Colombo, Featured Articles, Features

UPR ශ‍්‍රී ලංකා: බටහිර සහ මානව හිමිකම් සමඟ ගැටුමෙහි ප‍්‍රකාශණයක්

[Image courtesy: Sydney Morning Herald]

පසුගිය 05 වන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙහි අසාමන්‍ය සිදුවීමක් ඇති විය. එදින සවස පැවැති සැසි වාරයේ දී පේරු සහ ශ‍්‍රී ලංකාව සම්බන්ධ මානව හිමිකම් විශ්ව වාරික සමාලෝචන වාර්තා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මුලින් ම සාකච්ජාවට ගැනුනේ පේරු රට පිලිබඳ වාර්තාව යි. එය කිසිදු හාහෝවක් නැතිව කවුන්සිලයෙහි පිළිගැනුනි. ඉන්පසු පැවැතියේ ශ‍්‍රි ලංකාව සම්බන්ධ විශ්ව වාරික සමාලෝචනයෙහි වාර්තාව ඉදිරිපත් කිරීම ය. එනමුත් ඒ වන විටත් සාමාන්‍යයෙන් කල් තබා ලබා දෙන එම වාර්ථාවෙහි පිටපත් ලබා ගැනීමට සමුළු ශාලාව තුළ තිබුනේ නැත. කවුන්සිලයෙහි සාකච්ජා සභාව පැවැත්වෙනු වෙනුවට බොහෝ දෙනෙකු වේදිකාවෙහි රැස්ව උද්යෝගිමත් කතා බහක යෙදෙනු දක්නට ලැබුණි. මෙම කළබගෑනිය අඩ පැයක් පමණ පැවැති අතර ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් පත්කර තිබූ ඉන්දියාව, ස්පාඥය සහ බෙනින් යන රටවල් ත‍්‍රිත්වය ද වෙනම රැස්ව කතා කරනු දක්නට ලැබුණි.

අනතුරුව සභාපතිනි ලූරා දුපි ලසේරා විසින් සභාව ආරම්භ කර ශ‍්‍රී ලංකාව පිළිබඳ වාර්තාව සම්මත කරන ලෙස ප‍්‍රකාශ කල වහාම ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි කතා කරමින් ශ‍්‍රී ලංකාව පිළිබඳ සමාලෝචනය පැවැති නොවැ 01 දින සමුළුවෙහි දී රටවල් විසින් දක්වන ලද අදහස් වාර්තාවෙහි එලෙසින්ම සටහන්ව නැති බවත් ඊට අමතරව අසාමාන්‍ය ලෙස පසු සටහන් යෙදීම මගින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාණ්ඩුවේ මතය ප‍්‍රකාශ කර තිබීම සම්බන්ධයෙන් ප‍්‍රශ්ණ කළා ය. ඒ අදහස් දැක්වීමට සහාය පළ කරමින් ප‍්‍රංශය, බෙල්ජියම සහ ස්විස්ටර්ලන්තය කෙටි අදහස් දැක්වීම් කළෝ ය.

එයට පිළිතුරු වශයෙන් ශ‍්‍රී ලංකාවේ සහායට කියුබාව, චීනය සහ රුසියාව දීර්ඝ වශයෙන් අදහස් දැක්වූ අතර කියුබාව කියා සිටියේ මානව හිමිකම් කවුන්සිලය ශ‍්‍රී ලංකාව පිළිබඳ ගැටුමක් ඇති කිරීමට දරන වෑයම හමුවෙහි සිය රටවලට ගොස් මානව හිමිකම් කවුන්සිලය වෙනුවෙන් වැය කරන මුදල් තමන්ගේ රටවල දුප්පත්කම නැති කිරීමට යොදා ගැනීම වඩා ප‍්‍රයෝජනවත් විය හැකි බවයි. ශ‍්‍රී ලංකාණ්ඩුව වෙනුවෙන් අදහස් දැක් වූ තානාපති රවිනාථ ආරියසිංහ කියා සිටියේ වාර්තාවෙහි එන සියළු වෙනස්කම් කරන ලද්දේ අදාළ රටවල අනුමැතිය ඇතිව බවයි.

