සිංහල, Colombo, Corruption, Democracy, Economic issues, Governance, Media

”ගුවන් විදුලි සංඛ්‍යාත ආයාම පරාසය (Radio Frequency Spectrum) කුණු කොල්ලයට සමාගම් 3 කට විකුණයි.” – දූෂණ විමසුම

හෙජින් ගිවිසුමේ සිට විදුලි සංදේශ නියාමන කොමිසමේ දූෂණ සම්බන්ධව, දූෂණ ‘විමසුම නම්’ සංවිධානය විසින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබිණි. නීතිඥ ශිරාල් ලක්තිලක, පළාත් සභා මන්ත්‍රී රෝහණ ගමගේ, නීතිඥ රවී ජයවර්ධන මහත්වරුන් සහභාගී වූ එම මාධ්‍ය සාකච්ඡාවේදී විශේෂයෙන් ලංකාවේ සිදු වූ සහ සිදුවෙමින් පවතින දූෂණ පිළිබදව ඉතා දීර්ඝ සහ සවිස්තර වාර්තාවක් නිකුත් කර තිබිණි. එහි දී විශේෂයෙන් විදුලි සංදේශ නියාමන කොමිසම හරහා ගුවන් විදුලි සංඛ්‍යාත ගණුදෙනුව පිළිබදව ද විශේෂයෙන් අදහස් දැක්වූ අතර එම ගණුදෙනු පිළිබදව නිකුත් කර ඇති වාර්තාවේ වැඩිදුරටත් මෙසේ සඳහන් වෙයි.
————————————————————————————
ගුවන් විදුලි සංඛ්‍යාත ආයාම පරාසය, රටකට සුවිශේෂීව ලැබෙන ස්වාභාවික සම්පතකි.

එය පොදු යහපතකි.(Public Good)

එසේම එය සීමිත ස්වාභාවික සම්පතකි. (scarce natural resource)

මෙකී සංඛ්‍යාත ආයාම වෙන්දේසි කොට කල් බදු ක්‍රමය යටතේ බලපත්‍ර ලබාදීමට කොමිෂම තීරණය කර තිබුණි.

ඒ අතරින් එක් තරංග ආයාම පරාසය 2G ලෙස හඳුන්වන අතර එය 900MHg පරාසයට අයත් වේ.

දෙවන තරංග ආයාම පරාසය හඳුන්වන්නේ 3G ලෙසටය. එහි ආයාම පරාසය 1800MHg පරාසයට අයත් වේ.

මේ ආයාම පරාස 2ටම මේ වන විටත් බලපත්‍ර ලබාදී හමාරය. ඒ හරහා රටට අහිමි කළ නිශ්චිත ආදායම රු: කෝටි ගණනකි.

එහිදී විශේෂ වන්නේ 3G පරාසයට බලපත්‍ර ලබාදුන් ආකාරයයි.

මෙම වෙන්දේසියේ මූලික ලංසුව වූයේ රු. මිලියන 50 කි නැතහොත් ඩොලර් මිලියන 5කට ආසන්නය. එය ඉතා අඩු මිල කිරීමකි. මෙය ඉන්දියාවේ 3G තරංග ආයාම සඳහා බලාපොරොත්තු වූ ආදායම හා සසඳන විට අතිශය අඩු මුදලක් බව ප්‍රකාශ කිරීමට සිදුවේ. ඉන්දියාවේ විදුලි සංදේශ නියාමන කොමිසමට අනුව 3G තරංග ආයාම විකුණා ලබාගත් ආදායම US$/ බිලියන 15.05 කි. ඇතැමෙකුට මෙකී මුදල ඉන්දියාවේ වෙළඳ පළ හා වෙනත් ආර්ථික සාධක සංසන්දනය කරමින් ලංකාවට සාපේක්‍ෂ කළ නොහැකි බව තර්ක කළ හැකිය. කොයි ආකාරයෙන් ගත්ත ද 3G තරංග ආයාම විකුණා ශ්‍රී ලංකා රජය ලබා ඇති ආදායම මෙන්ම වාර්ෂිකව බලපත්‍ර අළුත් කිරීමේ දී ලබා ගන්නා ආදායම ඉතා පහළ මට්ටමක පවතින බව කිව යුතුව තිබේ.

මූලික ලංසුවෙන් රුපියලක් හෝ ඉහළ නොදමා මොබිටෙල්, ඩයලොග් සහ ටීගෝ ආයතන වලට එකී තරංග ආයම බදුදීම සිදු කර තිබේ.

මෙකී බලපත්‍ර ලබාදීමෙන් අනතුරුව, වාර්ෂිකව වෙළඳ පළ කොටස් කාරීත්වය, වටිනාකම ඉහළ යාම මත, රජයට ලැබිය යුතු බලපත්‍ර ගාස්තුව ඉහළ දැමිය නමුත්, මේ වන තෙක් ඒ කිසිඳු මිල ඉහළ දැමීමක් සිදු කර නොමැත. ආරම්භයේදී බලපත්‍ර ලබාදීමට බාවිතා කළ 1Hz ට රු: 5/- යන පදනම සෑම වර්ෂයකදීම ඒ අයුරින් අදාළ කර ගනිමින් සිටී. ඒ අනුව අපට වාර්ෂිකව අහිමිවන ආදායම කෝටි ගණනකි. මේ නිසා අයුතු ලෙස ලෙස ධනවත් වන්නේ සමාගම් පමණකි.

එසේම විදුලි සංදේශ නියාමන කොමිෂම මෙකී තරංග ආයාම මිල කර ඇත්තේ, ආසියාවේම අඩුම මිලකටය. (වගුව බලන්න)

මේ සියළු තත්ත්වයන් ගොඩ නඟා ඇත්තේ, සමාගම් වලට වාසියට මිස, ශ්‍රී ලංකා රාජ්‍යයේ වාසියට නොවේ. මෙලෙස ඇතිවී ඇති තත්ත්වය, හෙජිං ගණුදෙනුවට බෙහෙවින් සමානය.

මේ නිසා දෛනික පදමක් මත මෙන්ම, වාර්ෂිකව ද අනාගත පරම්පරාවට ද අප අහිමි කරන ආදායම කෝටි ප්‍රකෝටි ගණනකි.

මෙය අප රටේ සුභ සෙතට ගන්නා ලද තීන්දුවක් ද? එසේ නැතිනම් වෙනත් ගජමිතුරන් සන්තර්පනය කිරීමට ගත් තීන්දුවක්ද ?

මෙය තවත් ආකාරයක පෞද්ගලික කරණයක් නොවේද? එසේ නම් ඒ සඳහා භාවිතා කළ නිර්නායකයන් කවරේද ? එහිදි පර්ක් ආයතනය සම්බන්ධ කර නොගන්නේ මන්ද ? එසේම මේ පිළිබඳව නියාමන කොමිසම මහජන සාකච්ඡා පැවැත්වූයේද ?

මෙය දේශීය සම්පත් කුණු කොල්ලයට විකිණීමක් නොවේද?

එසේම මෙකී ගණුදෙනු තුලින් අප්‍රකටව උපයා ගත් කොමිස් මුදල කොපමණ විය හැකිද?

යන ප්‍රශ්ණ නිතැතින්ම අපට අභිමුඛ වේ. මෙකී ප්‍රශ්ණ සඳහා පිළිතුරු ලබාගැනීම පාරදෘෂ්‍යභාවය හා වගවීම ලෙස අප සළකමු.

එකී තොරතුරු ලබාදීම, විදුලි සංදේශ නියාමන කොමිසමේ වගකීමකි.