සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

ජීවන් කුමාරතුංග අයියා නොවීමේ වරද


ලංකාව පිරී ඇති ආශ්චර්යය වී ඇත්තේ මිනිසුන් අතුරුදහන් වීමයි. ඇත්තෙන්ම යමකු අන්ත්‍රස්දහනය වීම ආශ්චර්යයකි. යමකු උන් ගමන් නොපෙනීයාම පුදුම උපදවන දෙයක් බව අමුතුවෙන් කිවය යුතු නැත. දේශප්‍රේමීන්ගේ ලංකාව මේ ආශ්චර්යෙන් සරු කෙන් බිමකි.

දැන් දැන් මේ අතුරුදහන් වීමේ අශ්චර්යය ගැන ලංකාව ලෝකයේ ප්‍රථම තැනට විත් ලෝප්‍රකට වී ඇත. පෙබරවාරි මාසයේ සිට මාර්තු මස අග වනවිට මිනිසුන් 59 දෙනකු මෙසේ එර්දිබලය ලබා තිබේ. එසේ නැතිනම් අපි මේ අතුරුදහන් වීමට මේ දුපතේ දේශප්‍රේමීන්ගේ භාෂාවෙන් ආශ්චර්යය ලෙස හඳුන්වමු. පසුගිය අප්‍රේල් 6 වැනි දින සැදැ සමයේ දිමුතු ආටිගල සහ ප්‍රේම කුමාර ගුණරත්නම් යන දෙදෙනාද මෙසේ ආශ්චර්ය ගත වී තිබේ.

ලංකාවේ දේශප්‍රේමීන්ට අනුව ලංකාව ”බුදුන්ගේ දේශයයි” අපි නම් මෙය හඳුන්වන්නේ ‘කඳුලේ උල්පත’ කියායි. තව සමහරු මෙයට ”මරණයේ භූමිය” කියාද හඳුන්වති.

නමුත් අපි මෙයට කඳුලේ උල්පත ලෙස හඳුන්වන්නේ මෙම දූපතේ 1970 ගණන්වල සිටම උපදින එහි හැදී වැඩෙන දරුවන්ට දුකම මිස සතුටක් හිමිනොවීම, කඳුල මිස හිනාව හිමිනොවීම, හිරගෙය සහ වධය මිස නිදහස හිමි නොවීම, මරණ මිස ජීවිතය හිමි නොවීම නිසාවෙනි. 1971 දී දහස් ගණනක්ද, 87 – 90 දක්වා දස දහස් ගණනක්ද 79 – 2009 දක්වා උතුරුකරයේ ලක්ෂ ගණනක්ද තරුණ ජීවිත විනාශකළ බැවිනි.

රුකියා නැතිකමින්, අනාගතය ගැන සුරක්ෂිත බවක් නැතිකමින්. මුව විවර කිරීමට නිදහසක් නොමැති හෙයින්, දුප්පත්කමින් සහ අගහිඟයෙන් මිදීමට උවමනා හෙයින්. කොටින්ම මේ කඳුලූ දූපතේ ජීවිතය කාලකන්නිකමින් පිරී ඇති හෙයින්, එයින් මිදීමට රට හැර ගිය ලක්ෂ ගණනක් ජනයා ලෝකයේ විවිධ රටවල බැලමෙහෙවර කරමින් කඹුරන්නන් බවට පත් වීමේ ඉරණමට ගොදුරු වී ඇති බැවිනි.

මැදපෙරදිග, කොරියාව, ජපානය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව. යුරෝපය, ඇමරිකාව පමණක් නොව සමහර අප්‍රිකානු රටවලටද ලාංකිකයා ඉසුරු සොයා ගොස් අත. (මා මේ ලියන්නේ අධිරාජ්‍යවාදීන්ගේ ඩොලර්වලට ගිජුව රටින් පැන ඇති මා වැනි දේශද්‍රෝහීන් ටික දෙනා ගැන නොවේ) ලෝ පුරා ඉසුරු සොයා කඹුරන අතරම සිංහකොඩිය ලෙළවමින් ලෝකයට එරෙහිව වහසිබන් දොඩන දේශප්‍රේමීන් ගැනමය. (සිංහ හඬ යයි සිතාගෙන හිවල් හඬ පතුරන) ඉතින් මේ ලංකා දූපත දේශප්‍රේමීන්ගේ “පිංබිම” අපේ “කඳුළු දූපත” ගැන දැනට දසක තුනකට ඉහත මගේ ආදරණීය මිතුරුකු වූ විශාරද ගුණදාස කපුගේ සහ විශාරද මාලනී බුලත්සිංහල ගායනා කළ හැටි බලන්න. එය අද ලංකාවට කොතරම් ගැලපෙනවාද?

