නාරම කතෝලික පදවිය වෙනුවෙන් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම (එල් එල් ආර් සී) හමුවේ පසුගිය ජනවාරි 08වැනිදා සාක්ෂි සටහනක් ඉදිරිපත් කරමින් එම පදවියේ පූජ්‍ය රයප්පු ජෝසෆ් රදගුරුතුමා විසින් සඳහන්කරන ලද අතිශය වැදගත් කරුණු රාශියක් අතර වූ එක් සඳහනකි මේ.

ආණ්ඩුවේ දිසා ලේකම් කාර්යාලවලට අනුව 2008 ඔක්තෝබර් මස ආරම්භය වනවිට වන්නියේ ජීවත්වූ ජනගහනය 4,29,059කි. එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර සම්බන්ධීකරණ සංවිධානයේ 2009 ජුලි 10වැනි දින දත්ත අලුත්කිරීමට අනුව යුද්ධයෙන් පසු වන්නියේ සිට ආණ්ඩුවේ පාලන ප්‍රදේශවලට පැමිණි පුද්ගලයන් සංඛ්‍යාව 2,82,380කි. ඒඅනුව දිසාලේකම් කාර්යාලවල දත්තවලට අනුව 2008 වසරේ ඔක්තෝබර් මස ආරම්භයේදී එහි ජීවත්වූ ජනගහනය හා ඉන්පසුව ආණ්ඩුවේ පාලන පෙදෙස් වෙත පැමිණි ජනගහනය අතර වෙනස පුද්ගලයන් 1,46,679කි. එනම් ලක්ෂ එකහමාරකට ආසන්න මිනිස් ජීවිත සංඛ්‍යාවකට වෙච්ච කෙරිච්ච දෙයක් නැත. මේ සාක්ෂ්‍යය ලබාදී දැන් මාස හතරකට වැඩි කාලයක් ඉක්මගොස් තිබුණත් මේ ලක්ෂ එකහමාරකට ආසන්න ශ්‍රී ලංකා පුරවැසියන්ට වෙච්ච දෙයක්ගැන වගකීමක් සහිත කරුණු ප්‍රකාශකිරීමක් කිසිදු බලධාරියකුගෙන් සිදුව නැත. ලක්ෂ එකහමාරක් මිනිසුන්ට සිදුවූ දෙයක් නැතැයි කියන, බෞද්ධාගම නොව හින්දු ආගම අදහන බහුතරයක් වෙසෙන භූමියකට, අපි මනුෂ්‍යයකු මතු නොව කිසිදු ප්‍රාණියකු ඝාතනය නොකරන්නැයි සිය පළමු සික්ෂා පදය වශයෙන් දෙසා වදාළ ගෞතම බුදුන්ගේ බුද්ධත්වයේ 2600වැනි ජයන්තිය හමුදා රථවලින් වඩම්මමු.

2006වැනි සම්බුද්ධත්ව ජයන්ති මංගල්‍යය මේ ධර්මද්වීපය වෙත එළැඹෙන්නේ, ඒමත මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ හා යුද අපරාධ පිළිබඳ චෝදනා නම් කළුවළාව මෝදුවී ඇති අවස්ථාවක ය.

එක්සත් ජාතීන් ගේ සංවිධානයේ විද්වත් කමිටු වාර්තාවගැන මේ වනවිට බොහෝදේ කතාවී ඇත. ඒ පිළිබඳ අමුතුවෙන් විග්‍රහ කිරීම මෙහි අරමුණ නොවේ. එහෙත් වාර්තාව සම්බන්ධයෙන් ගොඩනැඟුණු ලාංකේය කතිකාවේ දෙමළ නොවන බහුතර පංගුවේ එක් ප්‍රධාන දිශානතියකට මොහොතකට අවධානය යොමුකිරීමට කැමැත්තෙමි.

