ශ්‍රී ලංකාව තුළ සිදුවූ හා බලහත්කාරයෙන් සිදු කරන ලද අතුරුදහන් වීම් සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා, පුරවැසි මාධ්‍ය අවකාශයක් ලෙස ‘විකල්ප වෙබ් අඩවිය’හරහා අපි හඬ නගා  ඇත්තෙමු.ඒ වෙනුවෙන් පෙනී සිටිමින් හා අවශ්‍ය සෑම විටම අතුරුදහන් වුවන් කෙරෙහි, ඔවුන්ගේ සමීපතමයන් කෙරෙහි තවමත් ඉටු නොවී පවතින යුක්තිය ඉටු කිරීමට බල කෙරෙන බොහෝ ක්‍රියාකාරීකත්වයන් සඳහා දායකත්වය දෙමින් සිටිමු.

ඒ වෙනුවෙන් මහාපාරේ විදී දිගේ උගුර ලේ රහ වනතුරු කෑගසන තෙක් අවදි නොවන පාලකයන් සිටින රටක බලාපොරොත්තු බිඳ නොගෙන ඔවුන් සමඟ  හඬ නැඟුවෙමු.

මේ යුද්ධය නිමාවෙන් පසු ගෙවෙන දසවන වසරය. ඒ අනුව මෙවර අගෝස්තු 30 වන දිනට යෙදුණු බලහත්කාරයෙන් අතුරුදහන්කරවීම් හී ගොදුරුබවට පත් වුවන් අනුස්මරණය කිරිමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන්, මනුෂ්‍යත්වයේ නාමයෙන් අතුරුදන් වූ දස දහසක් මිනිසුන්ගේ , ගැහැණුන්ගේ ජිවිත යාතාර්ථයන්, කර්කශ සත්‍යයන් මිනිසුන් හමුවේම සංවාදය පිණිස Vikalpa.org (වෙබ් අඩවිය) විසින් නිපදවන ලද “අප්පා  அப்பா”  සහ “I’m Sure, He will Return” නම් කෙටි වාර්තා චිත්‍රපට ද්විත්වය, “ප්‍රභාතය”  මාධ්‍ය හා කලා සංවිධානයේ සංවිධාන ශක්තියෙන් සහ ආරාධනයෙන් මීගමුව ජනාවබෝධය කේන්ද්‍රයේදී  ප්‍රථම වරට තිරගත විය.

විශේෂත්වය නම් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනකොටස් නියෝජනය කරමින් එම අවස්තාව සඳහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වී සිටීමය. ඒ අතරම දිගින් දිගටම මෙම වැඩසටහන පිලිබඳ බුද්ධි අංශ විසින් විමසීම් කොට තිබු තර, එදින වැඩසටහන සහ චිත්‍රපට ප්‍රදර්ශනය සම්පුර්ණ වශයෙන්ම සිවිල් ඇඳුමෙන් සැරසී සිටි බුද්ධි අංශ නිලධාරින් විසින් වීඩියෝ ගත කරන ලදී.

විශේෂයෙන්ම කෙටි චිත්‍රපට දිවිත්වය ප්‍රදර්ශනයෙන් අනතුරුව මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන සත්‍යවේල් පියතුමාත්, විකල්ප වෙබ් අඩවියේ සංස්කාරක සම්පත් සමරකෝන් මහතාත් අදහස් දක්වන ලද අතර, ඉන් අනතුරුව ඉතා ප්‍රගතිගාමී සාකච්ඡාවක් පැමිණි සිටි මහජනයාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර ඉදිරියේදී කුඩා කණ්ඩායම් හා ප්‍රජාවන්  හා එකතුව, ග්‍රාමීයව මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමේ වැදගත්කමත්, ඒ  සඳහා බොහෝ දෙනෙක් ස්වෙච්ජාවෙන් එම අවස්ථා සංවිධානය කිරීමට තම කැමැත්ත පළ කිරීම එදින ඉදිරිපත් වූ ඉතා වැදගත් යෝජනාවක් ලෙස මෙහිලා සටහන් කරමු.

