සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna

මුලතිව් අක්කර 4000 ක, මහාපරිමාණ සිංහලීයකරණයක්…[2වන සංස්කරණය]

මුලතිව්, තිරුමුරිගන්ඩි ප්‍රදේශයේ අක්කර 4000ක් පමණ භූමියක් අත්පත් කරගෙන, සිංහල ජනතාව පදිංචි කිරීමක් සිදුකරමින් පවතින බව වාර්තා වේ. තිරුමුරිගන්ඩි ප්‍රදේශයටත්, කොක්කාවිල් ප්‍රදේශයටත් අතරමැද පිහිටි අක්කර 4000ක වනාන්තරයක් විනාශ කර නිවාස 1000ක් ගොඩනැගීමේ ව්‍යාපෘතියක් මේ දිනවල සිදුවෙමින් පවතින බව 2012 ජුනි 02වෙනි දින සුඩර්ඔලි පුවත්පත වාර්තා කරයි.

මෙය ‛යුධ නිවාස ව්‍යාපෘතිය’ යන නාමයෙන් සිදු වන තවත් සිංහලීයකරණයකි.පසු ගිය වසරේ ආරම්භ වූ මෙම නිවාස ව්‍යාපෘතියේ තවමත් වැඩකටයුතු නිමවී නොමැති අතර, යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත්වූවා යැයි පවසන හමුදා සාමාජිකයන්ගේ පවුල්, මෙම නිවාස සංකීර්ණයේ පදිංචි කිරීමට නියමිත බව එහි වැඩිදුරටත් සදහන් වේ.

මෙම නිවාස සංකීර්ණය ගොඩනැගීම සඳහා ගෙන ආ ගොඩනැගිලි ද්‍රව්‍ය තිරුමුරිගන්ඩි- කොක්කාවිල් (ඒ 9) මාර්ගය දෙපස කාලයක් තිස්සේ තැන්පත් කර තිබෙනු දක්නට ලැබිණ. මේ අතර මෙම නිවාස සංකීර්ණයේ වැඩ සඳහා, දකුණෙන් පැමිණි 2000 ට වැඩි ශ්‍රමිකයන් පිරිසක් තිරුමුරිගන්ඩි ප්‍රදේශයේ තාවකාලිකව ලැගුම් ගෙන ඇත.

මෙම ප්‍රදේශයේ අතුරු මාර්ගවලට විදුලිය සහ ජල පහසුකම් ලබා දීම පවා ඉතාමත් ඉක්මණින් සිදුවන බව වාර්තා වන අතර යුද්ධයෙන් හානියට පත් වූවා යැයි පවසන මෙම පවුල් 1000 පදිංචි කිරීමේ කටයුත්ත මේ වන විට ඉතාමත් කඩිනමින් සිදුවෙන නමුත්, අවතැන් වූ තිරුමුරිගන්ඩි ප්‍රදේශවාසීන්ගේ පවුල් 126ක් තවමත් ඔවුන්ට හිමිව තිබූ ප්‍රදේශ වල නැවත පදිංචි කර නොමැත. එයින් පවුල් 46ක් තවමත් සිටින්නේ අවතැන් කඳවුරුවලය. අවතැන් වූ ඉතිරි පවුල් 80 තම ඥාතී නිවෙස්වල විවිධ අර්බුදයන්ට මුහුණ දෙමින් ජීවත් වෙති.

මේ පිළිබඳව අදහස් දැක් වූ දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් මහතා,

“ත්‍රස්තවාදයෙන් ජනතාව මුදා ගන්නවා, නිදහස් කරනවා කියලා දෙමළ ජනතාව සමග යුද්ධ කරපු ආණ්ඩුව, යුද්ධයෙදි ලක්ෂයක් පමණ ජනතාව මරා දැම්මා. යුද්ධයෙන් ඉතිරිවුණු දෙමළ ජනතාව තවමත්, ඥාතීන්ගෙ නිවෙස් වල, අනාථ කඳවුරුවල, පාරවල් වල ජීවත් වෙනවා. නමුත් ඒ අයගේ ඉඩම් උදුරාගෙන ඒ ඉඩම් වල සිංහල අයව පදිංචි කරමින් යනවා.”
“දැන් මුරුගන්ඩි පිල්ලෙයාර් කෝවිල ඉදිරිපිට පවුල් 400කින් යුත්, 1500ක් පමණ දෙමළ ජනතාව, තමන්ට අයිති බිම් අහිමි වී පාරවල් වල ඉන්නවා. ඒ අයගේ ඉඩම් ඇතුළුව, තවත් වනාන්තරයත් එලි කරලා ‛යුධ පවුල්’ නාමයෙන් සිංහල ජනතාව පදිංචි කරවීමක් 2010 සිට ආරම්භ කරලා තියෙනවා. මේ පිළිබඳව දෙමළ ජාතික සංධානයේ නායක සම්බන්ධන් ජනාධිපති සමග කළ සාකච්ඡාවේ ප්‍රතිපලයක් වශයෙන් තාවකාලිකව එම ක්‍රියාව අත්හිටුවලා තිබුණා. නමුත් හමුදා සාමාජිකයන්ගේ පවුල් යන නාමයෙන්, නැවතත් සිංහල පවුල් 1000ක් පදිංචි කිරීම ආරම්භ කරලා තිබෙනවා.”

“උතුරු ප්‍රදේශයේ දෙමළ ජනතාවගේ ප්‍රතිශතය අඩුකරන්න ආණ්ඩුව මේ ආකාරයේ ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවා. උග්‍ර ලෙස යුද්ධය පවතින කාලයේවත් දෙමළ ජනතාව මේ වගේ තත්ත්වයකට මුහුණ දුන්නේ නැහැ. රජයේ මෙවැනි කටයුතු නිසා දෙමළ ජනතාව සියදිවි නසා ගන්නා තත්ත්වයට පත්වෙලා තියෙනවා. අදත් (05) කොක්කුවිල්, කෝණ්ඩාවිල් ප්‍රදේශවල ද්‍රවිඩ ආචාර්යවරුන් දෙදෙනෙක්ගෙ අක්කරයක පමණ ඉඩමක් හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන තියෙනවා.”
“රජයේ මෙවැනි කටයුතු, උතුරු-නැගෙනහිර ප්‍රදේශවල නිරන්තරයෙන් සිදුවෙනවා.”