Colombo, end of the War, Featured Articles, Features

ජීනීවා සටහන් – කැනේඩියානු යෝජනාව

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

ශ්‍රී ලංකාව පිළිබඳව කිසිදු සුවිශේෂී යොජනාවක් නැතිව ජිනීවාහි මානව හිමිකම් කොමිසමේ සැප්තැම්බර් සැසිවාරය අවසන් වනු ඇතැයි යනුවෙන් වූ අදහස හෙල්ලුම් කවන පුවතක් සදුදා මානව හිමිකම් කොමසමේ නිල නොවන කතාබහ අතරට එක්විය. එනම් උගත් පාඩම් සහ ප්‍රතිසංවිධාන කොමසමේ වාර්තාව 2012 මාර්තු සැසිවාරයේ සාකච්ජාවට ඉදිරිපත් කළ යුතු බවට යෝජනාවක් කැනඩාව විසින් ගෙන ඒමට උත්සාහ දරන බවයි. එවැනි කවර හෝ යෝජනාවක් ගෙන ඒම සඳහා ඇති අවසාන දිනය 22වන බ්‍රහස්පතින්දා ය. ඉන් සතියක් ගිය තැන එනම් 29වන බ්‍රහස්පතින්දා කවුන්සිලයේ සාමාජික රටවල ජන්දයකට එය ඉදිරිපත් කැරෙනු ඇත.

කැනේඩියානු යෝජනාවෙහි මෙසේ සදහන් වෙයි.

‛‛මානව හිමිකම් කවුන්සිලය මෙසේ තීරණය කරයි:

1. ශ්‍රී ලංකාවේ උගත් පාඩම් සහ ප්‍රති සංධාන කොමිසම සහ ප්‍රති සංධානය සහ චිරස්ථායි සාමය ඇති කිරීම පිණිස ශ්‍රී ලංකාණ්ඩුව විසින් ගෙන ඇති පියවරයන් සම්බන්ධයෙන්, දේශීය යාන්ත්‍රණයේ ක්‍රියාකාරිත්වය සහ එහි ප්‍රතිපල කවුන්සිලයට වාර්තා කරනසේ ශ්‍රී ලංකාවෙහි සක්‍රීය සහභාගිත්වය ද ආරාධනා කරමින් 19වන සැසිවාරය අතරතුර සාකච්ජා සභාවාරයක් සංවිධානය කරන ලෙස මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ කාර්‍යාලයෙන් ඉල්ලා සිටී.’’

මෙම යෝජනාව නිල වශයෙන් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් වෙත දන්වන ලද වහාම අමාත්‍ය මංඩල නීති උපදේශක මොහාන් පීරිස් මහතා වහාම ජීනීවා බලා ආපසු පැමිණියේ ය. අමාත්‍ය සමරසිංහ මහතා ද යළි පැමිනෙන බවට වාර්තා ඇතත් මේ සටහන ලියන බදාදා සැන්දෑව වන තුරු ඔහු ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙහි දකින්නට නොලැබුණි.

21වන බදාදා සවස 5.30ට කැනේඩියානු ජීනීවා මානව හිමිකම් තානාපති දූත මංඩලය ස්වකීය යෝජනාව ගැන සාකච්ජා කිරීම පිණිස විවෘත සාකච්ජා සභාවක් කැදවූවා ය. සිය මූලිකත්වය පැහැදිලි කරමින් කතා කළ කැනේඩියානු තානාපතිනිය කියා සිටියේ මෙම යෝජනාව තමන්ගේ මූලිකත්වයක් මෙන්ම අන්තර් ජාතික ප්‍රජාවේ අභිලාෂයන් කැටි කිරීමක් ද බවයි. එමෙන්ම මෙම යෝජනාව සකස් කරන ලද්දේ විනිවිද පෙනෙන භාවයකින් යුතුව සාධනීය අරමුණකින් යුතුව බවයි. එල්එල්ආර්සී කොමිසමට සිය කාර්‍ය භාරය අවසන් කිරීමට අවශ්‍ය බවට ශ්‍රී ලංකාණ්ඩුව විසින් දන්වන ලද කාලය සළකා බලා එනම් නොවැම්බරයේ දී අවසන් වන වාර්තාව මාර්තු මාසයේ දී සාකච්ජාව පිණිස ගැනීමට මෙම යෝජනාව ඉල්ලා සිටින බවයි. මෙම සාකච්ජාවට ශ්‍රී ලංකාව සහයෝගය දක්වනු ඇතැයි කැනඩාව විශ්වාසය පළ කළේ ය.

ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් කතා කළ මොහාන් පීරිස් මහතා කියා සිටියේ මෙවැනි යෝජනාවක් ගෙන ඒම මානව හිමිකම් කවුන්සිලයේ කාර්‍ය පරිපාටියට පටහැනි බවයි. මෙම යෝජනාව එල්එල්ආර්සී කොමිසම පිළිබඳ විවරණයක් සැපැයීම බව කී ඔහු එවැනි පියවරකට මානව හිමිකම් කවුන්සිලයේ නීති රීති විසින් අවසර දෙන්නේ නැතැයි කීවා ය. කවර රටක හෝ මානව හිමිකම් සාකච්ජා කළ යුත්තේ කවුන්සිලයේ ඇති යූපීආර් එනම් විශ්වමය වාරික විමර්ශනය යටතේ පමණක් බවට තර්ක කළ මොහාන් පීරිස් මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ දේශීය යාන්ත්‍රණය වන එල්එල්ආර්සී වාර්තා සම්පාදනය නොවැම්බර් 15දා අවසන් වන අතර එහි අන්තර්වාර නිර්දේශයන් දැනටමත් ක්‍රියාවට පරිවර්ථනය කොට ඇති බවයි. අවශ්‍ය නම් මෙම සැසිවාරයේ දි කලාක් මෙන් කවුන්සිල සැසි වාරය අතරවාරයේ සමාන්තර රුස්වීමක් කැදවීමටත් එහිදී අදාළ ප්‍රශ්ණ සාකච්ජා කිරීමටත් තමන් සුදානම් බව ඔහු කියා සිටියේ ය. රාජ්‍යක් සම්බන්ධයෙන් නීතිමය බලාධිකාරියක් නැති මානව හිමිකම් කවුන්සිලයේ විමර්ශණය පිණිස ශ්‍රී ලංකාවේ නිති ප්‍රකාරව පිහිටුවන ලද එල්එල්ආර්සී වාර්තාව ඉදිරිපත් කරන ලෙස කියා සිටීම සිය රටෙහි සෛවරීයත්වය කෙළෙසීමක් නොවේදැයි මොහාන් පිරිස් උද්වේගකාරීව ප්‍රශ්ණ කළේ ය.

ඔහු විසින් දක්වන ලද ශ්‍රී ලංකාණ්ඩුවේ මතය වූයේ එල්එල්ආර්සී කොමිසමේ වාර්තාව මානව හිමිකම කවුන්සිලයේ දී සාකච්ජාවට ගැනීමට ඇති මාරක විරෝධය යි. මෙය පුදුමාකාර ය. ශ්‍රී ලංකාණ්ඩුවට එල්ල වන මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධ චෝදනාවන්ට පිළිතුර ලෙස එය ලෝකයාට පෙන්වා දෙන්නේ තමන් විසින් එම ප්‍රශ්ණය අරභයා එල්එල්ආර්සී කොමිසම පත් කර ඇති බවයි. ඉදින් එහි අවසන් වාර්තාව ලෝක ප්‍රජාවේ මානව හිමිකම් සංවිධානය වන මානව හිමිකම් කමිටුවෙහි සාකච්ජාවට ගැනීම එය විසින් සතුටු විය යුතු ක්‍රියාවන් නොවන්නේ ද? මේ වනාහී ස්වකීය නිර්දෝශීත්වය පෙන්වීමට ශ්‍රී ලංකාණ්ඩුවට ලැබෙන මා හැඟි අවස්ථාවක් නොවන්නේ ද? එනමුත් ශ්‍රී ලංකාණ්ඩුව ක්‍රියා පරිපාටීන් සහ සෛවරීයත්වය පිළිබඳ තර්ක ඉදිරිපත් කරමින් මෙම යෝජනාවට උග්‍ර විරෝධයක් පෙන්නුම් කළා ය.

