සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

‛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගේ සහෝදරයාගේ මරණයට වගකිව යුතුයි’ – භාරතගේ සහෝදරිය

‘පාලක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය, හිටපු ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වගකීමෙන් බැඳෙන බවට ඔහුගේ පවුලේ ඥාතීන් චෝදනා කරනවා. ඥාතීන් පවසන්නේ, භාරත ලක්ෂ්මන්ගේ ජීවිතයට අනතුරක් ඇති බව සඳහන් කරමින් ආරක්ෂාව තර කරන ලෙස ඉල්ලා පෙබරවාරියේදී ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුන්ට යවන ලද ලිපියකට මේ තාක් පිළිතුරු ලැබී නැති බවයි. රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ගිය සතියේ දී මාධ්‍යවේදීන් අමතා කියා සිටියේ ප්‍රමාණවත් ආරක්ෂාවක් මිය ගිය ජනාධිපති උපදේශකයාට ලබා දී තිබුණු බවයි. මේ අතර ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල සංදේශයට කියා සිටියේ වෙඩි හුවමාරුවේදී තුවාල ලබා රෝහල්ගතව සිටින දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා භාරත ලක්ෂමන් ඝාතනය සම්බන්ධයෙන් සැක නොකරන බවයි. මේ ආකාරයේ පරස්පර විරෝධී ප්‍රකාශ කරමින් රජය එසේ සිටිද්දී, පොලීසිය කරන පරීක්ෂණ පිළිබඳව තමන් සෑහිමකට පත්නොවන්නේ යැයි භාරත ලක්ෂ්මන්ගේ සහෝදරිය ස්වර්ණා ගුණරත්න බීබීසී සංදේශය සමඟ ඊයේ(16)විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියා.‘

මල්ලීගෙ මරණය පිළිබඳව පොලීසියෙන් කෙරෙන පරීක්ෂණ ගැන අපිට කිසිසේත්ම සෑහිමකට පත්වෙන්න බැහැ. මොකද අපිට පත්තර වලින් විවිධ මත වර්ග දැකගන්න ලැබෙනවා. මම දැක්කා ලක්ෂ්මන් හුළුගල්ලගෙන් ප්‍රශ්නයක් අහලා තිබුණා, ඇයි මේ මරණය සම්බන්ධයෙන් දුමින්ද සිල්වාව අත්අඩංගුවට ගන්නෙ නැත්තෙ? කියලා. එයා මේකෙ සැකකාරයෙක් නෙමෙයි කියලා, ලක්ෂ්මන් හුළුගල්ල කියලා තිබුණා. ඉතිං අපක්ෂපාති පරීක්ෂණයක් මල්ලිගෙ මරණය ගැන ලැබෙයි කියලා අපිට හිතෙන්නෙ නැහැ.

පොලීසියෙ පරීක්ෂණ වලින් ඒ බව ඔප්පුවෙලා තියෙන බවක් ඔබට පේනවාද?

පොලීසියේ පරීක්ෂණ වලදී දුමින්ද සිල්වා තමයි පිස්තෝලයෙන් වෙඩි තිබ්බෙ කියලා,මගේ සහෝදරයාගේ රියදුරා, සමන් පෙරේරා සාක්ෂියක් දීලා තියෙනවා. ඒක උසාවියටත් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් දුමින්ද සිල්වා සැකකාරයෙක් නෙමෙයි කියලා හුළුගල්ල මහත්තයා කියන්නෙ ඇයි කියලා මට තේරෙන්නෙ නැහැ .

දුමින්ද සිල්වාට වෙඩි තැබීම සම්බන්ධයෙන් භාරත ලක්ෂ්මන්ගේ කවුරු හරි අත්අඩංගුවට අරන් තියෙනවද?

අපි දන්න තරමට භාරත ලක්ෂ්මන්ගේ පාර්ශවයේ කවුරුවත් අත්අඩංගුවට අරගෙන නැහැ. ඉතිං භාරත ලක්ෂ්මන්ගේ පාර්ශවයේ හුඟක් දෙනෙක් මැරිලා ගියානෙ. එක්කෙනෙක් අත් අඩංගුවෙ ඉන්නවා. සංජය කියලා ආරක්ෂකයෙක්. ඒකත් අපි පත්තර වලින් තමයි දන්නෙ.මොකද දැනට කෙරීගෙන යන පරීක්ෂණ සම්බන්ධව අපිට රජයෙන් වත්, කොහෙන්වත් කිසිම විස්තරයක් කියලා නැහැ.

ඉතින් මේ කාරණේ ගැන ජනාධිපතිවරයා එක්ක සාකච්ඡා කළේ නැද්ද?

