සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

හෙළ ජාතික අභිමානේ….. ඔවුහුද ගැයුහ


හෙළ ජාතික අභිමානේ
වැදු විරුවන් සේ පොරණේ
දිනු මවුබිම සවුසිරියෙන් සරසවු
පිබිදෙවු පිබිදෙවු සැරසෙවු

වීර විකුම් පෑ පෙර දරුවෝ
දෙස රැස මුරකෙරුවෝ
ඒ ලෙය ඇති ඔබ සුර විරුවෝ
නොම වවු ණය කරුවෝ

දැය දිනුමට පැද යන නැවියා
ගොවියා බිම දෙවියා
විපතෙහි සැපතෙහි
නොසැළෙයි නොතැවෙයි
අටලෝ දම හුරු හෙළයා

මුහුදට ඈදෙන මහ ගංගා
කුඹුරට යළි හරවා
ධාණ්‍ය වගාකොට සිරිලක මේ
පෙරදිග කෙත කරවා
අරපිරිමැස්මට පුරුදුවෙලා
බිඳලවු දුක සංකා
පැරකුම් යුගයක් නැවත්ත අරඹවු
නිජ භූමි තලේ ලංකා

මේ සී. ටී. ප්‍රනාන්දු විසින් 70 දශකයේ දී ගැයූ ජනප්‍රිය දේශානුරාගි ගීයකි. නිදහස් දිනය, යුධ ජයග්‍රහණය සමරණ දිනය, ජනාධිපති පදවි ප්‍රාප්තිය ආදී ජාතික වැදගත් කමක් ඇති සෑම දිනකම අපේ රටේ සියලුම විද්‍යුත් නාලිකා තරගයට මෙන් මේ ගීය වාදනය කරයි. කොකකටත් තෛලයක් මෙන් ඕන උත්සයකදී වාදනය කිරීමට පාසල් තූර්යවාදන කණ්ඩායම්වලට පුරුදු කරවන්නේ ද මේ ගිතයයි.

එසේම ජනාධිපතිවරයාගේ සහ එජානිසේ සියලුම දේශපාලන රැස්විම්වලට මේ ගීතය නැතුවම බැරිය. ජනාධිපතිවරණ සමයේ රනිල් වික්‍රමසිංහ ද තමන්ගේ දේශපාලන රැස්වීම්වල දී මේ ගීතයට තාල ඇල්ලූවේය. 2004 දී දේශ හිතෛශී ජාතික ව්‍යපාරය පෙරට කොට ගෙන ජවිපෙ මැතිවරණ දිනද්දී ඔවුන්ගේ රැස්වීම්වල ද මේ ගීතය අනිවාර්ය අංගයක් විය. හෙළ උරුමයට ද මෙය නිතර දෙවෙලේ ජප කරන මන්තරයක් මෙනි.

මේ අනුව බැලුකල සී. ටී. ප්‍රනාන්දු ගයන මේ ගීතය හා ලංකාවේ දේශපාලනය අතර ඇත්තේ ගසට පොත්ත මෙන් සම්බන්ධතාවයකි. ඕන අලුගුත්තේරු වැඩක් කර ඉන්පසු මේ ගීතය ගායනා කර හෝ වාදනය කර දේශප්‍රේමියෙකු වීමට පුළුවන.

තමන්ගේ දේශප්‍රේමීත්වය පෙන්වීමට මේ ගීතය කොතරම් ගැයුවද, කොතරම් වැයුවද ඇත්තටම සිදුවි ඇත්තේ කුමක්ද?

වීර විකුම් පෑ පෙර දරුවන්ගේ ලේ ඇතැයි කියන නූතන සුරුවිරුවෝ මේවනවිට, මතුවටත් උපදින්නට සිටින දරු පරම්පරා තුන හතරක්ම ණය කාරයන් කර හමාරය. දැය දියුණට පැද යනවායැයි කියන ගොවියෝ වස නොබොන කන්නයක් නොමැති තරම්ය. දුක සංකා බිඳලෑමට කරන දැයට කිරුලෙන් පමණක් අරපිරිමැස්මෙහි තරම මනිනින්ට පුළුවන. පැරකුම් යුගයක් කෙසේ වෙතත් රාජාණ්ඩු යුගයක් නම් දැන් නැවතත් ඇරඹී ඇත.