එපමණක් නොවේ. එල්එල්ආර්සී අන්තර් වාර යෝජනා දැනටමත් ක්‍රියාවට පරිවර්ථනය කර ඇතැයි කල සදහන සත්‍යයෙන් තොරය. අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පසුගිය 12දා මානව හිමිකම් කොමිසමේ දී පවත්වන ලද කතාවට පිළිතුරක් ලෙස ප්‍රසිද්ධ කරන ලද ප්‍රකාශයක් මගින් දෙමළ ජාතික සන්ධානය ඒ බව කරුණු ඇතිව පෙන්වා දුන්නේ ය. උදාහරණයක් වශයෙන් එක් අන්තර්වාර නිර්දේශයක් වන්නේ අත් අඩංගුවේ සිටින එල්ටීටීඊ සැකකරුවන්ගේ නාම ලේඛනයක් ප්‍රසිද්ධ කිරීමයි. වසරක් ගෙවී ඇතත් තවමත් එවැනි නාම ලේඛනයක් ප්‍රසිද්ධ කර නැත.

මොහාන් පීරිස් මහතාගේ කතාවට පිළිතුරක් ලෙස කැනේඩියානු තානාපතිනිය කියා සිටියේ මෙම යෝජනාව ඉල්ලා සිටින්නේ විමර්ශණයක් නොව අදහස් හුවමාරු සංවාදයක් බවයි. ශ්‍රී ලංකාණ්ඩුව සිය මතය තහවුරු කි්රීමට සාකච්ජා බොහෝ පවත්වා ඇති බව කි ඇය කීවේ එතරම් මතවාදී ව්‍යාපාරයක් ගෙන යන ආණ්ඩුවක් මෙවැනි යෝජනාවකට විරුද්ධ වන්නේ මන්ද යනු යි. මානව හිමිකම් කවුන්සිලයේ නිති රීති විසින් මෙවැනි යෝජනාවකට ඉඩ සළසන බවත් සිය යෝජනාව එකී නීතිමය රාමුව තුළ සිදුවන්නක් බවත් ඇය කියා සිටියා ය.

කියුබානු නියෝජිතයා කියා සිටයේ තමන් ශ්‍රී ලංකාණ්ඩුවේ මතය පිළි ගන්නා බවත් එබැවින් තමන්ට මෙවැනි සාකච්ජාවක් අනවශ්‍ය බවත් ය. චීනය කීවේ රටක් අභ්‍යන්තර කටයුතු වලට අඟිළි ගැසීම වරදක් බවත් මෙම යෝජනාව මගින් මානව හිමිකම් දේශපාලන ප්‍රශ්ණයක් බවට පත් කරන බවත් ය. තවමත් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර යාන්ත්‍රණයට සිය කාර්‍ය ඉටු කිරීමට කාලය ලැබී නැති බැවින් එය අවසන් වූ පසු පමණක් මෙවැනි සංවාදයකට යා යුතු බවයි.
තමන්ට පෙර කතා කළ නියෝජිතයිනගේ අදහස් තමන් ද අනුගමනය කරන බව කී රුසියාව ශ්‍රී ලංකාවේ තත්ත්වය හදිසි හෝ තීරණාත්මක එකක් නොවන බැවින් ද මෙ යෝජනාව මගින් කතා කැරෙන්නේ අතීතය නිසා මෙය එතරම් අවශ්‍යදැයි ඇසී ය. පකිස්තානය ද රුසියාවේ, චිනයේ සහ කියුබාවේ අදහස් තමන් පිළිගන්නා බව කියා සිටිමින් ශ්‍රී ලංකාණ්ඩුවට සහාය දැක්වූවා ය. ශ්‍රි ලංකාවට පක්ෂව සහ යෝජනාවට විරුද්ධත්වය පළකල තවත් රටක් වූයේ මලයාසියාව යි. ඉන්දියාව, නේපාලය සහ ඉන්දුනීසියාව සභාවේ අසුන්ගෙන සිටි නමුත් කිසිවක් කීවේ නැත. තායිලන්තය කියා සිටියේ ශ්‍රී ලංකාව යෝජනා කරන පරිදි කවුන්සිල සැසිවාර අතරවාරයේ පවත්වනු ලබන සමාන්තර රුස්වීමක් මේ සඳහා යොදා ගත නොහැක්කේ මන්ද යනු ය.