වාර්තාව සැකසූ දරුස්මාන්ලාත්, එය සෑද වූ මූන් සේම එජා සංවිධානයත් සක්වල ගලෙන් එපිටට අල්ලා විසිකරන්නට ඇති අභිලාශය ප්‍රකටකළ අති බහුතරයක් ප්‍රතිචාර පසෙකින් තැබුවත්, ඊටවඩා විචාරාත්මකයයි පෙනුණු, අහේතුකව වාර්තාව හෙළානොදකින, දේශපාලන වශයෙන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයේ විවේචකයන්වන පාර්ශවයන්ගෙන්ද නැඟුණු ප්‍රතිචාරවල එක් සමස්ත දිශානතියක් විය. එය එවැනි වාර්තාවක් සකස්කිරීම රටේ අභ්‍යන්තරයට අනවශ්‍ය ඇඟිලිගැසීමකැයි සලකන දිශානතියකි. ආණ්ඩුවේ දරුණු විවේචකයන් පවා කියන්නේ මේ අනවශ්‍ය ඇඟිලිගැසීමට පාර කැපුණේ ආණ්ඩුවේ වරදින් බවය. තවෙකෙක් කියන්නේ මෙය තීරණාත්මක ජාතික විපතක් ලෙස සලකා (මෙහි ‛ජාතික’ යන්න පැහැදිළි නැති අතර එය ‛සිංහල ජාතික’ ලෙස ගැනීමට කරුණු දැක්වීම් බලකරයි) අප සියල්ලන් එක්සත්වී මෙයට මුහුණදිය යුතු බවය. වාර්තාව සුළුවෙන් ගැනීමෙන් අනාගතයේදී අපට මුහුණපාන්නට වෙන භයානක තත්ත්වයන් ගැනද ඇතැමෙක් ඉඟිකරති.

එහෙත් අවාසනාවකට ඒ අතිබහුතරයක් මඟහැර යන කරුණක් තිබේ. ඒ මෙම වාර්තාවේ සඳහන් ඇතැම් චෝදනා සැබෑවන්නට ඉඩ ඇතිබව හා එබැවින්ම ඒවායේ සත්‍යාසත්‍යතාව තහවුරු කරගැනීමටත්, ඔප්පුවන කරුණු ඇතොත් ඒවාට වගකිවයුත්තන්ට එරෙහිව නීත්‍යානුකූලව ක්‍රියාකිරීමටත් අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයක් කළයුතු බවය. එවැනි පරීක්ෂණයක අවශ්‍යතාව වෙනුවෙන් පෙනී නොසිටින්නේ එවැනි අපරාධ සිදුවූ බවට සැකකළ හැකි සාක්ෂි කොතෙකුත් තිබියදීය.

ගැටලුවට ආණ්ඩුව හුවාදක්වන විසඳුම වූ එල්එල්ආර්සීය හමුවේ අත්අඩංගුවට පත්වීමෙන් පසු අතුරුදන් වූ පුද්ගලයන්ගේ නම්ගම් පවා ඔවුන්ගේ ඥාතීන් වෙතින් කියැවිණි. සිදුවීම්වලට මුහුණපෑවෝ කොමිසම හමුවේ සිය අත්දැකීම් ඇසුරින් සිදුවූ අපරාධ ගැන කොතෙකුත් කරුණු කීහ. සාධාරණ පරීක්ෂනයකට ලක්කළ යුතුබව පෙනෙන ඡායාරූපමය සාක්ෂි හා චැනල් ෆෝ වීඩියෝව වැනි වීඩියෝ සාක්ෂිද තිබේ. රයප්පු ජෝෂෆ් රදගුරුතුමා වැන්නන් මතුකළ සංඛ්‍යාලේඛනමය සාක්ෂි තිබේ. එහෙත් අපි අතිබහුතරයක් ඒ සියල්ලට ඇස් කන් වසාගෙන එවැනි අපරාධ සිදුවීයයි නිකමටවත් සොයාබැලීමේ අවශ්‍යතාවක් මතු නොකරමින් සිටිමු. සම්බුද්ධත්ව ජයන්ති කාලවකවානුව මත දෛවෝපගත ලෙස පිහිටි යුද්ධාවසානයේ දෙවර්ෂ පූර්ණයට අප මුහුණදෙන්නේ මෙවැනි ගැටලු අපතුළම සඟවාගෙන, එහෙත් එවැනි ගැටලු අපට නැතුවා සේ රඟපාමිනි.

