සිංහල, Colombo, Corruption, Democracy, Development, Economy, Economic issues, Governance, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Poverty, Reconciliation

අපි නොදන්න හෘද සාක්ෂිය

MR G Photo courtesy First Post

නීතිඥයෙකු වශයෙන් අධිකරණයේ ගෞරවය කෙරෙහිත්, රටේ නායකයා වශයෙන් නීතියේ ආධිපත්‍යය කෙරෙහිත්, සිය හෘද සාක්ෂියට තමා වගකිව යුතු බව ජනාධිපතිවරයා කියා තිබේ. දෝෂාභියෝග තීන්දුව නැවත විමර්ශනය කළ යුතු බව ඔහු කියන්නේ ඒ හෙයිනි.

රාජ්‍ය නායකයෙකුගේ පපුවේ උණුසුම සෙවිය යුත්තේ ඔහු පවසන වචනයෙන් නොව, ඔහුගේ ක‍්‍රියාවෙන් බව අමුතුවෙන් කිව යුතු නැත. ඊළඟට, සාමාන්‍ය කෙනෙකුගේ මෙන් නොව, රාජ්‍ය නායකයෙකුගේ පපුවේ උණුසුමක් ගැන කතා කරන විට එයින් අදහස් වන්නේ, රටක් සහ රටක ජනතාවක් කෙරෙහි ඔහු තුළ ඇති කැක්කුමක් මිස, සිය පවුල හෝ හිතවතුන් ගැන ඇති ලෙන්ගතුකමක් නොවන බවත් මතක තබාගත යුතුය.

එවැනි රාජ්‍ය නායකයන් දෙදෙනෙකු ගැන මෑත කාලීන තොරතුරු තිබේ. එක් කෙනෙක් මේ මෑතක දී ලංකාවේ ජන මාධ්‍ය තුළ බෙහෙවින් කතාබහට ලක්වු උරුගුවේ ජනාධිපති හෝසේ මුජිකා ය. ඔහු ගැන විස්තර තවමත් අපේ මතකයේ ඇති බැවින්, ඊට කලකට පෙර, අප‍්‍රිකාවේ සිටි වෙනත් රාජ්‍ය නායකයෙකු ගැන පමණක් මෙහි සඳහන් කරමි. ඔහුගේ නම තෝමස් සංකාර ය. එකල උත්තර වෝල්ටාව නම් වූ, අද බුර්කිනා ෆාසෝ නමින් හැඳින්වෙන රටේ ජනාධිපතිවරයා ඔහු විය. පාර අතුගාන සේවකයා ගන්නා වැටුපම පාර හදන ඉංජිනේරුවාත් ලැබිය යුතු යැයි කියන නිසරු කතා අපි අසා ඇත්තෙමු. මොහු බලයට පත්වීමට පෙර එවැන්නක් කියා නැතත්, බලයට පත්වූ පසු ඊට ආසන්න තත්ත්වයකට ඔහු ගියේය. ඔහු ජනාධිපති වශයෙන් ලැබූ වැටුප, එරටේ පහළ ශ්‍රේණියේ ලිපිකරුවෙකු ලැබූ වැටුප යි. අවුරුදු 4 ක් ඇවෑමෙන් සී.අයි.ඒ. සංවිධානයෙන් ඔහුව ඝාතනය කෙරුණි. ඒ අවස්ථාවේ ඔහුගේ බැංකු ගිනුමේ තිබුණේ ඩොලර් සියයකට අඩු මුදලකි. වෙනත් වත්කම් කිසිවක් තිබුණේ නැත.

නූතන ලෝකයේ ආර්ථික සංවර්ධනය කෙරෙහි එවැනි හුදෙකලා පුද්ගල ප‍්‍රතිපත්තියක් කොතෙක් දුරට ප‍්‍රායෝගික ද යන්න විවාදාත්මක විය හැකි වෙතත්, නායකයෙකුගේ විශිෂ්ට ආදර්ශයක් වශයෙන් ඔහුගේ චර්යාව උත්තම ගනයේ ලා සැලකිය යුතුව ඇත්තේ, අපේ නායකයන් වෙතින් අපට හැමදාමත් සැපයෙන්නේ ඒ ආදර්ශයේ ඉඳුරා ප‍්‍රතිපක්ෂය පමණක්ම වන බැවිනි. එහෙව් රටක නායකයෙකු, අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් පපුව උණුවෙන කතාවක් කී විට එම කතාව අදාළ සන්දර්භයේ ස්ථානගත කළ යුත්තේ එබැවිනි.