මෙම අවස්ථාවෙහි මැදිහත් වූ සභාපතිනි ලූරා ලසේරා කියා සිටියේ ලංකාණ්ඩුව විසින් එක්කර ඇති පසු සටහන් වාර්තාවෙන් ඉවත් කර වෙනම අමුණුමක් ලෙස ඉදිරිපත් කළ යුතු බව ය. එමෙන්ම කවර රටක හෝ මුල් නිර්දේශ වෙනස් කර ඇත්නම් ඒ බව ද සඳහන් කළ යුතු බවට ඇය සිය තීරණය දැනුම් දුන්නා ය.

ඇත්ත වශයෙන් ම නම් මෙම අසාමාන්‍ය අදහස් හුමවාරුව විසින් සංකේතවත් කෙරුණේ මානව හිමිකම් විශ්ව වාරික සමාලෝචනය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව අනුගමනය කළ පිළිවෙත යි. මෙම සමාලෝචනය වාර්තා සකස් කෙරෙන්නේ සම්පූර්ණයෙන්ම අදාළ රටෙහි අනුමැතිය පරිදි ය. සමාලෝචන සැසියෙහි දී ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් ඉහළ නැංවීම පිණිස බොහෝ වැදගත් නිර්දේශ ඉදිරිපත් වූ නමුත් ඉන් වැදගත්ම ඒවා මඟ හැරීමට ශ‍්‍රී ලංකාව ක‍්‍රියා කර තිබුණි. ඊටත් වඩා කැපි පෙනෙන ලක්ෂණය වූයේ බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවලින් ( එනම් යුරෝපීය සංගමය, කැනඩාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය, ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය) ඉදිරිපත් කර තිබූ යෝජනා බහුතරය ප‍්‍රතික්ෂේප කරමින් ඒ වෙනුවට සංවර්ධනය වන රටවලින් ඉදිරිපත් කර තිබූ ප‍්‍රසංශාත්මක නිර්දේශ පිළිගෙන තිබීම ය.

ශ‍්‍රී ලංකාව පිළිගත් නිර්දේශය 110ය අතර බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් ඉදිරිපත් කළ නිර්දේශ ඇත්තේ 15ක් පමණි. එමෙන්ම ශ‍්‍රී ලංකාව ප‍්‍රතික්ෂේප කළ නිර්දේශ 100 අතර 72ක්ම එම රටවල් සමූහයට අයත් ය. ප‍්‍රතික්ෂේප කරන ලද තවත් නිර්දේශ 12ක් අයත් වන්නේ ලතින් ඇමෙරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවලට ය. තවත් පහක් ශ‍්‍රී ලංකාව පිළිබඳ විවේචනාත්මක ස්ථාවරයක් ගත් නැගෙනහිර ටිමෝරයට සහ ටියුනීසියාවට අයත් වෙයි.

විවාදයට බදුන් වු එම වාර්තාවෙහි ඇමෙරිකානු එක්සත් ජනපදය සහ කැනඩාව විසින් ඉදිරිපත් කරන ලද අදහස් කිසිවක් සඳහන් නොවීම කැපී පෙනෙයි. එහි සඳහන් වන්නේ ඇමෙරිකානු එක්සත් ජනපදයේ අදහස් ඔවුන්ගේ වෙබ් අඩවියේ ඇති බව කී බව පමණය. කැනඩාව සම්බන්ධයෙන් සඳහන් වන්නේ කැනඩාව නිර්දේශ ඉදිරිපත් කළේ ය කියා පමණ ය. එසේ වුවද අදහස් දැක්වූ අන් සියළු රටවල් සම්බන්ධයෙන් එම වාර්තාවෙහි දක්වා ඇති ආකල්පය වෙනස් ය. ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ යෝජනා ගෙන ඒමට කටයුතු කළ රටවල් දෙක ඇමෙරිකාව සහ කැනඩාව වීම හැර මෙම විශම සැළකීමට හේතුවක් නැත.

මේ කරුණූ අනුව පෙනී යන්නේ ශ‍්‍රී ලංකාව බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයන් සමඟ ගැටුම්කාරි මාවතින් බැහැර වීමට කල්පනා නොකරන බවයි.