කෙසේ වුවද මේ සටහනෙහි අරමුණ වර්තමානයෙහි බයිලාවක් වී ඇති මෙම දේශානුරාගී ගිය පිළිබඳ විචාරය කිරීම නොව, දේශප්‍රේමයෙන් උමතුවූ අපේ ඇත්තන් මේ ගීය සමග පෙන්වූ නඩාගමක් ගැන ලිවීමය.

නිදහස් පසු දිගින් දිගටම සිදුවූ අසාධාරණයන් ඉවසිය නොහැකි තැනකට දෙමළ ජනතාව තල්ලු වූ පසු ඔවුන් අතර විමුක්තිය උදෙසා සටන් වදින සන්නද්ධ ව්‍යපාරයටකට ඉඩ විවර වුණි. ඒ ඉඩ තුළ නිර්මාණය වූ සන්නද්ධ ව්‍යාපාරය එල්ටීටීයි යයි. ඒ අර්ථයෙන් එහි සියලුම සාමාජිකයින් විමුක්තිය උදෙසා සටන් කළ සටන්කාමීන්ය. පුරා තිස්වසරක නොනිමි සටනකින් පසු පරාජය ඔවුන් වැළද ගත්හ. එසේම ඔවුන්ගෙන් අඩකටත් වඩා වැඩි පිරිසට මරණය ද වැළඳ ගැනීමට සිදුවිය.

ඉතිරි වූ පිරිස පුනුරුත්තාපනයේ නාමයෙන් කඳවුරු තුළ ගාල් කරන ලදි. රජය ප්‍රකාශ කරන පරිදි 12000කට ආසන්න සටන්කාමීන් පිරිසක් ඔවුන් විසින් පුනුරුත්තාපනය කර ඇත. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුගියදා පැවසුවේ මේවනවිට ඉතිරිවී ඇත්තේ සටන්කාමින් 250කට ආසන්න පිරිසක් බවයි.

කෙසේ හෝ ලංකා රජය විසින් ඔවුන්හට ලබාදුන්නා යැයි කියන පුනුරුත්තාපනය කුමක්ද? ඒ පුනුරුත්තාපනයෙන් පසු ඔවුන් තුළ සිදුවී ඇති වෙනස්කම කුමක්ද?

සිදුව ඇත්තේ එක් දෙයක් පමණි. ඒ ඕන පදයකට නැටීමට හැකි සේ දැන් ඔවුන්ව පුහුණු කර තිබීමයි.

අහිකුණ්ඨක ජනතාව විසින් රිලවුන් නටවන අයුරු අප දැක ඇත. එහිදී අහිකුණ්ඨකයා විසින් රිලවාට ඒක ඒක ජාතියේ වැඩ පවරයි. විටෙක බල්ටි ගස්සවයි. තවත් විටෙක නැන්දා මාමා බලන්නට යන හැටි පෙන්වන්න කියයි. නැතිනම් හොර අඹුවගේ ගෙදර යන හැටි පෙන්නවන්නට නියම කරයි. මේ අයුරින් වටවී බලාසිටින්නන් රිසි සැම දේම කර පෙන්වීමට රිලවාට සිදු වෙයි.

සැබවින්ම රිලවා එසේ පෙන්වන්නේ ඌ කැමති ඌට අවැසි ක්‍රියාකාරකම්ද? තම රංචුව සමග ගහෙන් ගහට පනිමින් ගඩා ගෙඩි කමින් නිදහසේ ජීවත්වන්නට තිබු අයිතිය උදුරාගැනීම පිළිබඳව රිලවා තුළ ඇති වේදනව කොපමණ විය හැකිද? ඉන අරහා බැඳි යකඩ දම් වැල, කෙතරම් වෛරයක් නිෂ්පාදනය කරනු ඇත්ද? විකාර රෙදි ඇන්දු ජීවිතය පිළිබද කොතරම් අප්‍රසන්නතාවක් තිබෙන්නට පුළුවන්ද?

මේ සියල්ල ඉවසා දරා සිටීම වෙනුවෙන් ලැබෙන කෙසෙල් ගෙඩියෙන් හෝ අඹ ගෙඩියෙන් ඌට සැහීමකට පත්විය හැකිද?

පුනුරුත්තාපනය කළා යැයි කියන එල්ටීටීයි සාමාජිකයින්ට ද දැන් මුහුණ දීමට සිදුව ඇත්තේ මේ ඉරණමටය.

