Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Religion and faith

‘විරැද්ධව වැඩ කරොත් ත්‍රස්ත පණත මගින් අත්අඩංගුවට’

අසාද් සාලි සහ ජනපති මිතුරැ දවස...[Image Credit: http://www.dailynews.lk/2010/01/23/news60.asp]
අසාද් සාලි සහ ජනපති මිතුරැ දවස…[Image Credit: http://www.dailynews.lk/2010/01/23/news60.asp]

පසුගිය මැයි 02වනදා ජාතික එක්සත් පෙරමුණේ මහලේකම් සහ කොළඹ මහ නගර සභාවේ හිටපු උප නගරාධිපති අසාත් සාලී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලද අතර පසුව මැයි 10වන සිකුරාදා නිදහස් කරන ලදි. එසේ නිදහස් කරන ලද්දේ ජනාධිපති සමාව යටතේ බව මාධ්‍ය වාර්තා කලේය. නමුත් ඇතැම් දෙමළ භාෂිත මාධ්‍ය වාර්තා කර තිබුනේ ‘‘තමන් නොදැනුවත්ව වරදක් කලා‘‘ යයි පැවසු නිසා ජනාධිපති සමාව දීමට නියෝග කළ බවය. කෙසේ නමුත් ත්‍රස්තවාදය අවසන් කලා යැයි පවසමින් රාජපක්ෂ ආණ්ඩුව එහි 4වන සැමරැම සමරන්නට සූදානම් වන අවස්ථාවේ ආණ්ඩුවේ මතයට, වෙනස් මතයක් දරන පුද්ගලයින් මෙසේ ත්‍රස්ත මර්ධන පනත යටතේ අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීම පිළිබදව දේශියවත්, ජාත්‍යන්තරවත් විරෝධයන් මතු වූ අතර මේ වන විටද ආණ්ඩුවට හැතැති මතවාදයන්ගේ අදහස වන්නේ එසේ ආණ්ඩුවේ අදහසට වෙනස් මතයක් දරණ්නන් ‘ආණ්ඩු විරෝධීන්‘, ‘කුමන්ත්‍රණකරැවන්‘ ආදීන් යැයි සළකා කෙසේ හෝ මර්ධනය කිරීම තුළින් ආශ්චර්ය කරා යා හැකි බවය.

Mano Ganeshan
Mano Ganeshan

එසේ සිය මර්ධන පනත් උපයෝගී කර ගිනිමින් සිය දේශපාලන විරැද්ධ මාතවාදයන් තලා දැමීමේ අරමුණින් අත්අඩංගුවට ගත් ජාතික එක්සත් පෙරමුණේ මහලේකම් සහ කොළඹ මහ නගර සභාවේ හිටපු උප නගරාධිපති අසාත් සාලී පිළිබදව සහ එම අත්අඩංගුවට ගැනීම පිළිබදව, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් පවසන්නේ,
‘‘මෙය දේශපාලනික අත්අඩංගුවට පත්වීමක්. මෙම ප‍්‍රකාශය අසාත් සාලී අත්අඩංගුවට පත්වූවන් පසුවම මම පැවසුවා. අත්අඩංගුවට ගැනීමට පෙර සති කිහිපය තුළ අසාත් සාලීව පොලීසිය අත්අඩංගුවට ගැනීම සඳහා විවිධ උත්සහයන් ගනිමින් සිටියා. මෙම සිදුවීම බලාපොරොත්තු වූ දෙයක්. අසාත් සාලී අත්අඩංගුවට පත්වූවන් පසු කිසිම පුද්ගලයෙකු පුදුමයට පත්වූ බව මම සිතන්නේ නැහැ.‘‘ යනුවෙනි.

පහත පළවන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් සමග ‘විකල්ප‘ පැවැත්වූ සම්පූර්ණ සාකච්ඡාවයි.