කෙටි වාර්තා චිත්‍රපට දෙක තේමාත්මකව එකම තලයක දිවෙතත්, සන්දර්භයන් දෙකක් ඔස්සේ ආඛ්‍යානය විහිදෙයි. විශේෂයන් තාක්ෂණික තලයට වැඩි බරක් නොතබා, මෙහිදී අපි වැඩි උත්සහායක් දරා ඇත්තේ,මේ ජිවිත යතාර්තයන් එලෙසම, ඔබට ගෙන එන්නටය. ඔවුන්ගේ ජිවිත වල දිනපතාම ඇත්තේ හැල හැප්පිම්ය. එය රූප රාමු තුළ ද එලෙසම සංකේතාත්මකව මතුවේ. ඒ අනුව “අප්පා அப்பா” සහ ” I’m Sure, He will Return” යනු බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද තමන්ගේ දරුවන් වෙනුවෙන්, වසර ගණනාවක් පුරා ඉටු නොවි පවතින යුක්තිය වෙනුවෙන් වන නොනිත් බලාපොරොත්තුව දරා ජිවත් වෙන දහසක් ජිවිත වල සමීප රූපයක්,ප්‍රේක්ෂකයාට සම්මුඛ කිරීමට ගත් එක් උත්සාහයක් පමණි.

ජෙයකුමාරි බාලේන්ද්‍රන් සිය බාලම පුතණුවන් වන බාලේන්ද්‍රන් මහේන්ද්‍රන් අවසන් වරට දැක ඇත්තේ 2008 වසරේදීය. ඒ එවකට 15 වියැති ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් බලහත්කාරයෙන් යුද්ධය සඳහා බඳවා ගත් මොහොතේය.

යුද්ධයෙන් අනතුරක් නොවී දිවි ගලවාගත් ඔහු 2009 මැයි මාසයේදී මුල්ලිවයික්කාල් ප‍්‍රදේශයේදී ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත භාරව ඇත.එහෙත් ඉන් පසුව ඇයට කිසිදු තොරතුරක් ඔහු ගැන ලැබී නැත. එහෙත්

ඊට පස්සේ මම හිතාගත්තා මගේ පුතා මැරුණා කියලා. ඊට පස්සේ මට ලැබුනා උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවෙන් පල කරපු පොතක්. ඒ පොතේ 41 පිටුවේ මම දැක්කා මගේ පුතාගේ පින්තූරයක්. එයා අඹේපුස්ස හමුදා කඳවුරේ ඉඳලා තියනවා”

“ එදා ඉඳලා, හැම තැනම, දන්නා හැම කෙනෙක්ගෙන්ම මගේ මගේ පුතා ගැන අහලා හොයනවා. මගේ මුළු ලෝකයම මගේ දරුවා. එයාල තමයි මගේ එකම වස්තුව. වෙන කිසි දෙයක් මට නෑ”

යුද්ධයෙන් පසු කලෙක, උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවෙන් කරන ලද පළ කිරීමක, ඡායාරූපයක සිටි සිය පුතු හඳුනා ගන්නට ජෙයකුමාරී සමත්ව ඇත.

ජෙයකුමාරිගේ බාල පුතු රජය විසින් පවත්වාගෙන යන පුනරුත්ථාපන මධ්‍යස්ථානයක, ළමා සොල්දාදුවන් වශයෙන් කටයුතු කළ සෙසු දරුවන් පිරිසක් සමඟ පුනරුත්ථාපනය වෙමින් සිටිනු එම ජයාරූපයේ දැක්වේ.

මම කෝවිලක් කෝවිලක් ගානේ ගිහින් මගේ පුතා වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කරනවා. සාස්තර අහනවා”

“දවසක් වව්නියාවේ ඉන්න පූසාරි කෙනෙක් මට පොඩි පිළිමයක් දීල දීල, කනගාටු වෙන්න එපා, පුතා ජීවත් වෙනවාඑයා ආපහු ගෙදර එයි කියල කිව්වා. එදා ඉඳන් මම දවස ගානේ කන්නලව් කරනවා මගේ පුතා පුතා ගෙදර එනවා කියන සුබාරංචිය මට අහන්න ලැබෙයි කියලා

“I’m Sure, He will return” යනු,  මිනිත්තු    පුරා, වසර 12 යි තත්පර 17 ක් පුරා  තම බාල පුතණුවන් සොයමින් වැළපෙන ඇය ” ඔහු කවදා හෝ යළි එතැයි” යන අපේක්ෂාවේ රූපමය දිගහැරිමකි.