අවසාන වශයෙන් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ අනාගතය ගැන කිසියම් බැල්මක් හෙලීමට කැමැත්තෙමි.

ආණ්ඩුව විද්වද් කමිටු වාර්තාවට මතුනොව සකලාකාර ජාත්‍යන්තර අවධානයන්ට පිළිතුර සේ අදටත් මේ කොමිසම ඔසවා පෙන්වන්නේ, යුද්ධයේ අවසන් සමයේ සිදුවූ සිදුවීම් සොයාබැලීමට සමත්, අප විසින්ම තනාගත් අපේම යාන්ත්‍රණයක් තිබෙනවායයි කියමිනි. මේ කොමිසමේ විෂය පථය බෙහෙවින් පටුවීම, ඊට යුද අපරාධ හෝ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ගැන පරීක්ෂා කිරීමට බලයක් නොතිබීම, එහි සංයුතිය හා මෙතෙක් ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මතුවන පාර්ශවීය භාවයේ ගැටලු සේම ජනාධිපති කොමිෂන් පිළිබඳ ශ්‍රී ලාංකිකයන් සතු අතිශය අමිහිරි හා ඵලරහිත අත්දැකීම් සියල්ල පසෙකින් තැබුවත්, මේ කොමිසම ඔස්සේ අපක්ෂපාතී වාර්තාවක් එළිදැකීමට ඇති ඉඩකඩ ඉතා මඳබව, විද්වද් කමිටු වාර්තාවට ප්‍රතිචාර ලෙස රටතුළ සිදුවෙමින්යන ක්‍රියාදාමය පවා ඔප්පුකර පෙන්වයි.

තැනෙක වාර්තාව සකස්කිරීමේ යාන්ත්‍රණය සැකසූ බැන් කී මූන්ගේ පඹයෝ පුළුස්සති. වාර්තාව සැකසූ දරුස්මාන් ඇතුළු කමිටු සාමාජිකයන්ගේ චරිත ඝාතනය කරති. තවත් තැනෙක වාර්තාවට එරෙහිව ලේවලින් අත්සන් තබති. තවත් අත්සන් එක්රැස් කරන්නන් පිරිසක් උතුරේ සැබෑවටම මේ ව්‍යසනයේ ගොදුරු බවට පත් මිනිසුන්ගෙන් බලෙන් අත්සන් ලබාගනිති. කැලණිය නම් වෙනම රාජ්‍යයේ නිලනොලත් පාලකයා එක්සත් ජාතීන්ගේ වාර්තාවට එරෙහිව 25දෙනකුගෙන් යුත් මරාගෙන මැරෙන බලකායක් හදාඇතැයි වහසි කියයි. (බුදුන් වරක් වැඩිබව කියැවෙන්නේද මේ කැලණියටම ය!) මේ ප්‍රතිචාර බොහොමයක් බෙහෙවින් බිය උපදවන, සාහසික ඒවා බව පැහැදිළිය.

ඉතින් යුද්ධයේ අවසන් වකවානුවගැන පරීක්ෂා කිරීමේ අපේම යාන්ත්‍රණය වූ එල්එල්ආර්සීය තවමත් වාර්තාව බාරදී නැති තත්ත්වයක් යටතේ, ඔවුන් ඉදිරියේ සකසන වාර්තාවට මේ භයංකර ප්‍රතිචාර විසින් නිසැක බලපෑමක් නොකරතැයි බලාපොරොත්තු විය නොහැක.

