සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

දුමින්ද – භාරත සටන, ජනමාධ්‍ය, පොලීසිය සහ ආණ්ඩුව

හිටපු මංත්‍රීවරයෙකු හා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වෘත්තිය සමිති පිළිබද උපදේශකවරයෙකු වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර පසුගිය 8වනදා ඝාතනයට ලක්විය. එනම් පළාත් පාලන මැතිවරණ දිනයේදී පාර්ලිමේන්තු මංත්‍රීවරයෙකු වන සහ ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක මංත්‍රීවරයෙකු අතර මහදවල් මුල්ලේරියාව ප්‍රදේශයේ පැවති ද්වන්ධ සටනකිනි. එම ත්‍රාසජනක සටනින් පසුව භාරත ඝාතනයට ලක් වූ අතර ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක මංත්‍රීවරයා වන දුම්න්ද සිල්වා තවමත් රෝහලේ දැඩි සත්කාරකව ප්‍රතිකාර ගනිමින් සිටී. ඊට අමතරව එම මැර කණ්ඩායම් දෙක අතර සිදු වූ ගැටුමින් මේ වනවිට 4දෙනෙකු මිය ගොස් ඇති බවට වාර්තා වෙයි. අද(12) භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.

පොලීසිය සහ ජනමාධ්‍ය

මහ දවල් මැර කණඩායම් දෙකක් අතර සිදු වූ මෙම ගැටුම දෙස ඇතැම් පොලිස් නිළදාරීන් බලා සිටියේ ය. පසුව ඒය නොරිස්සූ භාරතගේ පාක්ෂිකයින් පොලීසියේ වාහනයක්ද ගිනි තැබූහ. පසුව දුමින්දගේ කාර්යාල ද වටලා එයටත් ගිනි තැබූහ. පසුව මහ දවල් විශාල සෙනඟක් බලා සිටියදී සිදු වු මෙම ගැටුම ගැන පොලස් මාධ්‍ය ප්‍රකාශකයා එදිනම පවසා සිටියේ ‘‘තවමත් මේ ගැන නිසි පිළිතුරක් දිය නොහැකි බවය‘‘. ඒ තරමටම නීතියේ බලයත්, අවියේ බලයත් ඒ වනවිටත් පැවතියේ මේ සන්නද්ධ මැර කණ්ඩායම් දෙක මතය. මෙවන් මිලේච්ඡ ගැටුමක් සිදු වී තිබියදීත් පොලිස් ප්‍රකාශය එසේ විය. දැන් දින 4ක් ගෙවී යමින් තිබේ. ගිනි අවිත් හමු වී තිබේ. හිටපු පාර්ලිමේන්තු මංත්‍රී වරයෙකු ඝාතනයට ලක් වී ඇත. වත්මන් පාර්ලිමේන්තු මංත්‍රීවරයෙක් තවමත් හුස්ම ගන්නේ යන්ත්‍රානුසාරයෙනි.

දැන් පොලීසිය හැමදාමත් වගේ ඇසින්දුටු සාක්ෂි(භාරතගේ රියදුරැගේ ප්‍රකාශය, බලන්න පහලින්) පවා තිබිය දී කතාන්තරයක් ගොතමින් ‛‛මෙය පාතාල කණ්ඩායමක වැඩක්’’ ලෙස ලේබල් කිරීමට උත්සහා කරමින් සිටී. එයට අනුව දැන් රාජපක්ෂ පොලීසිය සාක්ෂී නිශ්පාදනය කරමින් ඇත. එයින් එකක් නම් ‛‛භාරතට සහ දුමින්දට වෙඩි තබා ඇත්තේ එකම ගිණි අවියකින්’’ යනුවෙනි. නමුත් දැනට එම ස්ථානයේ තිබී සොයා ගත්තා යැයි කියනු ලබන ගිනි අවි ප්‍රමානය 15කට ආසන්න බව මාධ්‍ය වාර්තා කළේය. නමුත් අවශ්‍ය නම් මේ ගිනි අවි කාගේ දායි, කොහේ දැයි සේවීමට පොලිසීයට පුලුවන. නැත…, එසේ සොයන්නේ නැත. එය සෙව්වොත් පුහුල් හොරා කරෙන් දැනේ කිව්වා මෙන් හොරු අසුවන බැවිනි. පොලීසියටත්, ආණ්ඩුවටත් මෙම ඝාතනයන්ගේ සුල මුල සොයා ගැනීමට අවශ්‍යතාවයක් නැත. ඒ ඔවුන් මේ ඝාතකයින් ගැන දන්නා බැවිනි.

