Colombo, Democracy, end of the War, Features, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

තුවක්කු විතරයි ‘පහන්’ බැහැ

Mulli jaff_CI
යුද්ධය අවසන් කලා යැයි මීට වසර 4කට පෙර රාජපක්ෂ ජනාධිපතිවරයා කීවේ ය. ඔහු තව දේවල් ද කීවේය. ඉන් එකක් නම් ‘දැන් අපි නිදහස් රටක්’ යැයි කියමින් තවත් බොහෝ දේවල් කීවේය. ඒ සියලූ දේ කියූ ඔහු අදත් ඒවැනිම දේවල් නැවතත් කියමින් විජයග‍්‍රහණයේ 4වසර ඊයේ සැමරීය. ඒ සැමරුම කෙසේ ද යත් ගාලූ මුවදොර ගිගුම් දුන්නේ ය. නිදහස කෙසේ ද යත් ඊට පෙර දින කිහිපයක් අදාල ප‍්‍රදේශයේ මාර්ග සම්පූර්ණයෙන් වසා තැබිණි. කපුටෙකුටවත් ඒ ඉහල අහසේ පියාසර කිරීමට තහනම් වී තිබුණු සේයකි.

2009 මැයි 18වනදා සහ ඊට පෙර වසර ගණනාවක් මිනිසුන් ඝාතනය කළ ලේ තැවරුණු අවිආයුධ ආඩම්බරයෙන් ප‍්‍රදර්ශණයට ගෙනැවිත් තිබිණි. රාජපක්ෂ සියල්ලෝ ද, විචාරයක් නොමැති ආරාධිතයෝ ද ඒවා නරඹන ලද්දේ සාදුමය වස්තූන් ලෙසය. අධිපති මාධ්‍ය ඒවා සිය කැමරා කාචයේ සටහන් කර ගත්තේ ලොව අංක එකේ ඡායාරූපයක් ගන්නවා සේය. එපමණක් ද නොවේ, ලංකාවේ බොහෝ මාධ්‍ය ඒවා ප‍්‍රචාරය කරන ලද්දේ ඒවායෙන් නිකුත් වූයේ මිනිස් හදවත් පසාරු කරමින් යන මූනිස්සම් නොව දසත සුවද විසුරුවන විසිතුරු මල් යැයි සිතා ගෙනය. ඒ සියලූ දේ දකුණේ බොහෝ මිනිසුන් නරඹන ලද්දේ අතිශය ඛේදනීය සංහාරයක සටහන් ලෙස සිතා නොව, ‘ආඩම්බරකාර විජයග‍්‍රහණයක්’ යැයි හොදින්ම පෙනුනේ දෙමළ ජනයාගේ දේශපාලන ප‍්‍රශ්ණයට ‘අපි මාර විදිහට සංවේදී’ යැයි කියන පෙරටුගාමී සමාජවාදීන්ගේ ඇසුරින් දියත්වන වෙබ් අඩවියක් ආණ්ඩුවේ ‘විජයග‍්‍රහණය’ ‘යුද ජයග්‍රහණය අද සමරයි‘ යනුවෙන් වාර්තා කර තිබූ අයුරැ දැකීමෙනි.(නමුත් හලාවත ඇන්ටනී ධීවරයාත්, කටුනායක නිදහස් වෙළද කලාපයේ රොෂේන්වත් මරා දැමුණේ එදා උතුරට එල්ල වූ, අද ආඩම්බරයෙන් නරඹන මෙම තුවක්කුවෙන්ම බව දකුණට අද අමතකව ගොසින් ඇති සේයකි)

කෙසේ නමුත් කවර හෝ සමාජයක් මිනිසුන් දහස් ගණනක් ඝාතනය කල පසු එය විජයග‍්‍රහණයක් ලෙස හෝ පිංසිදු වෙන වැඩක් යැයි කිසිදු ශිෂ්ඨ සමාජයකට පැවසිය නොහැක. නමුත් දහස් ගණනක් සංහාරයට පත් කරමින් එහි අවසානයේ ජයපැන් බීමට තරම් උදේ සවස පංසිල් ගණනවා යැයි පවසන බොද්ධ සමාජයත් එදා මෙන් අදත් පාපතර වී තිබේ.

