Colombo, Featured Articles, Features

ජිනීවා අනා ගැනීම

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්]

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිත පිරිස් අතර කෝපි සමඟ ගැනීමට අලුත් විහිළු කතා ගණනාවක් බිහිවී තිබේ. ඉන් එකක් නම් වැසිකිළියක් ඇරියත් ශ්‍රී ලංකාණ්ඩුවේ දුත පිරිසේ අයෙක් ඉන් මතුවන බවයි. ඒ තරමටම ශ්‍රි ලංකා දූත පිරිසෙන් මානව හිමිකම් කවුන්සිලය පිරි තිබූ අතර අමාත්‍ය සමරසිංහගේ කතාව ඇසීමට පැමිණි එම පිරිස් වෙනත් රටවලට අයත් අසුන්හි පවා වාඩි වී සිටියේ ය. ඔවුන් එම ආසන වලින් පසුව ඉවත් කරන ලදි. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඉතිහාසයෙහි මෙතරම් විශාල දූත පිරිසක් කවර හෝ රටකින් පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වේ. මෙම සැසිවාරය සඳහා ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 100 දෙනෙකුට අතුල්විමේ හැදුනුම්පත් ලබා ගෙන තිබේ.

තවත් එවැනි කතාවක් නම් ශ්‍රී ලංකා ඇමැතිවරුන් විසින් කොතරම් පුවත්පත් සාකච්ජා පවත්වා ඇත්ද යන්න යි. මන්දයත් ශ්‍රී ලංකාවේ පුවත්පත්හි පළ වූ ජිනීවා පුවත් බොහොමයක් ආරම්භ වී තිබුණේ ‛‛අමාත්‍යවරයා ජනමාධ්‍යට කී පරිදි’’ කියා නිසා ය. ඇත්ත වශයෙන්ම නම් එම වාර්තා සියල්ල තේ බොමින් ශ්‍රී ලංකා දූත පිරිස සමඟ පැමිණි ජනමාධ්‍යවේදින්ට පමණක් ඇමැතිවරුන් විසින් කියන ලද කතා මිස පුවත්පත් සාකච්ජා පවත්වා කරන ලද කතා නොවේ. හාස්‍ය ජනක පරිදි ඉන් එක් වාර්තාවක් වූයේ ‛‛අමාත්‍ය ඩග්ලස් ස්විස්ටර්ලන්තයට අභියෝග කරයි’’ කියා ය. එයද තේ කෝප්පයක බොමින් කියන ලද කතාවක් මිස ප්‍රසිද්ධියේ කරන ලද අභියෝගයක් නොවී ය.

ජිනීවා ඉන්ටර් කොන්ටිනන්ටල් හෝටලයේ ශ්‍රී ලංකා දූත පිරිස විසින් කාමර 50 – 90ත් අතර ගණනාවක් වෙන් කර තිබූ බව නිල නොවන ආරංචි මාර්ග දක්වන අතර මෙම දූත පිරිස සඳහා දරන ලද වියදම රුපියල් මිලියන 400ක් යැයි සමහර ජනමාධ්‍ය වාර්තා දක්වයි. එම සංඛ්‍යා ලේඛන නිවැරදි නොවේ නම් නියම ගනන් හිලව් ඉදිරිපත් කිරීම රජයේ වගකීම වේ. රජය මේ තාක් එම පුවතට ප්‍රතිචාරයක් දක්වා නැත. කෙසේ වෙතත් මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය ශ්‍රී ලංකාව පිළිබඳ වැඩිම අවධානයක් දිනා ගත් සැසිවාරය බවට පත්ව තිබේ. ඊට ප්‍රධාන හේතුව වූයේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ඒමට නියමිත යෝජනාවයි. දැවැන්ත දූත පිරිසක් එවීම ඇතුළු විවිධ ක්‍රියාකාරිත්වයන් මගින් ශ්‍රී ලංකාවද ඊට දායක විය.

මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකා දූත පිරිසේ හැසිරීම ද ශ්‍රී ලංකාව තුල අද නිර්මානය වී ඇති අනෙක් මත නොඉවසන සුළු සහ මර්දනකාරී සමාජ දේශපාලන වතාවරණයේ පිළිබිඹුවක් බවට පත් ව තිබේ. සැසි වාරය ආරම්භක දවස්හි ඊට සහභාගි වීමට පැමිණ සිටි දෙමළ නියෝජිත පිරිසක ජායාරුපයක් ශ්‍රී ලාංකික දූත පිරිසේ ජායාරුප ශිල්පියකු විසින් ගැනීම නිසා මහත් ප්‍රශ්ණයක් ඇති විය. ශ්‍රී ලංකා දූත පිරිස, අනවසරයෙන් තමන්ගේ ජායාරුප ගත් බවත් මෙම ජායාරූප පාවිච්චි කිරීම මගින් තමන්ට අනතුරුදායක ප්‍රචාරයන් දියත් කිරීමට ඉඩ ඇති බවටත් එම දෙමළ ජාතික නියෝජිත පිරිස් කවුන්සිලයේ සභාපතිනිය ඇතුළු තවත් දූත මණ්ඩල ගනණාවකටම පැමිණිළි කළහ.

මේ අතර පසුගිය සැප්තැම්බරයේ දී මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට සහභාගි වූ ශ්‍රී ලාංකික මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ජායාරූප සහ වීඩියෝ දර්ශණ යළි යළි පෙන්වමින් රාජ්‍ය ජනමාධ්‍ය විසින් ගෙන යන ලද වෛර සහගත ප්‍රචාරයන් පිළිබඳව කරුණු සහිත වාර්තාවක් ද කවුන්සිලය වෙත ඉදිරිපත් කර තිබුණි.

ඉන් අනතුරුව මාර්තු පළවැනිදා ශ්‍රී ලංකාණ්ඩුව විසින් පවත්වන ලද සමාන්තර රැස්වීමේ දී සහ ඉන් පිටත දී අනවසරයෙන් ජායාරූප ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්ණ මතුවිය. ශ්‍රී ලංකික දූත පිරිසේ ජායාරූප ශිල්පියා මානව හිමිකම් කවුන්සිලයේ ආරක්ෂක අංශ විසින් ඔහුගේ කැමරාවේ ඇති ජායාරූප බැලීම පිණිස ඉවතට කැදවාගෙන ගියේ ය. මේ අතර ශ්‍රී ලංකාණ්ඩුවේ එම රැස්වීමට සහභාගි වූ තමන්ගේ ජායාරූප අනවසරයෙන් ලබා ගත් බවට විදේශික නියෝජිත පිරිස් ද ආරක්ෂක අංශ වෙත පැමිණිළි කර තිබේ.

මෙම තත්ත්වය යටතේ මෙයට පෙර මානව හිමිකම් කවුන්සිලය තුළ ජායාරූප ගැනීම සම්බන්ධයෙන් පැවැති ලිහිල් තත්ත්වය අහෝසි කරමින් නිල ජායාරුප ශිල්පීන්ට පමණක් එම අවසරය ලබෙන පරිදි නීති ක්‍රියාත්මක කරන බව ද සභාපතිනිය දැනුම් දුන්නා ය. දැන් කවර හෝ රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පවත්වන සමාන්තර රැස්වීමක දී වුව සහභාගිවන්නන්ගේ ජායාරූප ගත හැක්කේ නිසි අවසරයකින් පසු පමණ ය.

