Colombo, Democracy, Features, Governance, Human Rights, Identity, Politics and Governance, Religion and faith

මුස්ලිම් විරෝධයට එරෙහිව නැගෙන මුස්ලිම් චින්තනයේ දරිද්‍රතාව

Muslims-religion

අවුරුදු දහසකට අධික කාලයක් මුස්ලිම් ජනතාව ලංකාවේ වාසය කොට ඇත. ඔවුන්, කඳුරට දෙමළ ප‍්‍රජාව මෙන් විශේෂ හේතුවක් මත, විශේෂිත ආකාරයකින් ලංකාවට ගෙන්වා, පාලක සැලැස්මකට අනුව නිශ්චිත කාල වකවානුවක පදිංචි කැරැවූවන්ගෙන් පැවත එන පිරිසක් නොවේ. ඒ නිසා මුස්ලිම් ජාතිකයාගේ සංක‍්‍රමණය සැළකිය යුත්තේ ‘ස්වාභාවික’ සංක‍්‍රමණයක් වශයෙනි. එය, ලංකාවට පැමිණි සිංහලයන්ගේ සහ අද උතුරු-නැගෙනහිර සහ වෙනත් පළාත්වල වෙසෙන ලාංකීය දෙමළ ජාතිකයාගේ ‘ස්වාභාවික’ සංක‍්‍රමණයට වෙනස් වන්නේ, ඉස්ලාම් භක්තිකයා මෙරට ජීවත්ව ඇති ඉතිහාසය තුළ ගෙවී ගිය අවුරුදු ගණනින් පමණි.

‘ස්වාභාවික’ සංක‍්‍රමණිකයන් වශයෙන් සැළකිය නොහැකි, අවුරුදු දෙතුන් සීයක ඉතිහාසයක් ඇති කඳුකරේ දෙමළ වැසියාට, දකුණු ඉන්දියාවත් සමග තවමත් ලේ සම්බන්ධකම් තිබෙන්ට පිළිවන. එහෙත් ලංකාවේ මුස්ලිම් ජාතිකයාට ලෝකයේ වෙනත් රටක එවැනි ලේ සම්බන්ධකම් මේ වන විට ඇත්තේ නැත. ඉතිං, විශේෂ හේතුවක් මත ලංකාවට ගෙන්වන ලද කඳුකර දෙමළ වැසියා, සිංහලයෙකු සහ ලාංකීය ද්‍රවිඩයෙකු තරමටම අද ශ‍්‍රී ලාංකිකයෙකු වන්නේ යම් සේ ද, මුස්ලිම් ජාතිකයා ද එසේම විය යුතුය.

එහෙත්, මේ කඳුකර දෙමළ වැසියා සහ ලංකාවේ මුස්ලිම් වැසියාගේ චින්තනය හැඩගැසුණේ, අද උතුරු-නැගෙනහිර වෙසෙන දෙමළ ජාතිකයාගේ චින්තනය හැඩගැසුණු ඓතිහාසික හා දේශපාලනික තත්වයන්ට සමාන තත්වයකින් නොවේ. කඳුකර දෙමළ වැසියාගේ චින්තනය එසේ වීමට බරපතල දේශපාලනික සහ ආර්ථික හේතු තිබුණි. උදාහරණයක් වශයෙන්, ඔවුන්ගේ පුරවැසි භාවය එක රැයකින් අහෝසි කෙරුණු, නිදහස් ලංකාවේ බරපතලම ඛේදවාචකයට ඔවුන් මුහුණදී තිබුණි. අනිත් පැත්තෙන්, ලාභ ශ‍්‍රමය නැමති සාධකය අධිනිශ්චය වීමෙන් ඇති කෙරුණු සමාජයීය පරාරෝපණයට නිරන්තරයෙන් ඔවුන්ව යටත් කෙරුණි.

