සිංහල, Colombo, Democracy, Education, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

‘බෝම්බය තිබ්බේ කවුදැයි අපි දන්නවා..‘ – සරසවි සිසුන්

ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ බෝම්බයක් පුපුරා යයි – එයට එරෙහිව සරසවි සිසුන් ගාලු පාර වසාගෙන උද්ඝෝෂණයක් – පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය සිසුන්ගේ උද්ඝෝෂණය වට කරයි.

ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා සහ විශ්ව විද්‍යාලයේ සිසුන් අතර දැනට බොහෝ කාලයක සිට ගැටුම් ඇති වෙමින් පවතී. නමුත් තවමත් මෙම ගැටුමට නිශ්චිත විසඳුමක් ලබා දීමට බළධාරීන් කටයුතු කර නැති අවස්ථාවක අද(5) අලුයම ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විරු සිසු ස්මාරකයට හානි කරමින් මෙම බෝම්බය පුපුරා ගොස් ඇති බවට වාර්තා විය. විශ්ව විද්‍යාලයේ උප කුලපති වරයා මෙම සිද්ධිය අර්ථ දැක්වූයේ ශිෂ්‍යයන්ගේ කඩා කප්පල් ක්‍රියාවක් ලෙසිනි. නමුත් විශ්ව විද්‍යාල ආරක්ෂක අංශයට පෙනෙන දුරින් පිහිටි මෙම විරු ස්මාරකයට හානි පැමිණිවීමට සිසුන්ට කටයුතු කරයි නම් එය එතරම් නුවණක්කාර නැත. අනෙක් කරුණ නම් බෝම්බ පිපිරීම සිදු වූ සැනින් මිරිහාන පොලීසියට දැනුම් දුන්නත් පොලීසිය පැමිණ ඇත්තේ සිදු වීම සිදු වී පැය දෙකහමාරකට පසුව වීමයි. විශ්ව විද්‍යාල සිසුන්ට අනුව මෙම සිදු වීම කර ඇත්තේ හමුදාවට සම්බන්ධ පුද්ගලයෙකි. මේ සඳහා උපකුලපති වරයා ද සම්බන්ධ බව සිසුන්ගේ මතයයි.

ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය තුළ මේ ආකාරයට දිගින් දිගටම සිසුන්ට බාධා වන බව සිසුන්ගේ මතයයි. එමෙන්ම රාජ්‍ය ආරක්ෂක අංශයට අයිති පිරිස් විශ්ව විද්‍යාලය තුළ සැරිසැරීම තවත් ගැටළුවක් බවත් මෙම උද්ගත වී ඇති මෙම තත්ත්වයන්ට උප කුලපති වරයා සෘජුවම වගකිව යුතු බව සිසුන් පවසයි. එබැවින් උප කුලපති වරයා ඉවත් කිරීම පිළිබඳවත්, බෝම්බ සිදුවීමට වගකිව යුතු පුද්ගලයන් අල්ලා ගැනීම පිළිබඳවත් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට අද දහවල් විශාල සිසුහු පිරිසක් ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ සිට දැවැන්ත පා ගමනකින් ජනාධිපති නිල නිවස දක්වා පැමිණියහ. නමුත් ආරක්ෂක අංශ විසින් කොල්ලුපිටිය හන්දියේදී ආරක්ෂිත වැටවල් යොදා සිසුන්ගේ ගමන නැවැත්වීය. මෙහිදී ආරක්ෂක අංශ විසින් ඉදිරියට එන සිසුන් නැවැත්වීමට ජල ප්‍රහාර, කඳුළු ගෑස් ප්‍රහාර සඳහා සූදානම් වන අයුරු දක්නට ලැබිණ. පැය කිහිපයක් එම ස්ථානයේ රැඳී සිටි සිසුන් පිරිස නැවත විසිර ගියේ කෙසේ හෝ ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ උප කුලපති වරයා ඉවත් කරන ලෙසත් එසේ නොකළ හොත් තමන් විසින් එය සිදු කරන බවටත් ප්‍රකාශ කරමිනි.