කිසියම් අයුරකින් යුද්ධයේ අවසන් අදියරේදී යුද්ධයට සහභාගී වූ පාර්ශවයන් දෙක විසින්ම යුද අපරාධ සිදුකරණ ලදැයි මේ වාර්තාව සිය සොයාගැනීම් රටහමුවේ තැබුවායයි සිතමු. අපේ අත හරියක නොසිටින මූන්ගේ පඹයන් ගිනිතබන මේ පෝරිසාදයෝ, ඒ කමිටු වාර්තාව හදන, මූන්ට සාපේක්ෂව ඒ පෝරිසාදයන්ගේ අතපොවන මායිමේ සිටින කමිටු සාමාජිකයන් පණපිටින් පුළුස්සතැයි ඒ සාමාජිකයන්ට බියක් ඇති නොවනු ඇතිද? අනුන්ගේ ලෙයින් අත්සන් කරන පෙත්සම් එදාට මේ වාර්තාව සකස්කළවුන්ගේ ලෙයින්ම අත්සන් නොකරතැයි ඔවුන් බිය නොවනු ඇතිද? අද ඇමරිකාවේ නිව්යෝක් නුවරට ගොස් ප්‍රහාර එල්ල කළයුතු කැලණියේ මරාගෙන මැරෙන හමුදාව, ඊට වඩා පහසුවෙන් තමන් සොයා නොඑතැයි මේ කමිටු සාමාජිකයෝ විශ්වාස කරනු ඇතතෝද? කොටින්ම යුද අපරාධ ගැන අකුරක් හෝ සිය වාර්තාවේ ලියා තමන්ට යහතින් වසන්නට බැරිබව මේ විද්වද් කමිටු වාර්තාවට එල්ලවන ප්‍රතිචාර දකින එල්එල්ආර්සී සාමාජිකයෝ නොසිතනු ඇත්තාහුද?

එනයින් එල්එල්ආර්සීයෙන් එළියට එන්නට නියමිත වන්නේ යුද අපරාධ කියන වචනයේ එකම අකුරක් හෝ අඩංගු නොවන වාර්තාවක්ය යන්න අමුතුවෙන් කිවයුතු නැත. එවැනි සිදුවීම් සම්බන්ධ සාක්ෂ්‍ය කොතෙක් ඔවුන් අත තිබුණත්, ඔවුන් ඒවා සිය වාර්තාවේ අඩංගු නොකරනබව, එසේ අඩංගු නොකිරීමට ඔවුන්ට මේ සිදුවෙමින් පවතින සියල්ල බලකරන බව පැහැදිළිය.

විද්වත් කමිටු වාර්තාව ගැන රටතුළ දැක්වෙන ප්‍රතිචාර දකින කිසිදු ජාත්‍යන්තර වැසියෙක් එල්එල්ආර්සීයෙන් අපක්ෂපාතී වාර්තාවක් බලාපොරොත්තු නොවන බව කටුක යථාර්ථයයි. එබැවින් මේ වියරු හැසිරීම් විසින් ආණ්ඩුව අතවන එකම පිළිතුරට ඇති තාර්කික බව මුළුමනින් විනාශ කරදමා ඇත.

මේ සියල්ල සිදුවන්නේ ලෝකයේ නිර්මල බුදුදහම සුරැකී ඇති එකම ස්ථානය බව කියන, සකල ලෝකවාසී බෞද්ධයන්ට ඉහළින් ගෞතම බුදුන්ගේ බුද්ධත්වයේ 2600වැනි ජයන්තිය සමරණ, ඊට සමාන්තරව දහස් ගණනකගේ ජීවිත බිලිගත් යුද්ධයක ජයග්‍රහණය යුද්ධයේ වින්දිතයන් දෙස ඇසක් නොහැර බලමින් මහ සැනකෙළියක් ලෙස සමරණ රටතුළ වීම ඔබ තේරුම්ගන්නේ කෙසේද?

සනත් බාලසූරිය