එමෙන්ම ශ‍්‍රී ලංකාණ්ඩුව ඇමෙරිකාව ගෙන ආ සියළු නිර්දේශ ප‍්‍රතික්ෂේප කළේ ය. ඒවා කෙටියෙන් මෙසේ ය: 1. යුද හමුදාව සිවිල් කටයුතු වලින් ඉවත් කිරීම, අතුරුදහන් වූ සහ රඳවා සිටින අයවලූන් ගැන කටයුතු කිරීමට යාන්ත‍්‍රණයන් පිහිටුවීම, මරණ සහතික නිකුත් කිරීම, ඉඩම් ප‍්‍රතිසංස්කරණ, බලය බෙදීම, සහ සමාන්තර හමුදා නිරායුද කිරීම ඇතුළු උගත් පාඩම් කොමිසමේ සාධනීය නිර්දේශ කියාත්මක කරන්න. 2. මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් දුර්විපාක නොලැබීම අහෝසි කොට වගවීම සම්බන්ධ නීතිමය බැදීම් ඉටු කරන්න. 3. නීති ක‍්‍රියාදාමය තුළ ආණ්ඩුවේ මැදිහත්විම් නවතා අධිකරන ස්වාධීනත්වය තහවුරු කරන්න. 4. රාජ්‍ය නොවන සංවිධාන අධීක්ෂනය සිවිල් අධිකාරයකට පවරා ප‍්‍රකාශණයේ නිදහස තහවුරු කරන්න.

ශ‍්‍රී ලංකාව විසින් ප‍්‍රතික්ෂේප කරන ලද තවත් වැදගත් නිර්දේශ කිහිපයක් මෙසේ ය: මානව හිමිකම් ආරක්ෂකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස සහ ඒ සඳහා ජාතික පිළිවෙතක් සකස් කරන ලෙස වූ නෙදර්ලන්ත සහ ඔස්ටි‍්‍රයානු නිර්දේශය, ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධයට අදාළව සිදුව ඇති මානව හිමිකම් කෙලෙසීම් ස්වාධීන සහ කාර්යක්ෂම පරික්ෂනයකට යටත් කරන ලෙස ඕස්ටි‍්‍රයාවනු නිර්දේශය, බලය බෙදීම සම්බන්දයෙන් ආණ්ඩුවේ සර්ව පාක්ෂික සමුළුවේ යෝජනා සාකච්ජාවට ගන්නා ලෙස ස්විස්ටර්ලන්ත නිර්දේශය, අතුරුදහන්වීම් පිළිබද එක්සත් ජාතින්ගේ වැඩ කණ්ඩායමට ආරාධනා කරන ලෙස වූ ප‍්‍රංශ නිර්දේශය, රැඳවියන් පිළිගත් ස්ථානයන්හි පමණක් රඳවා තැබිය හැකි වනසේ ඊට අදාළ ත්‍රස්ත‍වාදය වැළැක්වීමේ පනතෙහි අදාළ වගන්ති අහෝසි කරන සේ වු ප‍්‍රංශ නිර්දේශය.

වඩාත් වැදගත් වන්නේ ශ‍්‍රී ලංකාවෙහි මානව හිමිකම් වැඩි දියුණු කිරීමට අදාළ නීති ප‍්‍රතිසංස්කරණ ඇති කිරීම ඉලක්ක කරගත් සියළු නිර්දේශයන් ශ‍්‍රී ලංකාණ්ඩුව විසින් ප‍්‍රතික්ෂේප කිරීම යි. වධහිංසා පැමිනවීම, අතුරුදහන් කරවීම් යන ශ‍්‍රී ලංකාවෙහි මුල්බැස ගත් මානව විරෝධි ව්‍යසනයන්ට අදාළ එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥාප්තීන්ට අදාළව ඉදිරිපත් කෙරුණූ නිර්දේශ ශ‍්‍රී ලංකාණ්ඩුව පිළිගත්තේ නැත. එපමණක් නොව ස්ත‍්‍රී අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රඥාප්තියේ යම් යම් කොටස් පිළිගැනීම ද එය ප‍්‍රතික්ෂේප කළා ය. මරණ දඩුවම ඉවත් කිරීමේ එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥාප්තියට අත්සන් කිරීම ප‍්‍රතික්ෂේප කල ලංකාණ්ඩුව යුද අපරාධ පිළිබඳ රෝම ප‍්‍රඥාප්තියට අත්සන් කිරීම ද ප‍්‍රතික්ෂේප කළා ය.

