සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

‘රජය ඒ ගැන උනන්දුවක් දක්වන බවක් මම හිතන්නේ නැහැ’ [ ද,අප්‍රිකානු ‘සංහිඳියා මෙහෙයුම ‘]


ශ්‍රී ලංකාවේ රජයත් දමිළ ජාතික සන්ධානයත් අතර බිඳ වැටී ඇති සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ගත් උත්සාහය සාර්ථක නොවූ බව දකුණු අප්‍රිකානු රජය පවසයි.

රජයේ ආරාධනයෙන් පැමිණි දකුණු අප්‍රිකානු නියෝජිතයන් පිරිසක් ඉකුත් සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක් නිම කළේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ ආර්ථික සංවර්ධනය සඳහා පූර්ණ සහයෝගය සහතික කරමින් බවයි ශ්‍රී ලංකාවේ රජය ප්‍රකාශ කොට තිබුනේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජයේ නියෝජිතයන්ද, ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා ගේ නායකත්වයෙන් යුත් දමිළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ද මුණගැසුණු දකුණු අප්‍රිකානු නියෝජිත පිරිසේ නායක, නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඉබ්‍රහිම් ඉබ්‍රහිම් බීබීසී සංදේශය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ දෙපාර්ශවය අතර සාකච්ඡා සම්බන්ධයෙන් ප්‍රගතියක් ඇති කරන්නට ගත් උත්සාහය සාර්ථකත්වයකින් නිම නොවූ බවයි.

“ආණ්ඩුවේ අදහස නම් තේරීම් කාරක සභාව බහු පාක්ෂික සභාවක් නිසා ද්වි පාර්ශවික සාකච්ඡා කලින් පැවැත්වීම නුසුදුසු බව. කාරක සභාවට විසඳා ගත නොහැකි ගැටළු වේ නම් ඒවා ද්වි පාර්ශවිකව විසඳා ගන්නට ඉඩ තිබෙන බවයි රජයේ මතය,”
දකුණු අප්‍රිකානු ඇමැතිවරයා සඳහන් කළේය.

දකුණු අප්‍රිකානු අත්දැකීම

කෙසේ වෙතත් පක්ෂ දෙක අතර මුලින් එකඟතාවක් ඇති කර ගත යුතුය කියන දමිළ ජාතික සන්ධානයේ අදහස ගැන රජය උනන්දුවක් දක්වන බවක් තමන් හිතන්නේ නැති බවයි ඔහුගේ මතය.

බිඳ වැටුණු සාකච්ඡා ද්වි පාර්ශවීයව නිම කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැමිණීමේ හැකියාවක් ඇති බවයි දමිළ ජාතික සන්ධානය දකුණු අප්‍රිකානු නියෝජිත පිරිසට පවසා ඇත්තේ.

පාලන ව්‍යුහය, මධ්‍යම ආණ්ඩුව හා පළාත් සභා අතර බෙදෙන විෂය කාර්ය මෙන්ම බදු හා මූල්‍ය කටයුතු විමධ්‍ය ගත කිරීම පිලිබඳව දමිළ ජාතික සන්ධානය ඉදිරිපත් කරන ලද යෝජනා මාලාවක් සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය නො ලද තැනේදී යි, ද්වි පාර්ශ්වික සාකච්ඡා ඉකුත් ජනවාරියේදී බිඳ වැටුනේ.

“පක්ෂ දෙක අතර මුලින් එකඟතාවක් ඇති කර ගත යුතුය කියන දමිළ ජාතික සන්ධානයේ අදහස අපට තේරුම් ගන්නට පුළුවන්. එහෙත් රජය ඒ ගැන උනන්දුවක් දක්වන බවක් මම හිතන්නේ නැහැ,”
අමාත්‍ය ඉබ්‍රහිම් ඉබ්‍රහිම් බීබීසී සංදේශය ට පැවසීය.

ඉන්දියාව දන්නේ නැහැ

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුව බලය බෙදා හැරීම මගින් විසඳා ගැනීම වෙනුවෙන් යුද්ධයෙන් පසුව රජය හා දමිළ ජාතික සන්ධානය සමග සාකච්ඡාවේ යෙදී සිටින කලාපීය බලවතායි.

දකුණු අප්‍රිකානු මැදිහත්වීම ඉන්දීය රජයේ දැනුවත් කමින් සිදුවන්නේදැයි දකුණු අප්‍රිකානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඉබ්‍රහිම් ඉබ්‍රහිම් ගෙන් විමසු විට, ඔහු පැවසුවේ එවැනි දැනුවත් කිරීමක් නොවූ බවයි.

දකුණු අප්‍රිකානු රජය ශ්‍රී ලංකාවේ රජය හා දමිළ ජාතික සන්ධානය අතර මැදිහත් කරුවකුගේ හෝ පහසුකම් සලසන්නකුගේ හෝ භූමිකාවක් ඉටු නොකරන බව බීබීසී සංදේශය සමග කියා සිටි දකුණු අප්‍රිකානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය වරයා, තමන් කරන්නේ සංහිඳියාව පිලිබඳ දකුණු අප්‍රිකානු අත්දැකීම බෙදාහදා ගැනීම පමනෙකැයි ද සඳහන් කළේය.

ඉන් පල නෙලා ගැනීමේ වගකීම ශ්‍රී ලාංකිකයන් අත ඇති බවයි ඔහු කියා සිටින්නේ.

“ශ්‍රී ලංකාවට, විශේෂයෙන් ආණ්ඩුවට අපි ප්‍රකාශ කොට තිබෙන දෙයක් තමයි, යුද්ධය ඉවර වූ පසු දේශපාලන විසඳුමක් සදහටම ලබාදීම ආරම්භ කරන්නට ඉඩ ප්‍රස්තාව උදා කරන කවුළුවක් විවර වී තිබෙන බව. ඒ සඳහා දේශපාලන අධිෂ්ටානයක් තියෙනවාද, ඒක කරනවාද නැද්ද කියන එක ශ්‍රී ලාංකිකයන්ගේ වැඩක්.”

උපුටා ගැනීම –චන්දන කීර්ති බන්ඩාර | බීබීසී සිංහල සේවය
[Photo Credit: www.bbc.co.uk]