සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

‛‛පිටුවහල්ව සිටින මාධ්‍යවේදීන්ට ඉතා දුෂ්කර ජීවිතයක් ගතකරන්නට සිදු වී තිබෙනවා’’

අනාථයන් පිළිබඳ ජාත්‍යන්තර දිනය වන ඊයේ(20), එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශ කළ පරිදි ලොව පුරා සිටින ශ්‍රී ලාංකික අනාථයින් සංඛ්‍යාව 1,41,0063 කි. ඉන් 8500 ට වැඩි පිරිස දේශපාලන රැකවරණ ඉල්ලා සිටින පිරිසක්. ඒ අතරින් රටින් පලාගිය ජනමාධ්‍යවේදින් සංඛ්‍යාව සැලකිය යුතු පිරිසක්. ඔවුන් ඇතුළු මව්බිමෙන් පලා ඒමට සිදු වූ ලොවපුරා මාධ්‍යවේදීන් හට පිදුණු උපහාරයක් ඇසුරින් ගෙන එන විමසුමක් ඊයේ බීබීසී සංදේශය වාර්තා කළේය.

භාෂණයේ නිදහසට එල්ලවූ තර්ජන හේතුවෙන් තම රටවලින් පලා ගොස් තවදුරටත් වාර්තාකරණයේ යෙදී සිටින ජනමාධ්‍යවේදීන්ගේ සේවයට ප්‍රණාම පිදීමට දේශසීමා නොමැති මාධ්‍යවේදීයෝ සංවිධානය අනාථයන් පිළිබඳ ජාත්‍යන්තර දිනය යොදාගෙන තිබෙනවා. තවදුරටත් මාධ්‍යකරණයේ යෙදීම මගින් ඔවුන් දිගටම තමන් නිහඬ කිරීම උත්සාහ කරන්නන්ට එරෙහිව සටනක යෙදී සිටින බවයි, දේශ සීමා නොමැති මාධ්‍යවේදීයෝ සංවිධානය පවසා සිටියේ.

එහිදී අදහස් දැක්වූ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මාධ්‍යවේදීයෝ සංවිධානයේ ප්‍රකාශක රෝහිත භාෂණ අබේවර්ධන,

“මං හිතන්නෙ මෙතන අයුක්ති සහගත සමාජ යථාර්තයන් එක්ක සම්මුතියකට එන්න තියෙන නොකැමැත්ත විසින්, එක්කො ඔවුන්ට සිද්ධවෙනවා, මේක යථාර්තයක් වශයෙන් පිළි අරගෙන තමන්ගෙ වෘත්තීය කටයුතු ඒ සීමාව ඇතුළෙ කරන්න. එහෙම නැත්නම් ඒක යථාර්තයක් වශයෙන් පිළිනොගෙන, ඊට වඩා වෙනස් යථාර්තයක් වෙනුවෙන් දිගින් දිගටම සටන් කරන්න පුළුවන් අවකාශයක් හොයාගන්න. ඉතින් ඒ අවකාශය ගොඩක් වෙලාවට තියෙන්නෙ පිටුවහලෙ. ඒක නිසා තමයි ගොඩක් මාධ්‍යවේදීන්ට පිටුවහලට යන්න වෙන්නෙ. තමන්ගෙ වෘත්තීමය සීමාවෙන් ඔබ්බට ගිහිල්ලා තමන් සමාජ යථාර්තය එලිකිරීම සම්බන්ධයෙන් වගකීම ඉෂ්ට කරන්න.”

රෝහිත භාෂණ වැඩිදුරටත් පවසන්නේ, බුරුමයේත්, කෙන්යාවේත්, රුවන්ඩාවේත්, ශ්‍රී ලංකාවේත්, අන් සෑම රටකම පිටුවහල්ව සිටින මාධ්‍යවේදීන්ට ඉතා දුෂ්කර ජීවිතයක් ගතකරන්නට සිදු වී තිබෙන බවයි.

