සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

SMS වාරණය මිලිටරි න්‍යායකට ද?


ආරක්ෂක හමුදා, පොලීසිය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන ප්‍රවෘත්ති ජංගම දුරකතන වෙත කෙටි පණිවුඩ ලෙස යොමු කිරීමට පෙර අනුමැතිය ලබාගතයුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා විසින් ඊයේ (12 සඳුදා) මාධ්‍ය ආයතන වෙත දැනුම් දී ඇතැයි ද මේ සම්බන්ධයෙන් වන දැනුවත් කිරීම සියලු ප්‍රධාන මාධ්‍ය ආයතන වෙත ලිඛිතව දැනුම් දීමට කටයුතු කර තිබෙන බවද වාර්තා වේ.(ඉහතින් දැක්වෙන්නේ නිකුත් කර ඇති එම වාර්තාවේ ස්කෑන් පිටපතයි.)

කෙසේ නමුත් ලංකාවේ සිවිල් යුද්ධය පැවති 2006 වර්ෂයෙත් ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානය විසින් මේ හා සමාන පුවත් වාරණයක් ගෙන එන ලදි.[The 2006 regulations noted] එහිදී විශේෂයෙන් සදහන් වුයේ හමුදාමය ක්‍රියාදාමයන් වාර්තා කිරීමෙදී එයට අනුමැතිය ලබා ගැනීම මෙන්ම ඔවුන් විසින් ඉදිරිපත් කර තිබූ මාධ්‍ය මගපෙන්වීමේ යාන්ත්‍රණයකට යටත්ව සියලුම මාධ්‍යන් හැසිරිය යුතු බවයි. නමුත් මේ වන විට යුද්ධය අවසන් වී වසර 3කට ආසන්න වෙමින් ඇත. එසේම යුද්ධය ඇති වීමට සහ යුද්ධයේදී සිදුවුනු මානව හිමිකම් කඩවීම පිළිබද සෙවීම සදහා පත් කළ උගත් පාඩම් කොමිසමේ අවසන් වාර්තාවත් මේ වන විට එළි දැක් වී තිබේ. එහි ද ලංකාවේ ජනමාධ්‍යට සහ ජනමාධ්‍යෙවේදීන් සම්බ්න්ධයෙන් මෙන්ම යුද්ධයෙන් පසුව සහජීවනය සදහා මාධ්‍ය යොදා ගැනීමේදී මතු වී අති තත්වයන්, තර්ජන සහ ඒවා නිරාකරණය කර ගැනීමට යම් යෝජනා ද ඉදිරිපත් වී ඇති මොහොතක, මෙවන් වාරණයක් පැනවීම තුලින් මතු වන්නේ ලංකාවේ මාධ්‍ය විශේෂයෙන් අන්තර්ජාලය සහ නව තාක්ෂනය මත පදනම්ව ක්‍රියා කරන SMS, Twitter, Facebook ආදී මාධ්‍යන්ට එල්ලවෙන බරපතල අභියෝගයක් මෙන්ම බිහිසුනු තත්වයක්. එසේම විශේෂයෙන් ආරක්ෂක හමුදා, පොලීසිය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන ප්‍රවෘත්ති වාරණයකට ලක් කිරීම මගින් උත්සහා කරන්නේ තිබෙන මිලිටරි තත්ත්වයට වඩා වැඩි මිලිටරි බලයක් ජනතාව මත පැටවීමටද? එසේත් නැතිනම් මොවුන් සිදු කරනු ලබන සියලු ව්‍යසනයන් සහ සමාජය තුළ මුදාහරිනු ලබන අරාජික තත්වයන් ජනතාවට දැන ගැනීමට තිබෙන අයිතිය වළලා දැමීමටද?

මේ පිළිබදව ‘විකල්ප‘ සමග අදහස් දැක්වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ, කැදවුම්කරැ සුනිල් ජයසේකර මහතා ‘‘මේක පැහැදිලිවම මාධ්‍යට පනවපු වාරණයක්. මේ හරහා වන දේ තමයි රටේ තොරතුරැ ජනතාවට ගලා යාම වලක්වන එක. පසුගිය සතිය ගත්තත් හමුදාවට සහ පොලීසියට අදාල බරපතල සිදුවීම් දෙකක් වාර්තා වුනා. එකක් පොලීසියේ උසස් නිළධාරියෙක් කප්පම් ගැනීමේ සිද්ධියකට සෘජුවම සම්බන්ධ වීම, දෙවනි එක තමයි සුදු වෑන් රථයකින් පැමිණි පුද්ගලයෙක් පැහැරගෙන යෑමට හමුදාවේ සාමාජිකයන් සම්බ්න්ධ වීම. මේවා ඉතා බරපතල සිදුවීම්. ඒ වගේම මේවා ජනතාව දැනගත යුතු සිදුවීම්. ඒ නිසා මේ වාරණයන් හරහා සිදුවන්නේ මෙවන් සිදුවීම් ජනතාවට දැන ගැනීමට තිබෙන මාර්ගයන්ට බාධා පැමිණවීමත් ඒ හරහා ජනතාවගේ තොරතුරැ දැනගැනීමට තිබෙන අයිතියට බරපතල තර්ජනයක් එල්ල කිරීමත්, අනෙක අපි විශ්වාස කරනවා මෙවැනි ආරම්භයන් දුර දිග ගියොත් මෙයට වඩා පළල් වාරණයන් පනවන්නට පුලුවන්. එම නිසා මෙය දැන්ම පරාජය කල යුතු කරැණක් එමනිසා ප්‍රජාතන්ත්‍රවාදය සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින සමාජ කණ්ඩායම් මෙයට විරැද්ධව පෙළ ගැසිය යුතු වෙනවා.‘‘

කෙසේ නමුත් පසුගිය කාලය පුරාම විකල්ප අදහස්, මතවාද පළකරන වෙබ් අඩවි වාරණය කිරීමත්[Attacks on the Press in 2011], වරින් වර අවහිර කිරීමත් සිදු වූ අතර පසුගිය නොවැම්බරයේදී සියලු පුවත් වෙබ් අඩවි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ලියාපදිංචි සහතිකයක් ලබා ගත යුතු යැයි ද නියෝග කළේය.

ඒසේම ඒ වන විට ලංකාව තුල වෙබ් අඩවි 5ක් වාරණයට ලක් කිරීම නිසා සිය මූලික අයිතිවාසිකම් කඩවි ඇතැයි පවසා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් අධිකරණය හමුවේ නඩුවක් ද මේ වන විට ගොනු කර ඇත.