අනෙක නම් පසුගිය 8වනදාත් 8 වනදායින් පසුවත් ලංකාවේ සියලු ජනමාධ්‍ය ක්‍රියාකලේ මෙම සිදුවීමේ සත්‍යය වසන් කිරීමටය.(කිහිපයක් වූ වෙබ් අඩවි හැරෙන්නට) භාරත සහ දුමින්ද මැර කණ්ඩායම්වල ගැටුම ඇතිවූ ස්ථානය මෙන්ම එහි තිබූ වාහනත් රූප රාමු ලෙස ගෙන හැර දක්වමින් මාධ්‍ය පවසා සිටියේ ‛‛කණ්ඩායම් දෙකක් අතර ඇතිවී ඇති ගැටුමක් ලෙසය’’. භාරත ලක්ෂ්මන් ඝාතනයට ලක්වි, දුමින්ද සිල්වාට බරපතල ලෙස තුවාල සිදු වී තිබිය දීත් මාධ්‍ය කලේ ‛‛වෙඩි වැදි මිය ගිය සහ වෙඩි වැදී තුවාල සිදු වූ’’ අය ලෙස ඔවුන් හැඳින් වීමය. එයින් ඒත්තු ගැන්වීමට උත්සහ කළේ ‘කවුරැන් හෝ වෙඩි තිබ්බා. දුමින්දට තුවාල උනා, භාරත ඝාතනයට ලක්වුනා‘‘ යන්නය. කෙසේ වෙතත් මේ ‘ගොතා ප්‍රකාශ කිරීමේ මාධ්‍ය න්‍යායට ලාංකික ප්‍රේක්ශකයා හසු වන්නට පිළිවන. ඒ අන් කිසිවක් නිසා නොව පසුගිය වසර 30කට ආසන්න කාලයක් ජනමාධ්‍ය විසින් යුද්ධයේ දී සිදු වූ සත්‍ය දේ දේශප්‍රේමය නමින් ප්‍රචාරය කරමින් ලාංකිකයා ගොනාට ඇන්දූ නිසාය. දැන් එය දකුණට එල්ල වී ඇත්තේ දෛවයේ සරදමකි ලෙසිනි. එදා ජනතාව මුලා කිරීමේ පාපයට අද රජු සිට යටත්වැසියා දක්වා සියලු දෙනා අන්දා ගැනීමටත්, ඇන්දවීමටත් පහසු වුවත්, දැන් තුවක්කුව එල්ලවී ඇත්තේ තමන් දෙසට බව දකුණට ටිකෙන් ටික තේරැම් යනවා ඇති. එදා සිදුකල විලසින්ම අද ද රාජපක්ෂ ආණ්ඩුව මෙම මිලේච්ඡ ගැටුමේ සත්‍ය වසන් කිරීමට උත්සහයක් ගෙන තිබිණි. මේ වන විටත් ගෙන යමින් සිටී. නමුත් පසුගිය 10වනදා දිවයින පුවත්පතේ ‛‛භාරතලේ රියදුරු දෙනු ලබන ප්‍රකාශය ඉතා වැදගත් මූලාශ්‍රයන් විශාල ප්‍රමාණයක් මතු කරයි’’ ඔහු මෙසේ කියයි. ‛‛

