සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Peace and reconciliation

‘රදගුරැතුමාට එරෙහිව කතා කරන්න නුඹ කවුද?‘ – මන්නාරමේ විරෝධතාවය

රහස් පොලීසිය විසින් මන්නාරම රායප්පු ජෝශප් රදගුරුතුමා පිළිබඳව විමර්ශන කිරීමට සහ පාර්ලිමේන්තුවේදී, ඇමති රිසාද් බදියුදීන් සිදු කළ ප්‍රකාශයට එරෙහිව මන්නාරම ශාන්ත සෙබස්තියාර් දේවස්ථාන භූමියට රැස් වූ ජනතාව රදගුරුතුමාට සෙත් පැතීමේ වැඩසටහනක් ඊයේ (27) සංවිධානය කර තිබිණ. මෙහිදී මන්නාරම රදගුරුතුමාට සහය දැක්වීම පිණිස යෝජනාවලියක් ද ඉදිරිපත් කර, සම්මත කරගන්නා ලදී.

රායප්පු ජෝශප් පියතුමාව රහස් පොලසීය විසින් විමර්ශනය කිරීමට සහ බදියුදීන් ඇමතිවරයාගේ ප්‍රකාශයට එරෙහිව උද්ඝෝෂණයක් පැවැත්වීමට මීට පෙර සංවිධානය කර තිබුණද, එම උද්ඝෝෂණය තහනම් කරන ලෙස ඉල්ලා මන්නාරම පොලීසිය විසින් අධිකරණයට පෙත්සමක් ගොනු කොට තිබිණ. මෙය විභායට ගත් අධිකරණය උද්ඝෝෂණය තහනම් කරන ලදී. නමුත් පසුව ශාන්ත සෙබස්තියාර් දේවස්ථානයේදී පැවැත්වීමට තීරණය කර ගත් රැස්වීමට පූර්ණ ආරක්ෂාවක් සපයන ලෙස අධිකරණය විසින් පොලීසියට නියෝග කරන ලදී.

ආගමික වතාවත් සමග ඊයේ උදයේ 10ට පමණ ආරම්භ වූ මෙම රැස්වීම දහවල් 1 පමණ වන විට අවසන් විය. නමුත් වැඩසටහන ආරම්භ වී මද වේලාවකින් මෙම ස්ථානයේ විදුලිය විසන්ධි වූ අතර, නැවත විදුලිය යථා තත්ත්වයට පත් වුයේ වැඩසටහන නිමා වූ විටදීය. ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු සහ හිටපු මන්ත්‍රුීවරු, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු දහසකට වැඩි ජනතාවක් මෙම වැඩසටහනට සහභාගී විය. නමුත් ජනතාවට මෙම වැඩසටහනට සහභාගී වීමට හැකි වූයේ, පොලීසිය හා හමුදාව විසින් සිදු කරනු ලැබූ නොයෙක් හිරිහැර සහ බාධා කිරීම් මධ්‍යයේය. මේ සිදු වීම සම්බන්ධයෙන්, මන්නාරමේ එස්. ජෙයබාලන් කෲස් පියතුමා විසින් විකල්ප සමග දැක් වූ අදහස් මෙසේය.


“මන්නාරම සහ වව්නියා දිස්ත්‍රික් ජනතාව වැඩසටහනට සහභාගී වීම සඳහා දින කිහිපයකට පෙර සිටම බස්රථ වෙන්කරලා තිබුණා. නමුත් අවසානයේදී සමහරක් බස්රථ හිමියන් විසින් වැඩසටහනට පැමිණීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා. වැඩසටහනට ජනතාව රැගෙන ගියොත්, ඔවුන්ගේ මාර්ග බලපත්‍රය අවලංගු කරන බවට බස්රථ හිමියන්ට තර්ජනයන් ඇවිත් තිබෙනවා. ප්‍රදේශ දෙකකදි මෙවැනි සිදු වීම් වෙලා තියෙනවා.”


