සිංහල, Democracy, Education, Governance, Human Rights, Human Security, Identity, Jaffna, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Youth

‘රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ‘ උතුරේ ජනයා පීඩාවට පත්කරමින් සිටිනවා‘

Army JDS
‘රාජ්‍ය ත්‍රස්ථවාදයෙන්‘, මේ වන විට උතුරේ ජනයා පීඩාවට පත්කරමින් සිටින බවටත්, විශේෂයෙන් 2012 නොවැම්බර් මස සිට ශ්‍රී ලංකා රජය විසින් උතුරේ ජනයා වෙත මුදා හැර තිබෙන මර්ධනය ඉහල මානයන් කරා එළඹ ඇති බවත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් යාපනය කතෝලික රදගුරැ වසමේ යුක්තිය හා සාමය පිළිබඳ කොමිසම පෙන්වා දෙයි. දෙමළ ජනයා පූර්ණ අපේක්ෂාභංගත්වයට පත්වී ඇති බවත් විශ්ව විද්‍යාල සිසුන් සහ තවත් තරුණයන් රැසක් අත්අඩංගුවට ගැනීම තුළ දෙමළ ජනයා දැඩි කණසස්සල්ට පත්ව ඇති බවත් එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙයි.

මේ එම සම්පූර්ණ වාර්තාවයි

”ත‍්‍රස්ත පාලනය”(The reign of Terror)

‘‘යාපනය කතෝලික රදගුරු වසමේ යුක්තිය හා සාමය පිළිබඳ කොමිසම ”රාජ්‍ය ත‍්‍රස්තවාදයෙන්” තවදුරටත් හිරිහැර විඳිමින් සිටින්නා වූ ශ‍්‍රී ලංකාවේ උතුරේ වසන ජනතාවගේ සත්‍ය තත්ත්වය සාමය හා නිදහසට ආදරය කරන්නා වූ ජනයාගේ අවධානයට යොමු කරන්නට කැමැත්තෙන් සිටී. මෑතක සිට තත්ත්වය වඩාත් නරක අතට හැරී ඇත. 2012 නොවැම්බර් මාසයේ සිට ශී‍්‍ර ලංකා රජය විසින් උතුරේ ජනයා මත මුදා හැර තිබෙන මර්දනීය උපක‍්‍රම සහ හිතුවක්කාර ලෙස විශ්ව විද්‍යාල සිසුන් සහ වෙනත් තරුණයන් අත් අඩංගුවට ගැනීම නව ඉහළ මානයන් කරා එළඹ ඇත.

අප දැඩි වුවමනාවෙන් බලා සිටි කල්පවත්නා සාමය තවමත් මග හැරී තිබෙන බැව් මීට මාස හතරකට පෙර අපි පෙන්වා දුනිමු. රජය ගෙන ඇති ක‍්‍රියා මාර්ග කිසිදු ආකාරයකින් එම සාමය ඇති කිරීමෙහිලා උපකාරී නොවේ. අද වන විට වර්ධනය වී ඇති තත්ත්වයන් නිසා සාම ලැදි ජනයා පූර්ණ අපේක්ෂා භංගත්වයේ අද්දරටම පැමිණ ඇති අතර වත්මන් තත්ත්වය ”ත‍්‍රස්ත පාලනයක්”(a ” reign of Terror) ලෙස හඳුන්වාලීමට අප තුළ කිසිදු පැකිලීමක් නැත.

2012 නොවැම්බරයේදී සිදුවීම් 3 ක් උතුරේ සාමාන්‍ය තත්ත්වය වඩාත් නරක අතට හැර වූ අතර ඒවා අපගේ සහ අපගේ ජනයාගේ සැලකිල්ලට හා කණස්සල්ලට හේතු වී ඇත. ඒවා මෙසේය;

1. නොවැම්බර් අවසන් සතියේ දී හින්දු භක්තිකයෝ තමන්ගේ ආගමීක ස්ථානවල හා නිවෙස්වල පහන් දල්වන්නා වූ විශේෂ උත්සවයක් (විලක්කීදු) පවත්වති. මෙම වසරේදී (2012) මෙම විශේෂ උත්සවය යෙදී තිබුණේ LTTE විරු දිනයේදී ම ය. එබැවින්, වේලාසනින්ම හින්දු බලධාරීන් පොලිසියට මේ ගැන දැනුම් දී ඇති අතර, යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමා(S.P) හින්දු භක්තිකයන්ට පහන් දැල්වීමටත්, තමන්ගේ උත්සව කටයුතු ඒ ආකාරයෙන් පැවැත්වීමටත් අවසර දී තිබුණි. එම සහතිකය කෙරෙහි විශ්වාසය තැබූ හින්දු භක්තිකයෝ පහන් දල්වමින් තම ආගමික උත්සවය පවත්වන්නට කටයුතු කළ නමුත් ආරක්ෂක අංශ ඔවුන්ට ඒවා නොකරන ලෙස අණ කළහ. ඇතැම් ස්ථානවල දී යතුරුපැදිවලින් පැමිණි ”නාඳුනන අය” සමහරෙක්, ජනයාට පහන් නිවා දමන ලෙස අණ කරමින් තර්ජනය කළහ.