“මුල්ලේරියාව වල්පොල හන්දියේදී වාහනයෙන් බැහැල ආව දුමින්ද සිල්වා භාරත මහත්තයට එකවරම පහර දුන්නා. මහත්තය බිම ඇදගෙන වැටුණා. ඒ වෙලාවෙ දුමින්ද සිල්වා ළඟ හිටපු කෙනෙක්‌ භාරත මහත්තයගෙ කකුලට වෙඩි තිබ්බා. එතකොට කවුදෝ කෑගැහුවා. ඕකගෙ ඔළුවට තියන්න කියලා. එතන හිටපු දුමින්ද සිල්වගේ කට්‌ටියෙ කෙනෙක්‌ භාරත මහත්තයගෙ ඔළුවට පිට පිට වෙඩි ප්‍රහාර එල්ල කළා” යෑයි ඝාතනයට ලක්‌ වූ භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ රියෑදුරු තම ත්‍රාසජනක අත්දැකීම විස්‌තර කරමින් කියා සිටියේය.

ඔහු තව දුරටත් මෙසේ පවසා ඇත.

“අපි වල්පොල හන්දියට එනකොට හවස 3.30 ට විතර ඇති. ඡන්දය අවසන් වෙන්න පොඩි වෙලාවක්‌ තිබුණේ. මුල්ලේරියාව පැත්තෙ ඡන්ද මධ්‍යස්‌ථාන කීපයක්‌ පරීක්‍ෂා කරන්න භාරත මහත්තයට යන්න ඕනෙ කිව්වා.

වල්පොල හන්දියෙදි දුමින්ද සිල්වා ප්‍රාඩෝ ජීප් තුනකින් ආවා. ඒ අය අපි ගිය වාහනේට මඟ හරස්‌ කරල නතර කළා.

දුමින්ද සිල්වා පිස්‌තෝලෙකුත් අරගෙන ජීප් එකෙන් බැහැල කුණුහරුපයෙන් බැණගෙන ඉස්‌සරහට ආවා. භාරත මහත්තයත් ඒ වෙලාවෙ වාහනයෙන් බැස්‌සා.

දෙන්නම බැනගත්තා. එක පාරටම දුමින්ද සිල්වා භාරත මහත්තයගේ කම්මුලට වේගයෙන් පහරක්‌ ගැහුවා. මහත්තයා ඒ පාරට බිම ඇදගෙන වැටුණා.

එතකොටම දුමින්ද සිල්වා ළඟ හිටපු කෙනෙක්‌ ටී 56 ආයුධයකින් භාරත මහත්තයගෙ කකුලට වෙඩි තිබ්බා. භාරත මහත්තය කකුල අල්ලගෙන දඟලන්න පටන්ගත්තා. එතකොට කව්දෝ කිව්වා ඕකගෙ ඔළුවටම තියලා ඉවරයක්‌ කරලා දාපන් කියලා.

ඒත් එක්‌කම දුමින්ද සිල්වා ළඟ හිටපු අය පිට පිට භාරත මහත්තයගෙ ඔලුවටයි පපුව දිහාවටයි වෙඩි තියන්න ගත්තා.

භාරත මහත්තය ළඟ හිටපු ආරක්‍ෂක නිලධාරියො දෙන්න මහත්තයව උස්‌සගෙන ජීප් එක පිටුපසට යන්න හැදුවා. එතකොටම දුමින්ද සිල්වාගෙ කට්‌ටිය ඒ දෙන්නටත් වෙඩි තිබ්බා” යෑයි භාරත ලක්‍ෂ්මන් මහතාගේ රියෑදුරු වැඩිදුරටත් කියා සිටියේය.‘‘(දිවයින, 10 ඔක්තෝබර් 2011)

දැන් භාරතගේ ඝාතකයා කවුදැයි සෙවීමට පොලිස් කණ්ඩායම් දෙකක් දෙපසින් පරීක්ෂණ කිරීමට පෙර මෙම ප්‍රකාශයෙන් වඩා පැහැදිලි වන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක මංත්‍රීවරයෙක් වන දුමින්ද සිල්වා ඇතුලු කණ්ඩායම සහ භාරතගේ කණ්ඩායම අතර සිදු වූ මෙම ගැටුමින් භාරත ඝාතනයට ලක් වූ බව නොවේද?