ජනාධිපතිවරයා සහ ඇමතිවරු කිසිකෙනෙක් භාරත ලක්ෂ්මන්ගේ පවුලත් එක්ක කිසිදෙයක් කතා කරලා නැහැ. ඒ වගේම ජනාධිපතිවරයා අපට එයාගේ ශෝකය ප්‍රකාශ කරන්නවත් කතා කරලා නැහැ.

නමුත් ජනාධිපතිවරයා භාරතගෙ දේහය බලන්න ජාවත්තට ආව නේද?

ජනාධිපතිවරයා නිවසට ආවා. ඒ අවස්ථාවෙ මගේ සහෝදරාගේ බිරිඳ ජනාධිපතිවරයා එක්ක කත කරන තත්වයක හිටියෙ නැහැ.

දැන් ඔබ ඉතා බරපතල චෝදනාවක් කරනවා. 06 දෙනෙකුත් අත්අඩංගුවට අරගෙනත් තියෙනවා. ඒ වගේම පොලිස් පරීක්ෂණ පැවැත්වෙනවා. නමුත් ඔබ පරීක්ෂණ සම්බන්ධයෙන් සෑහිමකට පත්වෙන්නෙ නැහැයි කියන්නෙ ඇයි?

දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂක මන්ත්‍රී වරයා වශයෙන් වැඩ කරන නිසා ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිළධාරීන්ගෙන් මෙයාට උදව්වක් ලැබිලා තියෙනවා කියලා අපිට තේරෙනවා. නැත්නම් මන්ත්‍රීවරයෙක් ඔය විදිහට ඔච්චර අවි ආයුධ තොගයක් අරගෙන එතනට ගිහිල්ලා තියෙන්නෙ මරන්න නැත්නම් වෙන මොකටද? අනිත් එක මම කියන්නෙ මේ මරණය සැලසුම් කරපු ඝාතනයක්. මෙයාව මරා දමන්න දැන් මාස ගාණක තිස්සෙ ඉඳන් සැලසුම් කළා. ඔවුන් පාතාලයට කොන්ත්‍රාත්තුවක් දීලා තිබුණා. පාතාලයේ එක්කෙනා අහුවෙලා ලංකාවේ රහස් පොලීසිය විසින් ඒ සියළු දේ සොයාගෙන තිබුණා. දැනට තියෙන ආරක්ෂාව වැඩි කරලා, අපේ මල්ලීව ආරක්ෂා කරලා දෙන්න කියලා, අපි ජනාධිපතිවරයාටත්, ඇමතිවරුන්ටත් ආයාචනා කරලා බැගෑපත්ව ඉල්ලුවා. මල්ලිගෙ ආරක්ෂාවට එවෙලෙ ඉඳලා තියෙන්නෙ තුන්දෙනයි. එක්කෙනෙක් පොලීසියෙන් ආයුධ රහිතව. අනිත් දෙදෙනා තමයි ආයුධත් එක්ක හිටපු ආරක්ෂකයො. ආයුධ රහිතව හිටපු එක්කෙනා අත ඇරලා ගිහිල්ලා තිබුණා. භාරත ලක්ෂ්මන්ට අපි සෑහෙන්න ආරක්ෂාවක් ලබා දුන්නා කියලා හැම තැනම ජනාධිපතිවරයා, ජනමාධ්‍ය ඇමති කියනවා මට ඇහෙනවා අපි ඉල්ලුවෙ ආරක්ෂාව නෙමෙයි. ආරක්ෂාව වැඩි කරන්න. අපි ඉල්ලුවෙ දෙක, හය කරන්න. මම මේ ලියුම එවලා මල්ලි මොකක්ද වෙන්නෙ? කියලා මල්ලිට කතා කරලා ඇහුවා. මගේ ආරක්ෂාව කොහොම වුනත් දුමින්ද සිල්වාගේ ආරක්ෂාව 14 කින් විතර වැඩි වුණා කියලා එතකොට මල්ලි කිව්වා. අපි මේ මිනිස් ඝාතනය මීට ඉස්සෙල්ලා දැක්කා. අපි මේ ඉරණම දැකලා, මල්ලිව ආරක්ෂා කරලා දෙන්න කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලුවා. ඒ ඉල්ලීම ලැබුණා කියලා, ඔවුන් අපිට අඩුගාණෙ උත්තරයක්වත් එව්වෙ නැහැ. ඉතින් ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගේ සහෝදරයාගේ මරණයට වගකිව යුතුයි කියලා මම අද කියනවා.

(බී.බී.සී සංදේශය විසින් භාරත ලක්ෂ්මන්ගේ සහෝදරිය, ස්වර්ණා ගුණරත්න සමග පැවැත් වූ සාකච්ඡාවක් ඇසුරෙනි.)