එමෙන්ම මානව හිමිකම් කවුන්සිලයට සහභාගි වන ශ්‍රී ලාංකික මානව හිමිකම් ආරක්ෂකයින්ගේ සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කවුන්සිලයේ සැළකිල්ල එහි සභාපතිනි ලව්රා ලසාරේ විසින් 05දින ප්‍රකාශයට පත් කළා ය. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සමඟ නිරන්තර ගැටුමක සිටීම පිළිවෙතකර ගෙන ඇති ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රික පිරිස් මානව හිමිකම් ආරක්ෂකයින් පිළිබඳව කළ එම ප්‍රකාශයට පිළිතුරු වශයෙන් සභාපතිනියට තර්ජනාත්මකව කියා සිටියේ ‛‛මානව හිමිකම් ආරක්ෂකයින් වශයෙන් පෙනී සිටින දේශපාලන න්‍යාය පත්‍ර ඇති පුද්ගලයින්ගෙන් ප්‍රවේසම් වන ලෙස යි. එමෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය හුදෙක්ම සභාපතිනියගේ කාර්යාලය සහ ශ්‍රී ලංකාව අතර කවර හෝ සාධනීය අදහස් හුවමාරුවක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් කරන ලද්දක් බවය.’’ අතටම අල්ලා දෙන ලද සිය වරද පවා එය පිළිගත්තේ නැත. මෙම ප්‍රකාශය කළ හිටපු නීතිපති මොහාන් පිරිස් මානව හිමිකම් කවුන්සිලය හමුවෙහි බොරුකීම අතින් නමක් දිනා ගෙන තිබේ. පසුගිය ඔක්තෝබර් මාසයේ දී ජිනීවාහි පවත්වන ලද වධහිංසා විරෝධි කමිටුව ඉදිරියෙහි තෙවසරකට පෙර පැහැර ගන්නා ලද ප්‍රගීත් එක්නැළිගොඩ වෙනත් රටක ජීවත්ව සිටින බවට කළ ප්‍රකාශය ඔහු විසින් තවම තහවුරු කර නැත.

ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයට ගෙන එනු ලබන යෝජනාව සම්බන්ධයෙන් රාජපක්ෂ ආණ්ඩුව ශ්‍රී ලංකාව තුළ දක්වන ලද්දේ ද එවැනිම පිළිවෙතකි. මෙම යෝජනාව පිළිබඳ දැනුවත් සංවාදයක යෙදෙනු වෙනුවට සහ එමගින් මහා ජනයාට නිවැරදි තීරණයකට ඒමට ඉඩ සළසනු වෙනුවට දැවැන්ත උද්ඝෝෂන ව්‍යාපාරයක් අරඹන ලද්දේ ඇමෙරිකානු ආක්‍රමණයකට සූදානම් කිරීමට මෙන්ය. රටුන් හිනස්සන මෙම හාස්‍ය ජනක දේශපාලන ව්‍යාපාරයේ එකම අරමුණ වන්නේ රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතිය තහවුරු කර ගැනීම මිස අනෙකක් නොවේ. මන්ද යත් වත්මන් තත්ත්වය යටතෙහි ඇමෙරිකාවට ශ්‍රී ලංකාවට එරෙහිව යුද ආක්‍රමණයක් දියත් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැති නිසා ය. නමුත් මේ යෝජනාවේ අරමුණ ජනාධිපති රාජපක්ෂ යුද අපරාධ විදුලි පුටුවට ගෙන යෑම යැයි කියා සිටිමින් ඇමැත්තෝ රට පුරා යන්නට පටන් ගත්තේ ජිනිවාහි බල තුලනය ශ්‍රී ලංකාවට අවාසි දායක කරවමිනි. දැන් එම යෝජනාව පරාජය කිරීම පිණිස බෝධි පූජා පැවැත්වීමට පටන් ගෙන තිබේ.

එවැනි දේශපාලන ලාභ ලැබීමේ අරමුණින්ම මෝඩ චූන් දේශපාලන ව්‍යාපෘතිකරුවන් විසින් ඒ කන්දත් අපේ තමයි මේ කන්දත් අපේ තමයි කියන්නා සේ ‛‛ඉන්දියාවත් අපටමයි’’ කියා තප්පුලෑවේ සිංහල ජනයා මන්මත් කිරීමට ය. එම ප්‍රචාරයට එරෙහිව දකුණු ඉන්දියාවෙහි ඇති වූ දේශපාලන රැල්ල ඉන්දියාවට පමණක් නොව අනෙක් රටවලටද බලපාන තරමට බලවත් විය. මහ ඇමැතිනී ජයලලිතා දැන් ලිපි තුනක්ම අගමැති මන් මෝහන් සිං වෙත යවමින් කියා ඇත්තේ ශ්‍රී ලංකාවට පක්ෂව ජන්දය ප්‍රකාශ නොකරන ලෙස ය.

