සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Life quips

පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කළ රෝෂේන් ගේ සගයන් හමුවේ පොලීසිය පලා යයි. – කටුනායක දැවැන්ත විරෝධතාවයන්


“අද අපි මේ පිකටින් එක කරන්නෙ අපේම සහෝදර සේවක සේවිකාවන් වෙනුවෙන්. පොලීසියේ දැඩි ප්‍රහාරය මධ්‍යයේ අපේ සහෝදරයෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. ඊට අමතරව බඩදරු අම්මා කෙනෙක් පාගලා තියෙනවා. මේ වගේ දේවල් අපේ රටේ සිද්ධ වෙන්න දෙන්න හොඳ නැහැ. සේවකයන්ගෙ අර්ථසාධකයටත් තට්ටුවෙන යුගයක් දැන් උදාවෙලා තියෙන්නෙ. ඊට අමතරව පොලීසියේ මැර ප්‍රහාරවලින් තරුණ ජීවිත නැති වෙලා තියෙනවා. ඇයි මෙහෙම දේවල් වෙන්නෙ. මේවට විරෝධය දක්වන්න තමයි අපි මේ පාරට බැහැලා පිකටින් එකක් කරන්නෙ.”

පොලීසිය විසින් වෙඩි තැබීමෙන් ඊයේ(01) මියගිය කටුනායක, නි.වෙ.ක සෙවකයෙක් වූ රෝෂේන් ශානකගේ(21) සහෝදර සේවක සේවිකාවන් පොලීසියට එරෙහිව අද(2) කටුනායක නිදහස් වෙළඳ කලාපය අසල දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කර තිබූ අතර එහිදී එක් සහෝදර සේවකයෙක් මෙලෙස සිය අදහස් ප්‍රකාශ කළේය.

විරෝධතාවය කටුනායක ගුවන්තොටුපළ හන්දියෙන් ආරම්භ වී පසුව පාගමනක් ලෙස සීදූව පොලිස් ස්ථානය දක්වා ගමන් කළේය. සීදූව පොලිස් ස්ථානය අසලට පැමිණි විරෝධතාකරුවන් පොලීසියට ගල් මුල් වලින් ප්‍රහාර එල්ල කරමින් තම විරෝධතාව දැක් වු අතර එහි දී පොලිස් නාම පුවරුවටද හානි සිදු විය. එහිදී පොලීසියේ ගේට්ටුව සහ ඒ අවට සුදු කොඩි රැදවීමටද උත්සහ දරනු දක්නට ලැබීය. ඒ වන විටත් විරෝධතාකරුවන්ගේ ප්‍රබල විරෝධය හමුවේ පොලීසිය පලා ගොස් සිටි අතර ආරක්ෂක හමුදාව විසින් ප්‍රදේශය පාලනය කරනු දක්නට ලැබිණ. ඒ වන විට ද සීදුව පොළිසිය ද හමුදාව යටතට ගෙන තිබූ බව දක්නට තිබු අතර කිසිදු පොළිස් නිළධාරියෙක් ඒ අවට නොසිටි අතර ආයුධ සන්නද්ධ හමුදා නිළධාරීන් ප්‍රදේශය පුරාම දක්නට ලැබිණි.

ප්‍රදේශයේ පියනමක් මෙසේ අදහස් දැක්වීය.

“සාමාන්‍යයෙන් විරෝධතාවයන් දැක්වීමට අයිතියක් තියෙනවා ඕනෑම අයෙකුට. ඒ විරෝධතාවයන් දැක්වීමට ඇති අයිතිය නොසලකා ඒකට වෙඩිතියන්න කවුරුහරි ඉහළින් අණ දීලා තියෙනවා. ජීවිත ගැන නොසිතා ඒ කරපු සංහාරයට රජය වගකියන්න ඕනැ. ”

රොෂේන් ශානකගේ සහෝදර සේවක සේවිකාවන් පොලීසියට එරෙහි තම විරෝධතාවය දැක්වීමට භාවිතා කළ සටන් පාඨ මෙසේය.

”පොලිස් බල්ලො අපට එපා
පොලිස් බල්ලො ගෙදර යමව්
අපේ කොල්ලා අපට දියව්
අපේ කොල්ලා මරා ගත්තා”

”කව්ද කිව්වෙ වෙඩි තියන්න
කියපු උන්ට හෙණ ගහන්න
පොලිස් බල්ලො අපට එපා
පොලිස් පතියා පැනලා ගියා”

”පොලීසියේ හොර තක්කඩි
අපේ කොල්ලා මරා ගත්තා
හොර පොලීසිය අපට එපා
පොලිස් බල්ලො අපට එපා”

මේ එහි ඡායාරූප(මෙම ඡායාරෑප විශාල කර නැරඹිම සදහා ඡායාරෑපය මත ‘ක්ලික්'[Click] කරන්න.)