වියලී ගිය දෙතනේ නැත කිරි බිඳුවක් එරුනේ
වැහැරීගිය උකුලේ නැත සුවයහනක් තැනුනේ
ලොව පවතින තුරු නොනිමෙන සුසුමින් සමු ගැනුනේ
හිරු ගිලිගෙන මොහොතක නුඹ මහ අයිනක රැඳුනේ

උපන් බිමට නුඹ වැඩිවා මිසක දුවේ
වැදූ මවට නුඹ වැඩියක් වේද දුවේ
දුක උහුලා ඉන්නට මට හැකිය දුවේ
නැව් නැගිලා දුරු රටකට යන්න දුවේ.

පෙර කල මහ පින් මහිමෙනි මේ දෙස උපදින්නේ
ඉපදෙනු මිස රැඳනා පින ඇයි නුඹ සතු නොවූනේ
දරුවන් ඇස කඳුලින් ලය හුණුවන මිනිසුන්නේ
සරනින් ලොව කොතැනක හෝ සැනසෙන් දියනියනේ

මතු යම් දිනක සිතිවිල්ලෙන් සිටින සඳ
දැතක පහස සිහිනෙන් මෙන් දැනේ විද
සිතියම් පොතින් ලොව විමසා බලන සඳ
කඳුලක හැඩය මහ සයුරේ දකීවිද

ඒ එදා ඒ ප්‍රවීන ගායක යුවළ මේ දූපත ගැන ගැයූ ගීතයකි. අද සහ එදා අතර වසර 30 ක් ගතව ඇත. කාලය මිස වෙන වෙනසක් ඇද්ද?

ඉතින් මා මුලින් කියන්නට ආකරුණට නැවත පිවිසෙමු. මේ දේශප්‍රේමීන්ගේ ආශ්චර්යය වන අතුරුදහන් වීම වෙත හැරෙමු. දේශප්‍රේමීන් පවසන්නෙ මේ ඔවුන්ගේ ”සිංහල බෞද්ධ” රට ලෙසයි. (ගෞතම බුදුන්ගේ දහමට නම් වර්ග, වර්ණ බේද නොමැත. ඒ නිසා මේ ”සිංහල බෞද්ධ” යන්න ගෞතම බුදුන්ගේ දහම නොවන බව මගේ උපකල්පනයයි.)

මිනිසකු හිටිගමන් අතුරුදහන්වීම ආශ්චර්යයක් වුවත් අප වැනි ඉතා පෘතග්ජන මිනිසුන් කැමති එසේ එර්දිනොවී සිටීමටය. අපේ එකකු අතුරුදහන් වූ විට පවුලේ උන් හඬ වැලපෙති. දුක් වෙති. ඒ නිසා අප වැන්නන් කැමති මේ ආශ්චර්යය හසුනොවී සිටීමටය.

මොකද මේ පසුගිය වකවානුවල මෙසේ ආශ්චර්යයට ලක් වූවන් නැවත දැක ගැනීමට නොහැකි වූ බැවිනි. ඔවුන් මේ ආශ්චර්යය නැතිනම් මේ එර්දි බලය හසුව කෙලින්ම දෙව්ලොව ගියා විය යුතුය. නැවත පැමිණි බවක් දැනගැනීමට නොමැත. මෙසේ ආශ්චර්යය ගත වූ අයගේ ඥාති හිතුමිතුරන් ඒ නිසා දුකින් වැලපෙති.

