Democracy, Features, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation, Politics and Governance

මළවුන් සිහිකරමින් පහන් දැල්වූ මිනිසුන් TIDට මුහුණදීමේ ඛේදවාචකය

TNA_18_May_2012_02_98281_445

මුල්ලිවායිකාල් ව්‍යවසනය සිහිපත් කිරීමත් සමඟම දෙමළ දේශපාලන පක්ෂ ප්‍රධානීන් සහ ක්‍රියාකාරීන් දිගින් දිගටම ප්‍රශ්ණ කිරීම්වලට මුහුණදීමට සිඳුවී තිබේ. මන්නාරමේදී අත්තඩංගුවට පත්වී ඇප මත මුදාහැරුනු දෙමළ ජාතික ජනතා පෙරමුණේ මහ ලේකම් සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුලු තවත් ක්‍රියාකාරීන් ම් වනවිට ත්‍රස්ත මර්දන අංශයේ ප්‍රශ්ණ කිරීම් වලට කැදවා ඇතැයි වාර්තා වෙයි..

මේ ඒ පිළිබදව ‘විකල්ප‘ සමග අදහස් දැක්වූ සෙල්වරාසා ගජේන්ද්‍රන් මහලේකම්වරයා,

‘‘අපි මුල්ලෙවෛක්කාල් සිහිකිරීම් උත්සවය දිස්ත්‍රික්ක 3ක තියන්න සැළසුම් කරලයි තිබුණේ.වව්නියාවේ සිහිකිරීම කරන්න සැළසුම්කරලා තිබුණේ ඒ සිහිකිරීම් පිළිබදව ස්මාරක හදලා තියන ස්ථානයේ. ඒත් ඊට පෙර දවසේ කිසියම් පිරිසක් මේ ස්මාරක කඩා දාලා තියනවා. අපි සැක කරනව මේ ස්මාරක කඩා දැමීම පසු පස ආරක්ෂක අංශ ඉන්නවා කියලා. කොහොම උනත් අපි එතන පොඩි සිහිකිරීමක් කරලා මන්නාරමේ සිහිකිරීම් උත්සවයට ගියා.

මන්නාරමේ සිහි කිරීම් උත්සවය සංවිධානය කරලා තිබුණේ පෙරියකඩේ ප්‍රදේශයේ. එහි ග්‍රාම නිළධාරීවරයාත් දැනුවත් කරලා, ඔහුගේ ගොඩනැගිල්ලක තමයි අපි ඒත 18වනදා පවත්වමින් හිටියේ. එක් පාරට පොලීසියේ 25ක් විතර ඇවිල්ලා, ‘ඔය සිහිකිරීම් කරන්න දෙන්න බෑ. අපි ඔබලාව අත් අඩංගුවට ගන්නවා‘ යැයි කියමින් අපි අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ අපි නිදහස් කරලා ඊයේ(20) අපි ආපහු ත්‍රස්ත විමර්ෂන ඒකකයට කැදෙව්වා.

මගෙන් හවස 3ඉදන් 6.30 වෙනකන් ප්‍රශ්ණ කරා. අපේ පක්ෂයේ තරැණ අංශය භාරව ඉන්න සත්‍යශිලන්ගෙන් හවස 2.30 ඉදලා හවස 6.30 වෙනකන් ප්‍රශ්ණ කරා. පක්ෂයේ නියෝජ්‍ය නායක, සිවපාදම් ගජේන්ද්‍රකුමාර්ගෙන් උදේ 9 ඉදලා 12වෙනකන් ප්‍රශ්න කරා. තවත් අපේ සාමාජිකයෙක් වන වසන්තරෑබන්ගෙනුත් මේ ආකාරයට ප්‍රශ්න කරා.

සමහර මාධ්‍යවල අපි දැක්කා අපේ සැමරැමේදී ප්‍රභාකරන්ගේ පොටෝ තිබුනා කියලා. අපි ළග කගේවත් පොටෝ තිබුණේ නෑ. අපි ප්‍රදර්ශනය කරේ බැනරයක් විතරයි. එකේ තිබුනේ, ‘දෙමළ ජන සංහාරයේ දිනය මැයි 18‘‘ කියලා විතරයි. පොලීසියෙන් අපෙන් අහනවා, ‘‘කවුද කියන්නේ ජන සංහාරයක් සිදු උනා කියලා. එහෙම ලියන්න පුලුවන්ද? ඇයි අනුස්මරණයට 18 තෝරගත්තේ කියලා‘‘ මේවා මහ පුදුම ප්‍රශ්ණ.