වෙන කිසිම හේතුවක් නිසා නොව, ‘මහින්ද’ යන තම නාමය වෙනුවෙන් පමණක්, රටේ ධනස්කන්ධය නාස්ති කරන ‘මිහින් ලංකා’ නම් වූ ගුවන් සේවාවක් අපට තිබේ. එහි මුල් පුටුවේ වාඩි කරවා ඇත්තේ ජනාධිපතිවරයාගේ මස්සිනා ය. මිහින් ගුවන් සේවයේ පාඩුව, 2007/2008 දී රුපියල් මිලියන 3356 කි. 2008/2009 දී රුපියල් මිලියන 4657 කි. 2009/2010 දී රුපියල් මිලියන 5722 කි. රටේ ජාතික ගුවන් සේවාව වන ‘ශ‍්‍රී ලංකන්’ ගුවන් සේවාවේ ප‍්‍රධානියාත් ඒ මස්සිනාමයි. 2010/2011 දී රුපියල් මිලියන 176 ක්ව තිබූ එහි පාඩුව, 2011/2012 වන විට රුපියල් මිලියන 17,000 ද ඉක්මැවීය. කරුණු එසේ තිබිය දී, මේ ආයතන දෙකින් මසකට රුපියල් දසලක්ෂයක දීමනාවක් අපේ සල්ලිවලින් මේ මස්සිනාට ගෙවයි. රටක සම්පත් නාස්තිය සහ විසම බෙදී යාම පිළිබඳ මෙවැනි නිදසුන් පෙන්වා දී ඇති කෝප් වාර්තා දෙකක් ජනාධිපතිවරයාගේ අල්මාරියේ ගුල්ලන්ගේ පරිභෝජනය සඳහා පමණක් අද වෙන් කොට තැබීමෙන් පෙන්නුම් කරන්නේ, රටක් වෙනුවෙන් සහ ජනතාවක් වෙනුවෙන් උණුවෙන හදවතක එක පැත්තකි.

ගිය සති අන්තයේ කොළඹ නගරයේ කාර් රේස් පැවැත්වුණි. මේ සුපිරි විනෝදාංශයේ අනුග‍්‍රාහකයා වන්නේ, ජනාධිපති පුත් නාමල් රාජපක්ෂගේ කාර්ල්ටන් ක‍්‍රීඩා සමාජයයි. පරිප්පු රාත්තලේ සිට පොදු ජනයාගේ පොකට් එකට විද්ද පසු ගිය අයවැයෙන් මේ සුපිරි කාර් සඳහා වන බද්ද නිදහස් කෙරුණි. ඒ මගින් රටට ලැබිය යුතුව තිබුණු මුත් ඒ වෙනුවට කාර්ල්ටන් ක‍්‍රීඩා සමාජය වෙත හරවා යවන ලද බදු වරදානය රුපියල් මිලියන 200 කට අධික බව අද හෙළි වී තිබේ.

මේ සඳහන් කෙළේ, තමාගේ සහ පවුලේ සාමාජිකයන්ගේ අවශ්‍යතා ඉදිරියේ රටේ ජනතාව කෙරෙහි ඇති අපේ ජනාධිපතිවරයාගේ තැකීම සහ කැක්කුම පෙන්නුම් කරන රාශියක් සිදුවීම් අතරින් දෙකක් පමණි. දැන්, අර තෝමස් සංකාරගේ නිදර්ශනය වෙත අප නැවත යන්නේ නම්, ඔහු බලයේ සිටි අවුරුදු 4 තිස්සේම, ඔහුගේ මව ගමේ පොළේ එළවළු වෙළඳාමේ එක දිගටම යෙදී සිටි බව මතක් කර ගැනීම වටී.

පවුලේ අයවළුන්ට අමතරව ජනාධිපතිවරයාගේ හදවත එහෙයියන් කෙරෙහි ද උණුවෙයි.

රජයේ ඇමතිවරයෙකුගේ බිරිඳක් ද්විත්ව මිනිමැරුමකට වැරදිකාරිය වී මරණ දඩුවමට (පසුව ජීවිතාන්තය දක්වා වන සිර දඩුවමට) නියම වූවාය. ජනාධිපතිවරයා ඇයව නිදහස් කොට ගෙදර යැව්වේය. අනියම් බිරිය ඝාතනය කිරීමේ වරදට රත්නපුරේ සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ ජීවිතාන්තය දක්වා හිරේට ගියේය. ජනාධිපතිවරයා ඔහුව නිදහස් කොට ගෙදර ඇරියේය. මිනිමැරුමක් සම්බන්ධයෙන් හිටපු මන්ත‍්‍රීවරයෙකුට එරෙහිව උසාවිය ඉදිරියේ නඩුවක් පැවැත්වුණි. ජනාධිපතිවරයා කෙළේ නීතිපතිවරයා ලවා නඩුවේ චෝදනා ප‍්‍රතිශෝධනය කොට නඩුව ඉල්ලා අස්කර ගැනීමෙන් තමාගේ පාක්ෂිකයාව ගෙදර යැවීමයි. තායිවානයේ වැඩමුළුවකට සහභාගී වන බව පවසා බිරිඳ සමග රජයේ වියදමින් සිංගප්පූරුවේ කරක්ගැසීමෙන් මහජන මුදල් අපහරණය කිරීම ගැන මහනුවර හිටපු නගරාධිපති දිස්ත‍්‍රික් අධිකරණයෙන් සහ අභියාචනාධිකරණයෙන් වැරදිකරු විය. ජනාධිපතිවරයා ඔහුට ද සමාව දී ගෙදර ඇරියේය.

