Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

ෆැෂන්බග් ප්‍රහාරය:ගුටිකන එවුන් පාඩු විඳගෙන දඩබල්ලන් නිදහස් කිරීමේ ශිෂ්ඨාචාරය

මැර සැකකරැවෙක් අධිකරණයට ගෙන ආ සැටි
මැර සැකකරැවෙක් අධිකරණයට ගෙන ආ සැටි

අරුම පුදුම රටේ වෙන්නේ හරි අපූරැ දේය. බොදු බල හමුදාවෝ පන්සලකට රැස් වී කතිකා කොට ගන්ඨාර ගසා සෙනඟ රැස් කරවා ෆැෂන්බග් මුස්ලිම් වෙළද සැළකට පහර දෙති. ඒ අතර බෞද්ධ භික්ෂුන් බව පසුව සනාථ වන චීවරධාරීහු ද වෙති. වෙළද සැළට අලාභය ලක්ෂ ගණනාවකි. තුවාලකරැවෝ විස්සක් පමණය. භික්ෂුවක විසින් තර්ජනය කරන ජනමාධ්‍යවේදියකුට තුවාල ලබන තුරැ පහර දෙති. පොලීසිය බලා ගෙන සිටී.

එදින රැයෙහි ආරක්ෂක ලේකම් රාජපක්ෂ එම පන්සලට ගොස් කතිකාවක යෙදුණූ බවට වන වාර්තා ආණ්ඩුව ප්‍රතික්ෂේප කළේ නැත.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම පිණිස හදිසි අමාත්‍ය මංඩළ රැස්විමක් කැදවන සේ මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් කළ ඉල්ලීම අධෝවාතයක් තරම්වත් ජනාධිපති රාජපක්ෂ ගනන් ගත්තේ නැත. ඊට ප්‍රතිචාර වශයෙන් හකීම්ට කිව හැකි වූයේ මොනවා වුනත් අපි රාජපක්ෂ සමඟයි කියා යාථිකාවක් කිරීම පමණය. හකීම්ගේ කට වැසුනි.

මේ දාමරිකයින් හදුනා ගැනෙන්නේ පොලිසිය නිසා නොව ජනමාධ්‍ය කැමරා නිසා ය. ජායාරූප ප්‍රසිද්ධ විය. අන්තර් ජාලය එයින් පිරී ගියේ ය. එවිට ප්‍රහාරය අවස්ථාවෙහි පොලීසියේ අතටම හසු වී නිදහසේ යන්නට ඉඩ දුන් භික්ෂූහු ද අනෙක් දාමරිකයෝ ද හදිසියේම පොලීසියට බාර වූහ.

බළලා මල්ලෙන් එළියට පැන්නාක් මෙන් ඊට පසු දින පොලීසිය අධිකරණයට කියන කතාව ඊටත් වඩා වටනේ ය. එනම් ෆැෂන්බග් ආයතනයට ශිෂ්ඨ සවිඥානකත්වයක් ඇති බව නඩු මඟට නොබැසීමට තීරණය කිරීමෙන් පෙනී යන බවයි. නඩුවක් නොමැති බව කියන්නේ ද පොලීසියම ය.

පොලීසියේ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අධිකරණයට කියන්නේ මේ ප්‍රහාරයට හේතුව හා මුස්ලිම් වෙළදසැල අතර කිසිදු සම්බන්ධයක් නොතිබූ බවයි! (දෙසතියකට පෙර ෆැෂන්බග් ආයතනය සිංහල විරෝධී එකක් බවට මහනුවරදී ඝෝෂාවක් නැඟූ බොදුබල සේනා ප්‍රධානියා ඊට ගල් ප්‍රහාරයක නොයෙදන! ලෙස ඉල්ලා සිටියේ ය) එමෙන්ම ප්‍රහාරයේ ගොදුර බවට පත් වී තිබිය දීත් අපරාධකරුවන්ට එරෙහිව නඩු මඟට නොබැසීම ෆැෂන්බග් ආයතනය විසින් පෙන්වා ඇත්තේ උදාර ආදර්ශයක් බවත් ය!! නමුත් අනුර සේනානායක එම දාමරිකයින්ට ෆැෂන්බග් හිමිකරුගෙන් සමාව ඉල්ලන ලෙස කීවේ නැත. අපූරැ ශිෂ්ඨාචාරයකි.

