සිංහල, Democracy, Economic issues, Governance, Human Rights, Human Security, Life quips, Media

‛‛මැරිලා වැටුණත් මේ සටන ඉස්සරහට අරන් යනවා’’ පොළිස් ප්‍රහාරයට එරෙහිව කම්කරුවන් වීදි බසියි.

“ආණ්ඩුවට බැහැ කම්කරුන්ට ගහලා, මරලා, ලේ හලලා මේ සටන නවත්වන්න. එකා පස්සෙ එකා මැරිලා වැටුණත් මේ සටන ඉස්සරහට අරන් යනවා. ආණ්ඩුවට මේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය දෙන පණිවුඩය ඒකයි. මොන ප්‍රශ්න ආවත් අපි මේ පණත පරාජය කරන තුරු අපේ සටන ඉස්සරහට අරගෙන යනවා. ඒ වගේම නිදහස් වෙළඳ කලාපයේ කම්කරුවන්ට කළ පහර දීම පැහැදිලිවම හෙලා දකිනවා.”

පෞද්ගලික විශ්‍රාම වැටුප් පනතට එරෙහිව පසුගිය 30 වෙනිදා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් විසින් පවත්වනු ලැබූ උද්ඝෝෂණ ව්‍යාපාරයට පොලීසිය විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාරය හෙලා දකිමින් ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් අද (01) කොටුව දුම්රිය ස්ථානය අසල සංවිධානය කළ උද්ඝෝෂණයේ දී සමස්ත ලංකා ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාලින් මෙලෙස අදහස් දක්වන ලදී.

පොලිස් ප්‍රහාරයෙන් අසාධ්‍යව නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන් 700 ක් පමණ රෝහල් ගත වී සිටින අතර වෙඩි වැදීමෙන් බරපතල ලෙස අසාධ්‍ය වූ එක් සේවකයෙක් රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ඔහුගේ තත්ත්වය ඉතා බරපතල බවත් ඔවුන් ප්‍රකාශ කරයි.

මෙහි දී අදහස් දැක්වූ වෘත්තිය සමිති නායක ඇන්ටන් මාර්කස් “අපි පැහැදිලිව කියනවා මේ පණත ඉල්ලා අස්කරගන්නා තෙක් මේ සටන අපි දිගටම අරගෙන යනවා. ආණ්ඩුව උත්සාහ ගන්නවා මේක මේ පොලීසියෙ වැඩක් කියලා අත හෝදගන්න. අපි ඉතාම පැහැදිලිව කියනවා මේකට රජය වගකිව යුතුයි. රජයේ වගකීම තමයි මේකට විසඳුම් සොයන එක. මේ වන විට කටුනායක වෙළඳ කලාපේ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් නැවත දැනුම් දෙන තුරු වෙළඳ කලාපය වසා දමනවා කියලා. අපිට සේවකයො පැමිණිලි කරලා තියෙනවා, ඔවුන්ට හමුදාව කියලා තියෙනවා ගම් වලට යන්න කියලා. ඔවුන්ට වැටුප් ගෙවලා නැහැ. ඒක නිසා ගම්වල යන්න ඔවුන්ට මුදල් නැහැ. මේව ගැන මීට වැඩිය සංවේදී විය යුතුය.”

උද්ඝෝෂණයට සහභාගි වූ කාන්තාවක් අප සමඟ සිය අදහස් ප්‍රකාශ කළේ මේ ආකාරයටය.
“කම්කරුවන්ට පොලීසියෙන් විතරක් පහර දෙන්න කොහෙත්ම හේතුවක් නැහැ. මේක ආණ්ඩුවෙ බලපෑම මත තමයි වුණෙ. මේ විශ්‍රාම වැටුප වහාම හකුල ගන්න ඕනෙ. නැත්නම් සියළුම කම්කරුවන් පාරට බැස්ස දාට ආණ්ඩුවට ආපස්සට හැරෙන්න වෙනවා.”

විරෝධතාකරුවෝ භාවිතා කළ සටන් පාඨ කිහිපයක් පහත දැක්වේ.

අපි ඉල්ලුවෙ – අපේ අයිතිය
අපේ ශ්‍රමය – මතු උරුමය
කොල්ල කන්න – අපෙ අයිතිය
අරන් ආවා – අව නීතිය

පොලීසියෙන් – අපිට ගැහුවෙ
අපේ සටන – මොට කරන්න
හත්සියයක් – රෝහල් වල
එයින් එකෙක් – පණ අදිනව

පොලීසියට – වරද දාලා
ආණ්ඩුවක් – ෂේප් වෙනවා
ආණ්ඩුවයි – පොලීසියයි
එකතු වෙලා – බැටේ දෙනවා

අකුල ගනිව් – තොපේ පනත
අපිට එපා – ඉලව් පනත
කම්කරුවගෙ – ශ්‍රම අයිතිය
සූරා කන – මැජික් පනත

එකා වගේ – අපි ඉන්නවා
සටන් බිමේ – අපි ඉන්නවා
අපේ අයිතිය – රැක ගන්නව
වෙඩි උණ්ඩෙට – පපුව දෙනවා

ආණ්ඩුවට – අපි කියන්නේ
පොලීසියට – අපි කියන්නෙ
සාධාරණ – අපේ සටන
දිනලයි අපි – නවත්වන්නෙ

More Photos