Districts, end of the War, Featured Articles, Features

Sri Lanka’s Killing Fields-ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රහාරයෙන් ‘ඝාතක බිම්’අතුරුදන් නොවනු ඇත

Screen grab from Channel 4′s Sri Lanka's Killing Fields

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සහ දෙමළ ඊළම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය අතර හට ගත් – 2009 මැයි මාසයේ දී නිම වුණු – අවසන් ලේ වැකි සටන් අතරතුර සිදු වුණු යුද අපරාධ පිළිබඳව තව තවත් සාක්ෂි හමු වෙමින් පවතිද්දී ඒවා ප්‍රතික්ෂේප කරමින් සහ ඉවත ලමින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සිය රාජ්‍ය තාන්ත්‍රික ප්‍රහාරය අඛණ්ඩව කර ගෙන යයි.

පසු ගිය දිනවල, ‛කිලිං ෆීල්ඩ්ස් ඔෆ් ශ්‍රී ලංකා’ නම් චැනල් ෆෝවේ චිත්‍රපටය විද්වත් මණ්ඩලයක් ඉදිරියේ ප්‍රදර්ශනය කළ අවස්ථාවක, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ තානාපති පාලිත කොහොන මෙසේ පැවසුවේ ය:

“සිවිල් වැසියන් හිතාමතා ඉලක්ක කර ගන්න තරම් ශ්‍රී ලාංකික හමුදාව මෝඩ නිර්භීතකමක් පෑවා ය කියලා කල්පනා කරනවා නම්, මා හිතන විදියට ඒක නිර්ලජ්ජිත බොරුවක්… මළ ගිය වීරයන් නිර්මාණය කිරීමේ කිසි ම අදහසක් අපට තිබුණේ නැහැ, තව තවත් ස්වේච්ඡා භටයන් එල්ටීටීඊයට බැඳෙන තත්ත්වයක් නිර්මාණය කිරීමේ කිසි ම අදහසක් අපට තිබුණේ නැහැ.”

සිවිල් වැසියන් ඝාතනය කෙරුණේ හිතාමතා නොවේ නම් ඉන් කියැවෙන්නේ ශ්‍රී ලංකා හමුදාවේ ප්‍රහාර පැහැදිලි ලෙස ම වග විභාගයකින් තොරව එල්ල කෙරුණු යුද අපරාධයකට නොඅඩු ක්‍රියාවන් බව යි. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි-මූන්ට උපදෙස් දීම සඳහා පත් කළ උපදේශක මණ්ඩලය මෑතක දී කළ සොයා ගැනීම්වල නිගමනය වූයේ ගැටුමේ අවසන් අදියරවල දී සිවිල් වැසියන් 40,000ක් ඝාතනයට ලක් වුණු බව සහ ඉන් බොහෝ දෙනා ඝාතනයට ලක් වූයේ ආණ්ඩුවේ හමුදා වග විභාගයකින් තොරව එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් බව යි. එසේ ම, ආණ්ඩුවේ හමුදා සහ කොටි මිලිටරි මෙහෙයුම් කර ගෙන ගියේ “සිවිල් වැසියන්ගේ ආරක්ෂාව, අයිතිවාසිකම්, සුභසාධනය සහ ජීවිත දරුණු ලෙස නොතකා හරිමිනි,” ඔවුහු “ජාත්‍යන්තර නීතියේ නියමයන්ට ගරු කිරීමට අසමත් වූහ” යන නිගමනයට ද වාර්තාව එළඹියේ ය.