අප දන්නා පරිදි මෙසේ අතුරුදහන් වීමට ගිය අවස්ථා දෙකක් පමණක් වැලකුනි. ඉන් එකවරක් සුදු වෑන් රියකින් (දෙව්ලොව ගෙන යන දිව්‍ය වාහනය) පැමිණ හතරවරම් දෙවිවරු කොලොන්නාව නගර සභාවේ සභාපතිවරයා දෙව්ලොව ගෙනයාමට එසේත් නැතිනම් අන්ත්‍රස්දහනය කිරීමට පැමිණි අවස්ථාවයි. නගරයේ සාමාන්‍ය පෘතග්ජන ජනයාට මේ ආශ්චර්යයන් එතරම් ඔරොත්තු නොදෙන නිසා මේ පැමිණි හතරවරම් දෙවිවරුනට දෙවියන් සිහිවනතුරු නෙලා ඔවුන්ගේ සභාපතිවරයා ගෙනයාමට පැමිණි සුදු වෑන් රථයට (දිව්‍ය වාහනයට) ද පහර දුන්හ. කොලොන්නාව සභාපතිවරයාට එර්දිවීමට තිබූ අවස්ථාවට හරස් වූ මොවුන් දෙවිවරුන්ද කුදලා පොලිස් කූඩු වෙත ගෙන ගොස් බාර දුන්හ. ඒත් ඉතින් දෙවිවරු කුඩු කිරීමට පොලීසිවලට නොහැකි මේ හරතවරම් දෙවිවරුනට ඉහළ දෙවිවරුන්ගේ බලය බලපාන නිසාවෙනි. ඔවුන්ගේ බලයෙන් මේ දෙවිවරු කුඩුවලින් චුත වී තිබුණි.

ඊළඟ අවශ්‍යතාව වන්නේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වූ සාගර සේනාරත්න නැමැත්තාව මෙසේ හතරවරම් දෙවිවරු දිව්‍ය වාහනය තුළට දමාගත් අවස්ථාවේය. වාහනයට නැගුන පසු චුත නොවී සිටීමද ආශ්චර්යයක්මය. ඒ ආශ්චර්යය සිදුවන්නේ මෙම සාගරට හතරවරම් දෙවිවරුනට ඉහළ ‘දෙවිපිහිට’ ලැබූ නිසාවෙනි. මෙසේ ආශ්චර්යයේ ඉරණමට ලක්වී දිව්‍ය වාහනයේ දෙව්ලොවට යමින් සිටි සේනාරත්නගේ රියදුරා වහාම සේනාරත්නගේ සහෝදරයා (මස්සිනා) වන ජීවන් කුමාරතුංග ඇමතිවරයාට මේ ගැන පවසා තිබේ. ඇමතිවරයා වහාම සක්‍රයාට සහ සක්‍රයාගේ මල්ලීට දුරකතන ඇමතුමක් ලබාදී තිබුණි. සාගර සේනාරත්නව දිව්‍ය වාහනයෙන් මහ පොළොව මත දමා ගොස් ඇත. පසුව ඔහු දිවයින පුවත්පතට මෙසේ පැවසීය.

”ජීවන් කුමාරතුංග අයියත්, ජනාධිපතිතුමාත්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් මැදිහත් නොවන්නට තමන් අද ජීවතුන් අතර සිටිනාවාදැයි කිව නොහැකිබව මන්ත්‍රීවරයා දිවයින පුවත් පතට ප්‍රකාශ කළේය.”

ඉතින් ජීවන් අයියාවීම නිසා මොහු ආශ්චර්යයෙන් මිදුනි. නමුත් ලංකාව ආශ්චර්යයන් ගෙන් සමුර්ධිමත් දේශයකි. ඔබ ආශ්චර්යයේ බලයෙන් අන්ත්‍රස්දහනය වීම රටේ වරදක් නම් නොවේය. ඔබේ අයියා ජීවන් කුමාරතුංග නොවීම ඔබ අතුරුදන් වීමට හේතුවයි. ඔහු අයියා නොවීම රටේ වරදක්ද?

ලක්වැසියනට ආශ්චර්යයන්ගෙන් මිදීමට තව තවත් ජීවන් අයියලා බිහිවේවායි පතමු.

ඔබට ජීවන්ලාගේම පිහිටයි!

අලූත්ම තත්ත්වය නම් එම ආශ්චර්ය ගත වීමෙන් මිදීමට අධිරාජ්‍යවාදී රටක බැල්මද උපකාරී විය හැක.

රංජිත් හේනායකආරච්චි[Ranjith Hennayakaarchchi]