සිංහල, Corruption, Democracy, Eastern Elections, Economic issues, Education, Gender, Governance, Health, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation, Stories from the silent, Transport

ප්‍රශ්න 41ක්..

අද ලංකාවේ ඇති ප්‍රබල ප්‍රශ්න 41ක්

1- 13 වැනි සංශෝධනය – ඉඩම්-පොලිස් බලතල පළාත් සභාවලට ( විශේෂයෙන් උතුරු නැගෙනහිරට) දෙනවද? නැද්ද? යන ප්‍රශ්නය.

2- උතුරු නැගෙනහිරට 13ට එහා ගිය විසඳුමක් දෙනවද? නැද්ද? යන ප්‍රශ්නය

3- පාර්ලිමේන්තු තේරිම්කාරක සභාව පිළිගැනීමට විපක්‍ෂයේ පක්‍ෂ සූදානම් නැතැයි කියැවෙන ප්‍රශ්නය

4- චැනල් 4 වීඩියෝ (කිලින්ග් ෆීල්ඩ්) වාර්තාමය චිත්‍රපටයෙන් ලංකාවේ යුධ හමුදා, යුධ අපරාධ කර ඇති බව පෙන්වාදීමත් සමග ඇති වූ සංකීර්ණතම ප්‍රශ්නය

5- ආසනික් ප්‍රශ්නය – රජරට වකුගඩු රෝගයට ආසනික් බලපානවද? නැද්ද? රජරට පසේ සහ වතුරේ ආසනික් තිබීම රෝගයට බලපානවාද? නැද්ද? හාල්වල ආසනික් තියෙනවද? නැද්ද? පලිබෝධනාශකවල ආසනික් ඇති බව පරීක්‍ෂා කරනවද? නැද්ද? යන ප්‍රශ්න

6- උතුරේ දෙමළ ගම් සිංහලකරණයට ලක්වීම පිළිබඳ ප්‍රශ්නය

7- උතුරේ දී දෙමළ දේශපාලන පක්‍ෂවල සාමාජිකයින්ට දේශපාලන රැස්වීම් පවත්වන අතරතුරේදී ප්‍රහාර එල්ල කිරීම හා දේශපාලනය කිරීමේදී හමුදාවෙන් එල්ලවන විවිධ බාධා කිරීම් පිළිබඳ ප්‍රශ්නය

8- ඉතිරි වූ පුංචි චන්දය නිසා ඇති වී ඇති ප්‍රශ්නය. විශේෂයෙන්ම ඡන්දය පැවැත්වීමට නියමිත ප්‍රදේශවල සිදුවන මැර ක්‍රියා උත්සන්න වීම පිළිබඳ ප්‍රශ්නය

9- කුරුණෑගලදී ගුරුවරුන් පිරිසකට ජොනී මැරවරයින් විසින් පොලු ප්‍රහාරයන් එල්ල කිරීම පිළිබඳ ප්‍රශ්නය

10- නැගෙනහිර සන්නද්ධ කණ්ඩායම් තවමත් අවි ආයුධ බාරදී නැතැයි කියන ප්‍රශ්නය

11- ක්‍රිකට් ආයතනයට මුදල් නැහැ කියන ප්‍රශ්නය, එම ආයතනයේ මුදල් හොරකම් කර ඇතැයි කියන ප්‍රශ්නය සහ එම ආයතනය දේශපාලනීකරනයට ලක්ව ඇතැයි කියන ප්‍රශ්නය

12- එක්සත් ජාතීන් විසින් තම න්‍යාය පත්‍රයට ශ්‍රි ලංකාව ඇතුළත් කරගෙන ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කිරීමත් සමග ඇති වූ ප්‍රශ්නය

13- සංගක්කාර ලෝඩ්ස්හි දී කළ කවුඩ්රි දේශනයෙන් පසු ඇමති මහින්දානන්ද ඇති කළ ප්‍රශ්නය