රටක වෙසෙන ප‍්‍රජාවක්, සිංහල, දෙමළ ආදී වශයෙන් වන, ඉංග‍්‍රීසියෙන් ‘රේස්’ යනුවෙන් ගැනෙන වාර්ගික අරුතින් නොව, ‘නේෂන්’ වශයෙන් ගැනෙන දේශපාලනික අරුතින් ‘ජාතියක්’ බවට පත්වන්නේ, ඓතිහාසිකවයි. එහි දී, තමන්ගේම වන භාෂාවක් හෝ තමන්ගේම වන ආගමක් හෝ තමන්ගේම වන සංස්කෘතියක් හෝ තමන්ගේම වන නිශ්චිත වාසභූමි සහිත දිගුකාලීන ඉතිහාසයකට උරුම කියන අතරේ, ස්වකීය ප‍්‍රජා අනන්‍යතාව එරටේ වෙසෙන වෙනත් ජන ප‍්‍රජාවන්ගෙන්, විශේෂයෙන් බහුතර ජන ප‍්‍රජාවෙන් ස්වායත්තව පවත්වා ගැනීමට කොතෙක් දුරට සමත් වන්නේ ද යන්න මත, එම ප‍්‍රජාව ‘දේශපාලනික ජාතිකත්වයට’ (නේෂන්) හිමිකම් කියති. මේ කියන ‘භෞතික’ කොන්දේසි මත යම් ප‍්‍රජාවක් කිසියම් අවස්ථාවක ඊටම ආවේණික වූ මනෝමය පැවැත්මක් සවිඥානිකව අත්කරගන්නේ නම්, එවැනි ජාතියක් රටක ස්වයං-නිර්ණ අයිතියට සුදුසුකම් ලබන්නේය.

ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව, එක විට ආගමික ප‍්‍රජාවක් මෙන්ම ජාතික ප‍්‍රජාවක් ද වන්නේය. මෙය, ලෝකයේ වෙනත් බොහෝ තැන්වල දක්නට නොලැබෙන තත්වයකි. උදාහරණයක් වශයෙන්, ඉස්ලාම් ආගම අදහන නයිජීරියානුවා, මුස්ලිම් ආගමිකයෙකු වශයෙන් මිස මුස්ලිම් ‘ජාතිකයෙකු’ වශයෙන් සැළකෙන්නේ නැත. ඔහු ජාතියෙන් නයිජීරියානුවෙකි. එසේ නැතහොත්, හවුසා, යොරුබා හෝ ඉබෝ වැනි ගෝත‍්‍රිකයෙකි.

මෙයින් අදහස් වන්නේ, ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව වෙනම ආගමික ප‍්‍රජාවක් වශයෙන් හඳුනා ගැනීමට අමතරව ‘ජාතියක්’ වශයෙන් හැඳින්වීමට ද හැම අතකින්ම සුදුසු වෙන බවයි. එහෙත්, දෙමළ ජනයා මෙන් එවැනි ජාතික ස්වාධීනත්වයක් සඳහා ඔවුන්ගේ කැමැත්තක් හෝ ආයාසයක් මෙතෙක් තිබී ඇති බවට සාක්ෂි නැත. ඔවුන් හැම විටකම ජීවත්ව ඇත්තේ, තවත් ජාතියක පරිවාරයක ය. උතුරේ දී දෙමළ මහජාතියේ සෙවනැල්ල යටතේත්, දකුණේ දී සිංහල මහ ජාතියේ සෙවනැල්ල යටතේත් ආදී වශයෙනි.

බොදුබල සේනා ආදී නම්වලින් හැඳින්වෙන සහ රජයේ පූර්ණ අනුග‍්‍රහය ලබන වත්මන් සිංහල-බෞද්ධ මහජාතිවාදය අද මුස්ලිම් ජාතිකයාව තල්ලූ කරමින් සිටින්නේ, අප ඉහතින් කී, ජාතියක් වශයෙන් තමන්ගේම වන මනෝමය සවිඥානකත්වයක අවශ්‍යතාව දෙසට යි. මේ බොදුබල ෆැසිස්ට් ව්‍යාපාරය සමාජ බලවේගයක් නොව, රාජ්‍ය ව්‍යාපෘතියක් බව, වෙනත් බොහෝ සිංහලයන් මෙන්ම, මුස්ලිම් ජාතිකයා ද තවම තේරුම්ගෙන ඇති බවක් පෙනෙන්නට නැත.(හෙට වන විට එවැන්නක් සමාජ බලවේගයක් බවට පත්වීමට බැරි නැත). මුස්ලිම් නායකයන් ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් වශයෙන් වරප‍්‍රසාද භුක්ති විඳින තත්වය යටතේ, මේ බොදුබල සේනා සමස්ත ක‍්‍රියාවලිය ‘අන්තවාදී කුඩා කණ්ඩායමක’ වැඩක් වශයෙන් පෙන්වීමට කොහොමත් වැඩි කැමැත්තක් දක්වනු ඇත. ඒ නිසා මේ අවස්ථාවේ දී ඔවුන්ට කළ හැක්කේ, තම ප‍්‍රජාව ආරක්ෂා කර දෙන්නැ යි ආණ්ඩුවට පින්සෙන්ඩු වීම පමණි. මොවුන් මේ ආරක්ෂාව රජයෙන් ඉල්ලා සිටින්නේ, සමාන ජන වර්ගයක් වශයෙන් තමන් සතු විය යුතු අයිතියක් වශයෙන් නොව, මහා ජන වර්ගයෙන් තමන් ලබාගත යුතුව ඇති වරමක් වශයෙනි. පහත සඳහන් ‘තර්ක’ ඊට නිදසුන් ය.