කොහොම උනත්, ජන සංහාරය කියන එකට ආණ්ඩුව කැමති නෑ. දකුණේ යුද ජයග්‍රහණය තියන මොහොතේ මුල්ලෙවෛක්කාල් අනුස්මරණය කරන එකටත් ආණ්ඩුව කැමති නෑ. දෙමළ ජනයා වෙනුවෙන් සටන් කරන අපිව මැඩපවත්වලා ජනතාවගෙන් ඇත් කරන්න තමයි ආණ්ඩුව මේ අකාරයන් අපිව මර්දනය කරන්න උත්සහ කරන්නේ.“

කෙසේ නමුත් යුද්ධයෙන් වසර 4ක් ඉක්ම ගොස් සිටියදී මළවුන් සිහිකිරීම් උත්සවයක්වත් පැවැත්වීමට නොදී දෙමළ දේශපාලන ක්‍රියාකාරීන් මෙසේ මර්දනය කිරීම තුළ රාජපක්ෂ ආණ්ඩුවේ උතුරේ දේශපාලන මර්දනය ඉතාමත් මැනවින් පිළිබිබු වෙයි. උගත් පාඩම් ජනාධිපති කොමිසන් වාර්තාවෙන් නිර්දේශ කොට ඇති මළවුන් සිහිපත් කිරීමේ අයිතිය රජය විසින් උල්ලංඝනය කරමින් සිටින බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඇතැම් දේශපාලන ක්‍රියාකාරීන් පෙන්වා දෙන අතර, ජාත්‍යන්තරයට පෙන්වීමට මෙම උගත් පාඩම් ජනාධිපති කොමිසන් වාර්තාව සැකසුවත් දැන් එහි තවත් ඇත්ත එළිවෙමින් තිබෙනව බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

කසේ නමුත් හියමුන් රයිට්ස් වොච් සංවිධානය උපුටා දක්වමින්, බිබීසී වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ, ‘‘ශ්‍රී ලංකාවේ උතුරේ ජීවත්වන ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ නිදහස පිලිබඳ තත්ත්වය යුද්ධය අවසන්ව ගතවූ වසර හතර තුල තවදුරටත් පහල වැටුණු බවයි. සිදුවූ යුධ අපරාධ පිලිබඳ වගකිවයුත්තන් සොයා බලා වරද කරුවනට දඬුවම් පැමිණවීම සඳහා ක්‍රියාත්මක වීමට එරෙහි වන බවට ශ්‍රී ලංකා රජය වෙත චෝදනා එල්ල කරන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය, දෙමළ ජනතාවගේ දුක් ගැනවිලි වලට පොරොන්දු වූ පරිදි විසඳුම් ලබා දීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය අසමත්ව ඇති බවද පවසයි. බිහිසුනු යුද්ධය අවසන්ව වසර හතරක් ගතවී ඇතත් අතුරුදන්වූ ඥාතීන් පිලිබඳ තොරතුරු ලැබී නැති බවත්, හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආසියානු කටයුතු භාර අධ්‍යක්ෂවරයා පවසන බවත් එහි වැඩිදුරටත් සදහන් වෙයි.‘‘

රාජපක්ෂ ආණ්ඩුවේ සාමය, වෛරයෙන් තෙත් වුනු ක්‍රියාවලියක් බවට මේ වන විට පත් වෙමින් තිබේ. ඒ නිසා, දෙමළ ජනයාට මළවුන් වෙනුවෙන් වැලපීම තහනම් කරමින් ඔවුන් දිගින් දිගටම ‘මර්දනයම‘ එකම විසදුම බවට පත් කරමින් යන ගමන සමස්ත ලංකාවේම අනාගතය තවතවත් අදුරැ ආගාධයකට ඇද දමනු ලබයි.