14- ආණ්ඩුව තොරතුරු පනත පරාජය කරමින් ඇති කළ ප්‍රශ්නය

15- තෙල් ඇමති/තෙල් අමාත්‍යාංශයේ ලේකම්/ආණ්ඩුව විසින් ඇති කළ ජරා පෙට්ට්‍රල් ප්‍රශ්නය. එයින් මතු වුණු රථ වාහන හා යන්ත්‍ර සූත්‍ර විනාශවීමේ ප්‍රශ්නය. ජනතා මුදල් විනාශ වීමේ ප්‍රශ්නය

16- සුදු කොඩි නඩුවට සාක්‍ෂි ලබාදෙන අතරතුර කොළඹ මහාධිකරණයේ විදුලිය විසන්දී වීම පිළිබඳ ප්‍රශ්නය

17- විදුලි බලාගාර 5ක් එකවර අක්‍රිය වීම පිළිබඳ ප්‍රශ්නය

18- විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්වලට ආණ්ඩුව සවන් නොදීමේ ප්‍රශ්නය නිසා උද්ගත වී ඇති විශ්ව විද්‍යාල ප්‍රශ්නය

19- වහින්නේ නැති නිසා විදුලිය විසන්ධි කිරීමට අවශ්‍ය බව ඇමති වහෙන් ඔරෝ කිම නිසා ඇති වී ඇති ප්‍රශ්නය

20- කහවත්තේ ආච්චිලා මරණ එක නවත්තන්න පොලිසියට බැරි ප්‍රශ්නය

21- මිනිපේ ගොවියන්ගේ වතුර ප්‍රශ්නය – ගොවියන් විසින් වතුර නැතිව වියළී ගිය තම කුඹුරුවලට ගිනි තබා විනාශ කර වාරිමාර්ග දෙපාර්තමේන්තුවට විරුද්ධව උද්ඝෝෂණය කර මතු කළ වතුර ප්‍රශ්නය

22- පොහොර සහනාධාරය කප්පාදු කිරීමට රජය උත්සහ කිරීම පිළිබඳ ප්‍රශ්නය

23- රිසානා බේරා ගැනීම වෙනුවෙන් රජයේ මාදිහත්වීමේ ක්‍රියාකලාපය පිළිබඳව දැනට උද්ගත වී ඇති ප්‍රශ්නය

24- ගෝල්ෆේස් පිට්ටනියයි යුධ හමුදා මූලස්ථාන භූමියයි චීන සමාගමට විකිණීම පිළිබඳව ගොඩනැගී ඇති මුල්‍ය ගනුදෙනු පිළිබඳ ප්‍රශ්නය. ආර්ථික ඝාතකයින් පිළිබඳ ප්‍රශ්නය, ආර්ථික ඝාතකයින් ඇත්තේ ආණ්ඩුව ඇතුලේම යැයි විපක්‍ෂය චෝදනා කිරීම පිළිබඳ ප්‍රශ්නය

25- ජාතික සම්පත් බහුජාතික සමාගම්වලට විකිණීමේ රජයේ ජාවරමක් ඇති බව ජවිපේ පෙන්වාදෙන ප්‍රශ්නය

26- රටක් ලෙස දරාගත නොහැකි මට්ටමට රජය ජාත්‍යන්තරයට ණය වී ඇතැයි කියන ප්‍රශ්නය

27- රටේ කිසිදු සංවර්ධන කටයුත්තක් පිළිබඳව විනිවිද භාවයක් නොමැතිකමේ ප්‍රශ්නය

28- මත් ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ ආණ්ඩුවේම සිටින බව අගමැතිතුමා ප්‍රකාශ කිරීම හා කුඩු ජාවාරම්වලට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ යැයි උද්ගත වී ඇති ප්‍රශ්නය

29- රෝහල්වලට අවශ්‍ය බෙහෙත් ලබා ගැනීමට නිශ්චිත ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය නොකිරීම හා නිසි කලට බෙහෙත් නොලැබිම පිළිබඳ ප්‍රශ්නය