Q. තමිල් නාඩු සඟරාවක් වන ජූනියර් විකටන් සඟරාවට අසාත් සාලී දුන් සම්මුඛ සාකච්ඡාව තුළින් ජාතික ආරක්‍ෂාවට හානියක් සිදුවනවාද?

A. ජූනියර් විකටන් සඟරා සිද්ධිය බොරු හේතුවක්. මාධ්‍ය වලට අපි දෙන සම්මුඛ සාකච්ඡා සමහර විට වැරැදි විධිහටත් පළ වෙනවා. සමහර වෙලාවට අපි නොකියපු දේවලූත් ලියනවා. සමහර වෙලාවල් වල අහම්බෙන් වැරැදි සිදුවෙනවා. මෙවැනි අත්දැකීම් බොහෝ මට තිබෙනවා. එක් වරක් මම කැනඩාවට ගිහින් කොළඹට එන්න පෙර රජයේ ආරක්‍ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවියේ මම කැනඩාවේ කොටින්ගේ මහවිරු දිනයේ සහභාගි වූ බව බොරු ප‍්‍රචාරයක් ප‍්‍රකාශ කර තිබුණා. අසාත් සාලීගේ ජූනියර් විකටන් සඟරා සිද්ධිය පිළිබඳව ඔහුගෙන් කට උත්තරයක් ලබාගෙන තිබුණාම ඇති කියලා මම හිතෙනවා. ජූනියර් විකටන් සඟරාවේ පළවූ ප‍්‍රකාශ පිළිබඳව තමා ප‍්‍රතික්‍ෂ්ප පළ කර අතර එම සඟරාව අසාත් සාලී දැනුවත් කර තිබෙනවා. පසුව එම සඟරාව ද එම සම්මුඛ සාකච්ඡාව නිවැරදි කර තිබෙනවා. මෙවැනි තත්ත්වය තුළ අසාත් සාලී අත්අඩංගුවට පත්වීම අවශ්‍යම නැති කරුණක්.

Q. අසාත් සාලී අත්අඩංගුවට ගැනීම තුළින් දේශපාලනිකව හඟවන්නේ මොකක්ද?

A. රජයට විරුද්ධව කතා කරන්න එපා. රජයට විරුද්ධව කි‍්‍රයා කරන්න එපා. කතා කළොත් ත‍්‍රස්තවාද පනත මඟින් අත්අඩංගුවට පත්වෙයි කියන ප‍්‍රවෘත්තිය තමයි අපට රජය කියන්නේ.

Q. අල්කෛදා, තාලිබාන් යන සංවිධාන රටේ හිස ඔසවීම වළක්වාලීම සඳහා තමයි අසාත් සාලී අත්අඩංගුවට පත්වූ බව ජාතික ආරක්‍ෂා පිළිබඳව මාධ්‍ය මධ්‍යස්ථානය පැවසුවා. මේ පිළිබඳව ඔබේ අදහස?

A. අල්කෛදා, තාලිබාන් යන ඉස්ලාම් අන්තවාද සංවිධාන තමයි දැන් රජයට අවශ්‍ය වෙලා තියෙන්නේ. ලෝකේ අද ඉස්ලාම් අන්තවාදයට එරෙහිව බටහිරත්, ඉන්දියාවත් එකතු වී කි‍්‍රයා කරනවා. නමුත් ලංකාවේ ජාතික ප‍්‍රශ්නයේදී මේ රටවල් ශී‍්‍ර ලංකා රජයට එරෙහිව සිටිනවා. මෙම තත්ත්වය තුළ ලංකාවේ අල්කෛදා, තලිබාන් යන ඉස්ලාම් අන්තවාද සංවිධාන තිබෙන බව ඇමරිකාව ඇතුළු බටහිර රටවල් වලට කියා එම රටවල් තමා සන්නත කිරීමට, රජය උත්සහ දරනවා. අල්කෛදා, තාලිබාන්, අල්ජිහාත් යන සංවිධාන වල සම්බන්ධීකරන නායකයන් ලංකාවේ සිටින බව පෙන්නුම් කළහොත් බටහිර රටවල් තමාව මිත‍්‍රකරගනී කියලා ශී‍්‍ර ලංකාව හිතෙනවා. මෙහි නැති ඉස්ලාම් අන්තවාදය තිබෙන බව පෙන්නුම් කර අසාත් සාලී ත‍්‍රස්තවාද මර්ධන පනත මඟින් අත්අඩංගුවට ගත්තා. අසාත් සාලී අත්අඩංගුව පිටුපස මෙයයි තිබෙන්නේ.

Q. විමුක්ති කොටි සංවිධානය මුලූමනින්ම විනාශ කළ බව රජය කියනවා. නමුත් තවමත් ත‍්‍රස්තවාදය මර්ධන පනත කි‍්‍රයාත්මක වෙනවා. මෙම පනත දැන් අවශ්‍යද?

A. අනිවාර්යයෙන්ම මේක අවශ්‍ය නැහැ. නමුත් අනිවාර්යයෙන් කි‍්‍රයාත්මක වෙන්න ඕන කියා රජය හිතෙනවා. එකක්, කොටි සංවිධානය මුළුමනින්ම විනාශ වී නොමැති බව රජය විශ්වාස කරනවා හෝ ත‍්‍රස්තවාද මර්ධන පනත තමන්ගේ දේශපාලනික විරුද්ධ මතදාරීන් ට එරෙහිව භාවිතා කරන්න හිතාගෙන ඉන්නවා. දෙවැනි හේතුව තමයි හරි කියලා මම හිතන්නේ.