“I’m Sure, He will return” -සම්පුර්ණ වාර්තා ච්ත්‍රපටය Youtube  ඔස්සේ නැරඹීමට

“ මම දන්න හැම තැනටම ලියුම් යැව්වා. කාවවත් මග හැරියේ නෑ. ජනාධිපති මහින්දට, රනිල්ට, මෛත්‍රීට ඔක්කොටම දුන්නා”

“මම ප්‍රේමදාස මහත්තයාගේ පුතා පලෙයි වලට ආ වෙලේ එයාටත් ලියුමක් දුන්නා. රනිල් කච්චේරියට ආව වෙලේ එයාටත් එකක් දුන්නා. මෛත්‍රී ඉස්කෝලෙකට ආපු වෙලාවක දී මම එයාටත් ලියුමක් දුන්නා”

“අප්පා” එසේ කියා නොසැහෙන්නට කඳුළු සැලුවේය. උදයනගර් හි පදිංචි එම්. දේවේන්ද්‍රන් නම් මේ වියපත් තාත්තා තමන්ගේ පාපැදියේ නැගී, තමන්ගේ එකම පිරිමි දරුවා වන රධිෂ්වරන් සොයා ගැනීම වෙනුවෙන් යා හැකි හැම තැනටම ගොස් තිබේ. ලියුම් කඩදහි දුසිම් ගණන් ලියා තිබේ. ඔහුගේ කතාව, මේ මහපොළොවේ පියෙකු දරුවෙකු වෙනුවෙන් දරන මාතෘ ප්‍රේමයම  නොවේදැයි වරෙක සිතේ.

“රජය ගැන කිසිම විශ්වාසයක් නෑ”

එසේ සිතන්නට ඔහුට සාධාරණ අයිතියක් තිබේ.

අතුරුදහන් වුවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලමින් උතුරේ කෙරෙන උපවාසයන් කිසිඳු විසදුමක් නොලබාම දැන් දින 900 ක් පසු කොට තිබේ.

තවමත් නිශ්චිත ගණන් තැබීමක් පවා කළ නොහැකිව පවතින මුත් මෙරට විවිධ කාල වලදී අතුරුදහන් වුවන් වෙනුවෙන් පත් කරන ලද විවිධ කොමිසන් සභා වාර්තා වලට අනුව පුදගලයින් 65,000 කට ආසන්න පිරිසක්  බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ගොදුරුව තිබේ.

එහෙත් මේ එකඳු අතුරුදහන් වීමකට හෝ යුක්තිය ඉටු වී නැත.

මේ අතරින් වැඩිම අතුරුදහන් වීම් ප්‍රමාණයකට ගොදුරුව ඇත්තේ දමිළ පුරවැසියන් වන අතර, ඒවා වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ යුද්ධය අවසාන අදියරේ දී හා පශ්චාත් යුධ සමයේ මුල් වකවානුව තුළදීය.

හැම තැනටම මම පැමිණිලි කරලා තියනවා, කිසිම තැනකින් මට උත්තරයක් ලැබුනේ නෑ. මම දන්නවා මගේ පුතා ජීවතුන් අතර කියලා. මම දන්නවා එයා කවදා හරි මං ගාවට එයි කියලත්. මෙයා මට බනිනවා මම එහෙ මෙහෙ යනවා කියලා. මම කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නෑ. ඒක නිසා මම යනවා හැම තැනටම”

විනාඩි  8 යි තත්පර 57 ක්  පුරා  දිවෙන අප්පාගේ  කතන්දරය, මේ රටේ කිසිදු තාත්තා කෙනෙක්ගේ, අප්පච්චි කෙනෙකුගේ, වාපාගේ කතාන්දරය නොවිය යුතු යැයි අපි දැඩිව විශ්වාස කරමු. ඒ නිසාම අභ්‍යන්තර යුක්තිය වෙනුවෙන් වන පැහැදිලි අභිලාශයකින් හෝ යුක්තිය ඉටු කිරීම සඳහා දැඩි අධිෂ්ඨානයකින් තොරව පත්වන කිසිදු පාලන තන්ත්‍රයකින් මෙම ප්‍රශ්නයට  විසඳුමක් ලැබේද යන්න අද අප නැවත සිතා බැලිය යුතුය.එහෙයින්ම අප මෙවර තොරා ගත්තේ සහකම්පනයේ මගය. එනම් මිනිසුන්ට මිනිසුන් හදවතින් මුණගැසීමේ දේශපාලනය අප තෝරා ගත යුතුව ඇත. එතෙක් දහසක් මව්වරුන්, පියවරුන්, බිරින්දෑවරුන්, සැමියන්,දරුවන්, සහෝදර සහෝදරන් තම ජිවතය දිය කර හරිනු ඇත්තේ මෙසේය……….

“අප්පා  அப்பா ”  –සම්පුර්ණ වාර්තා ච්ත්‍රපටය Youtube  ඔස්සේ නැරඹීමට