“ඒ වගේම මන්නාරම නගරයට ඇතුළු වන තලෙයි මන්නාරම, මුරුංගන්, නානාට්ටාන් මාර්ග වලදී පොලීසිය සහ හමුදාව විසින් රථවාහන නවත්වා සෝදිසි මෙහෙයුමක්ද සිදු කරලා තිබෙනවා. මෙවැනි සිදු වීම් වුණේ යුද්ධෙ කාලෙදි පමණයි. දැන් යුද්ධයක් නැති තත්ත්වයකදි මෙහෙම සිදු වීම් සිදුවන්නේ ඇයි? මෙහිදී වැඩහටහනට පැමිණෙන රථවාහන ලියාපදිංචි කිරීම් පවා කරලා තියෙනවා. මෙවැනි දේවල් සිදු කළේ අපේ ආරක්ෂාවට කියලා පොලීසිය කියනවා.”

වැඩසටහනට සහභාගී වූ ජනතාව විරෝධතා පාඨ ඇතුළත් දැන්වීම් පුවරු ඔසවා සිටි අතර, ‛ඇමති රිසාද්ගේ දේශපාලන මැරකම් විනාශ වනු ඇත’. අපේ ඉඩම් උදුරා ගන්න එපා’, අපි සත්‍යය ලෝකයට එලි කරන්නෙමු’, සර්වා ආගමික ඒකාබද්ධතාවය විනාශ නොකරනු’, ‛රිසාද් කතා කරන්න ඉගෙන ගන්න’, රදගුරුතුමාට එරෙහිව කතා කරන්න නුඹ කවුද? වැනි විරෝධතා පාඨ එම පුවරු අතර දක්නට ලැබිණ.

ඊයේ ශාන්ත සෙබස්තියාර් දේවස්ථානයේදී ජනතාව අතින් සම්මත වූ යෝජනාවලිය මෙසේය.

මන්නාරම රදගුරු රායප්පු ජෝශප් පියතුමාට සහය පළ කිරීම පිණිස 2012 මැයි 27 වන ඉරිදා උදයේ 10 සිට දහවල් 1 දක්වා ශාන්ත සෙබස්තියාර් දේවස්ථානයේදී සිදුවන වැඩසටහනට සහභාගී වන අප;

01) අවුරුදු ගණනාවක් පුරා යුද්ධයට ගොදුරු වී හානියට පත් හඬක් නොමැති ජනතාවගේ හඬක් ලෙස, දෙමළ ජනතාවගේ දේශපාලන අවශ්‍යතාවය ඉටුකර ගැනීමට සහ දෙමළ ජනතාවට අතීතයේ සිදු වූ සහ වර්තමානයේදී සිදුවන හිරිහැර වලට එරෙහිව හඬ නගන මන්නාරම පියතුමාට ප්‍රණාමය පුදකරන්නෙමු.

02) කාලයක සිට රදගුරුතුමාට විවිධාකර තර්ජන එල්ල වන බැවින්, එතුමාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නෙමු.

03) රදගුරුතුමාට එරෙහිව පුද්ගලයන්, කණ්ඩායම්, ඇමතිවරුන් සහ රජයට පක්ෂ මාධ්‍ය ආයතන මගින් එල්ලවන ව්‍යාජ චෝදනා හෙලා දකින්නෙමු.

04) මෙම වැඩසටහනේ සංවිධායකවරුන් සහ සහභාගීවන්නන්ට තර්ජනය කිරීම සහ අධිකරණ පද්ධතිය මගින් අපගේ සාමකාමී ක්‍රියාවලිය මැඩපැවැත්වීමට පොලීසිය විසින් ගත් උත්සාහය හෙලා දකින්නෙමු.

05) අවසාන වශයෙන්, නොයෙක් බාධා කිරීම් මැද, මෙම අවස්ථාවට සහභාගී වූ ජනතාවට ප්‍රණාමය පළ කරන්නෙමු.