ඒ ඛේදවාචකය විජයග‍්‍රහණයක් ලෙස දකුණේ සමරණ විට මරා දැමුනු දහස් ගණනක් සිය සමීපතමයින් වෙනුවෙන් පහනක් දැල්වීමටවත් ආණ්ඩුවේ මිලිටරි පාලනය ඊයේ ඒ දෙමළ ජනයාට ඉඩ දුන්නේ නැත. යුද්ධයෙන් පසු සෑම විටම සිදු වූවාක් මෙන් ඒවා මැඩපැවත්වීමට උත්සහ කළේය. මැඩපැවත්වීය. තරජනය කළේය. අත්ඩංගුවට ගත්තේ ය. ලෝකයේ ඕනෑම ශිෂ්ඪ සමාජයක මළවුන් සිහිකිරීමට තිබෙන මූලික අයිතිය, එසේ මිලිටරි සපත්තුවෙන් තලා දැමුවේ කිසිදු හිරිකිතයකින් තොරවය. ඒ ලංකාව යුද්ධාවසානයේ 4වන වසරින් පසුවත් ගමන් කරමින් සිටින දිශාව මනාවට පිළිබිඹු කරමින් ය.

මේ ඉන් බිදකි…

Kal_CI
තුවක්කු විතරයි. ‘පහන් බැහැ‘

ඝාතනය වූ සිය සමීපතමයින් සැමරීමට මන්නාරමේ දී සිහිකිරීම් උත්සවයක් සංවිධානය කර තිබිණි. එහිදී මන්නාරම පොලීසිය විසින් 15දෙනෙකු අත්අඩංගුවට ගත්තේ ය.

වව්නියාවේදී පැවති මිය ගිය දෙමළ ජනයා සැමරීමේ සිහිකිරීම් උත්සවයට නොඑන ලෙසට ඊට පෙර දිනයේ එම ජනතාවට කිසියම් පිරිසක් තර්ජනය කර තිබිණි. කෙසේ නමුත් එම උත්සවය පැවැත් වූවත් ඒයට නොයෙක් ආකාරයෙන් බලපෑම් එල්ල විය.

එසේම යුද්ධයේ අවසන් කාලයේ මිය ගිය මිනිසුන් සිහිකිරීම පිණිස වව්නියාව, සමන්කුලම ග‍්‍රාමෝධය මණ්ඩල භූමියේ ඉදිකර තිබූ ස්මාරක කිසියම් පිරිසක් කඩා බිද දමා තිබිණි. මෙම සැමරුම් 2010 ඉදිකර තිබූ බවත් සෑම වසරකම මියගිය අයගේ සමීපතමයින් මෙහි පහන් දල්වා ඔවුන් සිහි කරනු ලබයි. නමුත් ලංකාවේ සංහිදියාවේ තරම කියාපාමින් මේ වසරේදි එම ස්මාරක වෛරී සහගත ලෙස කඩා බිද දමා තිබේ.

එපමණක් ද නොවේ, ඊයේ උදෑසන වන විට යාපනය විශ්ව විද්‍යාලය අවට ආරක්ෂක අංශ සාමාජිකයින් විශාල ප‍්‍රමාණයක් සැරිසරමින්, විශ්ව විද්‍යාලය අවට මුරකාවල් තර කරමින් සිටින බවට යාපනයෙන් වාර්තා වූ අතර අදට මාස කිහිපයකට පෙර පහන් දල්වා සිහිකිරීම් උත්සවයක් යාපනය විශ්ව විද්‍යාලය තුල සිසුන් විසින් පැවැත් වූ අතර, ආරක්ෂක අංශ එයට කඩා වැදී සිසුන්ට පහරදී සිසුන් අත්අඩංගුවට ද ගත්තේ උතුරේ මර්ධනයේ තරම කියා පාමිනි.

කෙසේ නමුත්, දකුණේ බිහිසුණු අවි ආයුධ ප‍්‍රදර්ශණය කරමින්, දජ ඔසවා, ගීත කියමින් විජයග‍්‍රහණය සමරද්දී උතුරේ ජනයාට, මරා දැමුනු සිය සමීපතමයින් වෙනුවෙන් පහනක් හෝ දැල්වීමට තිබෙන අයිතිය තලා දෑමීමට ආණ්ඩුවේ මිලිටරිය උත්සහ දැරුවේ එළෙසිනි.

