Colombo, end of the War, Featured Articles, Features, Jaffna

දේශපාලන විසඳුම – මෙතැනින් කොතැනට ද?

Photo by – Sampath Samarakoon

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

යුරෝපයේ ජීවත්වන මධ්‍යස්ත දෙමළ සහ සිංහළ දේශපාලන ප්‍රජාව අතර පරා නමින් හැදින්වුනු අප බොහෝ දෙනකු දැන සිටි පරරාජසිංහම් සහෝදරයාගේ අදහස් ගොන්නකට සවන් සවන් දීමට මට වරෙක අවස්ථාව සැලසුනි. විදේශ ගතවීමට පෙර ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ කොටස්කරුවකු වූ පරා දෙමළ ජනතාවගේ අයිතින් ලබා ගැනීම සඳහා විශ්වාසය තැබුවේ සාකච්ජා ක්‍රියා මාර්ගය මත ය. ඔහු එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියා මාර්ග කෙරෙහි විශ්වාසයක් තැබුවේ නැතිවා පමණක් නොව එයට බරපතල විවේචනයක් ද එල්ල කළේය. එනමුත් එක්සත් ශ්‍රී ලංකාවක් තුළ දෙමළ ජනයාට තමන් විසින් තමන් පාලනය කර ගැනීමට අවස්ථාව සැළසෙන දේශපාලන විසඳුමක් ලබා ගැනිම කෙරෙහි මහත් කැපවීමක් සහ විශ්වාසයක් පෙන්නුම් කළේය. ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් නිර්දේශ කිරීම සඳහා පිහිටුවන ලද සර්ව පාක්ෂික සමුළුව කෙරෙහි පරා මහත් බලාපොරොත්තු ඇති කර ගෙන තිබුනි. එහි අවසන් යෝජනා දෙමළ බසට පරිවර්තනය කර විදේශගත දෙමළ ප්‍රජාව අතර බෙදා හැරිය යුතු යැයි ඔහු යෝජනා කළේ මහත් විශ්වසනීය ධෛර්යකින් යුතු ය. ඔහු මිය ගියේ ද එම විශ්වාසය ඇතිව ය. ඇත්ත වශයෙන්ම නම් ඔහු විදේශගත දෙමළ ප්‍රජාවෙහි එක් තීරුවක් නියෝජනය කළේ ය.

බොහෝ මධ්‍යස්ථ දෙමළ ජනයා අතර එවැනි විශ්වාසයක් හෝ අවම වශයෙන් බලාපොරොත්තුවක් හෝ තිබුණි. එනම් යුද්ධාවසානය විසින් නිදහසින් පසු දෙමළ දේශපාලනයේ මූලික අපේක්ෂාව වූ දේශපාලන විසඳුම යථාර්තයක් බවට පැමිණෙනු ඇතැයි යන විශ්වාසය යි. නමුත් අප බොහෝ දෙනා දන්නා පරිදි රාජපක්ෂ ආණ්ඩුව දේශපාලන විසඳුමක් සඳහා වූ සර්ව පාක්ෂික සම්මේලනය යොදා ගත්තේ යුද්ධ පළිහක් ලෙස පමණ ය. යුද්දය අවසන් වු වහාම වාගේ එම සමුළුවේ එකඟතා ලියැවිල්ල කුණු කූඩයට විසි කර දමන ලදී. ඒ ගැන දැන් කිසිදු කතා බහක් නැත. මෙමගින් පෙන්නුම් කරනු ලබන්නේ යුද්ධය පවත්වා ගෙන යන ලද්දේ එල්ටීටීඊයට විරුද්ධව පමණක් නොව දේශපාලන විසඳුමකට ද විරුද්ධව බව නොවේ ද?

අඩුම වශයෙන් රාජපක්ෂ පාලනය සර්ව පාක්ෂික සමුළ්වේ එම වාර්තාව මහා ජනයාගේ දැන ගැනීමට නිල වශයෙන් ප්‍රසිද්ධ කළේ හෝ නැත. මෙවැනි තත්ත්වයක් යටතේ පරා ජීවත්වූයේ නම් කුමණ ස්ථාවරයක් ගන්නට තිබුණේ ද?

පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ රාජ්‍යය සෑම විටම සිංහල ආධිපත්‍ය සහිත එකක් වූ අතර කවර ආණ්ඩුවක් බලයට පත්වුවද ශ්‍රී ලාංකික රාජ්‍යයක් ගොඩ නැගීමට අසමත් විය. මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටළුව වර්ධනය වීමත් සමඟ කැපී පෙනෙන ලක්ෂණයක් නම් දෙමළ ප්‍රජාවෙහි බහුතර මධ්‍යස්ථ පිරිස් ක්‍රමයෙන් සිංහල රාජ්‍ය පිළිබඳ විශ්වාසය නැති කර ගැනිම යි.

යුද්ධාවසානයෙන් පසු දේශපාලන විසඳුමක් ලබා දීමට රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි එවැනි මධ්‍යස්ථ පිරිස් අතර වූ බලාපොරොත්තුව දැන් සීග්‍රයෙන් වාෂ්ප වී යමින් තිබේ.

පසුගිය දිනෙක ජනාධිපති රාජපක්ෂ ප්‍රකාශ කළේ කිසිදු රටකට අවශ්‍ය පරිදි තමා දේශපාලන විසඳුම් ඉදිරිපත් කිරීමට සූදානම් නැති බවත් එමෙන්ම දැන් සමහරු දේශපාලන විසඳුමේ නාමයෙන් එල්ටීටීඊ ඉල්ලීම් ඉදිරිපත් කරන බවත් ය. කිසිදු රටක් යනුවෙන් රාජපක්ෂ අදහස් කළේ ඉන්දියාව ය. ඉන්දියාව එල්ටීටීඊ විරෝධී යුද්ධයේ ශ්‍රී ලංකාවේ සහායකයකු විය. යුද්ධාවසානයෙන් පසු ජනාධිපති රාජපක්ෂ ප්‍රථමයෙන් ම ගියේ ද ඉන්දීය නායකයින් බැහැ දැකීමට ය.

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රන්තයේ ජීවත්වන දෙමළ ජනයා සිය ඥාතීන් ලෙස සලකනු ලබන ශ්‍රී ලංකා දෙමළ ජනයාගේ, සමාජ දේශපාලන සහ ආර්ථික උවමනාවන් නොසළකා හැරීමට ඉන්දියාවට නොහැකි ය. එය ලෝක දේශපාලනයේ හැටිය. එම තත්ත්වය යටතේ යුද්ධාවසානයෙන් පසු ඉන්දියාවට සහ ලෝකයට පොරොන්දු වූ පරිදි දේශපාලන විසඳුමක් ලබා දෙන ලෙස කරන ලද ඉන්දියාවේ ඉල්ලීමට රාජපක්ෂ විසින් දෙන ලද පිළිතුර නම් “අනුන්නට ඕනෑ විදියට අප නටන්නේ නැති ය” යනු ය. පළාත් සභා සම්බන්ධ 13වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් නැතැයි ඔහු ඉන්දියාවට කියූ බව ජනමාධ්‍ය වාර්තා කළේ ය.