අනෙක් මත නොඉවසන සුළු සහ මර්දන හා තර්ජනකාරී ලෙස විරුද්ධ මතවාදයන්ට මුහුණ දීමේ ශ්‍රි ලංකාණ්ඩුවේ මෙම මානසිකත්වය දැන් ශ්‍රී ලංකාව අන්තර් ජාතික තලයෙහි දුෂ්කර තත්ත්වයකට පත් කර තිබේ. ඇමෙරිකානු එක්සත් ජනපද යෝජනාව ඉදිරිපත් කරන ලද මුල් අවස්ථාවෙහි ශ්‍රී ලංකාණ්ඩුව සතුව කවර හෝ දුර දක්නා නුවණක් තිබුනේ නම් එය විසින් කළ යුතුව තිබුණේ සාකච්ජාවේ සහ සම්මුතියේ පිළිවෙත මගින් එයට මුහුණ දීම ය. මන්ද යත් මෙම ඇමෙරිකානු යෝජනාව විසින් කිසිසේත්ම යුද අපරාධ හෝ අන්තර් ජාතික පරීක්ෂණයක් ගැන කතා නොකරන නිසා ය. මෙම යෝජනාව පිළිබඳව මෙතරම් ඝෝෂාවක් නගන්නේ නොමැතිව ඊට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මුහුණ දුන්නේ නම් පරාජය වුව ජයග්‍රහණයක් බවට හරවා ගැනීමට ඉඩ තිබුණි. එසේ නමුත් දැන් රාජපක්ෂ ආණ්ඩුව මෙම යෝජනාව කොතරම් අනවශ්‍ය ඉහළකට ඔසවා ඇත්තේ ද යත් එම යෝජනාවට පරාජය වුවහොත් එය දේශපාලන කරළියෙහි මහත් පරාජයක් බවට පත් වනවා ඇත.

මානව හිමිකම් කවුන්සිලයේ දැනට පෙනෙන්නට ඇති බල තුලනය විසින් කියා සිටින්නේ ඇමෙරිකානු යෝජනාව සම්මත වනු ඇති බවයි. යෝජනාවට විරුද්ධව ජන්දය දෙන රටවලට වඩා එයට පක්ෂපාතිව ජන්දය ප්‍රකාශ කරන රටවල් වැඩි බව පෙනෙන්නට තිබේ. වඩා වැදගත් වන්නේ අප්‍රිකානු සහ ලතින් අමෙරිකානු රටවල් මෙම යෝජනාවට පක්ෂව ජන්දය දෙනු ඇතැයි වාර්තා වීමයි.

ජිනීවාහි ඇමෙරිකානු දූත මණ්ඩලය විසින් බෙදා හරින ලද සහ අයිතම අංක දෙක යටතේ මාර්තු 08 දින සභා ගත කරන ලද යෝජනාවේ දෙවන සංශෝධනය තවදුරටත් ලිහිල් කරන ලද එකකි. 2012 ජූනි මාසයේ පැවැත්වෙන සැසි වාරයේ දී උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරනු ලබන දින වකවානු ඇතුළත් මාර්ග සිතියමක් ශ්‍රී ලංකාණ්ඩුව විසින් ඉදිරිපත් කළ යුතු බවට මුල් කෙටුම්පතෙහි වූ වාක්‍ය දැන් එහි නැත. එමගින් බෙහෝ දුරටම මෙම යෝජනාව සම්බන්ධයෙන් පසු විපරමක් පවත්වා ගැනීමට ඇති අවස්ථා දුර්වල වෙයි.

එසේ තිබියදීත් ශ්‍රී ලංකාව මෙම යෝජනාව සමඟ සටනට එළඹීමට තීරණය කළා ය. මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 49 අතරින් බහුතරයක සහාය දැනට හිමිව ඇත්තේ අන්තර් කලාපීය යෝජනාවක් ලෙස ඉදිරිපත් වනු ඇති ඇමෙරිකානු මුලිකත්වයට ය. ශ්‍රී ලංකාව සටනින් පරදිනු ඇත. එමගින් හෝ රාජපක්ෂ පාලනයට හොඳ සිහිය ලැබේවා යැයි පතමු.

සුනන්ද දේශප්‍රිය[Sunanda Deshapriya]