Q. මුස්ලිම් දේශපාලන නායකයන් මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීම පිළිබඳව කිසිඳු කි‍්‍රයාමාර්ගයක් නොගැනීම පිළිබඳව ඔබේ අදහස?

A. ආණ්ඩුව සමඟ එක්වී සිටිය යුතුයි, ආණ්ඩුවේ වරප‍්‍රසාද ලබාදෙන දේශපාලනය කළ යුතුයි යන ප‍්‍රතිපත්ති මුස්ලිම් දේශපාලඥයන් අතර පාරම්පරිකව තිබෙනවා. දෙමළ සමාජයේ ආණ්ඩු පක්‍ෂය සමඟ වරප‍්‍රසාද ලබාගෙන යම් පිරිසක් සිටිනවා. නමුත් යුක්තිය වෙනුවෙන් සටන් කරන තවත් පිරිසක් රජයට විරුද්ධව පෙළගැසී සිටිනවා. ආණ්ඩු පක්‍ෂයේ අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්දා, තොන්ඩමාන් ඉන්න විට රජයට එරෙහිව දැඩි ප‍්‍රතිපත්ති සමඟ අපේ පක්‍ෂයත් දෙමළ ජාතික සන්ධානයත් තිබෙනවා. මුස්ලිම් දේශපාලඥයන් අතර මෙවැනි තත්ත්වයක් නැහැ. අසාත් සාලීත් පහුගිය 2012 ජිනීවා කාලය වෙනකං රජය සමඟ එකතු වී අපිට එරෙහි වූ පුද්ගලයෙක්.

මම එක්වරක් අසාත් සාලී සහභාගි වූ රැස්වීමක කතාවක් කළා. ‘‘අද දෙමළ ජනතාවගේ අරගලය නිසා ජාත්‍යන්තර බලපෑම් රජය වෙත ඇති වී තිබෙනවා. මුස්ලිම් ජනතාවත් තමන්ගේ දේශපාලනික බලය බෙදාහැරීමේ අයිතිවාසිකම් වෙනුවෙන් අරගලය කළ යුතුයි. දෙමළ ජනතාව අරගලය කර අවසානයේදී දේශපාලනික විසඳුමක් ලැබෙන අවස්ථාවේ එහි තමන්ටත් එක් කොටසක් ඉල්ලීම හොඳක් නෙවෙයි කියා මුස්ලිම් නායකයන් දැන ගත යුතුයි.’’ මෙසේ මම රැස්වීමේදී ප‍්‍රකාශ කළා.

අද අසාත් සාලී රජයට සහය පළකරන ප‍්‍රතිපත්ති වෙනස් කොට අපේ ප‍්‍රතිපත්ති අනුගමනය කරනවා. මෙම ප‍්‍රතිපත්තිමය අරගලය මුස්ලිම් දේශපාලනයේ අලූත් දෙයක්. අපේ මෙම උත්සහය රජයටත්, රජයේ සිටින මුස්ලිම් දේශපාලඥයටත් ඉවසන්න බැරිවී තිබෙනවා.

මුස්ලිම් දේශපාලඥයන්ගේ මෙවැනි කි‍්‍රයා ඔස්සේ කොහොමද මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමට එරෙහිව කතා කරන්නේ.

Q. බොදුබල සේනා, සිංහල රාවය වැනි බෞද්ධ අන්තවාදී සංවිධාන මුස්ලිම් ජනතාවගේ ආගම් සම්බන්ධයෙන් වන අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා. මෙවැනි සංවිධාන ජාතිවාදී ප‍්‍රකාශ සිංහල ජනතාව අතර ප‍්‍රචාරය කරනවා. මෙයට එරෙහිව රජය පියවර නොගන්නේ ඇයි?

A. මේකේ රහසක් නැහැ. මෙවැනි ජාතිවාදී සංවිධාන පිටුපස රජය තමයි සිටින්නේ. මෙවැනි සංවිධාන රජයේ ජාතිවාදය අවශ්‍යතා ඉටු කරනවා. පොදුවේ රජයට කියන්න බැරි ප‍්‍රකාශ මෙවැනි ජාතිවාදී සංවිධාන ඔස්සේ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව හෙළි දක්වනවා.