ශ්‍රී ලාංකික සොල්දාදුවන් කරන්නට ඇතැයි සිතිය හැකි යුද අපරාධ පිළිබඳ කම්පනකාරී සහ ග්‍රුෆික රූපාවලියක් සම්පාදනය කරන චැනල් ෆෝවේ වාර්තා චිත්‍රපටය එක්සත් ජාතීන්ගේ වාර්තාවට වැඩි වැදගත්කමක් එක් කරයි. එය නිල ඇඳුම්වලින් සැරසුණු සොල්දාදුවන් නීති විරෝධී අයුරින් සිරකරුවන් මරණයට පත් කරන ආකාරය සහ ලිංගික අපයෝජනයට ලක් වූයේ ද යන සැකය මතු වන ස්ත්‍රීන්ගේ අඩ නිරුවත් මළ සිරුරු ද පෙන්වයි. සිවිල් වැසියන් බොහෝ ගණනක් ඝාතනය කරමින් වග විභාගයකින් තොරව එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාර පිළිබඳව දෙමළ ජනවාර්ගිකයන් විස්තර පවසන හෙළිදරව්කාරී සම්මුඛ සාකච්ඡා ද එහි ඇතුළත් වෙයි.

මානව පලිහක් ලෙස යොදා ගනිමින්, ළමයින් බලාත්කාරයෙන් හමුදාවලට බඳවා ගනිමින් සහ සිවිල් වැසියන් සිටින ආසන්නයට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරමින් එල්ටීටීඊය ද සිවිල් ජනගහනයට එරෙහි භයංකර අපයෝජන සිදු කළ බව සත්‍යයකි. හියුමන් රයිට්ස් වොච් සංවිධානය එල්ටීටීඊය කළ අපයෝජන වසර ගණනාවක් තිස්සේ ලේඛනගත කළේ ය.

යුද්ධයේ අවසන් අදියරවල දී, විශේෂයෙන් ම ආණ්ඩුව හිතාමතා ම විදේශීය මාධ්‍ය, එක්සත් ජාතීන්, මානුෂීය සහ මානව අයිතිවාසිකම් කණ්ඩායම් සටන් කලාපයට ඇතුළු වීම වැළැක්වූ තත්ත්වයේ දී කරුණුවල සත්‍යාසත්‍යතාව සොයා බැලීම සහ සාක්ෂි තහවුරු කිරීම දුෂ්කර විය.

එහෙත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ක්‍රියා කිරීමට බල කරන මෙම රූපාවලිය “ව්‍යාජයක්” ලෙස සලකා ඉවත ලීම වරදකි. වැඩි ම ප්‍රතික්ෂේප කිරීම් එල්ල වී ඇත්තේ හමුදා නිල ඇඳුමින් සැරසී සිටින මිනිසුන් කිහිප දෙනෙකු නිරුවත්, දෑත් බැඳි සහ දෑස් බැඳි මිනිසුන් කිහිප දෙනකු මරා දමන දර්ශන ඛණ්ඩයකට එරෙහිව ය. එහෙත් ශ්‍රී ලංකාව සමඟ කිසි ම සම්බන්ධයක් නොමැති ස්වාධීන විශේෂඥයන් හතර දෙනෙකු ඝාතන රූපාවලියේ සත්‍යතාව තහවුරු කොට ඇත.

අනෙක් අතට, වීඩියෝව පිළිබඳව ශ්‍රී ලංකාව කළ පරීක්ෂණය ගැන කිසි ම විශ්වාසයක් තැබිය නොහැකි ය. ආණ්ඩුව පත් කළ සියලු ම විශේෂඥයෝ ශ්‍රී ලාංකික හමුදාවේ විශේෂඥයන් හෝ විදේශයන්හි ජීවත් වන ශ්‍රී ලාංකිකයෝ වූහ. එක්සත් ජාතීන් පත් කළ විශේෂඥයන් සිය මෑත වාර්තාවල දී ආණ්ඩුවේ සියලු විරෝධතාවලට පිළිතුරු දී ඇත.

ජිනීවාහි දී සහ නිව්යෝකයේ දී රාජ්‍ය තාන්ත්‍රිකයන් උදෙසා චිත්‍රපටය තිරගත කළ තැන් සිට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ නිලධාරීන් කියා ඇත්තේ අපරාධකාරයන් පිළිබඳ විශ්වාසනීය චෝදනාවක් වෙතොත් තමන් ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කරන බව යි. එහෙත් මෙම වීඩියෝවෙන් දැක්වෙනවාට වඩා ප්‍රත්‍යක්ෂ සාක්ෂි ඇතැයි සිතීම දුෂ්කර ය. මෙම අපරාධ සම්බන්ධයෙන් වගකිව යුත්තන් සෙවීමට ආණ්ඩුවට වුවමනාවක් තිබෙන්නේ නම් වීඩියෝවට අමතරව ප්‍රසිද්ධ කොට ඇති ඇතැම් මළ සිරුරුවල ඡායාරූප සමහරකින් ද ඒ සඳහා ඉඩ සැලසෙන තොරතුරු සැපයෙන බව කිව යුතු ය.