අගවිනිසුරුවරියගේ සැමියා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති වශයෙන් සිටිය දී, තවත් ඉහළ උපදෙස් මත, ‘‘ද ෆිනෑන්ස්’’ සමාගමේ ව්‍යාපාර කොටස් අයථා අන්දමින් මිළ දී ගැනීමට තැත් කෙළේය. එය සාර්ථක විණි නම්, මේ රටේ ජනතාවට සිදුවිය හැකිව තිබූ අලාභය රුපියල් මිලියන 390 කි. මෙය, ඉහත සඳහන් කළ සම්පත් නාස්ති ලේඛනයේ පහළම අගයක් ගත්ත ද, ඔහුට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක විය යුතු බවට කිසිවෙකු විරුද්ධ නැත. එහෙත් එය ජනාධිපතිවරයාගේ පපුවේ උණුසුම හෝ කෝපය මත ක‍්‍රියාත්මක වන නීතියක් නොවිය යුතුය. දැන්, අගවිනිසුරුවරියට ලැබුණු විදේශ මුදල් ප‍්‍රමාණයක් ගැන අල්ලස් කොමිසමෙන් වෙනම පරීක්ෂණ පැවැත්වෙයි. එහෙත්, මීට මාස කිහිපයකට පෙර, ජනාධිපතිවරයාගේ ඉහත සඳහන් මස්සිනා සතුව තිබූ බවට (තවත් හොරෙකුගේ හොරකමක් නිසා) ඔප්පු වූ ඩොලර් සහ ස්ටර්ලින් පවුම් දහස් ගණනක් මේ රටට හොරෙන් ගෙනාවේ කෙසේ ද යන්න පිළිබඳ මේ කියන නීතිය හෝ අල්ලස් කොමිසම ක‍්‍රියාත්මක වුණේ නැත.

ගිය සතියේ අපේ පෙට‍්‍රල් නැවත නැග්ගේය. ඊට සති දෙකකට පෙර, ඩොලර් මිලියන 60 ක්, (එනම් රුපියල් මිලියන 7800 ක්) අදාල පොලිය ද සහිතව කුප‍්‍රකට හෙජින් ගනුදෙනුව වෙනුවෙන් ලංකාණ්ඩුව විසින් ඩොයිෂ් බැංකුවට ගෙවිය යුතු බවට විදේශ අධිකරණයක් තීන්දු කෙළේය. ඊට පෙර ස්ටැන්ඩර්ඞ් චාර්ටඞ් බැංකුවට තවත් ඩොලර් මිලියන 160 ක් (එනම් රුපියල් මිලියන 20,000 ක්) එම හෙජින් ගනුදෙනුව වෙනුවෙන්ම ලංකා ආණ්ඩුව ගෙවිය යුතු බවට තවත් විදේශ අධිකරණයක් නියෝග කෙළේය. මේ සමස්ත ගනුදෙනුවේ නිර්මාපකයා, අපොස උසස් පෙළවත් සමත් නැති, ශ‍්‍රී ලංකා තෙල් සංස්ථාවේ මුල් පුටුව හෙබැවූ පුද්ගලයා ය. ඔහු නීතිය ඉදිරියේ නැත.

ග‍්‍රීසිය හිඟමනට වැටී ඇති බව කවුරුත් දනිති. එසේ තිබිය දී, එරටේ ගරාවැටෙන සුරැකුම්පත් මිළදී ගැනීමේ හිතුවක්කාර ඔට්ටුවට ගිය අපේ මහ බැංකුව ඩොලර් මිලියන 15.5 ක, (එනම් රුපියල් මිලියන 2000 ක) පාඩුවක් රටට හිමිකර දුන්නේය. මහ බැංකු අධිපතිවරයා ද අද නීතිය ඉදිරියේ නැත.

දැන් නැවතත් තෝමස් සංකාර වෙතට. ඔහුගේ පෞද්ගලික බැංකු ගිණුමේ පැවති හිඟයක්, අදාළ බැංකු කළමනාකරු රටේ ජනාධිපතිවරයා කෙරෙහි වන ගෞරවය නිසා කටුගා දැම්මේය. එය දැනගත් දවසේම තෝමස් සංකාර කෙළේ අර කළමනාකාරවරයාගේ වැඩ තහනම් කොට ගෙදර යැවීමයි.

අපට එවැනි මුනිවරු නැත. ඇත්තේ රාජපක්ෂවරු ය. එනිසා හෘද සාක්ෂිය වෙනුවට නීතිය තිබුණොත් හොඳටම ප‍්‍රමාණවත් ය.

Gamine Viyangodaගාමිණී වියන්ගොඩ[Gamini Viyangoda]