2. 2012.11.27 යාපන විශ්ව විද්‍යාල පරිශ‍්‍රය වටා විශාල හමුදා බලඇණියක් යොදා තිබුණි. නොවැම්බර් 27 වන දින LTTE ය පසුගිය 30 වසරක යුද්ධයෙන් මියගියවුන් සිහිපත් කරන දිනය වූ අතර විශ්ව විද්‍යාල සිසුන් ඔවුන් සිහිපත් කරනු පිණිස පහන් දල්වනු ඇතැයි හමුදා අංශ සැක කළහ. එබැවින් එදින සවස විශ්ව විද්‍යාල භූමියට අනවසරයෙන් කඩා වැදුනු හමුදාව සිසුන්ගේ හා සිසුවියන්ගේ නේවාසිකාගාරවලට ඇතුළු වී අවට තිබූ ගෘහ භාණ්ඩ හා අනෙකුත් දේවල්වලට හානි කරමින් මහත් කලබැගෑනියක් ඇති කළහ. කිසිදු ආකාරයකින් මළවුන් සැමරීමක් නොකරන ලෙස ඔවහූ සිසුන්ට තර්ජනය කළහ.

පසුදින, එනම් 2012.11.28 දින, හමුදාව විශ්ව විද්‍යාල පරිශ‍්‍රයට අනවසරයෙන් ඇතුළු වීම හා ඔවුන්ගේ අධිපතිවාදී උද්දච්ච හැසිරීමට එරෙහිව විශ්ව විද්‍යාල සිසුන් විසින් සාමකාමී විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. සිය අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස කප්පාදු කර තිබීමේ සංකේතයක් වශයෙන් ඔවුහූ තම මුඛය කළු රෙදි පටි වලින් ආවරණය කරගෙන විරෝධතා පුවරුද රැගෙන විශ්ව විද්‍යාලයේ එක් ගේට්ටුවකින් නික්ම අනෙක් ගේට්ටුවෙන් ඇතුළුවන පරිදි පාගමනක් සදහා සුදානම් වෙමින් සිටියහ. ඔවුන් සාමකාමී ලෙස පාගමන ආරම්භ කරනවාත් සමගම ඔවුන් වෙත කඩා වැදි හමුදාව සිසුන් ගණනාවකටම තුවාල සිදු කරමින් අදාළ විරෝධතාවය ප‍්‍රචණ්ඩ ලෙස මර්දනය කළහ. ශිෂ්‍යයෝ 20 දෙනෙක් පමණ රෝහල් ගත කරනු ලැබූහ.

මෙම වියවුලේදී ගන්නා ලද ඡායාරූපයක් පසුගිය දා පුවත්පත්වල පළ වූ අතර එය නිරායුද ශිෂ්‍යයන් වෙත එල්ල කරන ලද ප‍්‍රහාරයේ ම්ලේච්ඡත්වය මනාව පිළිබිඹු කරයි. එමගින් පෙන්නුම් කර තුබූ ආකාරයට කළු පටියකින් මුඛය ආවරණය කරගෙන සිටි එක් සිසුවෙක් බිම වැටී සිටියේය. ඇතැම් විට ආරක්ෂාව සඳහා දුවන විට පය පැකිලීමෙන් විය හැක. බිම වැටී සිටි මෙම සිසුවාට පොලූ මුගුරු රැගත් පොලිස් භටයෝ තමන්ගේ සපත්තුවලින් හා මුගුරුවලින් එක්වර පහර දෙමින් සිටියහ.