1. කොටි සංවිධානයට එරෙහිව රජය දියත් කළ යුද්ධයේ දී මුස්ලිම් ජනතාව සිටියේ රජය පැත්තේ මිස කොටි සංවිධානය පැත්තේ නොවේ.

මෙය සැබෑවකි. ඇත්තෙන්ම, එම කාලය තුළ මුස්ලිම ප‍්‍රජාව එල්.ටී.ටී.ඊ. තර්ජන ඉදිරියේ රජයට සහයෝගය දැක්වූහ. එසේ වෙතත්, ඔවුන්ගේ ඒ සම්මාදම, මේ රටේ සුළු ජාතියක් වශයෙන් ගත් විට, මහජාතියේ ප‍්‍රශංසාවට ලක්විය හැක්කේ එක කොන්දේසියක් යටතේ පමණක් බව, මේ මුස්ලිම් ප‍්‍රකාශකයෝ අමතක කරති. එනම්, ආණ්ඩුව යුද්ධ කෙළේ, ‘ත‍්‍රස්තවාදය අවසන් කිරීම’ සඳහා පමණක් බව සත්‍යයක් විය යුතුය යන්නයි. එය එසේ විණි නම්, යුද්ධයේ ජයග‍්‍රහණයත් සමග, එම ජයග‍්‍රහණයට සහයෝගය දැක්වූ සියල්ලන්ට, විශේෂයෙන් වෙනත් සුළු ජාතීන්ට, මහජාතියේ ප‍්‍රශංසාව හිමි වෙනු සහතිකයි. එහෙත්, යුද්ධයේ දේශපාලනික සහ ආත්මීය ආරම්මණය වුණේ, මහජාතියේ ඓතිහාසික අධිකාරීත්වය නූතන තත්වය තුළ දීප ව්‍යාප්තව ස්ථාපිත කැරැවීම නම්, ජයග‍්‍රහණයෙන් පසු ඕනෑම සුළු ජාතියක් ඒ මහ ජාතිය ඉදිරියේ, පරාජිත දෙමළාට වඩා උසස් මිනිස් කොට්ඨාශයක් වීමට ඉඩක් නැත. සෑම සුළු ජාතියක් සඳහාම මහ ජාතිය විසින් මසා දෙනු ලබන කෝට් එකට සරිලන ලෙස ඒ ඒ සුළු ජාතියේ අඟපසක කපා දැමීමට එවිට නියමිත කෙරෙන්නේය. හලාල් සහ පර්දාවට එරෙහිව අද බොදුබල සේනාව දියත් කර ඇති යුද්ධය එවැන්නකි. (මේ ලියුම්කරු ද, හලාල් සහතිකයට සහ පර්දාව යන දෙකටම විරුද්ධයි. එහෙත්, ඒ වෙනත් පදනමක් යටතේ ය. ඒ ගැන මීට පෙර සාකච්ඡා කොට ඇත).