මෙම විශ්ව වාරික සමාලෝචනය සැසියෙහි දක්නට ලැබුණූ තවත් වැදගත් කරුණක් වූයේ ඉන්දියානු පසුබැසීම ය. නොවැම්බර් පලමුවැනි දින සැසියෙහිදී ශ‍්‍රී ලංකාවෙ දෙමළ ජනයාගේ මානව හිමිකම් සම්බන්ධයෙන් තද ස්ථාවරයක් ගත් ඉන්දියාව පසුව එම නිර්දේශ අවසන් වාර්තාවෙන් ඉවත් කිරීමට එකඟ වී තිබුනි. එළෙස ඉන්දියාව විසින් ඉවත් කරගත් නිරදේශ අතර උතුරු පළාතෙහි නිර්-යුදකරණය, ඉඩම් අයිතිය, 13වන සංසෝධනය සහ දේහපාලන විසඳුම පිළිබඳ ඒවා විය. මෙම වෙනසට හේතුව පැහැදිළි නැතත් නිරීක්ෂකයින් පවසන්නේ ශ‍්‍රී ලංකාණ්ඩුව විසින් දෙන ලද පොරොන්දු අනුව මෙම පසු බැසීම සිදුවන්නට ඇති බවයි.

ශ‍්‍රී ලංකාණ්ඩුව වෙනුවෙන් කතා කළ අමාත්‍ය සමරසිංහ කියා සිටියේ සිය ස්වෙජ්චා පොරොන්දු දෙසතියක් ඇතුළත ලබා දෙන බවයි. සාමාන්‍යයෙන් ස්වේඡ්චා පොරොන්දු ප‍්‍රධාන සැසිවාරයට පෙර ඉදිරිපත් කැරෙන අතර ශ‍්‍රී ලංකාව මෙවර එවැනි පොරොන්දු කිසිවක් ඉදිරිපත් කළේ නැත. බොහෝ දුරට ඉන්දියානු නිර්දේශය්නට අදාළ පොරොන්දු මේ අතර විය හැකි යැයි විශ්වාශ කෙරේ.

කෙසේ වෙතත් මානව හිමිකම් තත්ත්වය වැඩි දියුණූ කිරීම හෝ යුද්ධකාලින මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් ස්වාධීන සහ පිළිගත හැකි පරීක්ෂණය පැවැත්වීම සම්බන්ධයෙන් හෝ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කිරීමට මෙම මානව හිමිකම් විශ්ව වාරික සමාලෝචනයේ දී ශ‍්‍රී ලංකාණ්ඩුව සමත් වූයේ නැත. සෙක්කුවක් මෙන් එය එකම පාරෙහි ගමන් කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි නියෝජනය වන අන්තර් ජාතික ප‍්‍රජාවෙහි විශ්වාශය දිනා ගැනීමට නම් ශ‍්‍රී ලංකාව උගත් පාඩම් කොමිසමේ සාධනීය නිර්දේශ ක‍්‍රියාත්මක කළ යුතු බව මෙම සැසි වාරයේ දී ද පෙනී ගියේ ය. ඒ සඳහා එතරම් කාලයක් නැත. ශ‍්‍රී ලංකාණ්ඩුව මුහුණ දෙන අමිල පරීක්ෂණය එය යි.

එමෙන්ම මෙම සැසි වාරයෙහි දී ශ‍්‍රී ලංකාව පෙන්නුම් කළ ගැටුම්කාරී ප‍්‍රවිශ්ඨය දිගටම පවත්වා ගෙන යන්නේ නම් ඉන් ශ‍්‍රී ලංකාවට සෙතක් වනු ඇතැයි විශ්වාශ කිරීම උගහට ය.

සුනන්ද දේශප‍්‍රිය[Sunanda Deshapriya]