පසුගිය වසරේ දිනක් ඔවුන් ගේ සාමුහික විවාහ මංගල්‍යයක් පැවැත්විණි. බැලු බැල්මටම එය සුන්දර කටයුත්තකි. ප්‍රශංසා ආශීර්වාද නිර්ලෝභීව සැමදෙනාගේම මුවින් පිටවෙනු අසන්නට ලැබුණි.

හිටපු එල්ටීටීයි සමාජිකයින්ගේ ප්‍රේම කිරීමේ අයිතිය මෙන්ම විවාහ වීමේ අයිතිය ද පිළිගෙන ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් රජයටද හාදු ගොඩක් ලැබිණි.

නමුත් ඒ ක්‍රියාවලියේ එක් වැදගත් ස්ථානයක් සැමටම අමතක වී ගොස් තිබුණි.

විවාහයකට නීත්‍යනුකූල ස්වරූපය ලබාදීමට සාක්ෂිකරුවන් දෙදෙනෙකු විසින් එයට අත්සන් තැබිය යුතුය. සාමාන්‍යයෙන් විවාහ වන දෙපාර්ශවය එසේ සාක්ෂිකරුවන් ලෙස තෝරාගන්නේ තමන් ගරු කරන පුද්ගලයින් දෙදෙනෙකි.

එහෙත් එදින විවාහ වූ තරුණ තරුණියන්ගේ කැමැත්නම් තුට්ටුවකටවත් මායිම් වී නොතිබුණි. සියලු විවාහයන් සඳහා අත්සන් යෙදුවේ නාමල් රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද සහ ඉන්දීය නළු අසින්ත් විසිනි.

නාමල් රාජපක්ෂ යනු අවිවාහකයෙකි. සාමාන්‍යයෙන් මෙරට ඕනෑම ජන සමාජයක් තුළ විවාහයක දී අවිවාහකයින් සාක්ෂිකරුවන් ලෙස යොදා ගන්නේ නැත. එල්ටීටීයි සංවිධානයේ සහ ඩග්ලස් දේවානන්ද අතර තිබු සතුරු ස්වරූපය ගැන ද අමුතුවෙන් ලිවිය යුතු නැත.

ඒ එක් සිදුවීමක් පමණි

දැන් නැවතත් ලිපියෙහි ආරම්භය සමග එක්වෙමු. පසුගියදා පුනුරුත්තාපනය කළා යැයි කියන එල්ටීටීයි සමාජිකයින් පිරිසක් මහියංගනයට රැගෙන විත් තිබුණි. ඒ මේ මොහොතේදී දෙමළ ජනතාවට සිදුවූ අසාධාරණය පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ සිදුවන සොයාබැලීම්වලට උත්තර දෙන්නටය. ඒ වෙනුවෙන් සත්‍යග්‍රහයක් සංවිධානය කර තිබිණි. ඔවුන් හඬගා දිය යුතු උත්තරය කිසිදු අසාධරණයක් සිදු වුයේ නැත යන්නයි. තවත් පැහැදිලිව කියන්නේනම් යුධ අපරාධ කිසිවක් සිදුවුයේ නැත යන්නයි.

ඒ වෙනුවෙන් ඔවුන්ට ලා නිල් පැහිති ටී ෂර්ට් ද හිමිවී තිබුණි. සත්‍යග්‍රහය සඳහා මහියංඟන වෙහෙරට ආපසු ඕලු මල් ද ලබාදී තිබුණි. සැබවින්ම අපුරූය. තමන්ගේ නොවන ආගමික ස්ථානයකට පැමිණ, දුන් මල් කියු ලෙසින්ම පූජා කර නොතේරෙන භාෂාවකට අනුව දෙඅත් පටලවාගෙන වැඳගෙන සිටීමට සිදුවීම පුනුරුත්තාපනයේම අයිශ්චර්යයකි.

ඉනික්බිතිව ඔවුන්ව දඹානේ ආදිවාසීන්ගේ ගම්මානට රැගෙනවිත් තිබුණි. වැද්දන් යනු ආදී වාසීන් හඳුන්වන අනෙක් නමයි. සැබවින්ම ලංකාවේ වැද්දන් සිටියේ මීට දශක පහ හයකට පමණ පෙරය. දැන් ඉන්නේ වෙළෙන්ඳන්ය.

උං මොකක් හෝ ඇටකටු කැබැල්ලක් ඇත් දළ මුදු පොජ්ජක්යැයි කියා බලන්න එන උංට විකුණයි. මී පැණි පොජ්ජක්යැයි කියා කටේ තියන්නට බැරි පැණියක් විකුණයි. මේ කිසිවක් නැතිනම් රැහැයියන් හෝ අල්ලා විකුනන්ට හදයි. සියල්ල නොහැකි වූ තැන අතපාන්නට හෝ පසුබට නොවෙයි.