දුමින්ද සිල්වාත්, මර්වින් සිල්වාත් මේ ආණ්ඩුවේ මහ දවල් අවි පෙන්වා මිනිසුන්ට කනේ පහරවල් දී පොලු මුගුරු රුගෙන තමන්ගේ බලය පෙන්වන කුප්‍රකට මංත්‍රිවරුන් දෙදෙනෙකි. පුදුමය නම් ඔවුන්ගෙන් එක් අයෙක් වන දුමින්ද සිල්වා ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක මංත්‍රීවරයෙකි. එසේම ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂගේ සුවච කීකරැ ගෝලයෙක් ලෙස පෙනී සිටින අයෙකි. රාජපක්ෂ ආණ්ඩුවේ, ආරක්ෂක අමාත්‍යංශය උපදෙස් ගනු ලබන්නේ, මහ මගදී ඕනෑම අයෙකු ඕනෑම ලෙසකට ඝාතනය කිරීමට ලැයිසන් ලබා දී ඇති මැර හමුදාවක් වටකර සිටින මෙවන් මැරයින්ගෙන් වීම ‛ඇත්තටම ආසියාවේ ආශ්චර්‍යයක්මය’. එයට තවත් උදාහරණයක් සපයයි. පසුගිය දා ලිප්ටන් වටරවුමේ ජවිපෙ උද්ඝෝෂනයට පහර දීමට පොලුමුගුරු සහිතව දුමින්ද සිල්වා ඇතුලු මැර කණ්ඩායම් ලිප්ටන් වටරවුම අසල සිටි අවස්ථාවේ මාධ්‍යවේදියෙකු, ජ්‍යෙශ්ඨ පොලිස් අධිකාරි දේශබන්දුගෙන් ප්‍රශ්ණ කලේය. එවිට ඔහු කීවේ ‛‛ මහ මඟ බල්ලන් සිටින බැවින් පොලුරැගෙන යාමට මහජනයාට අයිතියක් ඇත.’’ යනුවෙනි.

දැන් පොලීසියෙන් අසන්නේ ‘‘දුමින්ද – භාරත සටනේ, කවුද බල්ලා?“ කියා ය.

මේ එදා කළ ප්‍රකාශයෙන් ද ඔප්පු වන්නේ ආණ්ඩුවේ මැර දේශපාලකයින්ට සහ මැර කණ්ඩායම්වලට ඇති බලයේ තරමය. ඒ අන්කිසිවක් නොව මැර බලය, දේශපාලන බලය බවට පත් වූ විට සිදුවන තත්ත්වයයි. එසේම මැරයින් දේශපාලකයින් වූ විට සමාජයක ඇතිවන නීතීයේ සහ බලයේ විකෘතිතාවයයි.

රෝහල මැරයින් අතට පත්වීම සහ අධ්‍යක්ෂක මණඩලය විසුරුවා හැරීම

භාරත ලක්ෂ්මන් ඝාතනයට ලක්වීමත් සමග භාරතගේ සමීපතමයින් කුපිත වූහ. ඇතැමෙක් ආණ්ඩුවට බැණ වදින්නට විය. ඇතැම් අය මුල්ලේරියාව ප්‍රදේශයේ දුමින්ද සිල්වාගේ කාර්යාලවලට, දේපලවලට ගිනි තැබූහ. එයට බිය වූ දුමින්දගේ සමීපතමයින් 8වනදා සවස් වන විට ජයවර්ධනපුර රෝහලේ ආරක්ෂාව තම භාරයට ගත්හ. පොලීසිය සහ ආරක්ෂක අංශ නිහඬව බලා සිටියේය. දැන් රෝහලත් දුමින්දගේ මැර හමුදාව යටතේය. රාජපක්ෂ ආණ්ඩුවේ පොලීසිය සහ හමුදාව පැත්තකය. පසුව රෝහලට එන සියලු දෙනා පරීක්ෂා කරන්නේ මැර හමුදාවක් විසින්ය. එසේ රෝහලත් නීතියෙන් බාහිරව ක්‍රියාත්මක විය.