පළමු කරුණ – ඝාතනයට ලක්ව සිටින එක් අයෙකුගේ අනන්‍යතාව අපි දනිමු. හියුමන් රයිට්ස් වොච් සංවිධානය සම්මුඛ සාකච්ඡා ලබා ගත් පුද්ගලයන් කිහිප දෙනෙක්, එක් ස්ත්‍රියක එල්ටීටීඊයේ මාධ්‍ය සේවකයෙකු ලෙස ක්‍රියා කළ ස්ප්‍රියා බව හඳුනා ගත්හ.

දෙවන කරුණ – මෙම සිද්ධිය සිදු වූයේ මැයි 18 දා, එනම් යුද්ධයේ අවසන් රාත්‍රියේ දී බව ඇඟවෙන බලගතු සාක්ෂි පවතී. ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය තුළ හමුදාව කියා සිටියේ ස්ප්‍රියා මිය ගියේ මැයි 18 දා බව යි. මෙම තොරතුර බොහෝ ඡායාරූපවලින් සැපයෙන වෙනත් සාක්ෂිවලට අනුරූප ය.

තෙවන කරුණ – අපරාධකාරයන්ගේ අනන්‍යතාව පිළිබඳව සැලකීමේ දී හමුදාව මත් කියා සිටියේ ස්ප්‍රියා ඝාතනය කළේ තම 53 වන සේනාංකය බව ය. එහෙත් ස්ප්‍රියා ඝාතනයට ලක් වුණු බව වාර්තා කළ 53 වන සේනාංකයේ අයගෙන් ප්‍රශ්න කිරීම වැනි වඩාත් ම ප්‍රාථමික පියවරක් වත් අපරාධ පරීක්ෂණයක් උදෙසා ආණ්ඩුව මෙතෙක් ගෙන නැත.

මුල දී “ව්‍යාජයක්” ලෙස සහ “එල්ටීටීඊයේ මුදලින් නිර්මාණය කළ එකක්” ලෙස රූපාවලිය ප්‍රතික්ෂේප කළ ආණ්ඩුව තමන් පොරොත්තු වෙමින් සිටින්නේ සත්‍යය සෙවීමේ තම දේශීය යන්ත්‍රණය, එනම් උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම සිය පරීක්ෂණ අවසන් කරන තෙක් යැයි දැන් ප්‍රකාශ කර සිටී. විශ්වසනීය යැයි පෙනී යන්නේ නම් මින් සමහර සිදුවීම් පිළිබඳව කොමිසම පරීක්ෂාවක යෙදෙනු ඇති බව ආණ්ඩුව දැන් ප්‍රකාශ කර සිටී.

මෙය පමා කිරීමේ උපායක් විනා අන් යමක් නො වේ. එක්සත් ජාතීන්ගේ උපදේශක මණ්ඩලය පෙන්වා දුන් පරිදි උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම යනු වගවීමේ යන්ත්‍රණයක් නොවේ, “බරපතළ ලෙස දෝෂ සහගත” වූවකි. ඊට පැවරී ඇති විධිනියෝගය “ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කළ අවස්ථා පිළිබඳ චෝදනා පරීක්ෂා කිරීමට ප්‍රමාණවත් නො වේ”.