රටවල් 27ක් නියෝජනය කරන යුරෝපා සංගමය කියා සිටියේ තමන් මීට වඩා ප්‍රබල යෝජනාවක් බලාපොරොත්තු වූ නමුත් මෙම යෝජනාවට ද සහාය දෙන බව යි. එය කියා සිටියේ එල්එල්ආර්සී වාර්තාව කවුන්සිලයට ඉදිරිපත් කිරීමත් එය සාකච්ජාවට ගැනීමත් ඉතා අත්‍යාවශය බවයි.

එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය, ස්විස්ටර්ලන්තය, පෝලන්තය, නවසීලන්තය, මෙක්සිකෝව සහ චිලිය කියා සිටියේ මෙම යෝජනව ගෙන ඒම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බවත් ඊට සහාය දක්වන බවත් ය. මෙම සාකච්ජාව බැහැර දී නොව කවුන්සිලයේ දී සිදු විය යුතු බවත් ඒ සඳහා කිසිදු නීති රීතිමය බාධාවක් නැති බවත් ඔව්හු පැවසූහ. අප්‍රිකානු රටවල් කිසිත් කීවේ නැත. පසුගිය දින කිහිපය තුළ කරුණු දැක්වීමේ අවස්ථා ගණනාවක්ම සංවිධානය කළ ශ්‍රී ලංකාණ්ඩුව මෙවැනි යෝජනාවකට විරුද්ධවීම පුදුමයක් බව මෙක්සිකෝව කියා සිටියා ය.

මෙම සභාවට අදහස් දැක් වූ නිමල්කා ප්‍රනාන්දු කියා සිටියේ නීතිමය තර්ක පෙන්වා ශ්‍රී ලංකාවේ එල්එල්ආර්සීය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් විවෘත සාකච්ජාවක් ඇතිවිම වැළැක්වීමට උත්සාහ කිරිම වරදක් බවයි. රාජ්‍යයේ සෛවරීත්වය පිළිබඳ ප්‍රශ්ණය මත මීට විරුද්ධ වීම වරදක් බවත් අප ඉල්ලා සිටින්නේ මහාජනයාගේ සෛවරීත්වය වෙනුවෙන් මෙම සාකච්ජා සභාව පැවැත්විය යුතු බව යැයි ද ඇය කීවා ය. තවත් කල් දිය යුතු යැයි යන අදහසට විරුද්ධත්වය දැක්වූ ඇය ඇසූයේ තම දරුවන් අතුරුදහන්ව දෙවරසකටත් වඩා බලා සිටින මව්වරුන් තවත් කාලයක් බලා සිටිය යුතු ද යනු ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය කෙරෙහි මහා ජනයාගේ විශ්වාසය පළුදු නොවීමට නම් ශ්‍රී ලංකාවේ වගවීම සම්බන්ධ කරුණු කවුන්සිලයේ සාකච්ජාවට ගැනීම අත්‍යවශය බව ඇයගේ අදහස් විය.

කවුන්සිලයේ සාකච්ජා නොකර සමාන්තර රුස්වීමක දී මෙම කරුූන සාකච්ජා කිරීමට ශ්‍රී ලංකාණුඩුව ගෙන ආ යෝජනාවට එරෙහිව කරුණූ දැක්වූ ක්ෂමා සංවිධානයේ පීටර් ස්පිල්න්ටර් කියා සිටියේ කවුන්සිලයේ දී මෙම සාකච්ජාව සිදුවනු ඇත්තේ මධ්‍යස්ථ සභාපතිවරයකු යටතේ නීති රීති පද්දතියක් ඇතිව වන අතර ශ්‍රී ලංකා ආණ්ඩුව සංවිධානය කරන සමාන්තර රුස්වීමක දී තීරකයා වන්නේ ශ්‍රී ලංකාණ්ඩුව බවයි. එවිට කතා කරන්නේ කව්රුන්ද යන්නත් කොපමණ වේලාවක් ද යන්නත් එය විසින්ම තීරණය කැරෙනු ඇති බවත් ශ්‍රී ලංකාණ්ඩුව සංවිධානය කළ එවැනි පසුගිය සමාන්තර රුස්වීමක දී කතා කළ තමා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙනු වෙනුවට සිදුවූයේ තමාට දරුණු වාග් ප්‍රහාරයකින් පිළිතුරු දීම බවත් ඔහු කියා සිටියේ ය.