එම ස්ථානයට පැමිණි මාධ්‍යවේදීන්ටද පහරදීමට ඔවුහූ පසුබට නොවූහ. එම අවස්ථාවේදී එතැනට පැමිණි ප‍්‍රාදේශීය මන්ත‍්‍රී සරවන්බවන් මහතා වඩාත් සංයමයකින් කටයුතු කරන ලෙස ආරක්ෂක අංශවලට පවසන්නට උත්සාහ කළ නමුත් ඔවුහූ එතුමාටද පරුෂ වචනයෙන් බැනවදිමින් බිය ගන්වන්නට කටයුතු කළහ. හමුදාව රැදී සිටි ස්ථානයේ නවතා තිබූ එතුමාගේ මෝටර් රථයේ ඉදිරිපසු වීදුරුවද කුඩුපට්ටම් කර තිබුණි.

3. මෙම කැම්පස් සිද්ධීන් නිසා ඇති වී ඇති තත්ත්වය වඩාත් වියවුල් සහගත වන අතර හාත්පස භීතියේ රැළ්ළක් නිර්මාණය කරමින් සන්ත‍්‍රාසය ජනිත කර ඇත. විශ්ව විද්‍යාල සිසුන්ගේ සාමකාමී උද්ඝෝෂණය යකඩ හස්තයෙන් මර්දනය කිරීමෙන් අනතුරුව සිසුන් හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරනු සඳහා වවුනියාවට රැගෙන යන ලදහ. ඉන්පසු ගත වූ දින කිහිපය තුළ දී යාපනය අර්ධද්වීපයේ තවත් විශ්ව විද්‍යාල සිසූහු හා තරුණයෝ අත්අඩංගුවට ගන්නා ලදහ. දිනෙන් දින අත්අඩංගුවට ගැනීම වැඩි වූ අතර දෙසැම්බ්ර් 10 දින වන විට අත්අඩංගුවට පත් ශිෂ්‍යයන් හා අනෙකුත් අය සංඛ්‍යාත්මකව 45 දක්වා ඉහළ නැග තිබුනි. අත්අඩංගුවට පත් සමහරු LTTE ය හා සම්බන්ධ බවට චෝදනා ලැබ පුනරුත්ථාපන කාල පරිච්ෙඡ්දයකට යටත්ව සිටි අය වෙති. ඒ සියලූ දෙනාම දැන් දුර්දාන්ත ”ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පණත” (PTA) යටතේ රඳවනු ලැබ සිටිති. තම තමන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ දැන් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නාවූ එවැනි තරුණ තරුණියෝ බොහෝ දෙනා මෙම අත්අඩංගුවට ගැනීම නිසා දැඩි නොසන්සුන්තාවයකට පත්ව සිටිති.

නූගත් පාඩම්

ඉහත වර්ධනය වී ඇති තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී අපට හැගෙනුයේ සිය දහස් ගණන් ජීවිත අහිමි කරමින් අතීත රජයන් විසින් කරන ලද බරපතල වැරදිවලින් පාඩම් ඉගෙන ගෙන නැති බවය; ”සිංහල පමණයි” පණත සම්මත වූ අවස්ථාවේදී, එස්. ජේ වී චෙල්වනායගම් මහතා විසින් ඊට විරෝධය පල කරමින් ගාලූ මුවදොර පිටියේ පැවැත්වූ සාමකාමී සත්‍යග‍්‍රහණය මැඩපැවැත්වීමට ප‍්‍රචණ්ඩත්වය යොදා ගැනීම දෙමළ සන්නද්ධ ව්‍යාපාරය බිහිවීම දක්වා වර්ධනය විය. සිය දහස් ගණන් ජීවිත වලින් ඊට ගෙවූ වන්දිය පිළිබඳ මනා අවබෝධයක් අප සතුව ඇත. යාපනය විශ්ව විද්‍යාලයේ දැන් සිදු වූ සිදුවීම මුළුමනින්ම අයුක්ති සහගත වන අතර ශ‍්‍රී ලංකා රජය ප‍්‍රචණ්ඩත්වයේ තවත් වටයක් අවුළුවමින් සිටින බව පෙනෙන්නට ඇත.

ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ ප‍්‍රශ්න කිරීම සඳහා වවුනියාවේ රඳවාගෙන සිටින තරුණයන්ගේ ජීවිත ආර්ක්ෂාව පිලිබඳ සාධාරණ බියක් අපට ඇත. වවුනියාවේ රඳවාගෙන සිටි දෙමළ දේශපාලන සිරකරුවන් දෙදෙනෙකු වන නිමලරූබන් හා ඩිල්රුක්ෂාන් දෙදෙනාට වධ හිංසා පමුණුවා, ඝාතනය කර තවමත් මාස හයක් ඉක්මවා නැත. එම තරුණයන්ට වධ හිංසා දී ඝාතනය කිරීමට සම්බන්ධ බන්ධනාගාර රැකවලූන් හා වෙනත් නිලධාරීන් කිසිවෙකුට එරෙහිව ගත් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගැන අපි අසා නැත්තෙමු. ඔවුන් රඳවාගෙන සිටින්නාවූ කාලය දීර්ඝ වන්නට වන්නට ඔවුන්ගේ ජීවිතද වඩාත් අනතුරුදායක තත්ත්තවයට පත් වනු නොඅනුමානය.