30- ජාතික රෝහලේ දැනට පුරප්පාඩු වී ඇති රෝහල් අධ්‍යක්‍ෂ පත්කිරීමේදී උද්ගත වී ඇති ප්‍රශ්නය

31- නැවතත් ඩෙංගු හිස එසවීම හා ඩෙංගු මරණ වැඩි වීම පිළිබඳව ඇති ප්‍රශ්නය

32- නැනෝ කැබ් ඒමෙන් ගොඩනැගී ඇති ත්‍රීරෝද රථ ප්‍රශ්නය

33- රාජපක්‍ෂවරුන් දිවයිනේ විවිධ ප්‍රදේශ වල ඉඩම් කොල්ල කමින් පවතින්නේ යැයි විවිධ මාධ්‍ය පෙන්වාදෙන ප්‍රශ්නය (උදා:- නකල්ස් ඇතුලු විවිධ රක්‍ෂිත වනාන්තර වල හෝටල් ඉදි කිරීම, නැගෙනහිර වෙරළාසන්න ප්‍රදේශවල හෝටල් ඉදි කිරීම)

34-උපාධිධාරීන්ට රැකියා නොදීමේ ප්‍රශ්නය

35- ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන්ට හා පහර කෑමට ලක් වූ මාධ්‍යවේදීන්ට මෙන්ම විනාශ කරන ලද මාධ්‍ය ආයතනවලට නීතියේ සාධාරණත්වය ඉටු නොවීමේ ප්‍රශ්නය

36- හඩ්සන් සමරසිංහ හා මහින්ද අබේසුන්දර දරුණු ලෙස මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කිරීම පිළිබඳ ප්‍රශ්නය. ‛‛රට යන අත’’ නම් ගුවන් විදුලි වැඩසටහන කුඩා දරුවන් සිටියදී ශ්‍රවනය කිරිමට නොහැකියි කියන ප්‍රශ්නය, ඔවුන් නියෝජනය කරන මාධ්‍ය ආයතන මෙතුවක් කල් නොවූ විරූ ලෙස මහින්ද රාජපක්‍ෂ පාලනයට කඩේ යාම පිළිබඳ ප්‍රශ්නය, මාධ්‍ය ආයතන ස්වාධීන නොවීම, අපක්‍ෂපාතී නොවීම, සත්‍ය තොරතුරු හෙළි නොකිරීම හා මධ්‍යස්ත නොවීම පිළිබඳ ප්‍රශ්නය

37- සෑම ප්‍රශ්නයකටම දේශප්‍රේමිත්වය ආරෝපනය කර ප්‍රශ්න යට ගැසීමේ ප්‍රශ්නය හා අසාධාරණයට එරෙහිව හා මානව අයිතීන් උල්ලංඝනය වීම් වලට අදාලව ගොඩ නැගෙන විරෝධතාවයන් දේශප්‍රේමීත්වයේ නමින් කඩාකප්පල් කිරීමේ ප්‍රශ්නය

38- රජයට විරුද්ධ මතවාදයන් හා විවේචනයන් තලා පොඩිකර සමතලා කිරීමේ ප්‍රශ්නය හා දේශප්‍රේමිත්වයේ නමින් මෙම විරුද්ධ මතවාදයන් නිහඬ කිරීමේ ප්‍රශ්නය

39- ශ්‍රී ලංකාවේ ජනයා ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමය තුළ පුරවැසියන් බවට පත් නොවී යටත් වැසියන් බවට පත්ව තිබිමේ ප්‍රශ්නය

40- ජීවන වියදම දිනෙන් දින ඉහළ යාම පිළිබඳ ප්‍රශ්නය

41- මෙම ප්‍රශ්න විසඳිමට ආණ්ඩුව පියවර ගන්නේ කවදා ද? යන්න ප්‍රශ්නයකි. එය 41 වන ප්‍රශ්නයයි.

සටහන:- එච්. ජේ. සම්පත් කුමාර