ඊයේ වනවිට සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසෙන විසින් ජයවර්ධන පුර රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩලය හදිසියේ වෙනස් කිරීමට තීරණය කළ බව මාධ්‍ය වාර්තා කෙරිනි. මෙයට හේතුව ලෙස බලධාරීන් පෙන්වා දී ඇත්තේ එහි ඇති අකර්‍ායක්ෂමතාවයයි. කෙසේ නමුත් භාරත ලක්ෂ්මන් ගේ ඝාතනයට සෘජුවම සම්බන්ධයක් ඇති දුමින්ද සිල්වා ප්‍රතිකාර ලබන්නේ ද ජයවර්ධනපුර රෝහලේය. හදිසියේම ආකාර්‍යක්ෂමතාවය පිළිබඳව ගැටලුවක් පැන නැගුනේ කුමන හෝ සත්‍යයත් වසන් කිරීමට දැයි මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක් වී ඇත.

ආණ්ඩුවේ නිරැවත පෙනෙන්ට පටන් ගනී

භාරතගේ ඝාතනය විරෝධය පාමින් මුල්ලේරියාව ප්‍රදේශයේ ඔහු ඝාතනය කල තැන පසුගියදා නිහඬ විරෝධතාවයක් පැවති ඇතර එහි දී එම ප්‍රදේශයේ සංධාන, ප්‍රාදේශීයසභා සභාපතිවරයා වන ප්‍රසන්න සෝලංගආච්චි පවසා සිටියේ ‛‛ජනාධිපතිතුමා මේ ගැන විශේෂයෙන් හොයලා බලලා වැරදි කරුවන්ට දඬුවම් දෙන්න ඕන. නැතිනම් මගේ දේශපාලන ගමන මම මේකෙන් තීන්දු කරනවා. අද ජයපැන් බොනවා වෙනුවට මේ ප්‍රදේශයේ ජනතාවට වෙලා තියෙන්නේ කඳුලු බොන්න’’ යනුවෙන් පවසා ඇත. මෙවැනි ප්‍රකාශත්, භාරතගේ රියදුරාගේ ප්‍රකාශත්. බොහෝ දේශපාලකයින්ගේ ප්‍රකාශත් විසින් මේ ඝාතනය සම්බන්ධයෙන් වූ සත්‍යය වසන් කිරිමට නොහැකි තත්ත්වයක් දක්වා වර්ධනය කරමින් තිබේ. මේ තත්ත්වය තුළ සත්‍යය වසන් කිරීමට ගන්නා සෑම උත්සහයක් තුලම, සත්‍යය තව දුරටත් ස්ථාපනය වී රාජපක්ෂ රෙජීමයේ නිරැවත ජනතාවට පෙනෙන්නට වැඩි කල් යන්නේ නැත. එසේම ආණ්ඩුවේ සියලු සිදුවීම් නීතියේ පාලනයට භාහිරින් මැරවරයින් මගින් තීන්දු කිරීම තුළ රාජපක්ෂ රෙජීමයට තව දුරටත් ප්‍රජාතන්ත්‍රවාදයවත්, මානව හිමිකම් ගැනවත් ලෝකය ඉදිරියේ සිදුවන්නේ කතා කරන්නට නොව, නිරැවත වසා ගැනීම සදහා ‘කුමක් හෝ‘ සොයා ගැනීමට පෙර සේම ලිබියාව හෝ ඉරානය වැනි තම මිතුරන් සොයා පියමැනීමට ය.