එවැනිම කරුණු දැක්වීමක් කල හියමන් රයිට්ස් වොච් හි ජූලි ඩි රොවේරෝ කියා සිටියේ පසුගිය එවැනි සමාන්තර රුස්වීමකට සහභාගි වූ මානව හිමිකම් ක්‍රියාකාරිකයකුට එරෙහිව සම්පූර්නයෙන්ම ව්‍යාජ හේතු මත දරුණු ප්‍රහාරයක් ශ්‍රී ලංකාණ්ඩුවේ ජනමාධ්‍ය විසින් දියත් කර ඇති බවයි. එබැවින් එවැනි අවස්ථාවන්හිදී සහභාගි වන මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ආරක්ෂාව පවා ප්‍රශ්නයක් බවට පත්ව ඇතැයි ඇය කියා සිටියා ය.

ශ්‍රී ලංකාණ්ඩුව වෙනුවෙන් පිළිතුරු කතාව කළ මොහාන් පීරිස් මහතා කියා සිටියේ කැනඩාව මෙවැනි යෝජනාවක් ගෙන එන්නේ දෙමළ ඩයස්පෝරාවට බියේ විය හැකි බවයි. ශ්‍රී ලංකාව ගැන යෝජනා ගෙන එන නමුත් ඇෆ්ගනිස්ථානයේ හෝ ඉරාකයේ සිදු කැරෙන මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් පරික්ෂන නොපවත් වන්නේ මන්දැයි ප්‍රශ්ණ කල ඔහු කියා සිටියේ මෙම යෝජනාව බටහිර උගුලක් බවයි. තමන් ඉල්ලා සිටින්නේ වෙන කිසිවක් නොව තවත් කාලයක් යැයි මොහාන් පීරිස් කීය.

අවසාන අදහස් දැක්වීම කළ කැනඩාව කියා සිටයේ මෙම යොජනාව මානව හිමිකම් කවුන්සිලයේ මීළග සැසිවාරයට ගැනීම ඉතා වැදගත් බවයි. යෝජනාවට එකඟ වී සාධනීය සාකච්ජාවක් ඇති කිරීමට ශ්‍රී ලංකාව මැදිහත්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව තානාපතිනිය කියා සිටියා ය. එලඑල්ආර්සී වාර්තාව නොවැමිබරයේ දී නිකුත් කෙරන බව ශ්‍රී ලංකාණ්ඩුව කියා සිය ඇති බැවින් ලබන වසරේ මාර්තු මාසයේ දී පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 19වන සැසිවාරයේ දී එය සාකච්ජාවට ගැනීමට අවශ්‍ය තරම් කාලයක් ඇති බවත් කැනඩාව කියා සිටියා ය.

කවුන්සිලයේ සාමාජික රටවල් 47 අතුරින් බහුතරය මෙම අවස්ථාවේ දී ජන්දය නොදී සිටිනු ඇතැයි ද යුරෝපා සහ ලතින් ඇමෙරිකානු රටවල් යෝජනාවට පක්ෂව ජන්දය පාවිච්චි කරනු ඇතැයි ද පෙනෙන්නට තිබේ. මැද පෙරදිග රටවල්, අප්‍රිකානු රටවල් සහ ආසියානු රටවල් බෙදී යනු ඇති නමුත් යෝජනාවට වැඩි විරුද්ධත්වයක් දක්වනු ඇතැයි ද පෙනෙන්නට තිබේ. දැනට පෙනෙන පරිදි ඡන්දයක් ඇති වුවහොත් එය ළග ළග සටනක් විමට ඇති ඉඩ වැඩි ය.

සුනන්ද දේශප්‍රිය

පසු සටහන

කැනේඩියානු දූත මංඩළය සිය යෝජනාව ඉදිරිපත් නොකිරීමට බ්‍රහස්පතින්දා උදැසන තීරණය කළා ය. නිල නොවන ආරංචි මාර්ග දැක්වූයේ කැනේඩියානු පරිපාලන අගනුවර වන ඔටාවා හිදී විදේශ අමාත්‍යාංශ විසින් මෙම තීරණය ගෙන ඇති බවයි. එසේ නමුත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිලිබඳව බොහෝ රටවල් සිය අවධානය යොමුව ඇති බව සිකුරාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා කවුන්සිලයේ දී ප්‍රකාශ කළෝ ය.