“බහුතර මතයක් තියෙනවා එලියට යන ජනමාධ්‍යවේදීන්ගේ ජීවිත ඉතාම සුවදායී කියලා. ඇත්තම කාරණාව තමයි ඔවුන්ට ජනමාධ්‍ය වෘත්තීය හැර අනිත් හැම වෘත්තියක්ම කරන්න වෙනවා මෙහාට ආවට පස්සෙ. ඒ තරමට ඔවුන් සීමාකාරී වෙනවා. ඔවුන්ගේ වෘත්තීමය අභ්‍යාස කරන්න බැරිකම විසින් ඔවුන් බරපතල පෞද්ගලික ජීවන අර්බුද වලට ඇද දාලා තියෙනවා. නමුත් බොහෝ අය කැමති වෙන්නෙ නැහැ, ඒ ජීවන අර්බුදයෙන් එළියට එන්න පහසු මාර්ගය තියෙන, පවතින සමාජ යථාර්තය සමග සම්මුතියකට ඇවිල්ලා ආපහු තමන්ගෙ රටට යන එකට. එළියට ඇවිත් ඉන්න බොහෝ දෙනෙක් කැමති නැහැ ඒ යථාර්තයට ආපහු යන්න.”

මේ අතර බොහෝ ලාංකික මාධ්‍යවේදීන් විදේශගතව සැප පහසු ජීවිතයක් ගතකිරීම සඳහාම තමන්ට තර්ජන තිබෙන්නේ යැයි වාර්තා පළකරන බව ශ්‍රී ලංකා ආණ්ඩුව නිරන්තරවම එල්ල කරන චෝදනාවක්.

“මේ චෝදනාව එල්ලවෙන්නෙ ලංකා රජය විසින් හෝ වෙනත් කිසියම් සංවිධානයක් විසින් කරන ලද නිශ්චිත පිළිගත හැකි සමීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් නෙමෙයි. ලංකාවේ සාමන්‍යයෙන් ප්‍රතිවාදියාගේ සදාචාර පොළොව නැති කරන්න ලේසියෙන්ම කියන දේ, මෙයා මේ ද්‍රව්‍යමය වාසියක් නිසා තමයි ලංකාවෙන් එලියට ගිහිල්ලා තියෙන්නෙ කියලා. උදාහරණයක් විදිහට ලංකාවෙන් එලියට ඇවිත් ඉන්න සමහර ජනමාධ්‍යකරුවො බහුතරයක් දැන් ගත කරන ජීවිතයට සාපේක්ෂව ලංකාවේදී ඉතා හොඳ ජීවිතයක් ගතකරපු අය. ඔවුන්ට අර්ථික සුරක්ෂිතභාවයක් තිබ්බා. වෘත්තීමය සුරක්ෂිතභාවයක් තිබ්බා. රාජ්‍ය විසින් එල්ල කරන ලද මර්ධනය හැරෙන්න, ජාතිවාදයට වගේ ගොදුරු නොවුණු සිංහල මාධ්‍යවේදීන් පවා ලංකාව අතහැර ගිහිල්ලා බටහිර රටවල ජාතිවාදයට ගොදුරු වෙමින් ජීවන අරගලයක නියැලෙනවා. ඒකට හේතුව තියෙන්නෙ ඔවුන් සම්මුතියට කැමති නැති නිසා. ඇත්තටම මේ චෝදනාවට කිසිම ද්‍රව්‍යමය පදනමක් නැහැ. මේක හැමවිටම ලංකාවේ චෝදනා එල්ල කිරීමේ ජනප්‍රිය මාවත.”

විදේශගතව සිටින මාධ්‍යවේදීන් බහුතරය යලි ශ්‍රී ලංකාව බලා යාම සඳහා මර්ධනය පහව යන තුරු දින ගනිමින් සිටින බවද රෝහිත භාෂණ අබේවර්ධන ප්‍රකාශකරනවා.

උපුටා ගැනීම – බීබීසී සංදේශය