දාමරිකයින්ගේ ජායාරූප ප්‍රසිද්ධ කිරීම ගැන ජනමාධ්‍යට ස්තුතිවන්ත වන අතරම ෆැෂන්බග් වෙළදසැල් හිමියා කියන්නේ තමන් ජාතික සංහිදියාව සහ සාමය රැක ගැනීමට මෙම දාමරිකයින්ට සමාව දෙන බවයි. ඒ කියන්නේ සිය ආයතනයට පහර දුන් දාමරිකයින්ට විරුද්ධව නඩු මඟට ගිය හොත් රටේ සාමය නැති වන බව ය. ඔහු එවැනි නිගමනයකට බැස්සේ කෙසේ දැයි දැන ගන්නට නැත. රටෙහි ඇතිවන වෙනත් මෙවැනි අපරාධ සම්බන්ධයෙන් නඩු මඟට යෑමෙන් ඇති නොවන සාමය කඩවීමක් මෙම දාමරිකයින්ට නඩු පැවැරීමෙන් සිදු වන්නේ කෙසේ ද? අන් කිසිම හේතුවක් නිසා නොවේ. දාමරිකයින් අන්තවාදී බොදු බල හමුදාවන්ට අයත් නිසා ය. එම දාමරික පිරිස අතර චීවරධාරී භික්ෂුන් ද සිටින නිසා ය. හිමිකරුගේ මෙම ප්‍රකාශයෙන් පැහැදිළිවන්නේ සිය ආයතනය පහර දුන් අන්තවාදී පිරිස්වලට එරෙහිව තමන් නඩු මඟට ගිය හොත් මීටත් වඩා විනාශයක් විය හැකි බවයි.

නිකම්ම කොල්ලන් කට්ටියක් මේ විදියට ෆැෂන්බග් ආයතනයට පහර දුන්නා නම් ඒත් සමාව දෙයි ද? නැත. එම කොල්ලන් හිරේ දමන තුරැ ෆැෂන්බග් හිමිකරු නඩු කියනු ඇත. අනුර සේනානයකගේ පොලීසිය එම කොල්ලන් කකුල් දෙකෙන් එල්ලා දස වද දෙමින් බලයෙන් කට උත්තර ද ගන්නට ඉඩ තිබේ. එවිට ශිෂ්ඨ සවිඥානකත්වය සහ උදාර ආදර්ශ අවශ්‍ය නැත.

ෆැෂන්බග් ප්‍රහාරයත් ඊට රාජපක්ෂ රජය දක්වන ලද ප්‍රතිචාරයත් ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවත්නා මුස්ලිම් විරෝධී ප්‍රහාරයන්ගේ කඩ ඉමකි.

එය මුස්ලිම්වරුන්ට ලබා දෙන පණිවිඩය නම් අන්තවාදී බොදු බල හමුදාවන් විසින් කරනු ලබන කිසිදු ප්‍රහාරයකට එ‍රෙහිව නිතීය ක්‍රියාත්මක නොකළ යුතු බවයි. ඔවුන්ට සමාව දී පොලීසිය අර්ථ දක්වන පරිදි උදාර ආදර්ශ සහ ශිෂ්ඨ සවිඥානකත්වය පෙන්විය යුතු බවයි. වැරදීමකින් හෝ යුක්තිය ඉල්ලා නඩු මඟට බසින්නේ නම් එහි විපාක වඩාත් දරැණු සහ ජාතික මට්ටමේ විය හැකි බවයි.

එය විසින් බොදු බල හමුදාවන්ට දෙන පණිවිඩය නම් ජනමාධ්‍ය කැමැරාවන්ගෙන් බේරෙන්නට හැකි නම් සිය මුස්ලිම් විරෝධි ප්‍රහාරයන් දිගටම කරගෙන යෑමට බාධාවක් නැති බවයි. අන්තවාදී බොදු බල හමුදාවන්ට රජයේ රැකවරණය දැන් නීත්‍යනුකූලය.

වඩාම තිරණාත්මක පණිවිඩය රවුෆ් හකීම්ට ය. එනම් සිය ප්‍රජාවට මොනවා වුවත් වරදාන රැකගනු වස් මුඛයත් අධෝමුඛයත් යන දෙකම වසා ගෙන දිගටම රාජපක්ෂ ආණ්ඩුවට බැල මෙහෙවර කළ යුතු බවයි. ඔහු එසේ සිටිනු ඇති බව නිසැක ය‍.

මෙම තත්ත්වයෙන් බැස ගත හැකි නිගමනය මෙය යි

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයා මුහුණ දී සිටින අර්බූදයට හුදකලා වු වාර්ගික විසඳුමක් නැත. අවශේෂ ප්‍රජාතන්ත්‍රවාදි බලවේග සමඟ එක් වී නීති ගරැක ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමෙන් මෙපිට බොදු බල හමුදාවන්ගෙන් ගැලවීමක් නැත. අයිතීන් වෙනුවෙන් සටන් කරන අතරම ප්‍රජාතන්ත්‍රවාදී මහා ප්‍රවහයේ කොටස්කරැවකු වීම අත්‍යවශය. ෆැෂන්බග් හිමිකරුගේ පටු ව්‍යාපාරික යටත්වීමේ මානසිකත්වය මුස්ලිම් ප්‍රජාවේ මානසිකත්වය බවට පත් වන්නේ නම් ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරැන්ට සිදුවනු ඇත්තේ මියන්මාරය දෙස බලාගෙන සුසුම් හෙළීම පමණි.

@Image Credit: AFP

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya

@www.yukthiya.org