එල්ටීටීඊ ඉල්ලිම් ඉදිරිපත් කරන බවට එම කතාවේ දී ම ඔහු චෝදනා කළේ දෙමළ ජාතික සංධානයට ය. දෙමළ ජාතික සංධානය දෙමළ ජනයාගේ ප්‍රධානතම දේශපාලන පක්ෂය යි. රාජපක්ෂ ආණ්ඩුව එම පක්ෂය සමඟ දේශපාලන විසඳුමකට එකඟ වීම සඳහා සාකච්ජා ද ආරම්භ කළේ ය. දේශපාලන විසඳුම පිළිබඳ ප්‍රශ්ණය මතු වූ සෑම අන්තර් ජාතික වේදිකාවකදී ම ශ්‍රී ලංකාණ්ඩුව කියා සිටියේ තමන් දෙමළ ජාතික සංධානය සමඟ ඒ අරමුණින් සාකච්ජා ආරම්භ කර ඇති බවයි. දැන් වහෙන් ඔරෝ භාෂාවෙන් කියන්නේ දෙමළ ජාතික සංධානයේ ඉල්ලීම් එල්ටීටීඊයේ ඉල්ලීම් බව යි. ඇත්ත වශයෙන්ම නම් දෙමළ ජාතික සංධානය ඉදිරිපත් කර ඇත්තේ එක්සත් ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදා හැරීමේ වැඩ පිළිවෙලකි. දැන් රාජපක්ෂ ආණ්ඩුව එල්ටීටීඊ ඉල්ලීම් යැයි පහර දෙන්නේ එම යෝජනාවන්ට ය. එපමණක් නොවේ. දැන් දෙමළ ජාතික සංධානය සමඟ පැවැති සාකච්ජා ඉවත ලීමේ ක්‍රමයක් වශයෙන් රාජපක්ෂ ආණ්ඩුව දේශපාලන විසඳුමක් සම්බන්ධයෙන් විපක්ෂයේ අදහස් විමසීමට තීරණය කර තිබේ. විපක්ෂය ද සහභාගි වූ සර්ව පාක්ෂික සමුලුවේ යෝජනා කුණු කූඩයට දැමූ ආණ්ඩුවක් විපක්ෂයේ අදහස් යළි ඉල්ලා සිටීම විහිලුවක් ද කෛරාටික කමක්දැයි තීරණය කිරීම පාඨකයාට බාරය.

මෙම දේශපාලන වර්ධනයන් විසින් පෙන්නුම් කරන්නේ දේශපාලන විසඳුමක් ලබා දීම වෙනුවට අඩුම වශයෙන් එය කල් දැමීමේ ක්‍රම සහ විධි රාජපක්ෂ පාලනය විසින් සොයා බලමින් තිබෙන බවයි.

මෙම වර්ධනයන් පසුබිමෙහි ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය රජයේ නියෝජිත පිරිස හමුවීමට ගිය එල්ටීටීඊ නොවූ පමණක් නොව එල්ටීටීඊ විරෝධි වූ දෙමළ දේශපාලන පක්ෂ තුනක් එනම් ආනන්ද සංගරීගේ ටීයූඑල්එප් , වර්ධරාජා පෙරුමාල්ගේ ඊපීආර්එල්එප් සහ සිද්ධාර්තන්ගේ ප්ලොට් යන පක්ෂ 13වන සංශෝධනය ඉක්මවූ බලතලබෙදා හැරීමේ දේශපාලන විසඳුමක් අවශ්‍ය බව කියා සිටියෝ ය. තව දුරටත් ඔවුන් කියා සිටියේ ශ්‍රී ලංකාණ්ඩුව දෙමළ ජනයාට සමාන පුරවැසියන් ලෙස නොසළකන බව යි. වාර්ගික ප්‍රශ්ණයට විසඳුමක් ලබා දීම, උතුර නැගෙනහිර නිර්- යුද්ධකරණය, උතුරු නැගෙනහිර යුද හමුදා නිවාස ඉදි නොකිරීම, හදිසි නීතිය ඉවත් කිරීම, දේශිය සහ විදේශීය රාජ්‍ය නොවන සංවිධානයන්ට උතුරු නැගෙනහිර ක්‍රියත්මකවීමට අවසර දීම යනාදීය වහාම ඉටු කළ යුතු කරුණු ලෙස මෙම නියෝජිත පිරිස පෙන්වා දුන්නේ ය. තවද ඔව්න් කියා සිටියේ තත්ත්වය තව දුරටත් පිරිහීමට පෙර ඉන්දියාව මැදිහත් විය යුතු බව යි.

මෙම පක්ෂ තුනම යුද්ධයේ දී ශ්‍රී ලංකාණ්ඩුවට දේශපාලන වශයෙන් සහාය දැක් වූ බව අමතක නොකළ යුතු ය. දැන් ඔව්නට සිදුව ඇත්තේ පශ්චාත් යුද්ධ මිලිටරිකරනය සහ මර්දනය නතර කරන සේ ඉන්දියාව ලවා කියවීමට ය. එමෙන්ම දේශපාලන විසඳුමක් ලබා දෙන සේ ඉන්දියාව ලවා කියැවීමට ය.

මේ අතර මහින්ද රාජපක්ෂ පවුලේ ලොකු පුතා ලෙස හැදින්වෙන වීරවංස සහ සමාගම දේශපාලන විසඳුමකට පමණක් නොව ඒ වෙනුවෙන් පෙනී සිටි ජී.එල්.පීරිස් ඇතුලු රාජපක්ෂ ආණ්ඩුවේ ම කොටස්කරුවන්ට එරෙහිව දරුණූ ප්‍රහාරයක් දියත්කර තිබේ.

දැන් අප ඉදිරියේ ඇත්තේ මෙවැනි චිත්‍රයකි.

රාජපක්ෂ පාලනය දෙමළ ජනයාට ස්වයං පාලනයක් ලබා දෙන (එක්සත් ශ්‍රී ලංකාවක් තුළ) බලය අව්‍යාජ බෙදීමකට විරුද්ධ ය. බලය බෙදීමට පක්ෂ සිය ආණ්ඩුවේ ම පිරිස් වෙත රාජපක්ෂවාදී පිරිස් විසින් දේශපාලන ප්‍රහාරයන් එල්ල කරුනු ලැබේ.

යුද්ධය වනාහී හුදෙක් එල්ටීටීඊයට එරෙහිව කෙරුණු සන්නද්ධ ව්‍යාපාරයක් නොව දෙමළ ජනයාගේ අයිතීින්ට එරෙහිව කෙරුනු දේශපාලන ව්‍යාපාරයක්ය යන අදහස මධ්‍යස්ථ දෙමළ ජනයා අතර පවා මුල් බැස ගනිමින් තිබේ.

යුද්ධයේ සන්නද්ධ හවුල්කරුවන් වූ සිංහල රාජ්‍ය මත යැපෙන කුඩා දෙමළ කණ්ඩායම් හැර දෙමළ ජාතික සංධානය ඇතුළු අන් සියළු දෙමළ දේශපාලන පක්ෂ සැබෑ බලය බෙදීමක් සහ උතුරු නැගෙනහිර නිර්- යුද කරණයක් ඉල්ලා සිටිති.

තමිල්නාඩු ප්‍රන්ත ආණ්ඩුව රාජපක්ෂ පාලනයට සහමුලින්ම පසමිතුරු වන අතර ශ්‍රී ලංකාවේ දෙමළ ජනයට සමාන දේශපාලන අයිතීන් ලබා දිය යුතු බවට බල කරයි. එමෙන්ම යුද අපරාධ සම්බන්දයෙන් රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව කටයුතු කළ යුතු බවට බල කරයි.

බලය බෙදා හැරීම පිළිබඳව ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට දෙන ලද පොරොන්දු රාජපක්ෂ පාලනය විසින් ඉටු කර නැත. ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ශ්‍රී ලංකාණ්ඩුවට එල්ල වී ඇති යුද අපරාධ සම්බන්දයෙන් දක්වන්නේ නිහඬ සහයෝගයකි. දේශපාලන විසඳුමක් ලබා දීම හදිසි අවශ්‍යතාවයක් බව එය විසින් අවධාරණය කරයි.
අන්තර් ජාතික ප්‍රජාව ද ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට සිය සමාජ දේශපාලන අයිතීන් රැකගත හැකි බලය බෙදීම මත පදනම් වූ දේශපාලන විසඳුමක් අවශ්‍ය බව පිළිගනී.

ශ්‍රී ලංකා සිංහල රාජ්‍යය කිසිදු විටෙක දෙමළ ජනයාට දේශපාලන විසඳුමක් ලබා නොදෙන බවට තර්ක කරන දෙමළ දේශපාලන බලවේග අන්තර් ජාතික වශයෙන් ද ශක්තිමත් වෙමින් තිබේ.

දැන් යළිත් දේශපාලන විසඳුම පිළිබඳ සාකච්ජාව හුදෙක් ශ්‍රී ලංකාවේ දේශසීමා තුළ සිදුවන දෙයක් නොවේ. එමෙන්ම එය ශ්‍රී ලංකාව තුළ වළ දැමිය හැකි සාකච්ජාවක් ද නොවේ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ශ්‍රී ලංකාණ්ඩුව මුහුන දිය යුතු යතාර්ථය එය යි.

සුනන්ද දේශප්‍රිය