තම සමීපතමයින්ව උදුරාගත් පාපතරයින්ට සාප කරමින් පොල් ගැසූ අම්මලා | කිලිනොච්චිය | 2012 මැයි 18
තම සමීපතමයින්ව උදුරාගත් පාපතරයින්ට සාප කරමින් පොල් ගැසූ අම්මලා | කිලිනොච්චිය | 2012 මැයි 18

පසුගිය වසරේදීත් මේ දිනවලම, උතුරේ බොහෝ දේවස්ථානවල දේවමෙහෙයන් සිදු නොකරන ලෙසට ආරක්ෂක අංශ දැනුම් දී ඇතැයි කියැවිණි. එහි දී එක් දේවස්ථානයක, පියතුමෙක් ‘‘ඇයි එහෙම කියන්නේ’’ යැයි ප‍්‍රශ්ණ කිරීමේ දී, ආරක්ෂක අංශ පවසා තිබුනේ, ‘‘ඔබලා පවත්වන්නේ එල්ටීටීඊ සැමරුම්. ඒවා බෑ. යනුවෙනි. එවිට එම පියතුමා පවසා ඇත්තේ, ‘‘අපි සිහිකරන්නේ මිය ගිය අයව, ඔබ කියන්නේ මරා දැමුණු මහල්ලෝ, අත දරු‍වො ඇතුලූ සියලූ දෙනා එල්ටීටීඊ කියලද?, කවුරු උනත් මැරැණහම, ඔවුන් මළවුන්. මළවුන් සිහිකිරීමට අපිට අයිතියක් තියනවා’’ යනුවෙනි. කෙසේ නමුත් එම මිලිටරි තර්ජනයන් හමුවේ බොහෝ දේවස්ථානවල සිහිකිරීම් හෝ කිසිදු පූජාවක් නොපැවැත් වුනු අතර, සිය ගණනක් මව්වරු සහ බිරින්දෑවරු පමණක් කිලිනොච්චි කොවිලේදී පොල් ගසා සිය ආදරණීයන් අහිමි කල උන්ට සාප කළේ ය. එම කොවිලේ පූජාවට ද සිවිල් ඇදුමින් සැරසුණු ආරක්ෂක නිළධාරීන් පැමිණ සිටි බව ලියුම්කරු වාර්තා කලේ පසුගිය වසරේ මැයි 18 දාය.

සංහිදියාව කොහේද?

ආයුධ සන්නද්ධ යුදමය තත්වයකින් පසු සියලූ පාර්ශවයන්ට හිමි වූ දෙයට වඩා අහිමි වූ දේවල් අධික බව ලෝකයේ යුදමය ඉතිහාසයන්ගෙන් ඔප්පු වී හමාරය. එය ලංකාවටත් එක සේ අදාළය. වසර 30කට වඩා පැවති යුද්ධයෙන් හිමි වූ හෝ අත්පත් කරගත් දෙයක් නැත. හිමි වූවානම් හිමි වූයේ සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුලූ සහෝදර ජනයාගේ දහස් ගණනක් මළකදන් ය. අත් පා නැති මිනිසුන් ය. තම සමීපතමයින් අතුරුදහන් කල සිය ගණනක් පවුල් ය. මේ සියලූ දේත් සමග වසර ගණනාවක් ගියත් සුවනොවෙන වේදනාවන්ය. නමුත් මේ සියලූ වේදනාවන් මතින් රජපක්ෂ ආණ්ඩුව කල්පනා කරන්නේ නම් එය තමන්ගේ ‘විජයග‍්‍රහණයක්’ ලෙස, එතැන සංහිදියාව නැත.(අවම වශයෙන් අනෙකාට මළවුන් වෙනුවෙන් පහනක් හෝ දැල්වීමට තිබෙන අයිතිය පාගා දමමින්) ඇත්තේ සුව නොවන අනෙකාගේ තුවාලය යළි යළිත් පැරීම පමණය. වෙඩි බෙහෙත් ගදට හුරුවූ අධිපති ආණ්ඩුවලට මෙන්ම අනෙකා පිළිබද නොසිතන සමාජයකට, ඒ තුවාලයේ වේදනාව කිසිසේත් දැනෙන්නේ නැත. ඔවුන්ට දැනෙනුයේ වෙඩි බෙහෙත් ගද පමණය. බර අවි, මූනිස්සම්වල ස්පර්ෂයේ නග්න, අශිෂ්ඨ හැගීම පමණි.

එම අශිෂ්ඨ හැගීම යුද්ධාවසානයේ වසර 4කට පසුත්, ගාලූ මුවදොරින් දසත පැතිරුණේ ඒ ‘දැන් අපි නිදහස්’ යැයි කියු රෙට් , මළවුන් වෙනුවෙන් පහනක්වක් දැල්වීමට නොහැකි නිදහස්(?) රටක ‘සංහිදයාව‘, ප්‍රතිසංධානය, උගත් පාඩම් යනු ගාලූ මුවදොර මුහුදුවැල්ලේ ලියූ අකුරු කිහිපයක් පමණක් යන්න ලොවටම පෙන්වමිනි.