පරිපූර්ණ සහ වාස්තවික අපරාධ පරීක්ෂණයකින් ජාත්‍යන්තර නීතිය යටතේ ආණ්ඩුවට පවතින බැඳීම් සැපිරෙනු ඇතැයි යන්න ‛කටට ආවාට’ කියූ කතාවක් පමණකි. රූපාවලිය ප්‍රසිද්ධියට පත්ව වසර දෙකකට ආසන්න කාලයක් ගත වුණු පසුවත් එවැනි පරීක්ෂණයක් ආරම්භ කිරීමට ආණ්ඩුව අසමත් වීම ආණ්ඩුවට සිය ජාත්‍යන්තර බැඳීම් සැපිරීමට කිසිදු අදහසක් නොමැති බව අඟවන පැහැදිලි ලකුණකි.

උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම යොදා ගෙන ආණ්ඩුව යෙදී සිටින නොබැරෑරුම් ප්‍රදර්ශනාත්මක ව්‍යායාමයෙන් පිළිබිඹු වන්නේ බලාත්කාරී අතුරුදන් කිරීම් සහ අධිකරණයෙන් බැහැරව සිදු කෙරුණු ඝාතන වැනි අපයෝජනයන් පිළිබඳ බරපතළ චෝදනාවලට ප්‍රතිචාර වශයෙන් ආණ්ඩුවේ කොමිසම් පිහිටුවා අවසානයේ නිසි පරීක්ෂණ පැවැත්වීමට හෝ වගකිව යුත්තන් ලවා වගඋත්තර බැඳවීමට අසමත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතු දිගු ඉතිහාසය යි.

1977 පටන් මේ දක්වා කාලය තුළ දී මානව හිමිකම් සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියා කර තිබෙන ආකාරය පිළිබඳව පළ වුණු ජාත්‍යන්තර විවේචනවලට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාව කොමිසම් 15කට ආසන්න සංඛ්‍යාවක් පිහිටුවා ඇත. මෙම කොමිසම්වලින් බොහොමයක වැඩ කටයුතු දේශපාලන ඇඟිලි ගැසීම් නිසා දූෂණය විය. මෙම කොමිසම් ප්‍රධාන වශයෙන් සේවය කළේ ආණ්ඩුවේ ආරක්ෂක හමුදා නිදොස් කිරීම උදෙසා ය. එහෙත් එම කොමිසම් පරිපූර්ණ පරීක්ෂණ සිදු කළ, අපයෝජන සිදු වුණු අවස්ථා ගණනාවක් තහවුරු කළ සහ අපරාධකාරයන් හඳුනා ගත් අවස්ථාවල දී පවා ඒවායේ නිර්දේශ අනුව ක්‍රියා කිරීමට හෝ අර්ථවත් වග වීමේ ක්‍රියාවලියක් ඇති කිරීමට බළධාරීන් අසමත් වූහ.

ශ්‍රී ලංකාවේ යුද්ධයට ගොදුරු වූවන් උදෙසා යුක්තිය ඉටු කිරීම තීරණාත්මක කරුණකි. මළ ගිය එල්ටීටීඊ වීරයන් නිර්මාණය වීම වැළැක්වීමට තානාපති කොහොනට සැබවින් ම වුවමනාවක් තිබුණේ නම් ඔහු යුද අපරාධ පිළිබඳ ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයකට සහාය දෙනු ඇත. ආණ්ඩුව අතීතයේ දී ක්‍රියා කළ ආකාරය සැලකිල්ලට ගන්නා විට එය දක්වන ඕනෑ ම ප්‍රතිචාරයක් තවත් සුදු හුණු ගෑමක් පමණක් විය හැකි ය. සැබෑ අවශ්‍යතාව වන්නේ වීඩියෝව තුළ තිබෙන ඝාතන සහ යුද අපරාධ පිළිබඳ අනෙක් බොහෝ විශ්වසනීය චෝදනා සම්බන්ධයෙන් පූර්ණ ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම යි.

එලේන් පියර්සන් විසිනි
එලේන් පියර්සන් යනු හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ නියෝජ්‍ය ආසියා අධ්‍යක්ෂකවරිය යි).

(පසුගිය ජූනි 30 දා groundviews.org වෙබි අඩවියේ පළවූ Sri Lanka’s Diplomatic Offensive Won’t Make Killing Fields Disappear නම් ලිපිය ඇසුරින් සැකසිනි.)