2. ගිය වසරේ ජිනීවා නුවර සම්මත වූ යෝජනාවට මුස්ලිම් රටවල් බහුතරයක් සහයෝගය දැක්වීය. අනතුරුව, අද වන විට බොදුබල සේනා මගින් ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව පීඩාවට පත්කරද්දී පවා, මෙවර ජිනීවා නුවරදීත් ලංකාවේ සහායට සිටියේ මුස්ලිම් රටවල් ය. ලංකාවට පක්ෂව ඡන්දය දුන් රටවල් 13 න් 7 ක්ම මුස්ලිම් ජාතීන් ය.

මේ ‘තර්කය’ මුස්ලිම් ප‍්‍රකාශකයන් ගෙනහැරපාන්නේ තමන්ට මේ රට තුළ සළකන ආකාරයේ ඇති අසාධාරණත්වය තවත් තීව‍්‍ර කොට පෙන්වා දීමට යි. එහෙත්, ඒ හේතුවාචකය පසුපස ඇති පරස්පරය ඔවුන් තේරුම්ගෙන තිබේ ද?

ගිය වසරේ දී මෙන්ම මෙවරත් ජිනීවා නුවර දී සම්මත කර ගැනුණු යෝජනාවෙන් මූලික වශයෙන් කියැවුණේ, ලංකාවේ කිසි ප‍්‍රජාවක, විශේෂයෙන් සුළු ජාතියක අයිතීන් උල්ලංඝණය නොවන තැනට වගබලා ගැනීමේ ප‍්‍රජාතන්ත‍්‍රීය වගකීමක් ලංකා ආණ්ඩුවට ඇති බවයි. ඒ අනුව ගත් විට, ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ මුස්ලිම් රටවල් කර ඇත්තේ, ආණ්ඩුවට එවැනි ප‍්‍රජාතන්ත‍්‍රීය වගකීමක් ඇති බව තමන් නොපිළිගන්නා බව ප‍්‍රකාශ කිරීමයි. හෙවත්, ජනතා අයිතීන් පාගා දැමීමක් සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනා නොකළ යුතු බවයි. ඉතිං, ජාත්‍යන්තර මුස්ලිම් ප‍්‍රජාව ජිනීවා නුවර දී ලංකා රජයට සැපයූ එම සහයෝගය තමන්ගේ පැත්තට සාක්ෂියක් වශයෙන් කැඳවන ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව, අනිත් පැත්තට හැරී රජයේ අනුග‍්‍රහයෙන් ක‍්‍රියාත්මක වන බොදුබල සේනාවේ ක‍්‍රියාකාරීත්වය විවේචනය කරන්නේ කෙසේ ද? (ගෝඨාභය රාජපක්ෂ බොදුබල සේනාවට මුල්ගල් තියයි. මහින්ද රාජපක්ෂ බොදුබල සේනා මූලස්ථානයට යයි. නැත්නම්, එහි නායකයන්ව අරලියගහ මැදුරට කැඳවයි.)

ස්වාධීන ජාතියක ශක්තිය මත සමාන අයිතීන් සහ ආරක්ෂාව ඉල්ලා සිටිනවා වෙනුවට, ජාතික සහ ජාත්‍යන්තර තලයේ උපකාර-ප‍්‍රතිඋපකාර (ලාංකීය කාන්තාව හරහා ලංකාවට විදේශ විනිමය එන්නේ මුස්ලිම් රටවලින්.. ආදී වශයෙන් වන තර්ක), පදනම මත ව්‍යාජ ගනුදෙනුවක් පවත්වා ගැනීමට බැලීම, දේශීය වශයෙන් විශේෂ වාසියක් අත්කර නොදෙනවා පමණක් නොව,(ලංකාවේ මුස්ලිම් කඩවල් කැඩුවේ අර කී මුස්ලිම් රටවල් ලංකාවට පක්ෂව ඡන්දය පාවිච්චි කරන මොහොතේමයි), ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගෑවිලාවත් නැති එවැනි අධිකාරීවාදී මුස්ලිම් රටවල් (ලංකාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීමේ) ආදර්ශය පාඩමට ගැනීම, ලංකාවේ තමන් සඳහා ඇති අවම ප‍්‍රජාතන්ත‍්‍රීය අවකාශය පවා අහුරා ගැනීමක් බව මුස්ලිම් ජාතිකයා තේරුම් නොගැනීම අවාසනාවකි.

Gamine Viyangoda 2ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda