Colombo, Democracy, Features, Governance, Human Rights, Politics and Governance

පාලකයන් කරන අනර්ථය..

‘‘සදාතනික යුද්ධයක පැටළුණු රාජ්‍යයක්… ජීවිතයේ සෑම පැත්තක්ම වසා පවතින හිංසනයක්… ධනපතියන් වැජඹෙන, දිළින්දන් විඳවන තත්වයක්: හොඳම දරුවන් අතහැර යන රටක්?’’ යූරි ඇව්නෙරි (කවුන්ටර් කරන්ට්ස්)

mahinda_rajapaksa_november-[ Image Credit: Amal Jayasinghe | Agence France-Presse]

ලංකාව වෙළාගනිමින් පවතින සිමෙරියානු අන්ධකාරය, විරෝධයක පුළිඟුවකින් ගිය සතියේ බිඳ දැමුණි. ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය, එහි වාර්ෂික සම්මේලනයේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන්, පැහැරගත් බලයක් හොබවන අගවිනිසුරුවරයා වෙනුවට, රටේ නීත්‍යානුකූල අගවිනිසුරුවරියව කැඳවීමට තීරණය කෙළේය.

භීතිය සහ අවනත භාවයට හුරුවෙමින් සිටින රටක, ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය සහ එහි නව සභාපතිවරයා ගත් එම තීන්දුව, විරල ගනයේ, ප‍්‍රශංසනීය එකකි. නිර්භීත භාවය ලංකාවේ තවම මියගොස් නැති බව එයින් පෙන්නුම් කෙරුණි. වඩාත් අදාළව ගන්නේ නම්, ඒ මගින් සෙසු සමාජයට මතක් කර දුන්නේ, රාජපක්ෂ වසංගතයට මුහුණදීමේ ඇති අවශ්‍යතාවත්, හැකියාවත් ය.

නීති ප‍්‍රජාවේ ස්වාධීන පැවැත්මක් පිළිබඳව මතු වූ මේ අනපේක්ෂිත සංඥාවෙන් තිගැස්සුණු රාජපක්ෂවරු, යකා පෙන්වීමේ සුපුරුදු උපායට කර ගසමින් සිටිත්. ඒ අනුව, හීලෑ වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නීතිඥවරු කණ්ඩායමක්, ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය සහ එහි නව සභාපතිවරයා එල්.ටී.ටී.ඊ. අතකොලූවක් බව කියා සිටියහ. කෙසේ වෙතත්, බොහෝ කල් පට්ටගැසූ එම චෝදනාව හොඳටම වැහැරී තිබුණි. සමහර විට, කොටියා මියගොස් අවිච්චින්න සිව් වසරක්ම ගතව ඇති නිසා විය හැකිය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වාර්ෂික සම්මේලනයට ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එහි නව සභාපතිවරයා විසින් පිළිගත් අයුරැ
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වාර්ෂික සම්මේලනයට ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එහි නව සභාපතිවරයා විසින් පිළිගත් අයුරැ

එයින් ව්‍යුත්පන්න වන්නේ, රාජපක්ෂ සහෝදරයන් තුළ ඇති, අළුත් හතුරෙකු සඳහා වන කණාපල්ලන් අවශ්‍යතාව හෙවත් සිංහලයන්ගෙන් අතිබහුතරය බියගැන්වීම මගින් තුෂ්ණීම්භූත අවනත භාවයට නතු කරලීමට සමත් අළුත් සතුරෙකු සඳහා වන අවශ්‍යතාවයි. නීති ප‍්‍රජාව දෙපයින් සිටගන්නවා දැකීම, ඔවුන් තමන්ගේ හඩක් නගනවා දැකීම සහ තමන්ගේ ස්වාධීන මාවත නැවත ඔවුන් එලිපෙහෙලි කරගන්නවා දැකීම, රාජපක්ෂවරුන් තුළ දනවන්නේ අපුලකි.

ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සම්මේලනයට ශිරානී බණ්ඩාරනායක පැමිණි මොහොතේ නීතිපතිවරයා එම ස්ථානයෙන් පිටව ගිය බව වාර්තා විය. නීතිපති දෙපාර්තමේන්තුව සතුව තිබු සාපේක්ෂ ස්වායත්තාව රැකගෙන තිබුණි නම්, බාගෙවිට නීතිපතිවරයාට මීට වඩා ධෛර්යමත්ව කටයුතු කිරීමට හැකි වන්නට තිබුණි. එහෙත් 2010 ජනාධිපතිවරණ ජයග‍්‍රහණයෙන් පසු රාජපක්ෂවරුන් කළ ප‍්‍රථම කාර්යයක් වුණේ, නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාගේ යටතට ගැනීමයි. ඒ අනුව, අද නීතිපති යනු, ජනාධිපතිවරයාගේ හෙංචයියෙකි. ඔහුගේ රාජකාරිය වන්නේ, රාජපක්ෂ ඇබිත්තයන්ව ආරක්ෂා කිරීමත්, ඔහුගේ විරුද්ධවාදීන්ව දඩයම් කිරීමත් ය. මර්වින් සිල්වා ඇමතිවරයාගේ නොසන්ඩාල පුතාව නිදහස් කිරීමත්, කහවත්ත ඝාතන පෙළේ දේශපාලනික සම්බන්ධකම් සහිත චූදිතයන් නිදහස් කිරීමත්, ඊට සාක්ෂියකි. ‘ෆැෂන් බග්’ සාප්පුවේ පැපිලියාන ශාඛාවට පහර දුන් පිරිස් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ යාපනේ රැලියට පහරදුන් පිරිස් ද මුදාහැරුණි. ගිය සතියේ ‘උදයන්’ පුවත්පත් කාර්යාලයට නැවතත් පහර දුනි. මේ සිද්ධියට සම්බන්ධ වූවන් පොලීසියෙන් අත්අඩංගුවට ගත්තත්, ඔවුන්ව ද මේ ආකාරයෙන්ම නිදහස් කොට ගෙදර යැවෙනු ඇත. රාජපක්ෂවරුන්ට අවශ්‍ය කරන්නේ, තමන්ගේ බලය, ධනය සහ අභිවෘද්ධිය සඳහා අවශ්‍ය කරන පරිද්දෙන් රටේ නීති කඩන්ට, නවන්ට, මගහැර යන්ට, නොතකා හරින්ට සහ අළුත් නීති පනවන්ට හැකි ආකාරයේ වාතාවරණයක් පවත්වා ගැනීමයි.

මාධ්‍ය වාර්තා කරන අන්දමට, කතානායක චමල් රාජපක්ෂගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂට නිලවරණයකින් තොරව තවදුරටත් කතරගම දේවාලයේ බස්නායක තනතුරේ රැඳී සිටීමට හැකි වන ආකාරයෙන්, ඔහුගේ බාප්පාගේ ආණ්ඩුව පසු ගිය මාර්තු 15 වැනි දා අංක 1807/39 යටතේ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට ඇත. ‘බස්නායක නිලමේ තනතුර කෙනෙකුට දැරිය හැකි කාලය දිග් කරගත හැකි වන්නේ අවුරුදු දෙකක කාලයක්ට පමණකැ…’ යි යන, බෞද්ධ විහාරගම් සහ දේවාල පනතේ 12 ‘අ’ යන වගන්තියෙන්, මේ ගැසට් නිවේදනය අනුව, කතරගම දේවාලය නිදහස් කරන ලදි. ඉතිං, නිලවරණයකින් තොරවම ඔහුට ඒ තනතුරේ රැඳී සිටිය හැකිය. තවද, පවතින නීතිය යටතේ ශෂීන්ද්‍ර රාජපක්ෂට එක විට මහඇමති ධුරය සහ බස්නායක නිලමේ ධුරය දැරිය නොහැක්කේය. එහෙත් බාප්පාගේ ආණ්ඩුව, ඒ නීතිමය බාධකයත් තවත් ගැසට් නිවේදනයකින් (1614/30-2009 අගෝස්තු 14) අවලංගු කෙළේය.

ජනතාව ගැන හෝ නීතිය ගැන තියා, අඩු වශයෙන් පූජණීය යැයි සැළකෙන අතීත සම්ප‍්‍රදායයන් ගැනවත් මේ රාජපක්ෂවරු නොතකති. ඔවුන්ගේ එකම ආරම්මණය වන්නේ, උත්තරීතර සහ සදාතනික පාලකයන් වීම පමණි.

බොදු බල සේනාව සමග රාජපක්ෂ ජනාධිපතිවරයා සාකච්ඡාවක..
බොදු බල සේනාව සමග රාජපක්ෂ ජනාධිපතිවරයා සාකච්ඡාවක..

බොදුබල සේනාවෙන් උසිගැන්වෙන මුස්ලිම් විරෝධය, රාජපක්ෂ ව්‍යාපෘතියට මනාව ගැළපෙයි. මුස්ලිම් බිල්ලෙකු පිළිබඳ චිත‍්‍රයක් මැවීම මගින් දකුණේ විසම්මුතිය නිහඩ කිරීම සහ බිහිසුණු මර්දනීය ක‍්‍රියා සහ අසාධාරණ ක‍්‍රියා යුක්ති සගහත කර ගැනීමට පමණක් නොව, ඒ මාර්ගයෙන් ඉන්දියාවේ සහ බටහිර ලෝකයේ ප‍්‍රසාදය දිනා ගැනීමටත් මානබලන්ට ද පිළිවන. ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ තවමත් ඇමරිකානු පුරවැසි භාවය දරති. ඔවුන්ගේ පවුල් එහි වෙසෙති. ඔවුන් සතු දේපල ද එහි තිබේ. ඒ තත්ත්වය යටතේ, කොළඹ කෙරෙහි බටහිරින් ඇති වන යම් කෝන්තරයක් ඔවුන්ට පෞද්ගලිකව අවාසිසහගත විය හැකිය. රාජපක්ෂලාට අධිරාජ්‍ය-විරෝධය අවස්ථාවාදී බැනරයක් වෙනවා මිස අව්‍යාජ ප‍්‍රතිපත්තියක් නොවන්නේ එබැවිනි. සහෝදරයන්ගේ අවපාලනය සහ වෙනත් අපරාධ නොතකා හිඳීමට බටහිර පොළඹවා ගත හැකි නම්, වොෂින්ටනයේ සහ ලන්ඩනයේ අවශ්‍යතා සමග දීගකන්නට ඔවුන් එක සිතින් කැමති වෙනු නියති.

සමහර විට, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, ඉතියෝපියාව, මාලි සහ උගන්ඩාව දෙස බලන විට, බටහිර ලෝකයාගේ අනුග‍්‍රහය දිනාගත හැකි හොඳම මග වන්නේ, ‘ජගත් ඉස්ලාම් ත‍්‍රස්තවාදයට’ එරෙහි ‘ඉදිරි වළල්ලේ රාජ්‍යයක්’ බවට ලංකාව පත්කිරීම යැයි රාජපක්ෂ සහෝදරයන් සිතෙනවා ඇති. එවිට, පූර්ණ ආරක්ෂාව යටතේ පවුල් පාලනය ගෙන යාමටත්, කරදරයකින් තොරව රාජකීය අනුප‍්‍රාප්තිය ලේ උරුමයෙන් පවත්වා ගැනීමටත් හැකි වෙතැ යි ඔවුන් සිතනවා ඇති. බාගෙවිට, ඔබාමාගෙන් පසු, ඉස්ලාම් භීතිකාව ඇමරිකානු රාජ්‍යකරණයේ සෑම අංශයකටම කාවැද්දීමට වැඩි ඉඩකඩක් ඇති, රිපබ්ලිකන් පක්ෂය බලයට පත්වෙතැ යි ඔවුන් සිතනවා වන්නට ද බැරි නැත. අනිත් පැත්තෙන්, නරේන්ද්‍ර මෝඩි වැනි ආගම් පිස්සෙකුගේ නායකත්වයෙන් බී.ජේ.පී. පක්ෂය ඉන්දියාවේ බලයට පත්වෙතැ යි සිතීමටත් ඉඩ තිබේ. 2002 ගුජරාට් කැරලිවලට අදාළව අද වන විට නරේන්ද්‍ර මොඩිට ඇමරිකාවට පය තැබීම තහනම් ය. එහෙත් මෑතක දී ගුජරාටයට පැමිණි රිපබ්ලිකන් පාක්ෂික පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් මෝඩිට ප‍්‍රශංසා කොට වොෂින්ටනයට එන්නැ යි ඔහුට ආරාධනා කළහ. ඉතිං, තව වසර කිහිපයකින් රිපබ්ලිකන්-බී.ජේ.පී. අක්ෂයක බලය ඇතුළේ, ඉස්ලාම් භීතිකා සන්ධානයක යම් ඉඩක් තමන්ටත් වෙන් කර ගත හැකි වෙතැ යි දැන් තියාම රාජපක්ෂවරු සිතනවා වන්නටත් බැරි නැත.

දවල් හීනයක් ද? පැහැදිළිවම… එහෙත්, ගණනය කළ නොහැකි විශාල වියදම් යටතේ වුවත්, දවල් හීන පස්සේ පැන්නීමට බැරි කමක් නැත.

මුඩුබිමක් කරා

මහා ස්පාඤ්ඤ අධිරාජ්‍යයේ බිඳවැටීමට එක් ප‍්‍රධාන හේතුකාරකයක් වුණේ ආගමික අන්තවාදයයි. ප‍්‍රංශයේ 14 වැනි ලූවී රජතුමා ‘නන්ත් ආඥාව’ අවලංගු කළ විට, ප්‍රොතෙස්තන්ත ආගමික හිග්නෝවරු ආගමික නිදහස වැඩියෙන් ඇති වෙනත් රටවලට සංක‍්‍රමණය වූහ. මේ හිග්නෝවරු පුහුණු ශිල්පීන් ය. (වැඩියත්ම, වියන්නන් ය). මේ සංක‍්‍රමණය සහ ඔවුන්ව සාදරයෙන් භාරගෙන ඔවුන්ගේ නිපුණත්වය සහ දැනුම ප‍්‍රයෝජනයට ගත් එංගලන්තය සහ නෙදර්ලන්තය වැනි රටවල පසුකාලීන ආර්ථික මල්ඵල ගැන්වීම අතර සෘජු අන්තර්-සම්බන්ධතාවක් තිබුණි.

බොදුබල සේනාවේ ප‍්‍රධාන කෑමොරදෙන්නා වන ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට, නීතිය අතට ගෙන ක‍්‍රියා කරන සිංහල-බෞද්ධ සේනාවක් ගොඩනැගීමට අවශ්‍ය කරයි. ඔහු මහරගම දී පැවැත්වූ කුප‍්‍රකට කතාවේ දී මෙසේ කීය: ‘‘හැම තැනම ගෝනිබිල්ලෝ. හැම තැනම යටරැවුල්කාරයෝ. අද, මේ මහරගම රැස්වීමෙන් පස්සේ, හැම වැඩිහිටියෙක්ම, හැම තරුණයෙක්ම, අපේ ස්වාමීන් වහන්සේලාත් ඇතුළුව, නොනිල පොලීසියක් හදාගන්න ඕනේ… මේ ඔලමොට්ටල ප‍්‍රජාතන්ත‍්‍ර‍්‍රවාදේ නාමයෙන් සිද්ධ වෙමින් තියෙන්නේ අපේ ජාතිය විනාශ වෙන එක… අද ඉඳං, අපි ජාතියේ නොනිල පොලීසිය වෙන්න ඕනේ.’’ වචන, රූපක සහ රූපසටහන් පාවිච්චි කරමින් මිනිස්සුන්ව පිස්සු වැට්ටීම, අනතුරුව එසේ පිස්සු වැටුණු ජාතිය, සුළු ජාතියකට පහර දීම දක්වා දැක්කීම ඉතිහාසයට අළුත් දෙයක් නොවේ. උදාහරණයක් වශයෙන්, නට්සිවාදීහු ඒ ශිල්පයේ පරතෙරට ගියෝය. රයින්හාඞ් හයිඩි‍්‍රක්* පෙන්වා දුන් පරිදි: ‘‘අද ජර්මානු ජනතාව යුදෙව්වන්ට උගන්නනවා හැසිරෙන්න ඕන විදිහ. ඒ විදිහට, සමස්ත ජනතාව යුදෙව්වන් ගැන ඇහැගහගෙන ඉන්න එක තමයි, වැඩිය හොඳ….’’

නීතිය අතට ගන්නෝ, සැහැසි ජනයා ය. සැහැසි ජනයාට අනක්ගුණක් නැත. විනීත කමක් නැත. මනුෂ්‍යත්වයක් සහ සිහිබුද්ධියක් නැත. එවැනි බොදුබල සේනාවකින් පාර කැපෙන්නේ තවත් 1983 කළු ජුලියකට ය.

ගිය සතියේ, මහරගම නගර සභාවේ සාමාජිකයෙක් 12 වියැති දැරියක් ලිංගික අපයෝජනයට ලක්කෙළේය. එය දූෂමාන ආරංචියක් නොව, ඇත්ත සිදුවීමකි. ඒ ළමා දූෂකයාට එරෙහිව කිසි භික්ෂුවක් විරෝධය පෑවේ නැත. අපයෝජනයට පත් දැරිය සිංහල-බෞද්ධ වුවත්, දූෂකයාට පහර දීමට වියරු ජනයා වීදි බැස්සේ නැත. පැහැදිළිවම, බොදුබල සේනාවේ දර්ශනයට අනුව යම් සිදුවීමක් අපරාධයක් වන්නේ, අපරාධකරුවා මුස්ලිම්/දෙමළ/ක‍්‍රිස්තියානි වීමත්, වින්දිතයා සිංහල-බෞද්ධයෙකු වීමත් මත පමණක්ම ය.

අවසාන වශයෙන්, බොදුබල සේනාවේ අනියම් පතුරක් ක‍්‍රිකට් මණ්ඩලයේ නිලධාරීන්ට සහ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට තර්ජනය කිරීම, බොදුබල සේනාවේ නියෝගයන්ට අවනත නොවන සිංහල-බෞද්ධයන්ට වුව සමාවක් දීමට සූදානම් නැති තරමට, වර්තමාන උමතුව ඔඩුදුවා ඇති තරම පෙන්වයි.

මේ මාර සේනාවන්හි ක‍්‍රියාකාරීත්වය රාජපක්ෂලාට සදාකාලයේ බලයේ රැඳීමට සහාය විය හැක. එහෙත් ඒ මගින් සිදුවෙනු ඇත්තේ, රටේ වැඩිමනත් ජනතාවට ජීවත් විය නොහැකි දේශයක් බවට ශ‍්‍රී ලංකාව පත්වීමයි.

තිසරණී ගුණසේකර | Tisaranee Gunasekara

* දෙවන ලෝක යුද්ධ කාලයේ සිදුවූ මහා යුදෙව් සංහාරයේ මුල්කාලීන නිර්මාපකයෙකි. ඇඩොල්ෆ් හිට්ලර් ඔහුව හැඳින්නුවේ, ‘යකඩ හදක් ඇති මිනිසා’ යනුවෙනි.(පරිවර්තක)

__________________________________________________________________________________________

2013 අපේ‍්‍රල් 04 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Evil that Rulers do ලිපියේ සිංහල පරිවර්තනය‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්