මෑත කාලීන එක්සත් ජාතීන්ගේ වාර්තාවන් ශ‍්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන දින වලදී සිවිල් ජනතාවට ප‍්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන්නට ඉතා ඛේදජනක ලෙස එක්සත් ජාතීන් අසමත් වූ බව අනාවරණය කරනවා පමණක් නොව ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදාවල සැබෑ මුහුණුවරද නිරාවරණය කර ඇත. LTTE යට එරෙහිව යුද්ධය ජයගන්නට ශ‍්‍රී ලංකා රජයට ආධාර කළ ඇතැම් බලසම්පන්න රටවල් සමහරකට දැන්, එම වකවානුවේදී මහා පරිමානයෙන් මානව හිමිකම් කඩ වූ බවද, යටත්වන්නන්ට සාධාරණ ලෙස සැලකීම පිළිබඳ ජාත්‍යන්තර පිළිගත් න්‍යායධර්මයන්ට අනුකූලව කටයුතු නොකළ බවද, දෙන ලද පොරොනුදු කඩ කර ඇති බවද,(උදා. බර අවි යොදා නොගැනීමට හා සිවිල් ජනයා ඉලක්කර කරගෙන පහර නොදීමට) ජාතික ගැටළුවට අර්ථවත් විසඳුම් පැකේජයක් ලබාදීම දීර්ඝ ලෙස ප‍්‍රමාද කරමින් තිබෙන බවද අවබෝධ වන්නට පටන් ගෙන ඇත්තේය. තවද මේ සියල්ල මෙතරම් ජීවිත හා දේපළ හානියකට පසුව වුවද ජාත්‍යන්තර ප‍්‍රජාවට තවමත් දැඩි තීරණයක් ගත නොහැකි බවද පෙන්නුම් කරන්නේය. එක්සත් ජාතීන් මෙන්ම බලවත් රටවල් ද හුදෙක් මෙහි වර්ධනය වෙමින් පවතින තත්ත්වයන් පිළිබඳ සිය සැලකිලිමත් බව හා කණස්සල්ල පලකිරීමට සීමාවෙමින් සිටිති. මේ ආකාරයට ”අනුමත නොකිරීම” පමණක් එතරම් පළදායී නොවන අතර සුලූතර දෙමළ ප‍්‍රජාව අත්විඳිමන් සිටින්නාවූ දුෂ්කර හා දුක්බර තත්ත්වය එලෙසට පවතිනු ඇත.

නිතර අනපේක්ෂිත ලෙස වෙනස්වන්නාවූ වර්තමාන තත්ත්වයට, ඒ පිළිබඳ අතීත අත්දැකීම් පෙන්නුම් කරන ආකාරයට ප‍්‍රාදේශීය මහජන විරෝධතා මගින් හෝ ප‍්‍රදේශීය මහජන නියෝජිතයන්ගේ විරෝධතා මගින් හෝ පුවත්පත් ඔස්සේ කරන්නාවූ හෙළා දැකීම් මගින් හෝ ප‍්‍රතිකර්ම යෙදිය නොහැකි බව ජාත්‍යන්තර ප‍්‍රජාව අවබෝධ කරගත යුතුය. එබැවින් ප‍්‍රචණ්ඩත්වයේ තවත් වටයකින් මහා පරිමාණයෙන් අහිංසක ජීවිත විනාශවීම වලක්වනු පිණිස එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ජාත්‍යන්තර ප‍්‍රජාව කිසියම් ස්ථිරසාර ක‍්‍රියාමාර්ගයක් ගැනීම හදිසි අවශ්‍යතාවයක් බවට පත්ව ඇත.

ගරු. එස්. වී. බී. මංගලරාජා පියතුමා
සභාපති,
යාපනය කතෝලික රදගුරුවසමේ යුක්තිය හා සාමය පිලිබඳ කොමිසම
පරිවර්තනය: අජිත් හැඞ්ලි පෙරේරා
[Photo Credit:www.jdslanka.org]