කවුරු කෙසේ නිර්වචන කළ ද, ඒ ජනඝාතක යුද්ධය, දහස් ගණනක් මිනිසුන්ගේ මළමිනී, වේදනාවන් මතින් මිලිටරි ලෙස අවසන්ව මැයි 18ට, වසර 10ක් පිරෙමින් තිබේ. නමුත් යුද්ධය විසින් ඉතිරි කළ අයුක්තිය, අසාධාරණය, අහිමිවීම්, අහිමිකිරීම් වැනි බොහෝ දේවල් තවමත් මේ දූපතේ අදටත් ඉතිරිව ඇත්තේ කරකියා ගන්නට කිසිවක් නැතිවය.

ඒ ‘මැයි මස ම’ මුස්ලිම් අන්තවාදීගේ රුදුරු ප්‍රහාරයෙන් 250කට අධික පිරිසක් ඝාතනය වී, විශාල පිරිසක් තුවාළ ලැබුවේය. ඒ මැයි මසම ප්‍රදේශ ගණනාවක මුස්ලිම්වරුන්ට අයත් දේපලවලට දැඩි ලෙස හානි කර ගිණිතැබීමට තරම් ‘සිංහල බෞද්ධ’ අන්තවාදීන් ක්‍රියාකර තිබිණි. පසුගිය වසර කිහිපයේ අති කළ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ සෑම තැනකම මෙන් ධර්මචක්‍රය සිය බාහුවේ පැළදි පොලීසිය ඒ දෙස බලා සිටියේ ය. නමුත් මේ මැයි මස ඔවුන් ඒ දෙස බලා සිටියේ හදිසි නීතියක්ද අතැතිවය.

ඒ මැයි මසය.

ඒ මැයි මසම, බුදුන් වහන්සේගේ තෙමගුල සිහිකිරමින් බෞද්ධ කොඩි ඇතුලු වෙසක් සැරසිළිවලින් මාර්ගයන් වසා ගන්නේ මුස්ලිමුවරුන්ගේ දේපළ ගිණි තැබීමෙන් පසු තවමත් අහසට නගින දුම්රොටු වලට යටිනි.

ඒ මැයි මසය.

‘වෛරයෙන් වෛරය නොසන්සිදේ’ යැයි අති උසස් මානව ගුණය ලොවට කියු බුදුන් ගේ තෙමගුල සමරණ ඒ මැයි මසය.

ඒ සියලු ඛේදවාචකයන් අතරතුර, 2009ට මැයි මස 18ට පෙර නිරන්තරයෙන් ඇසුනු, අනෙකාව යටපත් කරන, වෙනස්කොට සලකන කතාවන් යළිත් ඇසෙන්නට පටන් ගෙන තිබේ.

‘ආ… සිංහලද? එහෙනම් යන්න’ ධර්මචක්‍රය භාහුවේ පළදා ගෙන සිටින පොලිස් නිළධාරීන් මෙන්ම, සාමය ආරක්ෂාකරනවා යැයි කියන, ආරක්ෂක නිළධාරීන් විසින්, ජනයා පරීක්ෂා කරන ස්ථානයන් හී දී නැවතත් කියන්නට පටන්ගෙන තිබේ. (එසේම යුද සමයේ මෙන්ම, ඉන් පසුවත් ඇති කළ ප්‍රචණ්ඩත්වයන් හමුවේ අප දැක ඇති පොදු සාධකය නම් ආරක්ෂක අංශ සිංහලකරණය වීමයි. නමුත්, ඒ සදහා ඔවුන්ව මූළිකව මෙහෙය වන්නේ ජාතිවාදී පාලක ශරීරවලිනි. තත්ත්වය මෙසේ තිබියදී ‘විවිධත්වය’ වටිනාකමක් සේ සළකන සමාජයක් අපට බිහිකර ගත හැකිවේද?)

ඒ 2019 මැයි මස දීය. යුද්ධයෙන් වසර 10කට පසුය!!

ඉතිහාසය නැවත වරක් මුණ ගැසෙමින් තිබේ.!!!