එවන් වූ ව්‍යාජ වැද්දන් පිරිසක් සමග පුනුරුත්තාපනය වුවායැයි කියන එල්ටීටී සාමාජිකයන් පැය කිපයක් ගත කර තිබිණි.

එහිදී එල්ටීටීයි සමාජිකයින්ට වැද්දන් පිනවීම සඳහා ගැයීමටත් වැයීමටත් සිදුව ඇත. ඒ හෙළ ජාතික අභිමානේ… ගීයයි.

ඉදින් ඔවුන් තමාට නුහුරු භාෂාවකින් සිංහල ජාතියේ අභිමානය ගැනත්, ඔවුන්ගේ දිනු දේශය පිළිබවත්, ඔවුන්ගේ නිජ භූමි තලේ ගැනත් ගැයුහ.

ව්‍යාජ වැදි නළුවන් මෙන්ම මේ රටේ සියලුම ව්‍යාජ සිංහල දේශප්‍රේමි නළුවන් රූපවාහිනියෙන් විකාශය වූ ඒ ගීයේන් මන්මත් වූවට කිසිඳු සැකයක් නැත. අහිකුණ්ඨක මිනිසුන් විසින් රිලවුන් නටවන විට, වටේ බලා සිටින උන් මෙන් ඔවුන් ද චූුන් වන්නට ඇත.

එල්ටීටීයි සාමාජිකයින් එසේ වැදි නළුවන් සහ දේශප්‍රේමි නළුවන් පිනවන විට, උතුරේ ඔවුන්ගේ භූමි ප්‍රදේශයන් තුළ සිදුවන්නේ කුමක්ද?

උතුරේ සියලු භූමි ප්‍රදේශ තුළ පවතින මිල්ටරි ආධිපත්‍ය එන්න එන්නම ප්‍රසාරණය වෙයි. ඒ උතුරේ වෙසෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙනි. නමුත් යාපනය දිස්ත්‍රික් වෛද්‍යවරයා පවසන පරිදි යුද්ධය නිමාවී ගෙවුණු 2010 වසර තුළ යාපනයේ සිදුවු ලිංගික අපචාර ප්‍රමාණය 102කි. 2011 වසරේ 182කි. 2012 වසරේ ගෙවුණු මාස දෙක තුළ එහි ප්‍රමාණය 32කි. ඒ උතුරේ ජනතාවට ආරක්ෂාව ලැබෙන හැටිය. මීට අමතරව අතුරුදහන්වීම් පිළිබඳ ලැබෙන වාර්තා ද නිමක් නැත. ඉඩම් ගැටලු අහස උසටය. එවන් වපසරියක් තුළ බලය බෙදීමේ විසඳුමක් යනු තවදුරටත් සිහිනයක් නොව විහිළුවකි.

දෛවය විසින් එල්ටීටීයි සාමාජිකයින් දැන් ඒ විහිළුවෙහි විහිළුකාරයින් බවට පත්කර ඇත. දකුණේ සිංහල ජනයාට ඇති පදම් සිනහ සෙන්නට අවශ්‍ය විහිළු ඉදිරියේදී ඒ යාන්ත්‍රණය තුළ නිර්මාණය වනු ඇත.

දේශප්‍රේමයෙන් අභිමානයෙන් උමතු වූ දකුණේ රජය හා ජනතාව තුළ තෙතමනයක් නොමැති හෙයින් උතුරේ සියලු බිම් මොහොතින් මොහොත ගිණියම් වෙයි. තවදුරටත් එසේ ගිනියම් වීමට ඉඩ හල හොත් නුදුරු දිනකදී නැවතත් මහා විශලා ගිණිජාලා ලක් පොළව පුරා පැතිරීයනු ඇත.

එළෙසින් නැවතත් ගිනිජාලා පැතිර ගියහොත් අද දවසේදී හිටපු එල්ටීටීයි සාමාජිකයින් ලවා හෙළ ජාතික අභිමානේ කියවමින් දකුණේ දේශප්‍රේමීන් ගන්නා වින්දනයෙහි වන්දිය, මෙරට සියලු ජනතාවටම ගෙවීමට සිදුවනු ඇත.

ළහිරු සමරසිංහ[Lahiru Samarasinghe]